තමන් කිසිම ආකාරයකින් ජනාධිපති සිරිසේන ගෙන් පලි නොගන්නා බව රනිල් වික්‍රමසිංහ ඊයේ පවසා තිබුණි. මෙතරම් දෙය සිදු වී තිබෙද්දීත් අර්බූදවය විසඳා ගැනීමේ අරමුණින් තමන් ජනාධිපති සිරිසේන සමඟ එක්ව වැඩ කිරීමට සූදානම් බව රනිල් පවසා තිබීම ගරු කටයුතු ය. නමුත් රටක් නම් එහි නීතිය ක්‍රියාත්මක විය යුතුය. පළිගැනීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම යනු එකිනෙකට හාත්පසින්ම වෙනස් ව සිදුවන ක්‍රියාදාමයන් දෙකකි. නීතිය ක්‍රියාත්මක කිරීම පළිගැනීමක් නොවේ.
අර්බූදය කුමක්ද?
අප බැලිය යුත්තේ මේ ඇතිවී ඇති අර්බුදය කුමක්ද කියායි. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අද සිදුවී ඇත්තේ දේශපාලන කුමන්ත්‍රණයකි. කුමන්ත්‍රණයක් තුළින් රටක බලය ඇල්ලීමට උත්සාහ කිරීම නීතියෙන් දඬුවම් ලැබිය යුතු වරදකි. තමන් ජනාධිපතිවරයා වූ පලියට ඔහුට රටේ නීතියට පිටින් ගොස් ජනතාවගේ පරමාධිපත්‍යයට ඉහළින් ක්‍රියා කිරීමට බලයක් නොමැත. පාර්ලිමේන්තුව යනු ජනතා පරමාධිපත්‍යයේ මුදුන්මල්කඩයි.
සිරිසේන අධිකරණය ඉදිරියට
පාර්ලිමේන්තුව අවහිර කර පවතින රජය පෙරලා දැමීමට උත්සාහ කිරීම තුළ ජනාධිපතිවරයා කර ඇත්තේ නීති විරෝධී ක්‍රියාවකි. එමෙන්ම කිසි සදාචාරයකට නැති අසභ්‍ය වනචර ක්‍රියාවකි. නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් ජනාධිපතිවරයකු කල විට එයට දඩුවම් ලැබිය යුතු ආකාරය කුමක්දැයි අධිකරණය, රටේ අධිකරණ පද්ධතිය තීරණය කළ යුතුය. එමෙන් ඔහු පමණක් නොව ඔහු සමග මේ කුමන්ත්‍රණයට සහබාගිවූ සියලුම දෙනා ඉදිරියේ අධිකරණ ඉදිරියට පැමිණවිය යුතුය. ඒතුලින් කරනුයේ රටේ නීතිය පිළිබඳ විශ්වාසය තහවුරු කිරීමයි. නීතිය මත පාලනයකි ඇති බව රටේ ජනතාවට පිළිගැනීමට ඒ ක්‍රියාදාමය වැදගත්ය. වැරදි කර ඇති අය නීතිය ඉදිරියට ගෙනඒම පළිගැනීමක් නොවන අතර ප්‍රජාතන්ත්‍රවාදී රටක පැවැත්මට එම ක්‍රියාදාමය අත්‍යාවශ්‍යය.
කැලෑ උසාවි
පලි ගැනීම යනු යම් කාරණයක දී තමන්ගේ ප්‍රතිවිරුද්ධ පුද්ගලයාට, පුද්ගලයන්ට එරෙහිව එක්කෝ පුද්ගලිකවම පහරදීම, අපහාස කිරීම, දඬුවම් දීම වැනි ක්‍රියාවකි. එසේ නොමැතිව නීතිය ඉදිරියට ගෙන ඒමට කරුනු නැති තැන බලය යොදවා තම ප්‍රතිවාදියාගෙන් පළිගැනීමට මොනවා හෝ කැලෑ උසාවි අටවා ඒ තුළින් තම විරුද්ධවාදීන්ට හානි පැමිණවීම පලිගැනීමකි.මෙයට හොඳම උදාහරණ දෙකක් පසුගිය රාජපක්ෂ සමයේ සිදු වී ඇත. තම විරුද්ධවාදීන්ට පහර දීමට නීතියෙන් ඉඩ නැති අවස්ථාවක තම විරුද්ධවාදියාට පහරදීම සඳහා ඔවුන්ගේ සිතැඟි පරිදි හිතුවක්කාරී උසාවි අටවා සරත් ෆොන්සේකාට දඬුවම්කර හිරගෙයි දැමූ අවස්ථාව ඉන් එකකි. ඒ වගේම කැලෑ උසාවියක් සාදා අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායක තනතුරෙන් පහ කරනු ලැබීම අනෙකයි. මේවා පලිගැනීමේ චේතනාවෙන් කරනු ලැබූ ලැබූ සාපරාධී ක්‍රියාවන් ය.
නමුත් රටක නීතියට එරෙහිව ක්‍රියාත්මක වූ අයකු හෝ කණ්ඩායමක නීතිය ඉදිරියට ගෙනැවිත් නඩු විමසා දඬුවම් දීම කිසිම ආකාරයකින් පළිගැනීමක් නොවන අතර රටක ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය පවත්වා ගැනීමට ඒය අත්‍යාවශ්‍ය ක්‍රියාදාමයකි.
කුමන්ත්‍රණකරුවන් නීතිය ඉදිරියට පැමිණවිය යුතුම ය
ඒමෙන්ම රටේ ජනතාවගේ පරමාධිපත්‍යයට අභියෝග කරමින් කර ඇති කුමන්ත්‍රණයක් සඳහා වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙනඒම නොකරන්නේනම් ඒයද බලය අවභාවිතාවේ යෙදවීමකි. එනිසා කුමන්ත්‍රණයක් සිදුවී ඇති තැන එහි ක්‍රියාධරයන් නීතිය හමුවට ගෙනවිත් නොසිටීමට අගමැතිවරයාට වුවද බලයක් නොමැත. එනිසා මෙම කාරණයේ දී ද නීති හරියාකාරව ඉටු කිරීම රජයේ වගකීමයි. කුමන්ත්‍රණය සාර්ථක වී කුමන්ත්‍රණකරුවන් බලය ඇල්ලුවානම් මොනයම් ආකාරයක නීතියක් වත් ක්‍රියාත්මක නොවන බැවින් ඒ ගැන කතා කිරීමෙන් ද පලක් නොමැත.
මෙම අදාළ තවත් කරුණක් වන්නේ රටක් තුල නීති විරෝධීව පත්වන මැති ඇමතිවරුන්ගේ උවමනාවට, ඔවුන්ගේ නීති විරෝධී විධානයන්ට අවනතව වැරදි කරන නිලධාරීන්ට ද පසුව නීතිය ඉදිරියේ වගවීමට සිදුවන බවයි. මෙම නිලධාරීන් වටහාගත යුත්තේ නීති විරෝධී කුමන්ත්‍රණයක කොටස් කරුවන් විසින් දෙන අණ පිළිපැදීම තුල සිදුවන්නේ තමන් ද කුමන්ත්‍රණයේම කොටස්කරුවන් වීම බවයි. මෑත කාලයේ තුර්කියේ සිදු වූ කුමන්ත්‍රණයෙන් පසු සිදුවූ සිදුවීම් මෙම නිලධාරීන්ට පාඩමකට ගත හැක.
මගේ මතය අනුව නම් අද සිදු විය යුත්තේ සිරිසේන ජනාධිපති ඉල්ලා අස්වී ජනාධිපතිවරණයකට යාමයි.
මා එසේ කියන්නේ සිරිසේන ජනාධිපතිවරයා ගේ ම තර්කයට අනුකූලවයි. රනිල් වික්‍රමසිංහගේ රජය පෙරලා දැමීමට ඔහු උත්සාහ කරන්නේ ජනතාවගේ අප්‍රසාදය රනිල්ගේ රජයට ඇති බව කියාපාමිනි. ඇත්ත වශයෙන්ම රනිල්ගේ රජයට ඡන්දය දුන් අයගෙන් සියයට තිහක් පමණ මේ රජය ගැන සම්පූර්ණයෙන් කලකිරී සිටි. ඉතුරු කොටස එනම් සියයට හැත්තෑවක් පමණ තවමත් මෙම රජය මත විශ්වාසය තබා ඇත. නමුත් ජනාධිපති බවට පත්කිරීමට ඡන්දය දුන්අය අතරින් 95% ක්ම අද වන විට ඔහුට විරුද්ධ වනවා පමනක් නොවඔහුව පිළිකුල්ද කරයි. එසේ නම් ඔහුගේම තර්කයට අනුව කළ යුත්තේ තමා ජනාධිපති කමෙන් ඉල්ලා අස්වී ජනාධිපතිවරණයක් පැවැත්වීමයි. 70% පමණඡන්ද දායකයාගේ විශ්වාසය තවමත් ඇති රනිල්ගේ ආණ්ඩුව ඉවත් කරනවා වෙනුවට සිදු විය යුත්තේ සියයට පහක පමණ විශ්වාසයක් ඇති ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමය බව මගේ වැටහීමයි. ඒ නිසා මගේ නම් නිගමනය අද ලංකාවේ වහාම සිදුවිය යුත්තේ ජනතාවගේ විශ්වාසය අහිමි කරගත් ජනාධිපති සිරිසේන වහාම ඉල්ලා අස්වී ජනාධිපතිවරණයක් පැවැත්වීම බවයි.
රන්ජිත් හේනායක ආරච්චි.