Friday, May 3, 2024

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ඉදිරිපත්අ කරන ලද අන්තර්කාලීන නිර්දේශ

සාරාංශය:

අතුරුදහන් වූ හෝ අතුරුදහන් කරවන ලද තැනැත්තන් සම්බන්ධ කාරණා නිරාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ උත්සාහයන්ගේ සුවිශේෂි සංධිස්ථානයක් ලෙස අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම දැක්විය හැකිය. ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත මගින් පිහිටුවීමේ අරමුණු වනුයේ අතුරුදහන්වූවන් පිළිබඳ සොයා බැලීමත් එවැනි අතුරුදහන්වීම් නැවත සිදු නොවීම සඳහා නිර්දේශ ලබා දීමත් අතුරුදහන්වූවන්ගේ හා ඔවුන්ගේ ඥාතින්ගේ අයිතවාසිකම් ආරක්ෂාකිරීම තහවුරු කිරීමත් සහන සැලසීම සඳහා සුදුසු ක්‍රමවේදයන් සකස් කිරීමත්ය.

2018 පෙබරවාරි මාසයේ කොමසාරිස්වරුන් පත්කිරීමත් සමගම මෙම කාර්යාලයේ කටයුතු ආරම්භවූ අතර කාර්යාලයේ ක්‍රියාකරීත්වය සැලසුම්කිරීම, ප්‍රාදේශයී කාර්යාල සහ ඒකක ඇති කිරීම, සේවකයන් බඳවා ගැනීම, ප්‍රතිපත්ති, රීතීන් සහ ක්‍රමවේදයන් සකස්කිරීම ඔවුන්ට පැවරිණි. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සමග මහජන අදහස් වීමසීමේ හමුවීම්වල නිරත වුනු අතර පීඩාවන්ට ලක්වූවන්ගේ පවුල්වල ඉල්ලීම මත ඔවුන් සමග පෞද්ගලිකව හමුවීම්ද සිදුකරන ලදී. විශේෂඥ දැනුම ලබා ගැනීම සඳහා නීතීය සහ වෝහාරික විද්‍යාව වැනි ක්ෂේත්‍රයන්හිද දත්ත ලේඛනගත කිරීමත් සඳහාද ජාතික මෙන්ම ජාත්‍යන්තර විද්වතුන්ගේ සහ ආයතනවල සහය ලබාගන්නා ලද අතර විවිධ රාජ්‍ය ආයතන සහ ජාත්‍යන්තර සංවිධාන සමග අවශ්‍ය සබඳතාවයන් ඇති කර ගැනීමට ද කටයුතු කරන ලදී. මේ වන විට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සුවිශේෂී සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් විමසීම් පැවැත්වීමටත් මන්නාරමේ සමූහ මිනීවලේ කැනීම් සහ ගොඩගැනීම් සඳහා අවශ්‍ය සහය ලබා දීමටත් මැදිහත් ව ඇති අතර අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් දැනට පවත්නා වාර්තා ඒකරාශී කිරීමත් වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වලට අදාළ නෛතික කාරණා සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් සහ නිර්දේශ ලබාදීමත් සිදුකරන ලදී.
වසර ගණනාවක් පුරා ශාරීරික සහ මානසික පීඩනයට ලක්වී සිටින අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අවශ්‍යතාවයන් සපුරාලීමේ හදිසිභාවය සංතුලනය කිරීම ද ඇතුළුව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය මුහුණ දෙන ලද අභියෝග බොහෝමයකි. අතූරුදහන්වූවන්ගේ පවුල්වලට අවශ්‍ය වනුයේ සිය ඥාතීන්ට සිදුවූයේ කුමක් ද යන්න දැන ගැනීමටය. මෙතෙක් මේ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ලබා දීමට විවිධ රාජ්‍ය යාණ්ත්‍රනවලට නොහැකිවීම හේතුවෙන් රජය කෙරෙහිද අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සම්බන්ධයෙන්ද දැඩි අවිශ්වාසයක් ගොඩනැගී තිබේ. එවැනි පවුල්වල විවිධාකාර වූ අවශ්‍යතා සහ ස්ථාවරයන් තේරුම් ගනිමින් ඔවුන්ගේ විශ්වාසය ගොඩනැගීමේ අවශ්‍යතාවය අප හඳුනාගෙන ඇත.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය වඩාත් ඵලදායිව පවත්වාගෙන යාම සඳහා අනෙකුත් රාජ්‍ය ආයතනයන්හි සහයෝගය අත්‍යාවශ්‍ය වේ. අතුරුදහන් වූ හෝ අතුරුදහන් කරන ලද අයවලුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම මගින් ඇති කරන ලද හානිය, හානිපූරණය කිරීම සඳහා වූ වැඩපිළිවෙළක් අවශ්‍ය වන්නේය. එහෙයින් හානිපූරණය කිරීම සඳහා ඵලදායි සහ විශ්වසනීය කාර්යාලයක් බවට පත් කරනු වස් නීති සම්පාදනය කිරීම ඉතා වැදගත් වේ. පවුල්වල දිවි පෙවෙත රැකබලා ගත් තැනැත්තන් අතුරුදහන්වීමෙන්, අතුරුදහන්වූවන්ගේ පවුල් පත්ව ඇති අන්ත දුක්ඛිතභාවයත් ඒ නිසාම මතුව ඇති සහන සැලසීමේ අවශ්‍යතාවයන් අප හඳුනා ගෙන ඇත. මෙම වාර්තාවට පාදක වනුයේ එම පවුල්වල අවශ්‍යතාවයන්ය. අතුරු සහන ගණනාවක් නිර්දේශ කරනුයේ එම අවශ්‍යතාවයන්ට ප්‍රමුඛතාවය දෙමිනි. කෙසේ වෙතත් පවුල්වල සුභසාධනය අරමුණු කරගත් මෙම අතුරුසහනයන් කිසිවක් හානිපූරණය කිරීමක් නොවන බව අවධාරණය කළ යුතුය.

අතුරුදහන්වූවන්ගේ පවුල් මෙම අතුරු සහනයන් රජයෙන් භාරගැනිම හේතුකොට හානිපූරණය සඳහා ඔවුන්ට ඇති අයිතිවාසිකම් කිසිවකට එය බාධාවක් නොවන බවත් විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත.

අතුරුදහන් වූ හෝ අතුරුදහන් කරන ලද තැනැත්තන් සම්බන්ධ ප්‍රශ්නය විසඳාලීම අරභයා යුක්තිය ඉෂ්ට කිරීමේ ඇති අවශ්‍යතාවය අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය මනාව හඳුනාගෙන ඇත. 2018 අංක 05 දරන පනත (පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට එරෙහි පනත) හරහා පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට එරෙහි ජාත්‍යන්තර සම්මුතිය මෙරට තුළ බලගැන්වීම මගින්, බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම අපරාධයක් ලෙස හඳුනාගැනීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති රාජ්‍ය වගකීම් අවධාරණය කිරීමත් ඊට අදාළව පවතින නීතනී් හඳුනාගැනීමත් සුභවාදී පියවරයන් ලෙස අපි පිළිගනිමු. එසේ නමුත් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම අපරාධ වරදක් ලෙස ස්ථාපිත කිරීම පමණක්ම ප්‍රමාණවත් නොවන්නේය. යුක්තිය පසිඳලීම සඳහා වැදගත් වන විවිධ ක්ෂේත්‍රයන් ගණනාවක් සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණයන් අතර මේ ක්ෂේත්‍රය් කටයුතු කරන සම්බන්ධයෙන් කටයුතු කරන පවුල්වල සාමාජිකයන් ක්‍රියාධරයන් සහ මානව හිමිකම් නීතිඥයන්ට එරෙහිව සිදුවන බිය ගැන්වීම් සහ හිංසනයන් සම්බන්ධයෙන් පියවර ගැනීමේ හදිසි අවශ්‍යතාවය පිළිබඳවද නිර්දේශ කර සිටිමු.
සම්පූර්ණ නිර්දේශයන් පිඩීඒෆ් ‌ගොනුවක් ලෙස:OMP Report Sinhala

Archive

Latest news

Related news