Friday, April 26, 2024

සිරිසේනගේ ඒකාධිපති වියරුව නොහොත් පණ්ඩිතයා පා නොතබන පොළොවෙහි මෝඩයා උඩ පැන නැටීම.-

ජායාරූපය: පිලිපීන ජනාධිපතිගේ නිල සහ නිල නොවන මිනීමරු කල්ලි අසරණ මිනිසුන් දස දහස් ගණනක් බල්ලන් බළලුන් මෙන් පාරවල්වල මරාදමති. ( පිලීපීන් ස්ටාර්)

අහම්බයකින් ජනාධිපතිවරයා බවට පත්වීමට අවස්ථාව ලද සිරිසේන තමන්ට බලය ලබාගැනීම සමග ඔහුගේ හිස බලය නිසා තෝන්තු කරගත් බව දිනෙන් දින පෙන්නුම් කරයි.

ඔහු මුලින්ම තමනට බලය ලබා දීමට මුල් වූ මිනිසුන්ට එරෙහිව, ඔහු එදා ඔහුගේ විරුද්ධකරුවන් යයි හෝ ඔහුව මරාදැමීමට බලා සිටින පුද්ගලයින්යයි හැඳින්වූ අය සමඟ අත්වැල් බැඳ ගනී. ඒ තමනට තවදුරටත් බලයෙහි දිගින් දිගට රැඳී සිටීමට ඇති කෑදර කම නිසාවෙනි. ඔහු තම බලය අනිසි ලෙස පාවිච්චි කරමින්, ඇත්තෙන්ම නීතිවිරෝධීව තම බලය පාවිච්චි කරමින්, හැසුරුණු ආකාරය රටේ පුරවැසියන්ගේ පිළිකුලට මෙන්ම ලෝකයේ අපවාදයටද ලක්වූ අතර ලංකාවේ නීතිය සහ අධිකරනය විසින් ඔහුව එක්තරා දුරකට හීලෑ කරනු ලැබුවා වුවත්, ඔහු ඒවායෙන් ඉගෙන ගත් බවක් නම් පෙන්නුම් නොකරයි. යම්කිසි හෝ බුද්ධියක් ඇති මිනිසකු නම්, හැදියාවක් ඇති මිනිසකු නම්, තමන්ට වැරදීම් සිදු වූ විට ඒවා නිවැරැදි කර ගැනීමට ඉන්පසුවවත් වගබලා ගනී. අඩුමතරමින් උත්සාහ ගනු ලබති. නමුත් සිරිසේන තමන් කළ වැරදි නිසා රටක්ම අවුලක ගිලෙනු දැක්කා වුවත්, නීතිය ඉදිරියේ තමා කලදේ වැරදි බව ඔප්පු වූවා වුවත්, තමාගේ වැරදි තමා තේරුම් ගත් බවක් දිගින් දිගටම පෙන්නුම් නො කරමින් සිටී. නූතන ලොව ජනාධිපති වරයෙක් ලෙස නොව මධ්‍යතන යුගයේ රජකුගේ එසේ නැත්නම් මධ්‍යතන යුගයේ ප්‍රාදේශීය පාලකයෙකුගේ හැසිරීමක් ඔහු දිගින් දිගටම පෙන්නුම් කරමින් සිටී.

දැන් ඔහුගේ අලුත්ම නාඩගම වී ඇත්තේ ලෝකයේ අපහාසයට ලක් වී තිබෙන ජනාධිපති වරයෙක් වන පිලිපීන ජනාධිපතිවරයා මුණ ගැසී ඔහුගෙන් ඉගෙන ගැනීමට සූදානම් වීමයි. මෙම පිලිපීන ජනාධිපතිගේ නිල සහ නිල නොවන මිනීමරු කල්ලි අසරණ මිනිසුන් දස දහස් ගණනක් බල්ලන් බළලුන් මෙන් පාරවල්වල මරාදමනු ලබයි. සමහර තැනක ඔහුගේ මිනීමරුවන් පවුල්පිටින් ඝාතනය කරන්නේ ගැබිනියන්ද සමගිනි. මෙම ජනාධිපති ඩුටර්ටේ හැසිරෙන්නේ පිස්සු බල්ලෙක් ලෙසිනි. ඔහු රටේ නීතිය තුට්ටුවකට මායිම් නොකර ක්‍රියා කරයි. ඔහු ලෝකයේම අපහාසයට පත් අයෙකි. නමුත් සිරිසේනට ගුරුවරයෙක් වී සිටින්නේ ඔහුය. ඇත්තෙන්ම මෙය අප රටටම ජනාධිපති සිරිසේන කරන අපහාසයකි. මිනිසුන් දස දහස් ගණනින් මරා දැමුවා වුවත් පිලිපීනය මත්ද්‍රව්‍ය වලින් නිදහස් වූ රටක් නොවේ. ඒදා මෙන්ම අදත් මත් ද්‍රව්‍ය වලින් පිරි ඉතිරි ඇති රටකි. මත්ද්‍රව්‍ය උවදුර ඇතිවීමට හේතු ගණනාවක් ඇත. ඒවාට විසඳුම් සොයනවා වෙනුවට මත්ද්‍රරව්‍ය පාවිච්චි කරන මිනිසුන් මරා දැමීම යනු කුසගින්නට විසඳුම ලෙස කුසගින්න ඇති උන් මරා දැමීම වැනි කාලකන්නි වැඩක් බව මෙම සිරිසේනට නොවැටහීම ඇත්තෙන්ම කණගාටුවකි.

සිරිසේන නොදන්නා කාරණය නම් පිලිපීනය කිසිම දිනක මහා පරිමාණ මත්ද්‍රව්‍ය වෙළඳුන් එකෙකුටවත් දඬුවම් කර නොමැති බවයි. රටේ රාජ්‍ය දුර්වලකම් නිසා අන්ත දුගී බවට පත්වී සිටින අසරණ මිනිසුන් පිරී සිටින රටක, කෝටිගනන් රාජ්‍ය දේපල දේශපාලන හිතවතුන් ගසාකන රටක, මත් ද්‍රව්‍යය පැනයට විසඳුම් සොයන ක්‍රමවේදයන් සොයනවා වෙනුවට ලැබුන දේශපාලන බලය අනිසි ලෙස යොදාගෙන මිනීමරන මිනී මරුවකු අනුගමනය කරනවාය කියා සිරිසේන පවසන්නේ ඔහු අදහන ආගම වන අවිහිංසාවාදය මුල්කොටගත් බෳද්ධ ආගමේ සංඟයාවහන්සේලාද ඔහු ඉදිරියේ තබාගෙනය.

මත්ද්‍රවය වලට ඇබ්බැහි වී සිටින මිනිසුන් ජනාධිපති ඩුටර්ටේ ගේ ගොදුරු බවට පත් වී සිටී. සිරිසේන නොඇසූ ප්‍රශ්නය නම් දැන් පිලිපීන ජනාධිපතිවරයා මෙතෙක් මිනිසුන් දස දහස් ගණනක් මරා දමා ඔහුගේ මත්ද්‍රව්‍ය යුද්ධය ජයගෙන ඇත්ද යන්නයි. පිලිපීනය මත්ද්‍රව්‍ය පාවිච්චිය, වෙළඳාම අඩු වී ඇත්ද යන්නයි. මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුයන් කොපමනකට මරන ඳඬුවම් දී තිබේද යන්නයි. සිරිසේන ප්‍රශ්නවලට විසඳුම් සොයන්නේ දැනුවත් වැඩිහිටියකු ලෙස නොව බහ නොතේරෙන නොදරුවකු ලෙසිනි. නමුත් බහ නොතේරෙන නොදරුවකු රටේ විධායක ජනාධිපතිවරයා වූවිට තත්වය බැරෑරුම්ය. දැන් දැන් පෙනෙන විදියට ඉක්මනින් මොහු හීලෑකල යුතුය. නැතිනම් ඔහු තම බලය අනිසි ලෙස පාවිච්චි කරමින් රටට ජනතාවට මහත් විපතක් ළඟා කරන බව පැහැදිලිය.

පසුගිය දිනක සිරිසේන ජනාධිපති මත්ද්‍රව්‍ය වෙළඳුන් මරා දමන බවත් ඒ වගේම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයද මරා දැමීමට තීරණය කළ බවත් දැනටමත් රජයේ හමුදාවන් වලට ඒ බාර දී ඇති බවත් ප්‍රසිද්ධියේ පවසයි. රටක ව්‍යවස්ථාවක් හෝ නීතිපද්දතියක් පවතින්නේ කුමක් සඳහා ද? යන්න මෙම ජනාධිපති සිරිසේන නොදන්නා  බව පෙනේ. ජනාධිපතිවරයකුට තමා කැමැති ආකාරයෙන් රටේ මොනයම්ම හෝ වරදක් කළ අයෙකු මරා දැමීමට අණදීමට අයිතියක් තිබේද? එසේ හැකි නම් රටකට නීති පද්ධතියක් පවතින්නේ කුමටද. අධිකරණය පවතින්නේ කුමන කාරනයකටද? ඔහු මේ කරන්නේ රටේ නීතිය තුට්ටුවකට මායිම් නොකිරීම නොවන්නේද? ඒවාගේම පුවත්පතේ පලවී ඇති රූපවලින් පෙනෙන්නෙ එම රැස්වීමේදී සියලු දෙනා ඒක්තරා ප්‍රමාණයකට අත් ඉස්සරහට ඔසවා අල්ලාගෙන ආචාර කිරීමකි. මෙම රූපය අපට සිහිගන්වන්නේ නාසි ජර්මනියේහයිල් හිට්ලර්කියමින් ෆැසිස්ට්වාදීන් නට්සිවාදීන් ආචාර කළ ආකාරයයි. ඇත්තෙන්ම නීතියක් නොමැතිව මිනිසුන් මරා දැමීමට අනදීම යනු ෆැසිස්ට්වාදී ක්‍රමයයි. සිරිසේන දවසින් දවස ලංවෙමින් තිබෙන්නේ පැසිස්ට්වාදය දෙසට බව නම් පැහැදිලි ය.

 

 

Archive

Latest news

Related news