Wednesday, May 22, 2024

සාමය, සංහිඳියාව යනු හුදෙක් ශ්වේත වර්ණ පරවියෙකු නොවේ! – දේශාන් පෙරේරා

 

සාමය දෙයාකාරයකට හදුන්වාදිය හැක. ඉන් එක් ආකාරයක් වන්නේ සාමය සමාජ ගුණදමක් ලෙස හඳුන්වාදීමයි. අප සිත් තුළ සාමය, අප හදවත් අතර  එකිනෙකා පිළිබඳ ඇතිවන සාමය මෙහි ලා ආකාර කීපයකි. සරලව ගෙනෙහැර දැක්වුවොත් විවිධ ජාතීන් අතර ඇතිවන සාමයයි. මෙතුළින් සැබෑ සාමය හෙවත් තිරසර සාමය ඇතිකර ගත හැකි වේ.

සාමය හඳුන්වාදීමේ අනෙක් ආකාරය නම්, විවිධ වකවානු වලදී සමාජය (අවස්ථාවාදී දේශපාලනය සහ පටු ආකල්ප) විසින් සාමය යන වචනය පුරවැසි අපගේ සිත් තුළ කැටයම් කළ ආකාරය නිසා, සාමය හා බැඳී මිත්‍යාමතයන්ය.

 සාමය පිලිබඳ මිත්‍යා මතයන් ගොඩනැගුනු පසුබිම

ආයුධ සන්නද්ධ අරගල, කැරළි කෝලාහල වැනි අභාග්‍යසම්පන්න සිද්ධීන් නිසාවෙන් අප මාතෘ භූමිය බෙහෙවින් අසීරු අඩියකට වැටී තිබුණි. තරුණ ඝාතන, බෝම්බ පිපිරීම් නිසා සිදුවූ මරණ, සටන් වලදී සිදුවූ මරණ, මෙන්ම පුද්ගල අතුරුදන් කරවීම් ආදිය මනුදම් පිරි සමාජයක සිදුනොවිය යුතුව තිබුණද, අවස්ථවදී දේශපාලනය ඔවුන්ගේ පැවැත්ම උදෙසා “සාමය” විටක, අන්තර්ජාතික කුමන්ත්‍රණ ලෙසත්, බෙලෙහීන වෑයමක් ලෙසටත්, යනාදී වශයෙන් මිත්‍යාමත සමාජගත කිරීම තුලින් සාමය වැදගත් නොවන සංකල්පයක් ලෙස සමාජ බහුතරයකට එත්තුගන්විය.

 සාමය කියන්නේ අවිගත් අරගලයක් නොමැති වීමද ?

සාමය පිලිබඳ ඇති මිත්‍යාමත වලින් ප්‍රධාන මිථ්‍යාවකි. තිරසර සාමය ඇති වීමට නම්, අවිගත් අරගලයකින් පසු එම අරගලයට සම්බන්ධ වුවන්, එමගින් විවිධාකාර විපත් වලට පත් වුවන් මෙන්ම එහි ඍජු හා වක්‍ර අත්දැකීම් ලැබුවන්ගේ සිත් සාන්තිය හෙවත් “සංහිඳියාව” තිරසර සාමයක් සඳහා වූ පාලමක් වැනිය. සංහිදියාවෙන් තොර සාමයක් යනු ස්ථිර සාමයක් නොවන බව පශ්චාත් ගැටුම් අවදියක සිටින අපට අත්දැකීම් සහිතව සාකච්චා කළ හැක. දින කීපයක් ඉස්ලාම් භක්තිකයන් සමග සිදුවූ ගැටුම මීට කදිම නිදසුනකි.

 තිරසර සාමය උදෙසා වූ සංහිඳියා යාන්ත්‍රණය හෙවත් සංක්‍රාන්තික යුක්තිය හා සංහිඳියාව

 මෙම ක්‍රියාවලිය මගින් සිදුවන්නේ අරගලයන්ට මුහුණ දුන් රටක් ලෙස අප මාතෘ භූමිය එම තත්වයෙන් මිදීමයි, එනම්, එම තත්වයන් නැවත ඇතිවීමට ඇති ඉඩ අහුරා දමා, සිදුවූ හානි යථාතත්වයට පත්කර ගැනීමේ යාන්ත්‍රණයක් ඔස්සේ සැමගේ සිත් සතන් සංහිදියාවෙන් පුර්ණ කර තිරසර සාමයක් අප මව් භූමිය තුල ගොඩනගා ගැනීමයි.

 පුරවැසියෙකු ලෙස අපගේ වගකීම

සාමය, සංහිඳියාව යනු හුදෙක් ශ්වේත වර්ණ පරවියෙකු නොවේ, සංහිදියාව අප තුල ජීවත් වන අපගේ පැවැත්මට අත්‍යවශ්‍ය කාරණාවක්ය. අවස්ථාවාදී දේශපාලනයේ වහලුන් නොවීම, ඔවුන්ගේ බල තහවුරුව වෙනුවෙන් ජාතිවාදය පැතිරීම, වෛරී ප්‍රකාශනයේ නියැලීම වෙනුවට අප ශ්‍රී ලාංකීක ජාතියක් ලෙස එකමුතුව, එක්සත්ව, එක්සිත්ව කටයුතු කිරීම තුලින් සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අපගේ ශක්තිය ලබා දී විවිධාකාර වූ ව්‍යාජ මාධ්‍ය ප්‍රචාර මෙන්ම පටු අරමුණු වෙනුවෙන් මාතෘ භූමිය ලේ විලක් කිරීමට වුවත් මාන බලමින් සිටින්නන් පිළිකුල් සහගත ලෙස බැහැර කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කර අපගේ පුරවැසි බලය නිවැරදි දිශාවට පමණක් යෙදිය යුතු වේ.

 

 

 

 

 

Archive

Latest news

Related news