ප්‍රවෘත්ති නිවේදනයයි
පාර්ලිමේන්තුව නියෝජනය කළ විවිධ පක්ෂ නායකයන් සිදු වී ඇති පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එය අභියෝගයට ලක්කරන බැව් මට දන්වා සිටියහ. ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් හි නීත්‍යානුකූලභාවය තීරණය කිරීමෙහි පාර්ලිමේන්තුව සතු වගකීම සහ අයිතිය ජනාධිපතිවරයා විසින් වලක්වනු ලැබීමේ හේතුවෙන් මෙම කරුණ පිළිබඳව අර්ථ නිරූපණයක් ලබා ගතයුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙනි.
මහජනතාව තමන් නියෝජනය කරනු සඳහා තෝරා පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිය බලෙන් පැහැරගැනීම, පාර්ලිමේන්තුවේ භාරකරු ලෙස ගතවූ දෙසතිය තුළ මම විමසිල්ලෙන් නිරීක්ෂණය කළෙමි. විධායකය, ශ්‍රී ලංකා ස්වෛරීත්වයේ යාන්ත්‍රණය වන පාර්ලිමේන්තුව ඕනෑකමින්ම නොසලකා හැරීම ජනතා නිදහසට හා අයිතියට බරපතල අවදානමක් වනු ඇත.
මෙවන් බරපතල පසුබිමක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමෙහි දිවුරුම් දී ඇති සියළු රජයේ සේවක පිරිස් වෙත අවධාරණය කර සිටිනුයේ තමන් දුන් එම දිවුරුම පිළිබඳ යළිත් සිහිපත් කරන ලෙසයි. කිසියම් තැනැත්තෙකු හෝ බලයක් පිළිබඳ නොව මෙම ලියවිල්ල කෙරෙහි විශ්වාසය පලකළේ කවර කරුණක් නිසාදැයි ඔබ ඔබෙන්ම විමසා බැල්ම යෝග්‍ය වේ. අපගේ පරම බැඳීම පවතිනුයේ හුදෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙතය.
අප මවුබිමේ උත්තරීතර නීතිය වන ව්‍යවස්ථාව පිළිබඳ අප සතු වගකීම රාජ්‍ය සේවය මෙන්ම පොලීසිය හා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ අපගේ වගකීම මතකයේ තබාගන්නා ලෙස මම ඔබගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලමි. කවුරුන් විසින් හෝ වේවා දෙනු ලබන නීත්‍යානුකූල නොවූ විධායකයේ නියෝග තරයේ ප්‍රතික්ෂේප කරන ලෙසද සියළු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සිය වගකීම් දරන්නා වූ සියළු රටවැසියාගේ යුතුකම වනුයේ පක්ෂ දේශපාලනය හෝ පුද්ගල සබැඳියාව නොසළකා අද දවසේ රට පිළිබඳව ස්වදේශානුරාගයෙන් සිතා මවුබිමෙහි නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයේ සුරක්ෂිත භාවයත් වෙනුවෙන් පෙනී සිටීමයි.
කල් තැබීමෙන් පසු පාර්ලිමේන්තුව කැඳවීමට තිබූ නොවැම්බර් මස 14 දින රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශණය ඉදිරිපත්කිරීමෙහිලා ජනාධිපතිවරයා වලක්වාලීමට මා අදහස්කළ බව ජේෂ්ඨ දේශපාලනඥයෙකු වන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා අභූත චෝදනාවක් නඟමින් එම කරුණ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට හේතු වන්නට ඇතැයි ප්‍රකාශ කිරීම පිළිබඳ මම විමතියට පත්වීමි.
තම කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳ එම විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වඩාත් අවංක හා විශ්වාසනීය හේතුවක් දැක්වූයේ නම්, ලෝකයා හමුවේ අප මව්බිමේ ගෞරවයට වන හානිය අවම කර ගැනීමේ ඉඩ ප්‍රස්ථාව තිබුණු බව මගේ විශ්වාසයයි.
කථානායක වරයෙකුගේ ක්‍රියාවන් සෑම කල්හිම විධායකයේ සතුටට හේතු වන්නේ නැත. පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය පිළිබඳ මෙම සම්ප්‍රදායේ ඉතිහාසය 1641 දක්වා ගමන් කරන බව පෙන්වා දෙමි.
බ්‍රිතාන්‍යයේ පළමු වැනි චාල්ස් රජු මහජන මන්ත්‍රී මණ්ඩලයේ සභිකයින් අත් අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ කථානායක විලියම් ලෙන්තල් එය වලකා ඔවුන් ආරක්ෂාකරනු වස් රජු ඉදිරියේ දණින් වැටී මෙසේ පැවසීය.
“ මහරජතුමනි, මා මේ පවසන කරුණු ඔබවහන්සේගේ චිත්තප්‍රීතියට හේතුවේවා! මෙම ස්ථානයේ සිදුවන දේ මාගේ දෙනෙතින් දැකීමටහෝ ඒ පිළිබඳ කිසිවක් පැවසීමට නොහැකි මුත්, මා කීකරු සේවකයෙකු පමණක් වන මෙම සභාව විසින් මා වෙත ලබා දී ඇති තීරණය හැර ඔබ වහන්සේ විසින් ඉල්ලා සිටින ආකාරයේ පිළිතුරක් ඔබ වහන්සේ වෙත ලබා දීමට නොහැකි බැවින් මා වෙත සමාව භජනය කරන සේක්වා.”
රජයේ නීත්‍යානුකූල භාවය පිළිබඳව තීරණයක් ගනු සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්විය යුතු බවට මන්ත්‍රීවරු 124 දෙනෙකුගෙන් 116 දෙනෙකු මා පෞද්ගලිකව හමුවී ඉල්ලාසිටි අතර තවත් 08 දෙනෙක් දුරකථනයෙන් මා අමතා මෙම යෝජනාවට පක්ෂපාතීත්වය පළකොට සිටියහ. සියවස් ගණනක් තිස්සේ අපගේ පූර්වගාමී කථානායකවරුන් අනුගමනය කරමින් මන්ත්‍රී බහුතරය හා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සතු අයිතිය සුරක්ෂිත කරනු සඳහා ඔවුන්ගේ ඉල්ලීමට ඉඩ දීමෙහි එකඟ වෙමින් මම සභාවේ ඡන්දයක් ගතයුතු බව ප්‍රකාශ කළෙමි.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශණයක් ඉදිරිපත්කිරීම වැළැක්විය යුතු බවට කිසිදු මන්ත්‍රීවරයෙකු ඉල්ලා නොසිටි අතර එවැන්නක් මාගෙන් ද අනුමත නොවනු ඇත.
හිටපු හමුදා නිලධාරියෙකු ලෙස මගේ මවුබිම අපේක්ෂා කළ කවර වූ හෝ කැප කිරීමක් කිරීමට මම නිරතුරුව සූදානමින් සිටියෙමි. විධායකය හමුවේ පෙනීසිට පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය, හා ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම මා ලද වරප්‍රසාදයක් විය.
ඉහත සඳහන් මගේ ක්‍රයාකාරකම් පිළිබඳ කිසිඳ පැකිලීමකින් තොර කවර ආකාරයේ වුව ප්‍රතිවිපාකයකට මුහුණ දීමෙහි මා සූදානම් බැව් වැඩිදුරටත් සඳහන් කරමි.
කරු ජයසූරිය
පාර්ලිමේන්තුවේ හිටපු කථානායක