මහරජ පට්ටම ගීතයකට පමණක් සීමා ව තිබූ එකල්හී රාජපක්ෂයෝ යළි සිය අණසක පැතිරවීම උදෙසා පිඹුරුපත් සකසන්නේ සිය මළනුවන් වන ගෝඨාභයන්ගේ අති ධාවනකාරී හැසිරීමෙන් මදක් කුපිතව සිට්න්නේ,
වාසුදේව නම් මානවකයා කැඳවා මෙසේ උපදේශයක් දෙන්නේ ය: ‘මා ප්‍රිය මානවකය, මගේ මළයා ම වන මුත් ගෝඨාභයගේ හැසිරීම මා අවුලට පත් කරයි. මුහුද හත් ගව්වක් තබා අමුඩ ගහන්නේ කුමන ජල්ලියකටදැ යි නොදනිමි. සිතා බලා කළ යුත්තක් කරව!’
වාසුදේවයෝ වනාහී අරුමයකි. හේ වරෙක ක්‍රිෂ්ණාගේ පියා ද වරෙක ක්‍රිෂ්ණා ම ද වෙයි. එකවරම වාමාංශිකයකු ද රාජපක්ෂ අන්තේවාසිකයෙකු ද වන පරිදි ය!
රාජපක්ෂ හැර අන්සරණක් නොපතන වාසුදේවයෝ තමන් මෙමගින් වළකට වැටෙනු ඇත්දැ යි දස අත කල්පනා කරන්නේ මියෙම්වා රැකෙම්වා කියා පනින එක පනිනවාමයැ යි ධ්‍යානයෙහි පිහිටා, මෙසේ ප්‍රකාශයක් කරන්නේ ‘ගෝඨාභය නුසුදුසු ය. ඔහු අ නීතික ය. දරදඬු ය. මරණීය ය.’ කීහ.
වාසුදේවයන්ගේ වචන යකුලු පහරක් සේ විපත් මඟට වැදුණි. මේ වන විටත් ගෝඨාභයන්ගේ විපත් මඟ සොරදෙටු කැළ වැට පනින්නටත් පෙර කෙසෙල් කැන කෑමට ලොල්ව සිටියේ සිය ලේ වැකි කඟපත් ලෙලවමින් මාර රංගනයකට අවතීර්ණව සිටියහ. ලේ උරා බීම පිනිස මරා දැමිය යුතු මිනිස් ශරීර සොයා යන්නේ මානව හිමිකම්කාරිය වූ දීපිකා උඩුගමගේ නළලේ මරණයේ හුණු ලකුණක් තැබූහ. අවම වශයෙන් තවත් සිය ගණනාවක් හෝ උගුරු දණ්ඩෙන් ම කපා සිය රුධිර පිපාසාව නිවා ගන්නා බවට ශපථ කරමින් රට පුරා දණ්ඩ නමස්කාර රැළි පැවැත් වූහ.
ගෝඨාභය පෙරහැරෙහි ඉදිරියෙන් ම වැඩීමට තපස්දම් පුරණ උපාලි නම් මහ තෙර නමක් සිය පිපාසය ද නොදෙවෙනි බව පෙන්වන්නේ බුදුසරණ වෙනුවට ඇඩලොප් හිට්ලර් සරණ යමුයැයි ඝාතක දේශනාවකින් පව් වැඩූහ.
දණ්ඩනය මිස අන් මඟක් නොදන්නේ ගෝඨාභයෝ විපත් මඟට ද උපාලි තෙරනුවන්ට ද මුවින් නො බණින්නේ, සිය මඟද එය ම බව නොකියා කියන්නාහු ය. වෙන්ඩ මහ රජු රාජපක්ෂයෝ සසළ වූ සිතින් ද දුබල වූ ගතින් ද බැරි යැයි කියා, සිය වැඩි මහල් බෑයා වහලුන්ගේ උත්සවයක තමා වෙනුවෙන් පෙනී සිටින්නැයි යැවූයේ ද මෙකල්හි ය. එම ඇඹිලිපිටි වහල්ලු අතර ස්පාටකස් වීමට හිතැති වහලකු ද වී යැයි පුස්කොළ පොත්කරුවෝ කියත්. මහ රජු ම හැර අනෙක් යුව රජකු එපා යැයි ගස් නැගුණු වහලුන් හිවල් නද පතුරන්නේ, වෙන්ඩ මහරජු මූලග්ගා කෝපාග්නියට පත්ව ‘තොපට ඕනෑ විදිහට නොව මට ඕනෑ විදිහට කර පියව්’ කියා ඝෝරනාඩු නැංවූහ.
අඹිළිපිටියේ නව සිමෙන්ති බුදුන් මේ නරි නාටක මට බලනු බැරියැ යි කියා නිරාවරණය වීම ප්‍රතික්ෂේප කළෝ ය. ස්පාටකස් වීමට තැටමූ වහලා ගස් බැද ඇතැයි කියවෙන්නේ ධවල වර්ණ සිව් රෝදය කැරකෙන තුරු යැයි දනන් තුඩ තුඩ පැතිර ගියේ ය.
වාසුදේවයන්ගේ ගුග්ලියෙන් ද වෙල්ගමයන්ගේ වේග පන්දුවෙන්ද විපත් මඟ අැඹරී ගිය නමුත් ගෝඨාභයෝ නොදැවී ළකුණූ රුස් කරන්නේ යුද සමයේ ඇමෙරිකාවට පැන ජීවිතය රැක ගත් කාලය ආදර්ශයට ගනිමිනි. හෙතෙම කට නො ගසයි. ඉඳහිට වාතයක් අරියි. ඒ ගඳින් රාජපක්ෂ කඳවුර යළි යළි සලිත වෙයි. සියල්ලමටත් වඩා සළිත වනු පෙනෙන්නේ හේවිසිකාර ස්ත්‍රෝත්‍ර ගායක රාජ්‍ය මාධ්‍ය අප්පුලා ය. වචන ඉස්සර පස්ස වැරදුණූ, මතවාද වෙනුවට මඩවාද යටතේ දිනක් පාසා එම භීතිය දොා්ර ගලන්නේ වැල්ලවත්තේ කුණු කාණුව ද පරයමිනි.
ආදර්ශමත් මාධ්‍ය සංස්කෘතියක් සඳහා යැයි ස්වකීය අන්තේවාසිකයනට දහසින් බැඳි පියළි දෙන්නට වළිකන ගමන් ම මේ රාජ්‍ය මාධ්‍ය කරුවෝ වෙන්ඩ මහ රජු රාජපක්ෂයනට එක වචනයක් හෝ මිනිත්තුවක් හෝ නොදෙති. ඒ තරම් ම බය ය. ඒ තරමට ම ප්‍රජාතන්ත්‍රවාදී ය. මෙකල්හි විරුද්ධ පාක්ෂිකයින්ගේ ඔලුව කොතරම් විකල්ව ඇත්ද යත් උනගේ ගල්ගෙඩි වැනි ඔලුගෙඩි සොයන්නේ තමන්ගේ අපේක්ෂකයා ගැන නොව රාජපක්ෂ අපේක්ෂකයා ගැන ය.
වාසුදේවයන්ගේ හෝ වෙල්ගමයන්ගේ හෝ ඩිලානයන්ගේ හෝ විරුද්ධකම් නොබා ගෝඨාභය මළනුවන් සිය ප්‍රචාරය නොනැවත කරගෙන යන්නේ, එක්කෝ වෙන්ඩ මහරාජාගේ අනුමැතියෙනි නැතිනම් අභියෝගයක් වශයෙනි යැයි ආචාරීහුු කියත්. විරුද්ධවාදීන් මරා එල්ලීමට සෑදී පැහැදී සිටින හන්දිකඩාල් වීරයා දිගටම ගෝඨාභයවාදී ජහමනයා අමතමින් මරණ තර්ජන ද නිකුත් කරයි. සිය ගෝඨාභයන් සිය ඡන්ද ව්‍යාපාරය නොනවත්වන්නේ තමන් හැර වෙනත් විකල්පයක් වෙන්ඩ මහරාජාට නැතැයි සිතෙන පරිද්දෙනි. එපමණකුදු නොව අන් කවරෙකුවත් තවම ඡන්ද පිටියට අවතීර්ණව නැත.
‘රජ පවුලෙන් පිට රජකම නොයන්නේ ය; රජකුගේ පැවැත්ම සඳහා යටත් වැසියන් වන නූතන වහලුන් ද අවශ්‍ය වන්නේය; රජකු යටතේ එහෙයියා නැතහොත් එහෙමයි දේවයන් වහන්ස කීම ජීවිත්වීමේ කලාව ය’ යැයි මෙකල්හී මහදුරු ජීඑල් නම් බමුණා ස්ත්‍රෝත්‍ර ගත කළේ ය.
වෙන්ඩ මහ රජු අත්ලෙහි නටනා ඕනෑම නරපණුවකුට අපි ජනාධිපති තනතුර දෙමුයැ යි යන්න මේ වහලුන්ගේ කාහළ නාදය වී තිබේ. වෙන්ඩ රජුගේ ප්‍රජාතන්ත්‍රවාදය යනු තනි කැමැත්ත ය. මම. මම වෙනුවෙන්, මම විසින් යන රාජපක්ෂ නිරිදානන්ගේ උදාන වාක්‍යය දැන් කුමා ස්ටිකර්ස් විසින් ජනගත කිරීමට සූදනම්ය.
ගෝඨාභයගේ අතනෑර සෙල්ලම දෙස බලා සිටිනු නො හැක්කේ වෙන්ඩ මහ රජු එක් උදෑසනක සිය වැඩි මහල් පුතු කැඳවා මෙසේ කියන්නේ, ‘ මන්ද නිහඬව බලා ඉන්නේ. යුද්ධයකට කලින් නුඹේ බල සේනා රැස්කරවා පෙන්විය යුතු බව නො දනීද?’ කියා ය.
ඉක්බිතිව පෙර කල බැසිලියානුවන්ගේ පොර පිටිය වූ සේනා රාශිභූත කිරීම නාමලයෝ සිය අතට ගෙන, ‘බලව මා පිය රජුනි, පොළොව දෙදරුම් කවා මා පිරිවර නගනු ඇති හඬ අසන්නට කනේ මවිල් සුද්දකර තියා ගත්තොත් හොඳ නැත්දැයි?’ යටහත් පහත්ව විචාලෝ ය.
‘ මා ප්‍රිය පුතණුවනි, මාගේ සියළු අභිප්‍රායයන් ඔබ උදෙසා ය. තොපගේ බල ජනයා මගින් කොළොම් පුර දෙදරවා ලූ කල්හි වාසුදේවයෝ ද වෙල්ගමයෝ ද පෙරේරාවෝ ද ආ ගිය අතක් සොයා ගනු බැරි වනු ඇති. එකල්හි 2020 යුවරජු තීරණය කිරීම අප රජ පවුලේ කාරියක් පමණක් බවටම පත් වෙයි. මාගේ සිහිනය ඔබ ය.’ යැයි කොක්හඩළා කියන්නාහු ය.
දැන් ගෝඨාභයන් එක් අතෙකින් ද නාමල්හු තවත් අතකින්ද පොර පිටිය සකසන්නේ ‘මළත් මා ඇමෙරිකානුවෙක් ම වෙමි’ යැයි උදාර වාක්‍යයක් කී බැසිලුයානුවෝ කොහිදැයි දකින්නට ද නැති. ඇඹිළිපිටියේ හූ හඬින් පසු බැස ගිය වමලයෝ් තවමත් වකුටු වී නිදි සයනයේ ය. ගෝඨාභයගේ කැරලිකරුවන් ආයුධ පාවිච්චියේ කෙළ පැමිණියන් බැවින් ද රහසේ සේනා සංවිධානය කැරෙන්නේදැ යි බලනු පිනිස ද රාජපක්ෂ චරපුරුෂයෝ දැන් සතර දිග්භාගය පීරති.
අහර කිස නමවා සයනාරූඩ වූ වෙන්ඩ මහ රජු සතර ඡන්ද නිමිති දකින්නේ මෙසේ කෑ ගෑහ: ‘බස්නාහිරින් චමලයෝ නිදි ය. උතුරෙන් බැසිලුවෝ නිහඩ ය. නැගෙනහිරින් ගෝඨාභය හඬ ය. දකුණෙන් නාමල් නැගිටුවනු!’ ඒ අසා ඔහු ප්‍රිය ඇඹේනී නාලිය ගමනින් අැඹෙරෙන්නේ ‘ බිය නොවනු මහ රජ! මා අප පුතුන් තිදෙනාම සටන් බිමට යවන්නෙමි’ යැයි ශපථ කරත් ම;
මේ සියළු දුක් දෝමනස්සයන් හමූයේ වෙන්ඩ මහ රජුට පවන් සළමින් පිට කොන්ද නමාගෙන ම සිටි මහදුරු ජීඑලියා හීන් සීරුවේ මෙසේ කියන්නාහ. “ මහ රජ ඔබ යටත් වැසි වහලුන් නිවස පුරා අහමුළු අල්ලාගෙන ය. උන් නිදි ගත් කල්හි එක් අහුමුල්ලකින් ඇසෙන්නේ එකැනැළිගොඩ, තාජුඩීන්, ලසන්ත යනාදීය භංකර වචනය. අනෙක් අහුමුල්ලෙන්, බැංකු ගිනුම්, පාස්පොට්, සිද්දික්, කැරම් බෝඩ්, සිල් රෙදි. නිව්යෝර්ක් ටයිම්ස් වැනි නපුරු ශබ්දය. තවත් අහුමුල්ලකින් නඩු එනවෝ, ජම්පර් බෑ,බෑ, යැයි හඩා වැටීම් ය. සිරි යහන් ගෙයින් ඇසෙන්නේ ද එවැනි විවිධාකාර ශබ්දයෝය. වහ වහා කවරෙක්දැයි නම් නොකළ හොත් අහුමුළු අරක්ගත් ප්‍රේත කුම්භාණ්ඩ ආදී නිශාචයෝ වියරු වැටී සතර දිග්භාගය ගඳ නොගස්වනු ඇතැයි කිව නොහැකිය’’.
2020 ජනාධිපතිවරණ වස්තුව එපරිද්දෙන් ඇරඹෙයි. වෙන්ඩ මහ රජු අබියය දෙපත් නයෙකි. දූෂණ සහ භීෂණ චෝදනාවන්ට මුහුණ දෙන තම පවුල් ද පවුලේ වහල් සේනාව ද බේරා ගනු පිණිස දැන් පෙරමුණ ගෙන ඇත්තේ ආම්බාන් කළ නොහැකි වස්සකු වන ගෝඨාභයන් ය. හේ මහරජු පුත් කුමාරාට ඔටුනු පැළදවීමට බාධාවකි.
වෙන්ඩ මහ රජු ගිලී සිටින්නේ අවදිවීමට බිය හිතෙන ස්වප්නයකය. ඒ කෙසේද යත් මෙසේ ය: ‘ගෝඨාභය හැර වෙනත් අපේක්ෂකයකු වෙත්ද?’