Friday, May 3, 2024

උතුරේ මන්ත්‍රී ‌මුස්ලිම් ‌දේවස්ථානයක් ඉදිරිපිට පත්තර පුළුස්සයි; මාධ්‍ය සමාජයේ විරෝධය

(ලංකා ඊ නිව්ස් -2018.සැප්.02, ප.ව.6.40) උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු යාපනයේ පලවන දෙමළ පුවත් පත් මිටියක් මුස්ලිම් දේවස්ථානයක් ඉදිරිපිට තබා ගිණි තැබීමේ සිද්ධිය තරයේ හෙළා දකිමින් යාපනයේ මාධ්‍ය සමාජය අද 02 දා නිවේදනයක් නිකුත් කොට තිබේ.

උතුරු පළාත් සභාවේ එම් අයුබ්.අස්මින් මන්ත්‍රීවරයා 1 දා සවස මේ අන්දමට යාපනයේ පලවන පුවත් පතක පිටපත් කීපයක් ජනතාව ඉදිරියේ ගිණි තබා විනාශ කරණ ලද්දේ ඔහු සම්බන්ධයෙන් විවේචනාත්මක ලිපියක් එම පුවත් පතේ පලවීම සම්බන්ධයෙන් විරෝධය පලකිරීම පිණිසය.

එල්.ටී.ටී.ඊ.සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ තරුණයින් පිරිසකගේ අවි ආයුධ මුස්ලිම් දේශපාලනඥයින් ළග තබා‌‌ගෙ‍‍‍න සිටින බවට මේ දිනවල පැතිර යන කතාව සම්බන්ධයෙන් අස්මින් මන්ත්‍රීවරයා උතුරු පළාත් සභාවේ කරණ ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදාල දෙමළ පුවත් පත ඔස්සේ පලකරණ ලද ලිපියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා උරණ වී ඊට විරෝධය පලකිරීමට පුවත් පතට ගිණි තබා තිබේ.

මේ මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයට හිමි බෝනස් මන්ත්‍රීධුරයක් සඳහා මන්නාරම දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූයේ දෙමළ ජාතික සන්ධානය සමග අත්සන් කළ ගිවිසුමක් අනුවය.

යාපනයේ මාධ්‍ය සමාජය සිය නිවේදනය මගින් කියා සිටින්නේ අදාල මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් වැරදි යමක් පුවත් පතේ පලවී තිබුණේ නම් එය නිවැරදි කරගැනීමට අවස්ථාව තිබූ බවයි.

මන්ත්‍රීවරයාට අපහාස වන අන්දමේ යමක් පල වී තිබුණේ නම් ඊට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට අවශ්‍ය තරම් ඉඩකඩ තිබියදී මහා සෙනගක් රැස් කොට මන්ත්‍රීවරයා යාපනයේ මුස්ලිම් දේවස්ථානයක් ඉදිරිපිට දී පුවත් පත් වලට ගිනි තැබීම සදාචාර සම්පන්න නොවන බවද සඳහන් කොට තිබේ.

මන්ත්‍රීවරයා විසින් සිදු කළ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ගත හැකි නීතිමය පියවර ගැන යාපනයේ මාධ්‍ය සමාජය ඔවුන් වෙණුවෙන් කටයුතු කරණ නීතිඥවරුන්ගෙන් විමසා ගෙන යන බවත් මන්ත්‍රීවරයාට එරෙහිව නීති මගින් කටයුතු කළ හැකිනම් එසේ කරණ බවත් කියා සිටියි.

දිනසේන රතුගමගේ

Archive

Latest news

Related news