Saturday, May 18, 2024

කරුංකා හොරු, ගම්මිරිස් හොරු, සුදු හා රත් හදුන් හොරු, වල්ලපට්ටා හොරු,පාම් ඔයිල් හොරු, වාහන හොරු, සිගරට් හොරු,එතනොල් හොරු සහ ‌රේගුව

රේගු නිළධාරීන් කරන්නේ ඉතාමත් අසීරු රාජකාරියක්, ඔවුන් අතිශයින්ම දැඩි නීති රාමුවකට කොටුවෙලා තම රාජකාරිය කරනවා.යම් පුද්ගලයෙක් හෝ සමාගමක් හෝ ඕනෑම ආනයන කරුවෙක් රටේ බලපවත්වන නීතීන් රීතීන් උල්ලංඝණය කරමින් ආනයනයක් හෝ අපනයනයක් කරන්නේ නම් ඔවුන්ව තරාතිරම නොබලා නීතියේ රැහැනට අසුකර ගන්නවා. ඒ සදහා ඔවුනට අවශ්‍ය කරන විෂයානුබද්ධ දැනුම රේගුවෙන් ඔවුනට නිරන්තරයෙන්ම ලැබෙනවා.මෙම භාරධූර රාජකාරිය හැමෝටම කල හැකි සරල කර්තව්‍යයක්ද නොවේ. වසර ගනනාවක් පුරාවටම ඔවුනට ලබාදෙන සුවිශේෂී පුහුණුව, භාවිතය හා පලපුරුද්ද නිසා ලබාගන්නා දෙයක්.ඒ නිසා මේ විමර්ශකයන්ගෙන් කිසිදු දේශපාලන හෙන්චයියකුට ගැලවී යා නොහැකියි..

එමෙන්ම කුඩා බුරුලක් ලදොත් සේනා දළඹුවා වැනි ව්‍යසනයන්ද රටට නොමිලයේම ලැබෙනු අයුරු අපි දනිමු. රේගුව පෙරහනයක් සේ කටයුතු කරන්නේ එබැවිනි.

රේගු විමර්ශන වල වෘත්තිමය ස්වභාවය හා රහස්‍ය භාවය( තොරතුරු ලබාදෙන්නන් ආරක්ෂා කිරීම ,සැකකරුවන් නාමිකව හෙලිදරවු නොකිරීම රජකාරියේම කොටසක්) ඉතාමත් ඉහලයි එම නිසා අගතියකට පත්වුනා කියා අධිකරණයට ගියත් අධිකරණය සැමවිටම නීතියට අනුව තීන්දු තීරණ දෙනවා. දේශපාලන බලපුලුවන් කරුවන් තර්ජන ගර්ජන කරමින් මේ නාඩගම් නටන්නේත් රේගු නිළධාරීන් බිය ගැන්වීමට තැත් කරන්නේත් අධිකරණයෙන් නීති විරෝධී කටයුතු වලට සහනයක් නොලැබෙන බැවිනුත් හෙංචයියන්ට බදු මුදල් හොරකම් කිරීමට අවස්ථාව නොලැබෙන බැවිනුත්‍ ය මේ තත්වය අන් කවර කලකටත් වඩා දැඩිවී තිබෙන්නේ මේ කාල වකවානුවේදීයි.

ගරු ජනාධිපති තුමනි…!!!
රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරය අපවන් රටක ජීවනාලියක හා සමානයි. එම ධූරය වත්මන් දේශපාලන දුරාචාරීන්ගෙන් බේරාගැනීමටත්, සුරක්ෂිත කිරීමටත් මැදිහත් වන්න.වත්මන් ඇමති මංඩලයේ සිටින රජය රැකගැනීම වෙනුවෙන් කේවල් කරන මේ දුෂ්ඨයින් පාපතරයන් හදුනා ගන්න ඔබ නොදන්නේ නම් රේගුවෙන් රහසිගත වාර්තාවක් කැදවන්න. රේගු වෘත්ති සමිතිවලින් තොරතුරු ලබා ගන්න. ඒ මෙවන් මාධ්‍යයක් හරහා එම තොරතුරු හෙලිකල නොහැකි බැවිනි.

ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට යැයි කියා යම් කුඩා කංඩායම්, කුඩා පක්ෂ කෑමොර දුන්නේ රටේ ජනතාවගේ බදු මුදල් කොල්ලකෑමට බව දැන් වැටහෙනු ඇත. (මෙය සියළුම දේශපාලන පක්ෂ වලට අදාලය.)
රේගුවට ස්වකීය රාජකාරිය කරගෙන යාමට ඉඩදෙන්න,රන්බිජු දමන කිකිලිය මරා දමන්න එපා. අඩුපාඩු ඇත්නම් හදාගමු.

පසුගිය වසරේදී නියමිත ඉලක්ක පසුකිරීමට රේගුවට නොහැකි වූයේ, සමස්ත ආනයනය විශාල වශයෙන්ද අපනයනයද යම් මට්ටමකින්. අඩුවූ බැවිනී.එය රේගු අධ්‍යක්ෂ ජෙනරාල් තුමියගේ වරදක් නොවේ.රටේ ඇතිවුන වැරදි ආර්ථික කළමනාකරණය නිසා වූවකි.ඇය කල වරද නම් නීති විරෝධීව වාහන බද්ධ කරන්නන්ට, කරුංකා ,ගම්මිරිස් නීති විරෝධීව ප්‍රති අපනයනය කරන්නන්ට වාහන වංචා කරන්නන්ට සහ මිනිස් ආහාරයට නොසුදුසු පාම් ඔයිල් වැනි මහා පරිමාණ රේගු වංචා මැඩලීමට අවි අමෝරා ගැනීමය.

ගරු මුදල් ඇමති තුමනි…!!!
ඔබ තුමන් අඩියක් පසුපසට ගෙන මෙම වෘත්තිමය ප්‍රශ්නය විසදන්න.එසේ නොවුනහොත් ඔබේ ඇමති සගයන් කරුංකා හොරු, ගම්මිරිස් හොරු, සුදු හා රත් හදුන් හොරු, වල්ලපට්ටා හොරු, යකඩ හොරු , තඹ හොරු, පාම් ඔයිල් හොරු, වාහන හොරු, සිගරට් හොරු,එතනොල් හොරු යන එකී මෙකී නම් වලින් නුදුරේම හැදින්වෙනු ඇති.

සෙසු රාජ්‍ය සේවකයන් රේගුව සමග අත්වැල් බැදගැනීමට කාලය එළඹ ඇත.රටට විනකරන දේශපාළුවන් දඩුකදේ ගැසීම එවිට මහ කජ්ජක්ද නොවනු ඇත..

පරාක්‍රම බස්නායක .
හිටපු රේගු අධ්‍යක්ෂ .

මුහුණූ ‌පොතිනි.

Archive

Latest news

Related news