Thursday, March 28, 2024

ජනාධිපති සිරිසේනගේ බබා උක්කුං.- රන්ජිත් හේනායක ආරච්චි

බලය ඇල්ලීම සඳහා කරන සෑම කුමන්ත්‍රණයක දීම පළමුවෙන්ම කරනුයේ ජනතා පරමාධිපත්‍ය හිමි පාර්ලිමේන්තුව බල රහිත කිරීමයි. හමුදා බලය හෝ මොනයම්ම බලයකින් කළත් පාර්ලිමේන්තුව බල විරහිත කිරීම ඒකාධිපති ක්‍රියාදාමයකි. ජනතාවගේ අයිතියට එරෙහිව කරන කුමන්ත්‍රණයකි. බලහත්කාරයකි. මේ අනුව ජනාධිපති සිරිසේනගේ මේ ක්‍රියාව ජනතාවගේ අයිතියට එරෙහිව කළ කුමන්ත්‍රණයකි.

ලෝකය පුරා විවිධ රටවල කුමන්ත්‍රණ තුලින් බලය ඇල්ලූ අවස්ථාවන් එමටය.  ඒවා තුළින් කර ඇත්තේ අවසාන විග්‍රහයේ දී පාර්ලිමේන්තු බලය යටපත් කිරීමයි. අහෝසි කිරීමයි. හිට්ලර් බලය ඇල්ලීමට ජර්මන් පාර්ලිමේන්තුව ගිනි තැබීය. පෘතුගාලයේ පාර්ලිමේන්තුවට ඇතුළු වූ හමුදාවන් පාර්ලිමේන්තු නියෝජිතයන් දන ගැස්වීය.චිලී රටේ අගමැති ඇලන්ඩේ ඇතුළු අමාත්‍ය මණ්ඩලයත් මන්ත්‍රීවරුත් මරා දමනු ලැබීය. අද සිරිසේන ජනාධිපති තම සිතැඟි ඉටුකර ගැනීමට මධ්‍යම රාත්‍රියේ අගමැතිවරු මාරු කිරීම් කර තිබේ. මෙය දිගින් දිගට දිග්ගැසුනොත් අවසානයේ කාකි ඇඳුම සහ ආයුධ ඉදිරියට ඒමට බොහෝ විට ඉඩ ඇත. කෙසේ වුවද පාර්ලිමේන්තුව තුළ තුළදී පවතින රජයක් පෙරළා දමා පාර්ලිමේන්තුව තුළින් ම අලූත් රජයක් පත් කර ගැනීමක් සිදු නොකරන එමෙන්ම පාර්ලිමේන්තුවට රහසින් සිදුකරන්නට යෙදුන මෙම බලහුවමාරුව නීතියට මෙන්ම සදාචාරයටද එකඟ නො වන ක්‍රියාවකි.ඒ සම්බන්ධයෙන් සිරිසේන ජනාධිපතිට නිදහසට කරුණු නොමැත. දැන් මෙමනාඩගම සාධාරණ කිරීමට ඔහු ගෙනෙන තර්ක බොළඳ මෝඩ ඒවා වෙති.

සිරිසේනගේ මෙම අමන හැසිරීමට වරද රනිල් අත යයි සමහරු කියති. කිසිවකු විසින් කරන පහත් ක්‍රියාවකට වෙනත් අයකු වරදකරු නොවෙති. සිරිසේනගේ මෙම හැසිරීමේ මූලික වරද ඇත්තේ ඔහු අතමය.එදා 2015 ජනවාරි 8 වන දින ජනාධිපති ධුරයට ඔහු පත්වූ වහාම ගෝඨාභය රාජපක්ෂ සමඟ ඔහු රහසිගතව හමු වූ බව ප්‍රසිද්ධ රහසකි. ඒ වරද රනිල්ට පැවරිය නොහැක.

දිවුරුම් දුන් වහාම රනිල්ගේ විරුද්දකරුවන් කණ්ඩායමක් ජනාධිපතිවරයා  විසින් තම උපදේශකයන් ලෙස පත්කරගනු ලැබීය.මෙසේ රනිල්ට එරෙහි පළමු වෙඩිමුරය ජනාධිපතිවරයා තම පදවියට පත්වූ වහාම තබනු ලැබීය. රනිල්ගේ සහාය නොලැබුණා නම් සිරිසේන කිසිදිනක ජනාධිපති නොවන බව නොරහසකි.ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සහ පසු කළ ඔහු තමා වටා රැස් කරගත් මැති ඇමැතිවරු සියලු දෙනා ම පාහේ ජනවාරි 8 වැනිදා ඔහු පාච්චල් කරමින් ඔහුට එරෙහිව මහින්ද කල්ලිය සමග සිටි අය බව ඔහුට අමතක වූවාට ඔහු වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ ඡන්ද දායකයාට අමතක වී නොමැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහු වෙනුවෙන් ඡන්දය නොදුන් අතර ඒ සියලු දෙනා ඡන්දය දුන්නේ මහින්දට බව එමෙන්ම එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙකුත් සමාජ බලවේග ඔහුට ලක්ෂ 62 ක් ඡන්දය ලබා දුන් බව ඔහුට අමතක වූවාට රටට අමතක වී නොමැත.රනිල් ගේ සහයෙන් බලයට පත් ඔහු ඊට පසුදා ම රනිල් විරෝධීන් තම පුරෝහිතයන් ලෙස පත්කර ගැනීමෙන් රනිල්ට එරෙහිව බලවේග ගොඩනැගීම එදා ඇරඹීය.

එසේ නම් රනිල් සිරිසේනට එරෙහිව ක්‍රියාත්මකවීමක් ඇරඹීම ඇතිවිය හැකි ඉතා සාමාන්‍ය ක්‍රියාදාමයි. අනෙක් අතින් රනිල් යනු මහන්තත්වය කින් හිස පුරවා ගත් අයකු බව ප්‍රකටය. සිරිසේනගේ කෙනහිලිකම් ඉදිරියේ එවිට ඔහු සිරිසේන ජනාධිපතිවරයා ගණන් නො ගනිමින්, පහළට දමමින්, ඔහුට නොතේරෙන ඉංග්‍රීසියෙන් ඔහු ඉදිරියේ කතා කරමින් වැඩ කළා විය හැක.එවිට ඔහු තුළ පැවැති හීනමානය තවත් වැඩිවන්නට බොහෝ විට ඉඩ තිබේ.

නමුත් සිරිසේන දැන් කියන ආකාරයට රටෙහි වැරදි කළවුන්ට දඬුවම් දීම වැළැක්වූයේ රනිල් යයි කියන කතාව විශ්වාස කිරීමට අපහසුය. ඔහු රටේ විධායකය අත ඇති පුද්ගලයායි. සියලූ බලතල පවතින්නේ ඔහු අතයි. ඔහුගේ මෝඩ තර්කයක් වන ඔහු මරා දැමීමට කළ කුමන්ත්‍රණය රනිල් ගණන් නොගත් බව ඉතා බොළඳ ය. එය එසේ වූවානම් ඔහු ඔහුටතිබූ බලතල යටතේ පොලිසිය සහ හමුදා රහස් ඔත්තු සේවාවන් වල සහායෙන් එම කුමන්ත්‍රණ හෙළිදරව් කරගැනීමට ඔහුට අවශ්‍ය බලය ඔහු සතුව පැවතුණි. අගමැති ඇතුළු ආණ්ඩුවක් බලයෙන් පහකර දැමීමට දන්නා ඔහුට, ඔහුට එරෙහිව තුට්ටු දෙකේ නිලධාරීන් දෙදෙනෙකු කළා යයි කියන කුමන්ත්‍රණයක් හෙළි දරව් කර ගැනීමට නොහැකිද?ඔහුගේ මේ බබා උක්කුං කා සඳහාද? ඔහු සිතා සිටින්නේ රටේ ජනයා තනකොළ කන හරක් කියාද?

අනෙක් කාරණය වන්නේ ජනාධිපතිවරයා පසුගිය වසර තුනක් තිස්සේ වරින් වර තැනින් තැන කළ ප්‍රසිද්ධ කතා තුළින් ප්‍රචාර කළ මතයයි. රණවිරුවන් අධිකරණය ඉදිරියට ගෙන යාමට තමා කිසි දිනෙක ඉඩ නොදෙන බව ඔවුහු තරයේ කියා සිටියේය.එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ වරදට සැකකරුවන් ලෙස අධිකරණය හමුවේ සිරගත කර සිටි අය එළියට දමන ලෙස ඔහු බලපෑම් නොකළේද. මෙසේ විවිධාකාරයෙන් චෝදනා ලද වුන්ට දඩුවම් නොකිරීමේ පිළිවෙතත් ඔහු ප්‍රසිද්ධියේ අනුගමනය කළ බව රහසක් නොවේ. රනිල් වික්‍රමසිංහද නිහඬ පිළිවෙතක්  තුළ එය අනුගමනය කළ බව අප දනිමු. නමුත් රනිල්ට පමණක් චෝදනා කරමින් සිරිසේන නටන මේ නාඩගම රටට මහත් විපතක් ගෙන එන බව පැහැදිලිය. ඒ මෙන්ම රනිල්ගේ වරදක් තිබුනා කියා මහා දූසිතයන් රැලකට ඒක්වීම සදාචාරාත්මකද?

රටක නායකයා අධි හීනමානයකින් පෙළීම රටටම විශාල අභාග්‍යක් ගෙන එන කාරණයකි.

රටේ ජනාධිපති වීම යනු එම රටේ ඇති ඉහළම ස්ථානයට ඔහු පත් වීමයි. සිරිසේන ජනාධිපති වූවාට පසු ඔහු කළ යුතුය පැවතුනේ රටේම ජනතාවගේ ජනාධිපති ලෙස කටයුතු කිරීම ඇරඹීමයි. නමුත් ඔහු කොතරම් හීන මානයකින් පෙලුනාදයත් තමා රටේ ප්‍රධාන පුද්ගලයා බවට පත් වී තිබියදීත් පක්ෂයක නායකකම ලබාලබා ගැනීමට පොර බදුනු ලැබීය. ඔහුගේම පක්ෂයේ අය ඔහුව තම පක්ෂ නායකයා ලෙස පිළිනොගන්නා අතර ඔහු දෙස බලන්නේ සමච්චලයෙනි. නාමික නායකයා ලෙස ඔහු සිටියා වුවත් පාක්ෂිකයා රාජපක්ෂ තම නායකයා ලෙස පිළිගනී. එය රටට නොරහසකි. ඔහුගේ පාක්ෂිකයා ඉදිරියේ ඇත්තෙන්ම ඔහු විහිළුවකි. මේ තත්ත්වය ඔහුගේ හීනමානය දෙගුණ තෙගුණ කරනු ලැබුණි.

අනෙක් කාරණය වන්නේ ඉහළ පන්තියෙන් එන රනිල්ලා ඉදිරියේ ඔහුට ඇති හීනමානයයි. කෙසේ වුවද රනිල්ට එරෙහිව තබන පළමු වෙඩි මුරය(රනිල් විරෝධීන් කණ්ඩායමක් තම පුරෝහිතයන් ලෙස පත්කර ගැනීම)හේතුවෙන් රනිල් ඔහුට එරෙහි කරගැනීම පළමුවෙන්ම ඔහු කළ මෝඩ ක්‍රියාවයි.  එයින් පසු රනිල් ඔහුට කෙනහිලිකම් කිරීම අරඹන්නට ඇත.බොහෝවිට ඔහු ඉදිරියේ ඔහුට හොඳින් හැසිරවිය නොහැකි මහන්තත්ත ඉංග්‍රීසියෙන් කතා බහ කිරීම ඔහුව තව තවත් හීනමානයෙන් බෙලහීන කරවන්නට ඇත.

මේ ප්‍රශ්නය තුළ තමන් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු හෙලීමට ඔහු මාන බැලූ බවක් පෙනේ. එක පැත්තකින් රනිල් කෙරෙහි ඇති වෛරයත් අනෙක් පැත්තෙන් තමාගේ පස මිතුරකු වූ තමාට කෙණෙහිලිකම් කළ රාජපක්ෂත් දෙදෙනාටම ඉගැන්වීමට ඔහු රාජපක්ෂලා සමග අත්වැල් බැඳ ගත් බවක් පෙනෙයි. ඒ රනිල්ගේ අගමැතිකම අහිමි කර ඔහු ගෙන් පලි ගන්නා අතර තමාට එදා මහන්තත්තකම් පෙන්නූ රාජපක්ෂ අද තමා ඉදිරියට ගෙනැවිත් තමා ඉදිරියේ දිවුරුම් දෙන තත්ත්වයකට පත්කර ආස්වාදයක් ඒ තුළින් ලැබීමට ඔහු බැලුවා වියහැක. නමුත් රාජපක්ෂලා බලය තහවුරු කරගත් වහාම සිරිසේනට සිදුවන්නේ කුමක්ද යන්න දන්නේ ඔවුන්ම පමණි. සිරිසේන දැලිපිහියෙන් කිරි කමින් සිටින බව පැහැදිලිය.

මේ සියල්ලෙන් ජනතාවට නම් කිසිම සුබ සිද්ධියක් සිදු නොවේ. රටේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව කුඩුපට්ටම් කර දැමීම රටට විශාල හානියක් සිදු කරනු ඇත.  මේ නාඩගම ලක්වැසි ජනයාට ඉතා විශාල හානියක් සිදු කරයි. ඒහි ප්‍රමාණය නුදුරු දිනකම තීරණ වනු ඇත. කටුස්සාගේ කරේ රන් බැඳි ආකාරයේ හැසිරීමක් අද ඔහුගේ මේ හැසිරීම තුළින් පෙන්නුම් කරයි.

නමුත් මෙය මහා විගඩමකට වඩා මහා ඛේදවාචකයකින් අවසන් වීමට ඉඩඇත.

 


Archive

Latest news

Related news