Friday, March 29, 2024

ජනාධිපති සිරිසේන ජාතියෙන් සමාවගත යුතුය : බලන් එපුර පායා ඇති එසඳ බබලන සැටි සත්‍යයෙන් සහ යුක්තියෙන්

 රාවණ විසිනි.

 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් කැඳවීමේ නියෝගයට අදාළ තීන්දුව මීට ස්වල්ප මොහොතකට පෙර උපරිමාධිකරණයේ අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ලබා දෙනු ලැබීය. ජාතියේ අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය පුළුල් කරමින් අගවිනිසුරු මේ අවස්ථාවේදී ලබා දිය හැකි උපරිම තීන්දුව යුක්තියේ නාමයෙන් ලබා දී ඇත. ඔහුට සහ අනෙකුත් විනිසුරුවරුන්ට රටේ ජනතාවගේ ගෞරව ප්‍රණාමය ඉහළින්ම හිමිවේ. එසේම, ජනාධිපතිවරයාගේ තීන්දුව සම්බන්ධයෙන් තම අදහස් ප්‍රකාශ කරමින් මෙරට වෙසෙන අසරණ ජනතාවට ඇති එකම පිහිටවන අධිකරණය තුළදී යුක්තිය පසිඳලීමට කටයුතු කළ සියලුම දෙනාට ජනතාවගේ ගෞරවය හිමි වේ.

 මෙය ඓතිහාසික තීන්දුවකි. බලයට කෑදර වී තම හැඟීම් සහ ආශාවන් සංසිඳුවා ගැනීම සඳහා රටේ මූලික නීති පද්ධතිය තමන්ගේ බූදලයක් කර ගැනීමට ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මෙරට උපරිමාධිකරණය විසින් ඉතාම යහපත් අකාරයෙන් ඉගැන්විය යුතු පාඩම උගන්වා තිබේ.  අතුරු තහනම් නියෝගය සැලකිල්ලට ගනිමින් දෙසැම්බර් මාසය වන තෙක් බලා සිට ඉතුරු වී ඇති තුරුම්පුවක් කොහෙන් හෝ උස්සා  පවතින ව්‍යාකූලත්වය තව දුරටත් වැඩි කිරීම සඳහා වූ මරි වැඩක් එතුමාණෝ නොකරාවී යැයි රටේ ජනතාව අපේක්ෂා කරන්නෙමු. දැන් ඇත්තේ ළිං කටෙන් ගොඩ ඒම සඳහා ගෞරවාන්විත මාර්ගයක් තනා ගැනීම මිස, ළිඳෙන් උමගක් තනාගෙන අඝාදයක් වෙතට ගොස් පවතින තත්වය තවදුරටත් ව්‍යාකූල කිරීම නොවේ.

 උපරිමාධිකරණයේ තීන්දුව දේශපාලනික පක්ෂ වල හෝ අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයක් ලෙස සලකා මීට වෙස්මුහුණු පැළඳවීමට අපි සූදානම් නැත. මෙය රටේ ජනතාව ලැබූ ජයග්‍රහණයකි. එසේම, වික්‍රමසිංහ මහතා මෙවැනි වරදක් සිදු කරන්නේ නම් ඔහුටද මෙරට නීතිය එක හා සමානව බලපෑ යුතුය. නීතිය කාටත් පොදුය. එහි ජීවය පවතින්නේ, සදාරණත්වය සහ සමානාත්මතාවය මතය.

 1978 සිට රාජ්‍යයේ ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ මුවාවෙන්,  බල කාමයෙන් පිරුණු මිනිසෙක් තනා ඔහු නීතියටත් ඉහළින් තබා රටේ ජනතාව  වළපල්ලට ඇද දැමීමට අවශ්‍යය සමාජීය සහ ආර්ථික කාරණා නිර්මාණය කිරීම අහවර වීම 2015 දී ආරම්භ වූයේ යැයි බොහෝ දෙනෙකුට විශ්වාසයක් තිබුණි. ජනාධිපති සිරිසේන මහතා මෙරට පමණක් නොව මුළු ලෝකයේම ජනාධාරයට පාත්‍ර වූයේ එම විශ්වාසයේ ප්‍රතිඵලයක් ලෙසය. නමුත් අවාසනාවට මෙන් ඒ සියලු බලාපොරොත්තු විනාශ මුඛයට ඇද දමමින්, ඔහු තම ජීවිතයේ දේශපාලනික වශයෙන් උපයා ගත් දෑ බලතණ්හාව හමුවේ දියාරූ  කරනු ලැබීය.  වසර තුනක් වැනි ඉතාම කෙටි කාලයක් තුළදී ජනාධිපතිවරයාගේ දේශපාලනය එවැනි අඳුරකට තල්ලු වී සැබවින්ම කනගාටුදායකය.

 පසුගිය ඔක්තෝම්බර් මස 26 වැනි දින ජනාධිපති සිරිසේන මහතා මෙරට ඉතිහාසයේ කිසිම දිනක සිදු නොවූ විපර්යාසයක් දේශපාලනය තුළ සිදු කළේය. ඉන් පසු තමන් ගත් තීරණය ගැන පුරසාරම් දෙඩීම පමණක් නොව තම දේශපාලන ප්‍රතිවාදියා හෑල්ලුවට ලක් කරනු ලැබුවේ ඔවුන්ගේ පෞද්ගලික ජීවිත සම්බන්ධ තොරතුරු ප්‍රසිද්ධ වේදිකාවට රැගෙන එමිණි.  බලයේ සිටින ජනාධිපතිවරයකුගේ හැසිරීම හාස්‍යයට ලක් වුවා පමණක් නොව ඔහුට සහය වූ ජනතාවගේ බරපතළ උඅදහසට එය හේතු විය. ඔහුගේ දේශපාලන තීන්දු රටේ සමස්ථ පරිපාලන ව්‍යුහයම ව්‍යාකූල කරනු ලැබීය.  ඉන් පසු පාර්ලිමේන්තුව නොවැම්බර් 16 වැනිදා තෙක් කල්දැමු ජනාධිපතිවරයා, පසුව එය නොවැම්බර් 14 දක්වා වෙනස් කරනු ලැබීය.  දේශපාලන තත්වය තමන්ට එරෙහිව ක්‍රමයෙන් මෝදු වන විට ඔහුගේ උපදේශකයින් ඔහුට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නියෝග ලබා දුන්නේය.

 පළ වූ පුවත් වාර්තා කෙතරම් සත්‍යද යන්න නොදන්නා නමුත්, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීන්දුව තමන්ට දැනුම් දීමේදී, රජයේ නීතිපතිවරයා ඊට එරෙහි වූ පසු ජනාධිපතිවරයා ඔහුට අවලාද නගමින්, තමන්ට අවශ්‍යය වන්නේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බවත් විය යුත්තේ ඊට අවශ්‍යය පසුබිම සකස් කිරීම බවත් පවසා ඇත. තම වෘත්තිමය ජීවිතයේ ගරුත්වය වංචා දූෂණ වලින් අපවිත්‍ර නොකරගෙන ඇති නීතිපති ජයසූරිය වැනි මහත්මයෙකුට එවැනි තත්වයකට මුහුණ දීමට සිදු වූයේ නම් එය සැබවින්ම අවාසනාවන්ත තත්වයකි.

 ජනාධිපති සිරිසේන මහතා මුහුණ දී සිටින ඉතාම අසීරු තත්වයෙන් මිදීම සඳහා අවශ්‍යය වූයේ, දන්නා බව පෙන්වා වචනවලින් හරඹ කරන “ව්‍යාජ පණ්ඩිතයින්” නොව, රටේ සහ ඔහුගේ ගරුත්වය ගැන සැබෑ ලෙස සිතන අව්‍යාජ මිනිසුන්ය. නමුත් ජනාධිපති සිරිසේන මහතා එවැනි මිනිසුන් කණඩායමකගේ සහය නොලැබීමට තරම් අවාසනාවන්තයෙකු වේ.   

 කෙසේ හෝ වේවා, මේවන විට ඇති දේශපාලන තත්වය හමුවේ රටේ සෑම පුරවැසියකුටම පැවරී ඇති මූලික වගකීමක් තිබේ. එනම්, කිසිඳු මොහොතක ප්‍රචණ්ඩත්වය භාවිතා නොකිරීමය. ව්‍යාකූල වී ඇති රාජ්‍යය ගොඩගැනීම සඳහා අවශ්‍යය වන්නේ බුද්ධිය මෙහෙවා තම වගකීම ඉටු කිරීම මිස හැඟීම් වලට වහල් වී අනෙකාව සමච්චලයට ලක් කිරීම නොවේ. අශිෂ්ඨ පුරුදු වලින් අත්මිදීමත් විනයානූකූලව අප හමුවේ ඇති අභියෝග ජයගැනීමත් ඉතාම වැදගත් වේ.  

 පෙර සඳහන් කළ අකාරයෙන්, රටේ උපරිමාධිකරණය ජනාතාවගේ අයිතීන් සම්බන්ධයෙන් අව්‍යාජව පෙනී සිටින බව ඔප්පු කරමින් සමස්ථ ජනතාවට තම ආත්මාභිමානය සඳහා අවශ්‍යය පරිසරයක් නිර්මාණය කර දී තිබේ. මෙය ඉතාම වැදගත් දියුණුවකි. රටක ශිෂ්ඨත්වය තීරණය වන්නේ මෙවැනි තීන්දු ඔස්සේය. 

මෙවැනි තත්වයක් හමුවේ, තමන් ගත් තීන්දු වල ඇති බරපතළ තත්වය ගැන තේරුම් ගැනීමට හැකියාවක් තිබේනම්, ජනාධිපති සිරිසේන මහතා රටේ ජනතාවගෙන් සමාව ගත යුතුය. මන්ද ඔහු මෙරට ව්‍යවස්ථාව සමග කරමින් සිටින සෙල්ලම සහ ඉන් දීර්ඝ කාලීනව රටට ඇතිවන හානිය කිසිවකුට සිතා ගැනීමටවත් නොහැකි බරපතළ තත්වයක් වන හෙයිණි. එය රටට සහ ජනතාවට පමණක් නොව ඔහුටද නුගුණකි.

 අවසාන විග්‍රහයේදී මෙසේ සඳහන් කළ හැකිය.

 මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාහැර මහමැතිවරණයක් පැවැත්වීමේ නියෝගය තාවකාලිකව නවතා දැමීම ඔස්සේ රට හමුවේ ඔප්පු කරනු ලබන්නේ 2015 දී සිදු වූ දේශපාලන විපර්යාසය බල කාමයෙන් මත්වූ පුද්ගලයින් මෙල්ල කිරීමට සමත් වී ඇති ආකාරයයි.  මෙවැනි තීන්දුවක් ජනාධිපති රාජපක්ෂ මහතාගේ පරිපාලනය තුළ බලාපොරොත්තු වීම දවල් හීනයක් පමණක් විය.  එසේම මෙම සමස්ථ සිදුවීම තුළ ජයග්‍රහණය බලෙන් ලබා ගැනීමට ගිය මහින්ද රාජපක්ෂ මහතා අසරණ වී ඇති අයුරු සැබවින්ම කනගාටුදායකය. වෙනත් වචන වලින් කියතොත් ජනාධිපති සිරිසේන මහතා විසින් පළමුවත්, දෙවනුවත් තම ප්‍රමුඛ දේශපාලන සතුරා වන මහින්ද රාජපක්ෂ මහතා, ඉතාම හොඳින් මට්ටුකොට තිබේ. ඔහු දේශපාලනික වශයෙන් සදාතනික අනාථයෙක් බවට පත්කොට තිබේ.  

 සගයෙනි, බලන් එපුර පායා ඇති එසඳ බබලන සැටි සත්‍යයේ සහ යුක්තියේ නාමයෙන්. එය නව ඇරඹුමක් පමණි. රාජ්‍යය ලෝකය හමුවේ සැබෑ  ගරුත්වයක් ලබා ගැනීම සඳහා තැබූ එක් මූලික පියවරක් පමණි.

Archive

Latest news

Related news