Monday, May 20, 2024

අපුර නගර සභා සේවිකාවගේ බැංකු ගිණුම් 100කට අධික සංඛ්‍යාවක් පරීක්ෂා කිරීමට CIDයට අවසර දෙයි

අනුරාධපුර මහ නගර සභාවේ සිදුවූ රුපියල් ලක්ෂ 325කට ආසන්න සේවක වැටුප් වංචාව සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වැටුප් අංශයේ සේවයේ නියුතු වූ දැනට වැඩ තහනම්ව සිටින සනීපාරක්ෂක කම්කරු සේවිකාව භාවිත කළ බැංකු ගිණුම් 100කට අධික සංඛ්‍යාව සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට අවසර ලබාදෙන ලෙස වාණිජ අපරාධ ඒකකය අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්පකුමාර මහතාගෙන් ඉල්ලා තිබේ.

එම ගිණුම් පරීක්ෂා කිරීමට විනිසුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ ඒකකයට අවසර දී ඇති අතර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකාරිය තවදුරටත් මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විනිසුරුවරයා නියෝග කර ඇත. තවදුරටත් එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ගෙවල් හැට තිසාවැව අනුරාධපුර ලිපිනයේ පදිංචි ශාලිකා එරන්දි අමරසිංහ නැමති 36 හැවිරිදි තැනැත්තියකි.

අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතා හා උතුරු මැද පළාත් පාලන කොමසාරිස්වරිය විසින් මහ පරිමාණ වැටුප් වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ පැමිණිල්ලක් අනුව පැවති දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සිද්ධියට සම්බන්ධ බවට සැක කරන ප්‍රධාන සැකකාරිය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මෙම සිද්ධියට සැකකාරිය සමඟ ඇගේ සැමියා ඇතුළු සේවකයන් 06 දෙනකු චෝදනා ලැබ තාවකාලිකව වැඩ තහනමකට ලක්වී සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලදී මුදල් වංචාවට යොදා ගත් බවට සැක කරන තවත් රාජ්‍ය හා පෞද්ගලික බැංකු ගිණුම් සියයකට අධික ප්‍රමාණයක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත. පොදු දේපළ විෂයෙහිලා ගැනෙන පනතින් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ ඒකකය සැකකාරිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව ඇය අත්අඩංගුවට ගත් බවත් සෙසු සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බවත් අධිකරණයට දන්වා ඇත.

සැකකාරිය විසින් අනුරාධපුර මහ නගර සභාවේ රුපියල් තුන්කෝටි විසිහතර ලක්ෂයකට (රු 32,400,000) අධික මුදලක් වෙනත් ගිණුම්වලට බැර කර ඒවා පෞද්ගලික පරිභෝජනයට භාවිත කර තිබෙන බවත් එම මුදල ඊට වඩා වැඩිවිය හැකි බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කරන සෙසු සියලුම සේවකයන්ගේ ගුවන් ගමන් වළකාලමින් ආගමන විගමන දෙපාර්තමේන්තුවට හා ගුවන් ගමන් පාලකවරයාට අධිකරණය මඟින් නියෝග නිකුත් කර ඇත.

-ලංකා ට්රුත්

 

Archive

Latest news

Related news