Wednesday, May 8, 2024

තමිල්නාඩුවෙන් ඇවිත් කොළඹට බෝම්බ දාන ජනපතිගේ කතාව, ඔහුගේම මාධ්‍ය වාරණය කරයි.

ඡායාරූපය: ජනපති වෙබ් අඩවිය ඔහුගේ කතාව වාර්තා කළ අන්දම.

ජනාධිපති සිරිසෛ්න පසුගිය 27වනදා ඇමෙරිකාවෙහිදී එරට වාසය කරන ශ්‍රී ලංකිකයින් පිරිසක් හමු විය. ඒ හමුව පිළිබද වාර්තාවක් ඔහුගේ නිල වෙබ් අඩවියේ පල කර තිබේ.

නමුත් මෙම නිල වාර්තාව සිරිසේන එහිදී ගැසූ කයිවාරු දෙකක් එම වාර්තාවෙහි නැත.

එනම් යුද්ධයේ අවසාන දෙසතිය තුළ එල්ටීටීඊ ප්‍රහාරයන්ට බියෙන් එවකට ජනාධිපති වූ රාජපක්ෂ, අගමැති රත්නසිරි වික්‍රමනායක, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ යුද හමුදාපති පොන්සේකා යන හතර දෙනාම කොළඹට එල්ටීටීඊ ප්‍රහාරයක් එල්ල වේ යැයි බියෙන් රට හැර පලා ගොස් තිබූ බවයි.

සිරිසේනට අනුව ඔහු පවා ඒ දිනවල කොළඹ සිටි නැත. ඔහු ආරක්ෂාව පිනිස තැනින් තැන සැඟව යුද හමුදාවට නායකත්වය දී තිබේ. දැන් සිරිසේනට අනුව යුද්දයේ අවසන් සති දෙක තුළ ආරක්ෂක හමුදාවන්ට නායකත්වය දී ඇත්තේ ඔහු ය.

මෙම අතිශය වැදගත් ප්‍රකාශය ජනාධිපතිගේ වෙබ් අඩවිය වාර්තා කර නැත.

දෙවැනි කාරණය නම් යුද්ධයේ අවසන් දිවනවල ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට ගුවන් මගින් පැමිණ කොළඹට මහා විනාශයක් ඇති කළ හැකි බෝම්බ ප්‍රහාරයක් එල්ටීටීඊ ය සැළසුම් කර තිබූ බවයි. මෙම ගුවන් යානා තමිල්නාඩුවේ වනාන්තරයකින් හෝ ගුවන් තොටින්ම ගුවන් ගතවිමට තිබුණේ යයැ සිරිසේන ඉහත කී හමුවෙහි දී කියා තිබේ.

මේ තාක් දුරට අසන්නට ලැබුණේ එල්ටීටීඊය පරාජය කිරිම සඳහා ඉන්දීය සහාය ලැබුණ බවයි. එවකට තමිල් නාඩුවෙහි බලයේ සිටි ඩිඑම්කේ පක්ෂය ද ඉන්දීය ආණ්ඩුවේ එම පිළිවෙතට සහාය දුන්නේ යැයි වාර්තා වී තිබුණි.

දැන් සිරිසේන කියන්නේ තමිල්නාඩු ගුවන් තොටුපලින් ගුවන් යානයක් පැමිණ කොළඹට බෝම්බ දැමිමට සැළසුමක් තිබූ බවයි.

මෙම ලොමු දැහැගන්වන ප්‍රකාශයද ජනාධිපති සිරිසේනගේ වෙබි අඩවියෙන් කපා දමා තිබේ.

ඇමෙරිකාවට එකක් කියා ලංකාවට එකක් තියන්නෛ් ඇයි? ජනාධිපති ඊට පිළිතුරක් නොදිය යුතුද?

ජනපති වෙබ් අඩවිය ඔහුගේ කතාව වාරණය කර ඇත්තේ මෙසේය:

රණවිරු අභිමානය සුරැකීමට රජය සෑම විට ම කැපවන බව ජනපති පවසයි

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ අවසාන සොල්දාදුවාගේ සිට හමුදාපතිවරුන් දක්වා සියලුදෙනා ශ්‍රේෂ්ඨ රණවිරුවන් බවත්, එම සියලුදෙනාගේ අභිමානය සුරැකීමට රජය නිරන්තරයෙන් කැපවී සිටින අතර, ඔවුන් වෙනුවෙන් ලබාදිය යුතු ඉහළ ම වරප‍්‍රසාද ද නොඅඩුව ලබාදෙන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ  (26) දින පස්වරුවේ නිව්යෝර්ක් නුවර දී ඇමරිකාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් හමු වූ අවස්ථාවේදී ය.

විද්වතුන්, වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයින්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටී අතර ඔවුන් සියලුදෙනා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගෞරවයෙන් පිළිගනු ලැබීය.

යුද්ධය පැවති කාලයේ සේම ඉන් පසුවත් යුද්ධයට කිසිදු සම්බන්ධතාවයක් නොමැති ඇතැම් සිදුවීම්වලට සම්බන්ධ වූ බවට චෝදනා ලැබු පිරිස් වෙනුවෙන් පරීක්ෂණ කටයුතු සිදු වුව ද එය කිසිසේත් රණවිරු දඩයමක් නොවන බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා 2015 වසරේ දී රටේ ජනතාව තමන් ජනාධිපති ධුරයට පත්කර ගනිමින් තැබූ අපේක්ෂාවන් අතර එවන් වැරදිකරුවන්ට දඩුවම් ලබාදීම ද ප‍්‍රමුඛ අපේක්ෂාවක් වූ බව අමතක නොකළ යුතු බව සඳහන් කළේය.

යුද්ධයෙන් භාහිරව සිදු වූ එවන් සිදුවීම්වලට වැරදිකරුවන් බව තහවුරු වුවහොත් එම සියලුදෙනාට නීතිය කි‍්‍රයාත්මක කිරීම සැබෑ රණවිරුවන්ට සිදුකරන ගෞරවයක් බව ද පැවසූ ජනාධිපතිතුමා ජාත්‍යන්තර වශයෙන් අපේ රණවිරුවන් ඉහළ පිළිගැනීමකට ලක්වන්නේ එම නිවැරදි කර ගැනීම් තුළින් බව ද වැඩිදුරටත් කියා සිටියේය.

අද ශ‍්‍රී ලංකා මාතෘ භූමිය තුළ නිදහසත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් සැබෑ ලෙසම තහවුරු කර තිබෙන අතර පුවත්පත් කර්තෘවරුන් සහ මාධ්‍යවේදීන් කිසිවෙකුට ඉකුත් වසර තුන හමාර තුළ පහර කෑමකට ලක්ව රට හැර දමා යාමට සිදු නොවූ බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ඇසට පෙනෙන සේම නොපෙනෙන ජයග‍්‍රහණ රැසක් පසුගිය වසර තුන හමාර තුළ ශ‍්‍රී ලංකා රජය ලබාගත් අතර අහිමි වූ ජාත්‍යන්තර සහය නැවත මාතෘ භූමියට දිනා ගැනීම සුවිශේෂී ජයග‍්‍රහණයක් බව ද කියා සිටියේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය සඳහා සහභාගීවීමට සිදුකරන ලද තම ඇමරිකා සංචාරය මාතෘ භූමියේ මෙන්ම විරෝධාර රණවිරුවන්ගේ ද ගෞරවය දිනා දුන් සංචාරයක් බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

අද ලෝකයේ තිබෙන ආර්ථික අසමානතා සමග ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ගැටලු මතු වුව ද ජනතාවට ලබාදිය හැකි උපරිම සහන ලබාදෙමින් රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට රජය සුවිශේෂී වැඩකොටසක් ඉටුකරමින් සිටින බව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

මාතෘභූමියේ ගෞරවය රැකගනිමින් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස තහවුරු කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී ඇමරිකාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින්ගේ දැඩි පැසසුමට ලක්විය.

මෙම හමුවෙන් අනතුරුව ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථාබහකට ද එක් විය.

Archive

Latest news

Related news