‘ලසන්ත ඝාතනය: අණ ගෝඨාගෙන්ද? පරීක්ෂණ ඇරඹේ’ මේ අපේ ගියවර පුවත්පතේ මුල් පුවත. ඇත්තටම විමර්ශන අංශ මෙම ඝාතනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයැයි සැක කරන්නේ ඇයි?.. ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නට තමන් සූදානම් යැයි කියන පසුබිමක මේ කරුණ සනාථ කරන තොරතුරු සොයා යෑම බෙහෙවින් වැදගත් ය. ආවාට ගියාට ඔහුට විරුද්ධව කරුණු කීම ඔහුට විරුද්ධව මඩ ප්‍රචාර දියත්කරනවා යැයි පාඨක සැකයට තුඩු දෙන්න පුළුවන්.. එනිසා සොයා යමු..
මුල් පරීක්ෂණ
ලසන්ත වික්‍රමතුංග දෙහිවල අත්තිඩියේදී බෝල්ට් ගන් වර්ගයේ ආයුධයකින් හිස සිදුරුකර ඝාතනයට ලක්කරන්නේ 2009/01/08 දාවකය. ඒ මුහුණු ආවරණය කරගෙන ජැකට් දමාගෙන යතුරු පැදියක පැමිණි ආරක්ෂක අංශවල මිනීමරුවන් විසින් ය. ඒ පිළිබඳව සනාථවන තොරතුරු දැන් බොහෝ රහස් පොලිස් විමර්ශන කණ්ඩායම සතුය. මෙම ඝාතනය සිදුවිමෙන් පසු ගල්කිස්ස පොලිසියේ අපරාද අංශය මේ පිළිබඳව පරීක්ෂණ කරන අතර, එහෙත් ඒ පිළිබඳව සෑහිමකට පත් නොවන ලසන්තගේ පවුලේ සාමාජිකයින් ගල්කිස්ස උසාවියට කරන ඉල්ලීමක් මත අධිකරණය මෙම පරීක්ෂණ අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත්කරන්නේය. ඒ 2009/11/24 දිනය. ඒ අනුව 2009/11/25 වැනි දින මෙම පරික්ෂණ රහස් පොලිසිය විසින් ගල්කිස්ස පොලිසියෙන් තමන් යටතට ලබාගෙන ඇත. එම ලබාගැනීමත් සමග ලසන්ත ඝාතන පරීක්ෂණ සක්‍රීය වන්නේය. ඒ අනුව රහස් පොලිසිය ලසන්ත පසුපස පැන්නු දූරකථන අංක 5ක් සොයාගන්නේය. ඉන්පසුව රහස් පොලිසිය එම දූරකථන අංක 5 පිටුපස ගමන් කරන අතර එහිදී එම අංක ලබාගත්තේ යැයි කියන ජේසුදාසන් හමුවන්නේය. එහිදී ජේසුදාසන් අත්අඩංගුවට පත්වෙන අතර ඉන්පසුව රහස් පොලිසිය භාරයේ තිබුණ ලසන්ත ඝාතන පරීක්ෂණ ත්‍රස්තවිමර්ශන කොට්ඨාශයේ වාකිස්ට මහතා යටතට පැවරෙන්නේය. එයට හේතුව ලෙස එවක පොලිස්පති මහින්ද බාලසුරිය කියන්නේ රහස් පොලිසියට වැඩ වැඩි නිසා මෙම පරීක්ෂණ ත්‍රස්තවිමර්ශන කොට්ඨාශයට මාරුකර යවන බවය. මේ ගෝඨාභය මෙම ඝාතනයට අණ දුන්නා යැයි සැක සිතෙන එක තැනැක් ය. මෙම මාරුකිරීමේදි ලසන්ත ඝාතන පරික්ෂණය පමණක් නොව කීත්නොයාර් ට සහ උපාලි තෙන්නකෝන්ට පහර දීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණද ත්‍රස්තවිමර්ශන කොට්ඨාශයට මාරුවී යන්නේය. පසුව අනාවරණය වන්නේ මෙම සිද්ධීන් තුනම එකම කණ්ඩායමක් විසින් කරන ලද ක්‍රියා බවය. මෙම කණ්ඩායම කොළඹ ට්‍රිපෝලි යුද හමුදා බුද්ධි කඳවුරේ සිටි බුද්ධි කණ්ඩායමක් බව දැන් තොරතුරු අනාවරණය වී ඇත. මෙම සිද්ධි සියල්ල වන කාලයේ ආරක්ෂක ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ බව මතක තබා ගත යුතුය.
ෆොන්සෙකා යටතේ සිටි සෙබළුන් අත්අඩංගුවට
2010/ 02/ 08 වැනි දින ත්‍රස්තවිමර්ශන කොට්ඨාශය විසින් යුද හමුදා සෙබළුන් 17 දෙනෙකු අත්අඩංගුවට ගන්නේය. මෙම කාලය 2010 ජනාධිපතිවරණය නිමවී ඒ ආසන්නතම කාලයයි. පරාජිතයා හිටපු යුද්ධ හමුදාපති සරත් ෆොන්සෙකාය. මේ අත්අඩංගුවට ගන්නේ ඔහු යටතේ ඔහුට සමීපව සේවය කළ හමුදා සෙබළුන් කණ්ඩායමක් ය. සිත් අලවන කාරණය වන්නේ මොවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන පොලිස් ඇපමත මුදා හැරීමය. එය එහෙම වන්නේ කෙසේද?.. එය දන්නේද එවක පොලිසිය පමණි. මෙම අත්අඩංගුවට ගැනීම සිද්ධකරන පොලිස් නිලධාරියාවන අයි. පී ජයසුන්දර ඒ පිළිබඳව සටහන් තබන්නේ ඩී අයි ජී කියපු නිසා, ඕ යි සී කියපු නිසා අත්අඩංගුවට ගත්තා කියාය. රජය පෙරළන්න කුමන්ත්‍රණය කලා යැයි කියමින් මේ පිරිස අත්අඩංගුවට ගත්තද මොවුන් සැබවින්ම අත්අඩංගුවට ගෙන තිබුණේ මෙම ඝාතනයට සරත් ෆොන්සෙකා හසුකිරීම සඳහාය. එහෙත් මේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව කිසිදු තොරතුරක් ගල්කිස්ස අධිකරණයට පොලිසිය වාර්තා කර නැත. ඊට අමතරව මේ අත්අඩංගුවට ගත් කිසිවෙක් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට හෝ ඉදිරිපත් කර නැත. එවක ත්‍රස්තවිමර්ශන කොට්ඨාශයේ වැඩ මෙහෙම නම් ඒ වැඩ සඳහා කවුරුන් අණ දෙන්නට ඇතිද?. එවක ආරක්ශක අමාත්‍යාංශ සහ ආරක්ෂක අංශ කටයුතු කළේ කාගේ රිජු නියෝග මතදැයි දන්නා ඕනිම කෙනෙකුට එන්න පුලුවන් එකම එක සැකයකි. කෙසේ හෝ පොලිසියේ මේ හැසිරීමත් මෙම ඝාතනයට ගෝඨාභය සැකකරන්නට එක හේතුවක් ය. අනෙක් වැදගත්ම කාරනය වන්නේ ජේසුදාසන් සිරගතව සිට මියගියත් ඔහුගේ තොරතුරු මත අත්අඩංගුවට ගත් කොළඹ ට්‍රිපෝලි කඳවුරේ ප්‍රියවංශ යුද හමුදාවෙන් පඩි ලබමින් අවුරුද්දක පමණ කාලයක් සුවපහසු සිරගත ජීවිතයක් මෙම සිද්ධිය අරඹයා ගෙවා දැමීමය. මෙම ප්‍රියවංශගේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව හෝ වාකිස්ඨගේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය ට්‍රිපෝලි කඳවුර මූලික කරගෙන පරීක්ෂණ මෙහෙයවන්නේ නැත. මෙයත් ගෝඨාභය රාජපක්ෂ මෙම ඝාතනයට සැකකරන්නට හේතුවක් ය.
ලසන්ත ඝාතනයට පැමිණි යතුරු පැදිය
2009/01/26 වැනි දින පොලිස් මූලස්ථානයේ පොලිස්පතිතුමාට තොරතුරක් ලැබෙන්නේ ලසන්ත ඝාතනයට පැමිණි යතුරු පැදිය අත්තිඩිය ප්‍රදේශයේ ඇල මාර්ගයක දමා ගොස් ඇති බවය. එහෙත් දැන් අනාවරණය වී ඇති කරුණු කියන්නේ මෙම යතුරු පැදිය ගොඩගැනීම සඳහා පොලිසිය 25 වැනි දින සිට කටයුතු කර ඇති බවය. සූදානම් වී ඇති බවය. මේවානම් මාරම කතාය. ඒ අනුව පැහැදිලි වන්නේ, මෙම ඝාතන කතාව වෙනතක හැරවීම සඳහා මෙම යතුරු පැදි නාටකය නිර්මානය කර ඇති බවය. එය තව දුරටත් සනාථ වන්නේ 2015 රෙජීමය පාලන බලයෙන් බැසගිය පසු නැවත සක්‍රීය වන අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ නිසාය. නවතම පරීක්ෂණ තොරතුරු වලින් තහවුරු වී තිබෙන්නේ මේ යතුරු පැදි නාටකය මෙම ඝාතනය එල් ටී ටී ඊ සංවිධානය මත පැටවීම සඳහා කළ එකක් බවය. මෙහිදි හමුදා කණ්ඩායමක් විසින් වව්නියාවේ සෙට්ටිකුලම් හිදී, මෙම යතුරු පැදිය දෙමළ ජාතිකයින් දෙදෙනෙකු සමග පැහැරගෙන ඇත. ඒ 2009/01/18 වැනි දිනය. මෙහිදී පැහැර ගැනීමට ලක්වෙන්නේ විශ්වකුමාර් සහ බාල් රාජ් ය. විශ්වකුමාර් යතුරු පැදියේ හිමිකරුවන අතර බාල් රාජ් බියරයක් බීම සඳහා නගරයට යෑමට බයිසිකලයට නැගි ඔහුගේ හිතවතෙක් ය. මෙහිදී ඇසින් දුටු එක සාක්ෂියක් පවසන්නේ මෙම පුද්ගලයින් දෙදෙනා හමුදා ජීෆ් රථයට නන්වාගෙන එම රථයේ පැමිණි පුද්ගලයෙක් යතුරු පැදියේ ගමන් කළ බවය. ඒ අනුව ඔහු හමුදා සෙබළෙක් වන්නට ඇත. ඔවුන් එලෙස බීර බොන්න ගියා ගියාමය. නැවත පැමිණියේ නැත.
ඉන්පසු දම්බිරිගස්වැව ප්‍රදේශයෙන් වෙඩි තබා ඝාතනය කර පසුව පිළිස්සූ මළ සිරුරු දෙකක් හමුවෙන අතර එම මළ සිරුරුවල ඩී එන් ඒ විමර්ශන මගින් අනාවරණය වන්නේ මෙම පුද්ගලයින් දෙදෙනා පැහැරගැනීමට ලක්වූ විශ්වකුමාර් සහ බාල් රාජ් බවය. එදා ලසන්ත ඝාතනය ත්‍රස්තවාදීන් කළා යැයි කීම සඳහා නිර්මාණය කළ නාටකය අසරණයින් දෙදෙනෙකුගේ ජීවිත බිලි ගත්තේ එසේය. මෙවැනි ඝාතන ඉහළ නියෝගයකින් තොරව කළ හැකිද? ඉන්පසුව මෙම බයිසිකලය අධිආරක්ෂිත මුරකපොලු පසුකර කොළඹ ආවේ කෙසේද?.. ඒඅනුව පැහැදිලි වන්නේ මේ ඝාතනයන් දෙකද යතුරුපැදිය රත්මලාන අත්තිඩියේ ඇලට පැමිණිමේ සියල්ලද ඉහළ උපදෙස් සහ මගපෙන්වීම මත සිදුකර ඇති බවය. මෙම සිද්ධියද ගෝඨාභය රාජපක්ෂ මෙම ඝාතනයට සැකකිරීම සඳහා එක හේතුවක් ය.
ගල්කිස්සේ විමර්ශන
මෙම ඝාතනය සිදුවූ පසු ඒ පිළිබඳව මුලින්ම පරීක්ෂණ ආරම්භ කරන්නේ ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයයි. එහිදී සිද්ධවී තිබෙන්නේ කුමක්ද? පරීක්ෂණ කිසිවක් සිදුවී නැත. එහෙත් මෙම ඝාතනයේ සාක්ෂි මකාදැමීමට සාක්ෂි වසන්කිරීමට ගල්කිස්ස පොලිසිය ලොකු උනන්දුවකින් කටයුතු කර ඇත. ඒ අනුව ලසන්ත වික්‍රමතුංග ගේ සටහන් පොත අතුරුදන් වන්නේය. බොහෝ ලිපි ලේඛණ විනාශ වන්නේය. ලසන්ත ඝාතනය පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අනාවරණය කළ ලාල් වැලන්ටයින් නැමැත්තාගේ සාක්ෂි පිළිබඳව කිසිදු සැළකිල්ලක් දක්වා නැත. මේවායින් පෙනෙන්නේ ගල්කිස්ස පොලිසිය මෙම ඝාතනය සිදුවූ මුල් අවදියේම එය වසාදැමීමට උනන්දුවෙන් කටයුතු කර ඇති බවය.
ගල්කිස්ස පොලිසියේ මෙම හැසිරීම පිළිබඳව 2015 සැප්තැම්බර් මාසයෙන් පසුව අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ මෙහෙයවන අතර එහිදී මේ පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇත. එහිදී වැදගත්ම සාක්ෂිය ලැබෙන්නේ අයි පී සුගතපාලගේ ප්‍රකාශය හරහාය. එහිදී ඔහු පවසන්නේ එවක බස්නාහිර ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර ‘ මේක ගෝඨාගේ වැඩක්. මිනිහට තමයි ලසන්ත මරන්න ඕනි වෙලා තිබුණේ’ යැයි තමන්ට පැවසූ බවය. ඒ අනුව පරීක්ෂණ නිසි ලෙස සිද්ධ නොවුණ බවය. මෙහිදී එවක පොලිස්පති මහින්ද බාලසූරියද හැසිරී ඇත්තේ මෙම පරික්ෂණ සගවනු රිසියෙනි. තත්ත්වය එසේනම් ඔවුන් එලෙස කළේ කාගේ උවමනාව මතද?.. ඔවුන්ට ඉහළින් සිට ඒ සඳහා බලපෑම් කළේ කවුරුන්ද?… සිතා බැලිය යුතුය. ලසන්තගේ ඝාතනය පිළිබඳව ගල්කිස්ස පොලිසියේ මෙම හැසිරීමද මෙම ඝාතනයට අණ දීම පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ සැකකරන්නට එක හේතුවක් ය.
පවුලේ සැකය
ලසන්ත වික්‍රමතුංගගේ දියණිය, බිරිඳ, සහෝදරයා ආදී පවුලේ සියල්ලන්ගේම සැකයද මේවනවිට එල්ලවන්නේ ගෝඨාභ රාජපක්ෂ වෙතය. ඔවුන් එය අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලෙස ලබාදී ඇත. එයට හේතුව මිග් යානා ගණුදෙනුව පිළිබඳව ලසන්ත වික්‍රමතුංග එවකදී සන්ඩේ ලීඩර් පුවත්පත හරහා කරනු ලැබූ හෙළිදරව්වය. එම හෙළිදරව්ව පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ බෙහෙවින් කෝපයට පත්වී සිට ඇතැයි ඔහුගේ සමීපතමයෝ බොහෝ දෙනෙක් අනාවර්ණය කර ඇත. මාධ්‍යවේදියෙක් ලසන්ත වික්‍රමතුංග පිළිබඳව සම්මුඛ සාකච්ඡාවකදී ගෝඨාභය රාජපක්ෂගෙන් විමසා සිටි විට ඔහු කෝප වී අසන්නේ ‘ලසන්ත කියන්නේ කවුද?’ කියාය. එම හැසිරිමෙන්ද ලසන්ත පිළිබඳව එවක ආරක්ෂක ලේකම්වරයාට තිබුණු කෝපයේ පරිමාව සිතාගන්නට අමාරු නැත. මේ වනවිට මිග් යානා ගනුදෙනුව පිලිබඳව අනාවරණය වී තිබෙන කරුණු අනුව පෙනෙන්නේ ලසන්ත වික්‍රමතුංග එවකදී කරනු ලැබූ හෙළිදරව්ව බොහෝ දුරට නිවැරදි බවය. ඒ අනුව මෙම ඝාතනයට ගෝඨාභය රාජපක්ෂ අණ දුන්නේ දැයි සැකකරන්නට එයද එක හේතුවක් ය. මේ සියළු කරුණු වඩාත් සවිස්තරව ඉදිරිපත් කරමින් පසුගියදා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස අධිකරණයට කරුණු ගොනු කළේ, මේ සියළු තොරතුරු මත සිට මෙම ඝාතනයට ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ දැයි ඉදිරි විමර්ශන කරන බවය.
මේ අනුව එක පැත්තකින් තමන්ගේ දෙමාපියන්ගේ සොහොන් සෑදීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කලාදැයි අධිකරණය ඉදිරියේ ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව නඩුකටයුත්තක් විමර්ශනය වෙමින් තිබෙන අතර ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණය ආදී බොහෝ පරීක්ෂණද ඔහු සම්බන්ධයෙන් පැවැත්වෙමින් තිබෙන්නේය. ඒඅනුව ජනාධිපති ධූරයට තරග කිරිමේ ඔහුගේ සිහිනයට කුමක් වියහැකිද?….කාලය විසි එය තීරණය කරනු ඇත
මුහුණු පොතිනි.