Friday, April 19, 2024

ඥණසාරට සමාව දුන්නොත් එය අධිකරණයට හා නීතිපති දෙපාර්ථමේන්තුවට බියකරු බලපෑමක් – ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ

නීතියෙන් තීන්දු වූ අපරාධකරුවෙකු වන ඥානසාර හිමිට සමාව ලබාදීම සම්බන්ධයෙන් නීතීඥවරු අවධානයෙන්.

කලහකාරී හැසිරීම් සහ විශේෂයෙන් ප්‍රජා වෛරය අවුළුවාලීම හරහා ප්‍රචණ්ඩත්වයට අනුබල දීම සඳහා ප්‍රකට ඥානසාර හිමි හට ජනාධිපති සමාව ලැබීමේ ඉඩකඩ පිළිබඳ පළවන වාර්තා සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතීඥයෝ Lawyers for Democracy- සිය අවධානය යොමු කරයි. ඥානසාර හිමි මේ රට තුළ වාර්ගික සහ ආගමික ආතතිය ඇතිකිරීම සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් සහිත අයෙකි. අවාසනාවන්ත ලෙස, සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට තර්ජනය කිරීම සහ අධිකරණයට අපහාස කිරීම යන අවස්ථාවලදී හැරුණු විට කිසිදු විධිමත් නීතිමය ක්‍රියාමාර්ගයක් ඔහුට එරෙහිව ගෙන නැති බව පැවසිය යුතුය. 2018 වසරේදී සිදුවූ දේශපාලන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බලහත්කාරී අතුරුදන් කිරීම සම්බන්ධ නඩුවේදී 2018 මාර්තු 24 වැනිදා, එම නඩුවේ වින්දිත සාක්ෂිකාරියකට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු බව තීන්දු විය.

පහත දැක්වෙන කරුණු පිළිබඳ අවධානය කරන ලෙසටත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහුට එබඳු සමාවක් ලබාදීමට තීරණය කරන්නේ නම් නීතිය මත පාලනය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අනුමිතීන් පිළිබඳ සලකා බලන ලෙසටත් අපි ඉල්ලා සිටිමු.

1. 2018 අගෝස්තු මාසයේදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වූ නඩුවකදී සෙසු අපරාධ නඩු විධාන කාර්ය පටිපාටියට බාධා කිරීම සහ, සෙසු කරුණු අතර, රජයේ නීතීඥවරයාට තර්ජනය කිරීම ඇතුළු අධිකරණයට අපහාස කිරීමේ චෝදනා 4 කට ගලගොඩඅත්තේ ඥානසාර හිමි වරදකරු බව අභියාචනාධිකරණය විසින් තීන්දු කරන ලදී. මෙම සිදුවීම හටගත්තේ, අතුරුදන්වීමේ නඩුවක සැකකරුවන් වන හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ ඇප අයදුම්පතක් ප්‍රතික්ෂේප කළ වහාම ය. වසර 6 කින් එකවර ගෙවී යන පරිදි වසර 19කට බරපතළ වැඩ ඇතිව සිරදඬුවමකට ඔහුව යටත් කරන ලදී. 2018 ජූනි මසදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ද වින්දිත සාක්ෂිකාරිය වූ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට අධිකරණය තුළදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් මාස 6 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමකට යටත් කර තිබිණ.

2. 2000 මැයි 22 දින නඩු අංක 6315/200 යටතේ කොළඹ රථවාහන උසාවියේදී මත්පැන්වල බලපෑම යටතේ රිය පදවන විට හටගත් රිය අනතුරක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේදී ද ඔහු වරදකරු වූ බව අපට දැනගන්නට ලැබිණ.

3. අලුත්ගම කෝලාහල ඇතුළත්ව ඔහු විසින් සිදුකර ඇති බව කියන සෙසු සාපරාධී හැසිරීම් සම්බන්ධයෙන් විමර්ශන ප්‍රමාද වෙමින් තිබෙන බව ද අප විසින් අවබෝධ කර ගෙන ඇත.

4. නීතියෙන් නියම වූ අපරාධකරුවෙකු හට සමාව දීම පිණිස ජනාධිපතිවරයාට ඇති බලය අධිකරණමය සමාලෝචනයට විෂය වේ. අපේ මතය අනුව, අපරාධකරුවෙකුට සමාව දීමට පෙර ගරු නීතිපතිවරයාගෙන් සහ අධිකරණ අමාත්‍යාංශයෙන් වාර්තාවක් කැඳවිය යුතුය. නීතිපතිවරයා හෝ අධිකරණ අමාත්‍යාංශය මේ අපරාධකරු හට සමාව දීම සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් ඉදිරිපත් කර නැති බව අපි දනිමු. මෙකී නිරීක්ෂණයන් අත්හළ නොහැකි වනුයේ, සමාව ලබාදිය යුතුව තිබෙන්නේ අධිකරණයට අපහාස කිරීමේ වරදට වන හෙයින්, අධිකරණයට අපහාස කිරීම කළ හැකි දෙයක් බවටත් අධිකරණයට හා නීතියේ නිලධාරීන් හට තිබෙන ගෞරවය සම්පූර්ණයෙන්ම නොතකා හැරිය හැකි බවටත් මින් ඉදිරියට පූජ්‍ය පක්ෂය විසින් සිදුකරන අපරාධවලදී දේශපාලන බලපෑම මත එබඳු සමාවක් ලබාගත හැකිය යන කාරණය පිළිබඳවත් එයින් මහජනතාවට සංඥා කෙරෙන හෙයිනි. සමාවක් ලබාදීමේදි නිසි උද්‍යෝගයෙන් යුතුව සහ නීතිය මත පාලනයේ අනුමිතීන් ප්‍රවේශමෙන් සලකා බලමින් එය සිදු නොකිරීම දණ්ඩන මුක්තියේ සංස්කෘතියට දායක වනු ඇත.

5. ආගමික නායකයන් යැයි කියනු ලබන තැනැත්තන් කිහිප දෙනෙකු විසින් ජනාධිපති සමාව සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශය වෙත යොමු කර තිබෙන ලිපිය කියැවීමෙන් අපි විමතියට පත්ව සිටින්නෙමු. අප අවධාරණය කරන්නේ අපරාධකරුවෙකුට සමාවක් ලබාදීම අරබයා බුද්ධ ශාසන අමාත්‍යාංශයට කිසිදු නීත්‍යානුකූල භූමිකාවක් නොමැති බව ය.

6. මෙය, අධිකරණයේදී පළ කළ සිය තර්ජනාත්මක හැසිරීම මෙන්ම රජයේ නීතීඥවරයෙකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ද සිර දඬුවමකට නියම වූ අපරාධකරුවෙකු පිළිබඳ දුර්ලභ කාරණයකි. ඒ අනුව ඔහුට සමාව දීම විසින් අධිකරණය සහ නීතිපති දෙපර්තමේන්තුව වෙත බියකරු බලපෑමක් එල්ල වනු ඇත.

7. මෙකී අපරාධකරුට සමාව දීම සාධාරණීකරණය කරමින් ඔහු බුද්ධාගමට දැවැන්ත මෙහෙයක් කළ බව යෝජනා කරමින් අවාසනාවන්ත අයුරින් මාධ්‍ය වාර්තා ගොඩනැගෙන අයුරු අප දැක තිබේ. එසේ ප්‍රචාරණය කරනු ලබන ස්ථාවරයට පටහැණිව පෙනී යන්නේ ඥානසාර හිමි මේ රටේ වාර්ගික සහ ආගමික සහජීවනයට එරෙහිව ක්‍රියා කළ කලහකාරී සහ ප්‍රචණ්ඩකාරී පුද්ගලයෙකු සහ සක්‍රිය දේශපාලකයෙකු වූ බව ය.

8. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුව සහ දේශපාලනික වැදගත්කමකින් යුතු, විශේෂයෙන්ම හමුදාවට එරෙහිව දැනට ඇසෙමින් පවත්නා සෙසු සියලූ නඩුවලට ඔහුගේ නිදහස් වීම බරපතළ හා දරුණු බලපෑමක් ඇති කරන බව අපට නිසැක ය.

9. එබඳු සමාවක් ලබාදීම මගින් ශ්‍රී ලංකාවේ විනිර්මුක්තිය (දණ්ඩමුක්තිය) තවදුරටත් ශක්තිමත් වනු ඇති අතර, වින්දිතයන් සහ සාක්ෂිකරුවන් යුක්තියේ පිහිට පැතීමෙන් අධෛර්යමත් වනු ඇත්තේ, සකල යුක්තික පද්ධතියම අසමත් බව එයින් පෙන්වාදෙන බැවිනි. විශේෂයෙන්ම නීත්‍යානුකූල අධිකරණමය කාර්යපටිපාටීන්ට බාධා කළ හා තර්ජනය කළ අපරාධකරුවෙකුව ජනාධිපතිවරයා විසින් ආරක්ෂා කරන බව මෙයින් ප්‍රත්‍යක්ෂ කරන හෙයින් මෙමගින් ද සෘණාත්මක පූර්වාංගයක් නිර්මාණය කරනු ඇත. තවද ගරු නීතිපතිවරයා සහ නීතිපති ධුරය කෙරෙහි පවතින ගෞරවය ද එයින් හීන කර දමනු ඇත.

10. ඥානසාර හිමිට සමාවක් ප්‍රදානය කිරීමේ තීරණය පිළිබඳ පවතින පුළුල් මහජන අනුමිතීන් සලකා බලන ලෙසටත්, එබඳු සමාවක් විසින් සිදුකළ හැකි අතිදැවැන්ත සෘණාත්මක බලපෑමට එරෙහිව තීරණයක් ගන්නා ලෙසත් අපි ජනාධිපතිවරයාට ආයාචනා කරන්නෙමු. එසේම එබඳු බලය අයුතු ලෙස යොදාගැනීමක් හෙළා දැකීම පිණිසත් එයට විරෝධය පෑම පිණිසත් පිළියම් යෙදීම පිණිසත් හැකි සියලූ ආකාරවලින් ක්‍රියා කිරීමට අප විසින් කටයුතු කරනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතීඥයෝ
කැඳවුම්කරුවන් වෙනුවෙන්,

ලාල් විජේනායක
කේ.එස්. රත්නවේල්
ජේ.සී. වැලිඅමුණ
සුදර්ශන ගුණවර්ධන
සුදත් නෙත්තසිංහ
ප්‍රබෝධ රත්නායක
හර්ෂික සමරනායක

Archive

Latest news

Related news