Friday, March 29, 2024

ජනාධිපතිවරයෙකුගේ මාරක ගමනක් නවතා ගැනීම සහ රටක් මඩ වගුරක් වීම

මහින්ද රාජපක්ෂ පසුගිය සෙනසුරාදා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමත්, අගමැති වශයෙන් රනිල් වික්‍රමසිංහ පසුගිය ඉරිදා පත් කරනු ලැබීමත් සමග, ඔක්තෝබර් මාසයේ සිට මේ රට ගැලී සිටි ව්‍යවස්ථා අර්බුදයේ අවසානයකට අප ළඟා වෙමින් සිටින බවක් පෙනේ. මේ අර්බුදය හටගත්තේ, ජනාධිපති සිරිසේන විසින්ම පාර්ලිමේන්තුව හරහා ගෙන එන ලද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පටහැනිව ඔහු විසින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහව අදූරදර්ශී ආකාරයෙන් එම ධුරයෙන් පහකරනු ලැබීමත් සමග ය.

මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොතිබුණු අවස්ථාවක ජනාධිපතිවරයා විසින් ඔහුව අගමැති ධුරයට පත් කරනු ලැබීම මගින් මුළු රටම අවුලකට ඇද දමන ලදි. එසේම ඒ ක්‍රියාව, ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධීව කටයුතු කළ අවස්ථාවක් වශයෙන් ද සනිටුහන් වුණි. අලුත්තෙන් පත්කරන ලද අගමැති මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා ගත නොහැකි වූ විට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැර ඊළඟ මහ මැතිවරණයකට දින නියම කෙළේය.

එහි ප්‍රතිඵලයක් වූයේ ජනාධිපතිවරයාගේ එම ක්‍රියාව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේත්, අලුත් අගමැතිවරයෙකු ඇතුළු අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීම අභියාචනාධිකරණය ඉදිරියේත් අභියෝගයට ලක්වීම ය. අගමැති රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් පෙන්වා ගැනීමට නොහැකි වූ පසු ඔවුන් කෙළේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමයි. ඒ සඳහා ඔවුන් හේතුවක් කර ගත්තේ, කතානායකවරයා පක්ෂපාතීව කටයුතු කරන්නේය යන චෝදනාවකි.

මෙහිදී, මහින්ද රාජපක්ෂට අගමැති තනතුර හෙබවීමට බලයක් නැති බව ප්‍රකාශයට පත්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 කුගේ අත්සනින් යුතුව අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කෙරුණි. ඒ අනුව, දෙසැම්බර් 3 වැනි දා නියෝගයක් නිකුත් කළ අභියාචනාධිකරණය, පෙත්සම විභාග කොට අවසන් වන තෙක්, මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය වාරණය කෙළේය. එහිදී දෙපාර්ශ්වයේම කරුණු දැක්වීම් සැලකිල්ලට ගැනීමෙන් පසුව අභියාචනාධිකරණය කියා සිටියේ බලයක් නැති පුද්ගලයෙකු අගමැතිවරයෙකු හෝ කැබිනට් ඇමතිවරයෙකු වශයෙන් කටයුතු කිරීම මගින් පිළිසකර කළ නොහැකි හානියක් රටට සිද්ධ විය හැකි බවයි.

අනතුරුව දෙසැම්බර් 13 වැනි දා සත්-පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක්, ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 9 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම ව්‍යවස්ථා විරෝධී බව ඒකමතිකව තීන්දු කෙළේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටවත්, හදිසි මහ මැතිවරණයක් කැඳවීමටවත් ජනාධිපතිවරයාට බලයක් නැති බව එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුනි. ඔක්තෝබර් 26 වැනි දා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහව එම ධුරයෙන් අහෝසි කිරීමේ පටන් ජනාධිපතිවරයා විසින් ඇති කළ අවුල මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග තවත් උග්‍ර විය.

ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් තිබිණැයි කියන සිද්ධිය අගමැති රනිල් වික්‍රමසිංහ විසින් බරසාරව සැලකිල්ලට ගෙන කටයුතු කෙළේ නැති බව ජනාධිපතිවරයාගේ එක් චෝදනාවකි. ඇත්ත වශයෙන්ම රනිල් වික්‍රමසිංහව එම ධුරයෙන් ඉවත් කිරීමට අවසාන වශයෙන් පාදක වුණේ එම කාරණය බව ජනාධිපතිවරයා කියයි. එහෙත් කණගාටුවට කාරණය වන්නේ, ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තිබූ එවැනි කුමන්ත්‍රණයක් පිළිබඳ කිසි සාක්ෂියක් ඒ පිළිබඳව කරන ලද පරීක්ෂණ මගින් හෙලිවී නොතිබීමයි. ඒ මගින් පැහැදිළි වී ඇත්තේ මේ ඝාතන කුමන්ත්‍රණ නාටකය මගින් මුළු රටක්ම අවුලකට ඇද දැමූ බවත්, මාස දෙකකට ආසන්න කාලයක් ආණ්ඩුවක් නොමැතිව ගමන්ට කිරීමට මේ රටට සිදු වූ බවත් ය.

මේ අතර, ‘අලුතෙන් පත්කළ ආණ්ඩුව’ පාර්ලිමේන්තුව තුළ යකා නැටීමත්, ඉවත් කළ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු පිහියක් වැනි ආයුධයක් පාර්ලිමේන්තුව තුළ තර්ජනාත්මකව ප්‍රදර්ශනය කිරීමත් සමග දෙපාර්ශ්වය අතර ගැටුම තවත් තීව්‍ර විය. කෙසේ වෙතත්, අභියාචනාධිකරණය මගින් රාජපක්ෂ ඇතුළු පිරිස වාරණය කරමින් දෙන ලද තීන්දුව ඉවත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප්‍රතික්ෂේප කිරීමත් සමග මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස් විය.

මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ ආණ්ඩුවකින් තොරව ගමන් ගත් රටට ඒ අර්බුදයෙන් ගොඩඒමට දැන් පිළිවන් වෙතැයි සිතිය හැකිය. තාවකාලික අයවැය යෝජනාවක් දැන් සම්මත කර ගත හැකිය. එවැන්නක් නොමැතිව, 2019 ජනවාරි මාසය වන විට මුළු රටම එක තැනක හිර වීමට තිබුණි. මන්ද යත්, ආණ්ඩකරණය සඳහා අවශ්‍ය කරන කිසි මූල්‍ය ප්‍රතිපාදනයක් සලසා ගැනීමේ වෙනත් ක්‍රමයක් නොවුණු බැවිනි. ලබන වසරේ ගෙවීමට නියමිත ඩොලර් බිලියනයකට වැඩි මුදල පවා සම්පාදනය කර ගැනීමේ හැකියාවක් අපට නොතිබුණි.

මේ අවුල් වියවුල් සියල්ල ඉදිරියට ඇදෙද්දී ජනාධිපති සිරිසේන එක දිගටම කියමින් සිටියේ, රනිල් වික්‍රමසිංහව අගමැති ධුරයට පත් නොකරන බවයි. කෙසේ වෙතත්, අවසානයේදී සිහි කල්පනාවෙන් යුත් යම් උපදෙසක් මත, පසුගිය දා (දෙසැම්බර් 16) රනිල් වික්‍රමසිංහ එම තනතුරේ පිහිටුවීමට ජනාධිපතිවරයාට සිදු විය.

මේ දෙමාසයක වින්නැහියෙන් රටට අත් වූ එක දෙයක් තිබේ. එනම් ජනාධිපති තනතුරත්, පාර්ලිමේන්තුවත් හෑල්ලුවට ලක්වීමයි. එසේම ඒ ප්‍රශ්නය නිසා පෙන්නුම් කළ තවත් කාරණයක් ද තිබේ. එනම්, තනි පුද්ගලයෙකුගේ අතේ බලය ගොනුවන විධායක ජනාධිපති ක්‍රමයක් විසින් රටකට කළ හැකි විපත කොතරම් ද යන්නයි. ඒ අනුව, මේ දක්වා සෑම දේශපාලන පක්ෂයක් විසින්ම විටින් විට හෙළාදැක ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ හදිසි වැදගත්කම අපට ඒ මගින් අවබෝධ කර දී තිබේ.

2018 දෙසැම්බර් 17 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ A President Stopped in his Tracks & A Country in a Quagmire
නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Archive

Latest news

Related news