Saturday, May 4, 2024

“රජ අණ” පුරන් වී “තග ම” රජ වන මුතුරාජවෙල! – මෙලනි මානෙල් පෙරේරා

අධිකරණයට අපහාසයක්!! අගවිනිසුරු නියෝගය විසිවෙයි!! ජනපති අණ දොයිතුවකට නොතකයි!! ක්‍රියාධරයින්ට සහ නිවැසියන්ට තර්ජන!! රජ අණ පුරන් වී තග ම වැජඹෙමින් මුතුරාජවෙල ඝාතනය වෙයි!!!

ඔක්තෝබර් මස 07වෙනි දා, බෝපිටිය නුගපේ කුංජාවත්ත ප්‍රදේශයෙන් මුතුරාජවෙල අභය භුමියට පිවිසෙන්නට බලහත්කාරයෙන් සාදාගෙන යන පාරේ කෙරවළ, නිත්‍යාණුකුලව වසර ගණනාවක් තිස්සේ පදිංචි නිවැසි කාන්තාව පොලීසියට කැඳවයි. හේතුව, සිය ඉඩම මායිමේ කෙළවරින් අභය භුමියට පිවිසෙන්නට පාරම්පරිකව පිහිටා තිබු නියර අඩි 15ක පිවිසුම් මාර්ගයක් සේ පුරවා පුළුල් කිරීම සඳහා නිවෙස් හිමියන් විසින් සිය භූමියෙන් ඉඩ ලබා නොදීමයි. මුතුරාජවෙල තෙත් බිම් අභයභුමිය විනාශ කිරිමට තිත තබමින් අධිකරණ නියෝගයක් , ජනාධිපති නියෝගයක් පනවා තිබිය දී , මුතුරාජවෙල තෙත්බිම් අභයභුමිය තුළ ශාඛ කැපීම, ගොඩනැගිලි ඉඳිකිරීම්, වගා කිරිම් , ගොඩකිරිම් හා මාවත් තැනීම් සපුරා තහනම් ලෙසට අභයභුමියේ තැන තැන වනජීවි සංරක්‍ෂණ දැන්වීම් පුවර තිබිය දී, තවදුරටත් මුතුරාජවෙල ගොඩකිරීම්, ඉඳිකිරීම්, පැල සිටවීම් මෙන් ම පැරණි නියරක් ගොඩකර අඩි 15ක මාර්ගයක් තනන්නේ කවුරුද ? ඒ කුමක් සඳහා ද ? කාගේ රැකවරණය හෝ බලය මත ද?

ජායාරූපය: මුතුරාජවෙල නාමපුවරුවල මෙලනි මානෙල් පෙරේරා

පුරාණයේ දී ඉතාම සස්ශ්‍රීක වෙල්යායක්ව පැවත, එකල සිටි රජුට ඉන් මුතුමෙන් සම්බා සහල් ලබාදුන් හෙයින් “මුතුරාජවෙල” ලෙසට ජනප්‍රවාදයෙන් පැවත එන, පාරිසරික වටිනාකමෙන් අගතැන්පත් ශ්‍රි ලංකාවේ ඉතාම වැදගත් තෙත් බිම් පද්ධතියක් වන, අක්කර 3068ක භූමි ප්‍රදේශයක් තුළ ව්‍යාප්තව ඇති මුතුරාජවෙල අභය භුමියේ නැගෙනහිර කොටසින් අක්කර 406ක භුමීය, අභය භූමියේ ම ඇති ඇල සහ ජල පද්ධතිවලින් හාරාගන්නා වැලි වලින් සහ කුණු කසළ මෙන් ම වෙනත් අපද්‍රව්‍ය හා ගොඩනැගිළි සුන්බුන් භාවිතා කරමින් ගොඩකිරීම තුළ තෙත් බිම් පද්ධතියට සිදුවෙන සෘජු බලපෑම සහ වර්තමානයේදි මෙන් ම අනාගතයේදි ද භෞතික වශයෙන්, පාරිසරික වශයෙන් එල්ලවන බලපෑම ඉමහත් බව මුතුරාජවෙල අවට ගම්වැසියෝ ප්‍රකාශ කරති.

මුතුරාජවෙල විනාශ කිරීමේ එක් පිවිසුම් මාර්ගයකට බාධකයක්ව සිටින්නේ බෝපිටිය කුංජාවත්තේ පදිංචි පෙරකී, නිවැසි නදී රුවන්ගිකා මහත්මිය ය. මෙතෙක් කාලයක් ගමන්ගත් නියර, ප්‍රමානවත් නොවී එය වාහන ගමන් කළ හැකි මාර්ගයක් බවට පුළුල් කරන්නට මුතුරාජවෙල විනාශ කරන්නන්ගේ අභිප්‍රාය වී ඇතිමුත් ඊට එකඟ නොවන නදී රුවන්ගිකා මහත්මියගේ භූමිය අද ප්‍රශ්නයක් වී ඇති බව ඇය කීවේය. මුතුරාජවෙල විනාශ කිරීමේ ක්‍රියාදාමය තුළ එක් පසෙකින් සිදුවන බලහත්කාරකම් වලට අසාධාරණ ලෙසට පාත්‍රවී සිටින ප්‍රාදේශීය පුරවැසියෙක් ලෙස ඇයගේ භූමීකාව වැදගත් වෙයි.

“අපි මොකටද අපේ ඉඩමෙන් අඩි 15ක් පාරක් හදන්න දෙන්නේ? අපි නියර අල්ලගෙන නැහැ. අපේ ඔප්පු නිරවුල්. ගිය අවුරුද්දේ මම මගේ වැට හදන්න සුදානම් වෙනකොට පොලීසියෙන් ඇවිත් ඒක නතර කෙරුවා. නමුත් ටික දවසකට පස්සේ මම ආපහු කොන්ක්‍රීට් කණු හිටවලා වත්තේ මායම වෙන්කළා. ඊට පසුව දවස් කිහිපයක් මම ගෙදර නැතිව හිටපු අවස්ථාවක කට්ටියක් ඇවිත් මම හිටවපු කණු කඩලා ගලවලා දාලා පාර දාන්න ගොඩකරන්න පටන් අරන් තිබුණා. එතකොට මම පොලීසියට ගිහිං පැමිණිලි කරලා කොහොමහරි වැඬේ නැවැත්තුවා. එතකොට වනජීවි එකෙනුත් ඇවිත් පස්දාපු පුද්ගලයාටත් විරුද්ධව කටයුතු කළා මම දන්න විධියට. නමුත් මට වැට හදලා දුන්නේ නැහැ. පාර හදන්න පස් දාපු එක්කෙනාට පොලීසියට එන්න කීවට, මම මාස එකහාමාරක් විතර රස්තියාදු වුණා නමුත් ඔහු ආවේ නැහැ. අවසානෙදි මම අදහස අත්හැරලා, කවදාහරි මායිම හදාගන්නවා කියලා හිතාගත්තා.” යැයි බෝපිටිය කුංජාවත්තේ පදිංචි නදී රුවන්ගිකා මහත්මිය ප්‍රකාශ කළා.

පසුගිය සිකුරාදා එනම් ඔක්තෝබර් 05 වෙනිදා නදී රුවන්ගිකා නැවත වතාවක් ඇගේ මායිම පිළිසකර කරන්නට විය. එහෙත් මායිමේ භාගයකට පමණ කොන්ක්‍රීට් කණු සිටුවා නිමවේගන එන විට පොලීසියෙන් පැමිණ මායිම සෑදීම තාවකාලිකව නවත්වන්න කියා, ඇගෙන් අත්සමක් ද යොදාගෙන ඔක්තෝබර් 07 වෙනිදා උදැසන පොලීසියට පැමිණෙන ලෙසට දන්වා තිබුණි.

“ඒ කියපු විධියට ඉරිදා උදේ මම පොලීසියට ගියා. පොලීසියෙන් කියනවා මගේ මායිමේ අඩි 15ක පාරක් තිබුණා කියලා. මම කිව්වා එහෙම පාරක් තිබුණා නම් ඔයාලා හොයාගන්න. මගේ ඉඩමෙන් නම් මම ඔය පාර හදන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද මගේ ඔප්පුවේ තියෙන්නේ මෙතන නියරක් තිබුණු බවයි. අපේ දෙමාපියෝ දන්නවා මෙතන අඩි 15ක පාරක් ද ඇවිදගෙන යන්න පුලූවන් විධියේ නියරක්ද තිබුණේ කියලා. ඒ නිසා මම කිව්වා මම නඩු කියන්න සුදානම් කියලා, එතකොට පොලීසියෙන් කිව්වා මේකෙ පාරක් තියෙනවද කියා සොයා බලන්න සඳුදා ප්‍රාදේශිය සභාවට යොමුකරනවා, මට අඟහරුවාදා සවස 05ට පොලීසියට එන්න කිව්වා. ආයෙමත් ඒ කියපු වෙලාවට මම පොලීසියට ගියා අම්මයි තාත්තයි එක්ක. නමුත් පොලීසියේ ඕඅයිසී මහත්මයා වැඩකට ගිහිං තාම ආවේ නැහැ කියලා අපිට ඉන්න කිව්වා. පැමිණිලි පාර්ශවයෙන් කිසිම කෙනෙක් ඇවිත් හිටියේ නැහැ. නිමල්සිරි හෙවත් වත්තල අය්යා සහ පොල්වත්තේ මහත්තයා යන දෙපල මෙකි නියර පළල්කර පාරක් සැදීම සම්බන්ධයෙන් මෙදින පොලීසියට පැමිණිය යුතුව තිබුණා. නමුත් ඔවුන් පැමිණියේ නැහැ. අපි සෑහෙන වෙලාවක් ඉඳලා ඉඳලා එන්න ආවා, ඕඅයිසී මහත්මයා ආවෙත් නැහැ.”

DCIM100MEDIADJI_0011.JPG

“අපට හිතෙන විධියට මේ ඔක්කොම දෙනා එකතුවෙලා ලොකු ලොකු අයගේ සහයෝගය මත ලොකු ජාවාරමක් කරනවා වගෙයි. මොකද, අපට ආරංචි වෙච්ච විධියට මේ අභය භුමිය ඇතුළේ ගෙවල් හදලා, මුස්ලිම් අය පදිංචි කරවලා ලොකු ලොකු ව්‍යාපාර කරන්නලු යන්නෙ. පොල්වත්තේ මහත්තයාගෙන් මම ඇහුවා අනුමැතිය අරගෙන ද මේ ගෙවල් හදලා තියෙන්නේ කියලා. එතකොට එයා දුන්න උත්තරේ තමයි අවුරුදු ගාණක් තිස්සේ පොල් වත්තේ තිබුණු මුර කුටිය අලුත්වැඩියා කරනවා කියලා.” ඇය කීවේය.

මේ අතර ඔක්තෝබර් 09 වෙනිදා පෙරවරුවේදි මුතුරාජවෙල අභයභුමි විනාශ ක්‍රියාදාමයේ පාර්ශවයන් අජි’’’ත් පණ්ඩිතරත්න නැමැති මහපරිමාණ ව්‍යාපාරිකයාගේ සංවිධානයෙන් යුතුව කොළඹ කුණු මුතුරාජවෙලට බැහැර කිරීම සඳහා කොළඹ මහනගර සභාවේ මුල් පුටුවේ රෝසි සේනානායක මහත්මිය සමඟ රැස්වීමක් පැවැත්වු බව මුතුරාජවෙල අභයභූමිය සුරැකීමේ සංවිධානය පැවසීය.

පසුගිය සිකුරාදා එනම් ඔක්තෝබර් 05 වෙනිදා දින හිමිදිරියේ ම ගොවිජන සේවා කාර්යාලයෙන් ලාල් නැමැති පුද්ගලයෙක් පැමිණ මෙකී පාර දමන්නේ කවුරුන් ද යන්න නදී රුවන්ගිකාගෙන් විමසා ඇත. මෙසේ පාරක් සෑදීම සිදුකළ නොහැකි බවත් එහි තිබී ඇත්තේ නියරක් බවත් කියා ඇති ඔහු, යම්හෙයකින් එකී පාර තැනීමට නදී මහත්මියගේ ඉඩමෙන් ඉඩ ලබාදී ඇත්නම් ඇයට එරෙහිව ද නඩු දමන බව ලාල් නැමති ගොවිජන සේවා නිළධාරියා පවසා ඇත. කෙසේවෙතත්, ජාඇල ප්‍රාදේශීය සභාවෙන් පමුණුගම පොලීසියට ලබාදෙන පිළිතුරු කුමක් ද යන්න දැනගැනීමට ඇය අගහරුවාදා-09දා තෙක් නොයිවසිල්ලෙන් බලා සිටිය ද නැවත වතාවක් පමුණුගම පොලීසිය සහ පැමිණිලි පාර්ශවය විසින් තමන් අපහසුතාවයට පත්කරවමින් තමන්ගේ කාලය නාස්තිකර දැමූ බව ඇය පැවසුවේය.

“මට කොහොත්ම අදාළ නැති දේකට මේ විධියට පොලීසියේ රස්තියාදු වෙන්න මට පුළුවන් කමක් නැහැ. උසාවියේ තීන්දුවකට අනුව ඉඩම මනින්න කිව්වොත්, යම්හෙයකින් මම වැඩිපුර ඉඩමෙන් අල්ලාගෙන කියා ඔප්පු වුනොත් මම අනිවාර්යයෙන් ම ඒ වැඩිපුර ඉඩ ප්‍රමාණය දෙනවා. නමුත් මම දන්න එකම දේ තමයි, මම නියරෙන් වැඩිපුර මගේ වත්තට අල්ලගෙන නැහැ.”යැයි ඇය අවධාරණය කළේය.

පසුගිය වසරේ මැද භාගයේ සිට මුතුරාජවෙල තෙත් බිම් අභයභූමියට සිදුවෙමින් පැවති අකටයුතුකම් හමුවේ මුනිවත රකිමින් සිටිය නොහැකි වු ප්‍රදේශයේ කතෝලික, බොදුණු, පැවිදි උතුමන් ඇතුළු ගමේ සිටින උගත් විද්වත් 35 දෙනෙකුගෙන් සමන්විත වුණු කණ්ඩායමක්, මුතුරාජවෙල අභය භුමිය සුරැකීමේ සංවිධානය හා එක්වී 2017 මැයි මසේ 19 වෙනිදා නඩුවක් ගොණු කළ අතර, අංක ීක්‍ත්‍ඍ 176රැ17 දරණ එම නඩුවට, 2017 නොවැම්බර් මස 01 වෙනිදා තීන්දුව ලැබුණි. ඒ, සියලු අනවසර ගොඩකිරීම් සහ පරිසරයට හානි සිදුවන සියලුම කටයුතු වහා නවතා දමන ලෙසටය. එහෙත්, ආණ්ඩුව එනම් රජයේ නිළධාරීන් දිගින් දිගට ම අධිකරණ තීන්දුව උල්ලංඝණය කරමින් මුතුරාජවෙල විනාශයට ම කටයුතු කළ බව මුතුරාජවෙල අභය භුමිය සුරැකීමේ සංවිධානය පැවසීය.

මෙකී රජයේ නිළධාරීන් අතර විශේෂයෙන් ම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ගම්පහා දිස්ත්‍රික්කයේ හිටපු සහකාර කොමසාරිස් එම්.එල්.එන්. සඳමාලි නැමැත්තිය මැදිහත්වී මුතුරාජවෙල අක්කර 406 ක ඉතාම වැදගත් තෙත්බිම් කළාපයක් තුළ නිවාස සංකීර්ණයක් සෑදීම සඳහා අජිත් පණ්ඩිතරත්නගේ Melwatte Property Development Pvt. Ltd. ආයතනයට අවශ්‍ය අනුමැතිය ලබාදී ඇති බවත් ඒ සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාගේ අනුමැතිය ලබාගැනීම සඳහා සහකාර කොමසාරිස් ලෙසට කටයුතු කළ ඇය ක්‍රියා කළ බවත් පරිසර සංරක්‍ෂණ භාරයේ අධ්‍යක්‍ෂක සජීව චාරමිකර චෝදනා කළේය.

එම ගණුදෙනුව වෙනුවෙන් බෝපිටිය-තුඩුව (165ඒ) සිට කුංජාවත්ත (166ඒ) ග්‍රාමසේවා කොට්ඨාශ හරහා ව්‍යාප්තව පවතින මුතුරාජවෙල පර්චස් 65,102 ක පුරන්වු කුඹුරු ගොඩකිරීම සඳහා රජයේ මුදල වශයෙන් රුපියල් 32,551,000.00 ක අති විශාල මුදලක් අජිත් පණ්ඩිතරත්නගේ ඉහත ආයතනය විසින් ගෙවා ඇතැයි ද පරිසර සංරක්‍ෂණ භාරයේ අධ්‍යක්‍ෂක සජීව කීහ.

මෙකී ගණුදෙනුව හෙළිකිරීම සම්බන්ධයෙන් මුතුරාජවෙල අභයභුමිය සුරැකීමේ සංවිධානයේ සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික යන තුන් පුද්ගලයින් වෙත මරණ තර්ජන පවා පැමිණි බව ප්‍රකාශ කළ එහි සභාපති අනිල් ජයමහා පසුගිය වසරේ සිට සිය සංවිධානය දිවි පරදුවට තබා දියත් කළ මෙහෙයුම සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කළේය. “නඩු තීන්දුව ලැබුණට පස්සේ දෙසැම්බර් මාසේ ඉඳලා කටුනායක කොළඹ හයිවේ එකට සමාන්තරව යන පරණ ඕලන්ද ඇල හාරන්න පටන් ගත්තා. ඒ ඇල අවශ්‍ය නම්, මුහුදු මට්ටමේ ඉඳලා උපරිමය හාරන්න පුළුවන් අඩි 05යි. ඊට වඩා හෑරුවොත් අධිවේගි මාර්ගයට අවධානමක් ඇතිවෙනවා. නමුත් මේ පුද්ගලයා ඇල හාරලා තියෙනවා අඩි 45ක්. ඉන්ජීනේරුවරයෙක්වත් නොවෙන ජාඇල දොස්තර කාවින්ද ජයවර්ධන මන්ත්‍රිතුමා අවසර දී තිබෙනවා අඩි 15ක් හාරන්න. මේ ලියවිල්ල පමුණුගම පොලීසියේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි යළිත් වතාවක් ගොවිජන සේවා ආයතනයට සහ අදාළ සියලු පාර්ශවයන්ට දැනුම් දුන්න මේ අපරාධය ආයිම පටන් අරන් කියලා. ජනවාරි මාසේ වෙනතුරුත් දිගටම හෑරීම් කටයුතු සිදුවෙන නිසා අපි ආයිමත් ගොවිජන සේවා ආයාතනයට කිව්වා එයාලගේ අණපනත් නීති සංග්‍රාහයන් යටතේ මේ අජිත් පණ්ඩිතරත්නට නඩු දාන්න කියලා. නමුත් එයාලා පියවර ගත්තේ නැහැ. එයාලට පුළුවනි පොලීසියේ පැමිණිල්ලක් දාලා මේ සයිට් එකට ගිහිං දැන්වීමක් අලවන්න ‘ඔබ මෙවැනි වැරදි වැඩක් කරනවා, එය නවත්වන්න’ කියලා.

2017 ජනවාරි 03 වෙනිදා මේ සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක් දැම්මත් සයිට් එකේ කොලේ ඇලෙව්වෙ නැහැ ගොවිජන සේවා නිළධාරියා මඟහැරියා. ඒකට හේතුව තමයි ඔහුට තිබෙන බලපෑම. පොලීසියට තමයි අයිතිය තියෙන්නේ නඩුතීන්දු කඩවීමකදි ඊට මැදිහත් වෙන්න. නමුත් අපිට දැනිලා තිබෙනවා පමුණුගම පොලීසියේ ඕඅයිසී අපිත් එක්ක හිතවත්, නමුත් අනික්පාර්ශවය සමඟ තදබල සම්බන්ධතාවක් තිබෙන නිසා මේ වැඬේ මඟහරිනවා කියලා. ඊගාව දවසෙත් වැඬේ කෙරුණේ නැතිව ආපසු ලිපි ගොණුව ගම්පහා කාර්යාලයේ සහකාර කොමසාරිස්වරියක් වන සඳමාලි නැමැත්තිය වෙතට යොමුවුණා. නමුත්, අපි ඉදිරිපිටදීම ෆයිල් එක විසිකර දැම්මා “මේවා මට අදාළ නැහැ. ඕවා තියෙන්නෙ ගොඩකරන්න තමයි කියලා.”

“අජිත් පණ්ඩිතරත්න, ජනාධිපතිතුමාගේත් එතුමාගේ දියණියගෙත් නම් විකුණමින් මේ සඳමාලි කියන තැනැත්තියව පාවිච්චි කරමින් තමයි මේ සියලුම වැඩකරගන්නේ කියා අපි දැනගත්තා. මොකද ඇය ජනාධිපතිතුමාගේ දියණියගේ මිතුරියක්. නමුත් ඔවුන් මේ කිසිවක් දන්නෙ නැහැ. මේ වැඬේට පණ්ඩිතරත්න එක්ක සම්බන්ධ වෙලා හිටපු ගොවිජන සේවා ආයතනයේ හිටපු කොමසාරිස් ජෙනරාල් වරයාත්, වනජීවි අධ්‍යක්‍ෂ ජෙනරාල් වරයාත් මාරුකරන තුරු අපි ඉවසගෙන ඉඳලා නව නිළධාරින් එක්ක අපි ඉදිරියට වැඬේ ගෙනාවා. ජනාධිපතිතුමා මාර්තු 22 මුතුරාජවෙලට ආවට පස්සේ සහකාර කොමසාරිස් සඳමාලි සහ ගම්පහා වාරිමාර්ග ඉංජිනේරුවරයාව ඉන්ටර්ඩික්ට් කළා. දැන් මිනිස්සු දාලා පණ්ඩිතරත්න මුතුරාජවෙල පොල් පැල හිටවනවා. මේ ගැන අපි එස්ටීෆ් එකෙන් විමසුවාම කියන්නේ ඉඩම ඇතුලේ කරන වැඩ එයාලට අදාළ නැහැ කියලා. ජනාධිපතිතුමා ඇවිත් නීති නියෝග දාලා, පැහැදිළි කරලා ,අභයභූමියේ ආරක්‍ෂාවට පොලීසියට වඩා හොඳ එස්ටීෆ් එක කියලා මෙයාලව ආරක්‍ෂාවට තියපුවාම, දුන්න උත්තරේනම් මසුරං. ඉතිං කාගෙන් ද අපි මුතුරාජවෙල ආරක්‍ෂාව බලාපොරොත්තු වෙන්නනේ.”

මුතුරාජවෙල සුරැකීමේ සංවිධානයේ ක්‍රියාධරයින් පවසන්නේ අගවිනිසුරු තීන්දුව නොතකා , ගොවිජන සේවා පනත, ලෝක රැම්සා වාර්තාවේ නීති රීති, කිසිවක් නොතකා ගොවිජන සේවා අනුමැතිය මත , පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂාව මත අභය භුමියේ විනාශය දිගින් දිගටම සිදුවෙමින් පවතින බවයි. පිරවු භූමියේ කුඹුරු නියරවල් පළල්කර පොල්, කොස් , කෙසෙල් පැල සිටුවා ඇති බවත් කුඩා කුඩා නිවාස වැනි ගොඩනැඟිලි ඉඳිවෙමින් පවතින බවත් ඔවුහු කියති. ඒ සියල්ල ම ඉදිරියේ පොලීසියේ නිහඬ පිළිවෙත හා රටේ නීතිය බාල්දුවීම ඉතාම භායනක බවත් වේදනාකාරී බවත් මුතුරාජවෙල සුරැකීමේ සංවිධානයේ ක්‍රියාධරයෝ පවසති.

මුතුරාජවෙල සම්බන්ධයෙන් එක් පාර්ශවයක් විසින් සිදුකරන විනාශය එසේ වන කළ, මුතුරාජවෙල ට බලපැම් එල්ල වන්නේ පිටස්තරයින්ගෙන් පමණක් නොව ආණ්ඩු බලය පවත්නා පාර්ශවයන් ද මෙකී විනාශයේ කොටස්කරුවන් වී සිටිති. සොබාවික ගෑස් ජනන බලාගාරයක් මුතුරාජවෙල අභය භූමිය තුළ ඉදිකිරීම වෙනුවෙන් පසුගිය මාසේ එනම්, 2018 සැප්තැම්බර් 18 දා කැබිනට් අනුමැතිය ගෙන ඇත. ඉන්දියාවේ ප්‍රසිද්ධ ගල් අගුරු හා ගෑස් සදහා ප්‍රසිද්ධ අයතනයක් වන භඔඡක්‍ ආයතනය හා ලංකා විදුලි බල මණ්ඩලය සමග ඇති කර ගත් ගිවිසුමක් අනුව මුතුරාජවෙල වගුරු භුමිය තුල මෙම නව බලාගාරය ඉදිකිරීමට නියමිතය.

“අක්කර 110 භූමියක් පුරා ඉදිවන මෙම ව්‍යාපෘතිය නිසා මුතුරාජවෙල අභය ර්‍භමියට හා එහි සත්ව ප්‍රජාවට බරපතල හානියක් සිදුවේ. ආණ්ඩුව විසින් පසුගිය සමයේ මුතුරාජවෙල ඉඩමි නිවාස ව්‍යාපෘතියක් වෙනුනේ ලබා දිම වෙනුවෙන් යැයි කියා බලහත් කාරයෙන් ගොඩ කරමින් සිටි අතර රජය විසින්ම ඉහත පෙන්වා දූන් දූෂිත ඉංදීය සමාගමට මෙම ඉඩමි ලබා දීම සිදු කරන්නේ ලංකාවේ පාරිසරික නීතිය පවා උල්ලංඝනය කරමිනි.” යැයි පරිසරවේදි රවින්ද්‍ර කාරියවසම් පැහැදිළි කළේය.

NTPC”  ආයතනය ඉංදියාfවි දුෂිත ආයතනයකත් ලෙස THE ECONOMIC TIMES  පුවත් පත 2017, දෙසැමිබර් 09 වන දින වාර්ථාකර ඇත. එම ආයතනය හා එහි 2013 ව්ර්ෂයේ සිට සිටි අධක්ෂක වාරයා වන කුලුමණි බිස්වාල් හා ආයතනය විසින් නොයෙක් මුදල් වංචා සිදුකර ඇති අතර මෙරට පරිසරය වැනසීමට පැමිණ සිටින මෙම ආයතනය ඉංදියාfවි මුල්‍යවංචා වෙනුවෙන් නමි දරා ඇති ආයතනයකී.”

මෙම දුෂිත ආයතනය විසින් ලංකාවේද පරිසරය නසමින් සිදුකිරීමට යන මෙම ව්‍යාපෘතිය නිසා මුතුරාජවෙල වගුරු භිමියට හානි සිදුවන බවත් මෙහි ජීවත් වන මත්ෂ්‍ය විශේෂ 40 ක් ,ගෙමිබන් විශේෂ 15, උරග විශේෂ 31, සංචාරක පක්ෂින් ඇතුළු කුරුන්‍දා විශේෂ 102, ක්ෂිරපායී වාශේෂ 23 හා කඩොලාන විශේෂ 15 ආසන්න ප්‍රමාණයකට බලපෑමි සිදුවන බවත් අවට ප්‍රදේශ වල සිටින ජනතාවට ද එය හානිදායී තත්ත්වයක් උදා කරන බව රවින්ද්‍ර කාරියවසම් පෙන්වා දුනි.

තවදුරටත්, රවින්ද්‍ර කාරියවසම් පෙන්වා දෙන අයුරින්, 2004 වර්ෂයේ දී ඉන්දීය රජය විසින් තහනම් කරන ලද ඉන්දියනු ෆාම් තෙල් ශුද්ධාගාර කිහිපයක් අද වන විට මුතුරාජවෙල අභය භූමිය තුළ ස්ථාපිත කර ඇත. මැලේසියාවේ හා ඉන්දියාවෙන් ෆාම් තෙල් මෙරටට ගෙන්වා ඒවා භාවිතයට ගත හැකි ලෙස සකස් කිරීම මෙම කර්මාන්ත ශාලා තුළදී සිදුකරයි. එලෙස තෙල් පවිත්‍ර කිරීමේ කටයුතුවලදී දහනය වන දුම මුතුරාජවෙල අභය භූමිය පමණක් නොව මුළු ප්‍රදේශය පුරාම දැඩි දුගඳක් පතුරුවයි. මෙලෙස දුම් මුදවා හැරීමට නිසි ප්‍රමිතීන් ඇතත් එය බල්ලෙකු තරම්වත් නොසලකා හරිමින් පරිසරයට මුදාහැරීමට කර්මාන්ත හිමියෝ අද වන විට කටයුතු කරමින් සිටිති. එම නිසාම මුතුරාජවෙල අවට ජනතාවට ජීවත්වීමට මහත් හිරිහැරයක් වී ඇත්තේ හුස්ම ගැනීමට පවා ඇති අපහසුතාවය නිසාය. එයින් පීඩාවට පත්වන ජනතාව මෙම කර්මාන්ත වසා දමන ලෙස උද්ඝෝෂණය කළද වගකිවයුත්තන් නිහඩව සිටීම ද ගැටලුසහගත තත්වයක් නිර්මාණය කිරීමට සමත් වී ඇත.

ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඇතුළු පිරිසක් ප්‍රදේශයේ දේශපාලකයනුත් අභය භූමිය තුළ කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට දෙන දායකත්වය නිසා නීතිවිරෝධි කර්මාන්ත ශාලා නිරුපද්‍රිතව ක්‍රීයාත්මක වන බව ඔහු පවසයි.

“වෙනත් රටවලින් පලවා හරින කර්මාන්ත ශාලා අපගේ රටේ ස්ථාපිත කිරිමට අවසර ලබා දීමට තරම් අපේ රටේ පාලකයෝ පෙළඹී ඇත්තේ බඩකට පුරවා ගැනීමට ඕනෑකරන විදේශ මුදල්ටික සාක්කුවට දමා ගැනීමට විය හැකිය. මුතුරාජවෙල අභය භූමියේ ජෛව විවිධත්වය පිළිබඳ අබමල් රේණුවක් තරම්වත් තැකීමක් නොකරන පාලකයන්ගේ ගොන්කම් නිසා අදවන විට මුතුරාජවෙල අභය භූමියේ හා අභය භූමි මායිම් තුළ ෆාම් ඔයිල් ශුද්ධාගාර හා යකඩ උණුකරන කර්මාන්ත ශාලා 6 ක් පිහිටුවා ඇත. මෙම කර්මාන්ත ශාලා හයක් උස්වැටකෙයියාව ප්‍රදේශයේ මෝඩ ඇළට මායිම්ව තිබේ. මෙලෙස ඉදිකර ඇති කර්මාන්ත ශාලා අතර ණගක්‍ගක්‍ ඉන්ජිනියරින් ,ඬේරිබියම් ප්‍රයිවට් ලිමිටඞ් , වෙයාර් ඔයිල් ප්‍රයිවට් ලිමිටඞ් , රෙයාර් ඔයිල් ප්‍රයිවට් ලිමිටඞ් සහ SR මැටල් ප්‍රයිවට් ලිමිටඞ් යන කර්මාන්තශාලා ප්‍රධාන වශයෙන් මුතුරාජවෙල අභය භූමියට වින කටින දේශපාලන බලපුළුවන්කාරකම් උපයෝගී කරගනිමින් ඉදිවූ ඒවාය. මෙම කර්මාන්තශාලා මඟින් බැහැර කරන අපද්‍රව්‍ය මුතුරාජවෙල අභය භූමිය තුළට ම බැහැර කරන අතර ෆාම් ඔයිල් කර්මාන්තශාලාවලින් බැහැර කරන අපද්‍රව්‍ය නිසා මුතුරාජවෙල තුළ ඇති ජල මූලාශ්‍රවලට තෙල් මිශ්‍ර වී ඇත. මුතුරාජවෙල අභය භූමියේ තවත් කර්මාන්තශාලා කිහිපයක් ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් එළිපෙහෙළිකර කඩොලාන ගිනි තබා භූමි සකස් කිරීම මේ වන විට සිදුකරමින් පවතී.”

මෙලෙස මුතුරාජවෙල තෙත්භූමියේ මේ වන විට කිසිඳු බාධාවකින් තොරව ක්‍රියාත්මක වන ඉන්දියානු සහ ඉන්දියානු නොවන කර්මාන්ත ශාලා වශයෙන් පහත ආයතන දැක්විය හැක. Ceylon Petroleum Storage Terminals LTD , A state-of-the-art container yard of HEMAS , John Keells Logistics (Pvt.) Ltd. , Logicare (Praivate) Limited. , Pyramid Wilmar leading Edible Oil and Specialty Fats Company , NARMADA Offshore PVT.Ltd , Paras Industries Pvt.Ltd

1996 වසරේ ඔක්තෝබර් මස 31 වෙනි දා මුතුරාජවෙල අභය භූමිය, තෙත් බිම් කළාපිය අභය භූමියක් ලෙසට නම් කරනු ලැබු අතර, මුතුරාජවෙල අභය භූමිය හෙක්ටයාර් 2569 විශාල බව National Wetland Directory of Sri Lankan කෘතියේ සඳහන් කර ඇත. මෙම කෘතිය මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ප්‍රකාශයට පත්කොට ඇත. එසේ වූවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත්කර ඇති ශ්‍රී ලංකාවේ තෙත් බිම් නමැති අත්පත්‍රීකාවට අනුව මුතුරාජවෙල අභය භූමියේ පළමුවැනි කොටස හෙක්ටයාර් 1028.6ක් ලෙසත් දෙවන කොටස හෙක්ටයාර් 256.8ක් ලෙසත් නම්කර ඇති බව පරිසරවේදි රවීන්ද්‍ර කාරියවසම් පවසයි.

පෙර නොවු විරූ, වත්මනේදී සුළු වර්ෂාවකදී වූවද කොළඹ නගරය අඩි ගණනක් වර්ෂා ජලයෙන් යටවන්නේ මන්ද යන්න දන්නෝ දනිති. කොළඹ ප්‍රදේශයේ සිට බැස එන වැසි ජලය පිළිගැනීමට අද මුතුරාජවෙල වගුරු බිම නිදහස් නැත. ඒ, වගරු බිම ගොඩවී ඒ තුළ කර්මාන්තශාලා, නිවාස, හෝටල් ආදිය ඉඳිවී ඇති නිසාය. කොළඹ ගංවතුර තත්ත්වය පාලනය කිරීමට තිබූ මහඟු සම්පතක් වූ මෙම වගුරු බිම් ප්‍රදේශය හරහා 2005 වන විට අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට එවකට චන්ද්‍රීකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ සැලසුම් තුළ වැලි ටොන් ලක්ෂ ගණනක් මුතුරාජවෙල අභය භූමිය තුළ ගොඩගසන ලදී. ජාතික ධනය මෙන්ම පරිසරයද අමු අමුවේ විනාශ කළ මෙම ව්‍යාපෘතිය නිසා මුතුරාජවෙල අභය භූමියෙන් කොටසක් විනාශ වූයේ විශාල වැලි කඳු පමණක් ඉතිරි කරමින්ය. එලෙස අතීතයේ ගන්නා ලද අන්තනෝමතික ක්‍රියා නිසා වර්තමානයේ සිදුවන විනාශයන් නිසාත් ප්‍රධාන වශයෙන් කොළඹ ගංවතුර පාලනයට තිබූ වගුරු බිම විනාශ මුඛයට පත්ව ඇත.

එවන් වු ක්‍රියාමාර්ගයන් හි තිත්ත ප්‍රතිපල භුක්ති විඳින ගමන් ම නැවත නැවතත් රජයේ මෙන් ම මැර බලය සමඟ පිනුම් ගසන තවත් සුළු පිරිසකගේ අදූර දර්ශී මෙන්ම ඉතාම විනාශකාරි න්‍යාය පත්‍රයන් මුතුරාජවෙල තෙත් බිම් අභය භුමිය තුළ ක්‍රියාත්මක වන්නට ඉඩ දීම මුතුරාජවෙල පණ නල පමණක් නොව ඒ අවට ප්‍රදේශ ගණනාවකම සියලු ජීවින්ගේ සත්ත්වයින්ගේ විනාශයේ ආරම්භය වනු ඇත.

ජනාධිපති මාධ්‍ය අංශයට අනුව, මේ වසරේ මාර්තු මස 22 වෙනිදා පෙරවරුවේදි ජනාධිපතිවරයා විසින් තර්ජනයට ලක්වෙමින් පවතින මුතුරාජවෙල අභය භූමියේ දැවැන්ත පිරවුම් ප්‍රදේශය නිරීක්‍ෂණය කර අනතුරුව ප්‍රදේශයේ මැති ඇමතිවරු , රාජ්‍ය නිළධාරීන් සහ ආරක්‍ෂක අංශ ප්‍රධාන නිළධාරින් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. ඉඩම් ගොඩකිරීම හා මේ ප්‍රදේශයේ සිදුවන බරපතල පාරිසරික විනාශය ගැන රජයේ පාර්ශවත් අනුමැතිය දීලා තිබෙනවා. ඒක තමයි පළමුවෙනි වැරැද්ද. අනිවාර්යයෙන් ම මෙය නොකළයුතු දෙයක් යැයි පැවසු ජනාධිපතිවරයා, මින් ඉදිරියට රජයේ ඉඩම් පමණක් නොව පෞද්ගලීක ඉඩම් වුව ද පරිසරයට හානි ගෙනෙන පරිදි කළමණාකරනය කරන්නට බැරිබවත් මින් ඉදිරියට මුතුරාජවෙල භුමීය තුළ කිසිඳු ඉඳිකිරිමකට අදාළ යන්ත්‍ර-සූත්‍ර ගෙනයාම, පිරිවීම සඳහා පස් ගෙනයෑම තහනම් බව ප්‍රකාශ කළේය. මුතුරාජවෙල ප්‍රදේශයට ඇතුළුවන සියලු මාර්ගවල මාර්ග බාධක දැමීමට ද නියෝග කෙරුණු අතර ආරක්‍ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවන ලෙසට නියෝග කෙරිණි. මෙවැනි කටයුතු නිකම් සිදුනොවන බව ද ප්‍රකාශ කළ ජනාධිපතිවරයා මැති ඇමතිවරු සහ රජයේ නිළධාරින් මෙවැනි පුද්ගලයින් හඳුනාගත් විට ඔවුන්ට සමඟ ගණුදෙනු කිරිම නවතා දැමිය යුතු යැයි පැවසීය.

ජනාධිපතිතුමා එසේ නියෝගකොට තිබියදී, දිගින් දිගටම අභයභුමිය තුළ සිදුවන පස් පිරවිලි, කුඹුරු ඉඩම්වල කෙසෙල් පොල් සිටුවීම් සම්බන්ධයෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට ලැබී තිබුණු පැමිණිල්ලක් පරික්‍ෂා කිරීමට නවක කොමසාරිස්වරයාගේ විශේෂ අවසරයක් මත පසුගිය මාසේ අවසාන සිකුරාදා දින වයඹ සිට ගොවිජන සේවා සහකාර කොමසාරිස් තුමියක් මුතුරාජවෙල අභයභූමියේ විභාග කටයුත්තට පැමිණ සිටියහ. එහෙත් අභයභූමියේ ආරක්‍ෂාව සපයන පොලිස් විශේෂ කාර්යය බලකායේ නිළධාරීන් දෙදෙනෙකු සමඟින් අභයභුමියේ එකී අදාළ ඉසව්වට පැමිණිය ද එම භූමිය අයිති මහත්තයාගේ “තග් ගෝලයින්ගෙන්” ප්‍රශ්න කිරීම්වලට රජයේ එම ප්‍රධාන නිලධාරිනිය යොමුවීම කෙතරම් ලජ්ජාසහගත ද? ගෝලයින්ගෙන් ඇයට තර්ජනයක් ඉදිරිපත් වු අතර රාජකාරිය සිදුනොකට ආපසු පැමිණෙන්නට සිදුවී ඇත. තමන්ට රාජකාරිය නිසි ලෙස සිදුකරන්නට නොහැකි වන සේ බාධා පැමිණවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැමීමට ඇය පමුණුගම පොලීසිය වෙත පැමිණිය ද එහිදී ද ඇගේ අනන්‍යතාවය දැනගත්ත ද දීර්ඝ වේලාවක් රැඳී සිට පැමිණිල්ල ගැනීමට අදාළ පොලිස් නිලධාරිතෙම ස්නානය කර ආපසු නොපැමිණයෙන් සහකාර කොමසාරිස්වරියට ආපසු යන්නට සිදුවී ඇත. පසුව, මීගමුව පොලීසියට ගොස් පැමිණිල්ල දමා ගොස් තිබුණි. මෙම සිදුවීමෙන් ද පෙන්වන දුඟද හමන සත්‍ය යථාර්තය කුමක්ද යන්න වටහා ගන්නට අසීරු නොවනු ඇත.

මෙසේ ජනාධිපති නියෝග මෙන් ම අධිකරණ තීන්දුවක් තිබිය දී ඒ කිසිවක් නොතකා, එම නියෝග අඩු ලංසුවෙහි ලා, ඇතැම් දේශපාලඥයින් හා රජයේ නිළධාරින් ද සිය රාජකාරියේ , වගකීමේ ස්ප්‍රිතුව මුදලට පාවා දෙමින් මැර පිරිස් හා අතිනත ගෙන විශාල පරිසර හා සාමාජීය විනාශයක් ඇතිකිරිමට ක්‍රියාකිරීම ජාතික මෙන් ම මානුෂික අපරාධයකි. මේ සියලු තර්ජන ගර්ජන හමුවේ නොසැලී උකුසු ඇස් මානා සිටින මුතුරාජවෙල අභය භුමිය සුරැකීමේ සංවිධානයේ ක්‍රියාකාරී නිළධාරීන් වන සභාපති අනිල් ජයමහා ද ලේකම් සේනාරත්න වනසිංහ සහ භාණ්ඩාගාරික දිනූෂ නානායක්කාර යන පුද්ගලයින්ගේ ජීවිත සහ ඔවුන්ගේ පවුල් ද සෘජු තර්ජනයට ලක්වී ඇතිබව ඔවුහු මෙන් ම ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය දන්නා ප්‍රදේශවාසින් ප්‍රකාශ කළෝය.

ඉඩම් ගොඩකිරීම හා බරපතල පාරිසරික බලපෑම සිදුවීමට රජයේ අනුමැතිය ලබාදී තිබිම පළමු සහ බරපතල වැරැද්දක් බවට පිළිගත් ජනාධිපතිතුමෙනි, සල්ලි වලට හා ගණන්කාරකම්වලට ඉඩදී ජාතික අපරාධ සිදුවීමට ඉඩ දෙනවා ද යන්න ප්‍රශ්න කරමින් ඔබ එදා නියෝග කළේ කොළඹට හිමි අංක 01 තෙත් බිම් අභයභුමිය වන මුතුරාජවෙල ට කිසිඳු ආකාරයක අපරාධයක් විනාශයක් සිදුනොවීමට වගබලා ගන්නා ලෙසට අදාළ සියලු පාර්ශවල නිළධාරින්ට අවශ්‍ය නිසි උපදෙස් ලබාදෙමිනි. එහෙත්, අධිකරණ නියෝගය පවා අලුයම ලු කෙළ පිඩක් සේ විසිකර දමා අත්තනෝමතික ලෙසට රාජ්‍ය බලය හා සෙල්ලම් කරනා මිනිස් ශරීර, මුතුරාජවෙල ලුහුබඳිමින් සිටිති. රටේ රජුවන ඔබේ “අණ අද පුරන් වී” , “තග රජකරමින්” සිටීම උභතෝකෝටික ප්‍රශ්නයක් බවට මුතුරාජවෙල පුරවැසියන් විශ්මය පළකරති. ප්‍රශ්න කරති. ඔබ තවමත් ලාංකීක පුරවැසියන්ගේ යහපාලන ආණ්ඩුවේ විධායක ජනාධිපතිවරයා ය.
සටහන ඃ මෙලනි මානෙල් පෙරේරා

ඡායාරූප – දිනූෂ නානායක්කාර-මුතුරාජවෙල අභයභුමිය සුරැකීමේ සංවිධානය

Archive

Latest news

Related news