Thursday, November 21, 2024

දෙමළ දේශපාලනයේ අභියෝගය – සුනන්ද දේශප්‍රිය

මෙරට දෙමළ ජනයාගේ සාමකාමී දේශපාලන අපේක්ෂා අද තරම් බිඳ වැටුනු අවසථාවක් නැති විය හැක. ඊට හේතුව නම් 2015 සිරිසේන – රනිල් ආණ්ඩුව බලයට පත් කිරීම මගින් ස්වකීය ඉල්ලීම් දිනා ගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි අන් කවර ජනාධිපතිවරණයකදීටත් වඩා මෙරට දෙමළ ජනයා කල්පනා කල නිසාය.එබැවින්ම එම දෙබෑයන් බලයට පත් කරනු පිනිස දෙමළ ජනතාව ඔවුන්ගේ දේශපාලන සංවිධාන එකහෙළා කටයුතු කළ නිසාය.

1994 ජනාධිපතිවරණයෙහිදී ද දෙමළ ජනයා රොදබැද චන්ද්‍රිකා කුමාරතුංගට ජන්දය දුන්නාය. එනමුත් ඇයට එක්සත් ජාතික පක්ෂයේ සහාය නොලැබුණි. ඇයද ඕනෑවට වඩා කල් ගත්තාය. සමහර විට දේශපාලන විසඳුමක් ලබා දෙන ව්‍යවස්ථා වෙනසක් සඳහා තිබූ හොදම දේශපාලන වාතාවරණය තිබුණේ 1994 -2000 කාලයෙහිදී විය හැක. යුද්ධය බුරබුරා නැගෙමින් තිබූ අතර සාමකාමී විසඳුමක අවශ්‍යතාවය සිංහල ජනයා අතර පෘතූලව පැතිරී තිබුණි. එල්ටීටීඊ සංවිධානය යථාර්තවාදී දේශපාලන විසඳුමකට එකඟවී නම් සහ රනිල් වික්‍රමසිංහ කකුලෙන් නොඇද්දේනම් සන්ධීය දේශපාලන ක්‍රමයක් මෙරට ස්ථාපිතවීමට හොඳටම අවස්ථාව එකළ තිබුණි.

2015 ඇති වූ වෙනස නම් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම එක්වී සෑබෑ බලය බෙදීමක්ද අතුලු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සදහා එකඟත්වයක් ඇති කර ගැනීමයි්. 2015 සිරිසේන ජනාධිපතිවරණයෙහි මූලික තේමාවක් වූයේ නව ව්‍යවස්ථාවක් පිහිටුවීම මගින් ශ්‍රී ලංකාවෙහි නීතියෙහි පාලනයද මානව හිමිකම්ද ප්‍රජාතන්ත්‍රවාදයද ශක්තිමත් කිරීමයි. එනයින් බලය බෙදීම මගින් 1948 සිට හැට වසරක් පුරා පවතින දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම සැපිරීමට ශ්‍රී ලංකාවට මහඟු අවස්ථාවක් උදාවිය.

සිරිසේන – රනිල් දේශපාලන මධුසමය සිනහ මුහුණූවලින් එතෙකුදුත් පිරී ගොස් තිබුණු 2016 ජනවාරි 08 දින, යහපාලන වර්ෂ පුර්ණය සැමරීමට බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවෙහි මහ උත්සවයක් පැවැත්වුණි. එහි ප්‍රධාන දේශණය සඳහා අැරයුම් ලබා තිබුණේ පරසිදු ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ගෝපාල්සාමි ගාන්ධිට ය.

ඔහු එදා මෙසේ කී මේ වචන දෛවෝපගතය.‍

ශ්‍රී ලංකාවේ ජනතාව ඔවුන්ගේ කාර්යය ඉටුකර තිබේ. දැන් ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීම නායකයින්ගේ කාර්යභාරයයි. ජාතික සමගි ආණ්ඩුව හමුවෙහි දහසක් කාර්යයන් තිබේ. ආර්ථික ප්‍රතිසාධනය, රැකියා නියුක්තිය, සමූහාණ්ඩුවෙහි ලිබරල් උපාංග යළි පිහිටුවීම ද ඒ අතර වෙයි. එනමුත් ලිබරල් සමූහාණ්ඩුවක ප්‍රධානතම, අර්ථාන්විත, මූලධර්මීය මූලිකත්වය විය යුත්තේ ජාතිය සමන්විතවන මූලික ප්‍රජාවන් අතර විශ්වාසය යළි ස්ථාපනය කිරීමත්, සවිමත්කිරීමත්ය. තමන් කෙරෙහි සමස්තයක් වශයෙන් සහ සක්‍රීයව සාධාරණය ඉටු කිරීමට හැකියාව සහ අධිශ්ඨානය ආණ්ඩුවට ඇතැයි එකී ප්‍රජාවන් තුළ පවත්නා විශ්වාසය ශක්තිමත් කිරීමය.

බලය බෙදා හැරීම කෙරෙන් ඉවතට යෑමට ශ්‍රී ලංකාවට ඉඩක් නැත.

පටු වාර්ගිකභාෂාමය ජාතිකවාදය විසින් මධ්‍යස්ථ ශ්‍රී ලංකික දෙමළ නායකයින්ගේ අපේක්ෂා අසංවේදීව නිශ්ප්‍රභාකිරීම, නපුරු සිහිනයක් බවට පත්ව අවසානයෙහි ලොවෙහි ඉතාම ලේවැකි යුද්ධයක් බවට වර්ධනය වූ බව මා මෙන්ම මෙම ශාලාවෙහි සිටින හැමද දන්නා කරුණකි. පොන්නම්බලම්ලා සහ වෙල්වනායකම්ලා සහ තිරුලේවම්ලා දැක්මක් සහිත නොපසුබට මිනිසුන් වූහ.

පොන්නම්බලම්ලා සහ චෙල්වනායකම්ලා කළකිරවා, ඉවතලා, කොන්නොකරන ලද්දේ නම් වේලුපිල්ලෙයි ප්‍රභාකරන් කෙනෙක් අවශ්‍ය නොවනු ඇති. එම ශ්‍රෙෂ්ඨ නායකයින් අද නැතත්, අද ශ්‍රී ලංකාවෙහි ත්‍රස්තය නොබා දිවිරැකගත් දෙමළ දේශපාලනඥයින් සිටින බව අප අමතක නොකළ යුතුය‍. එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දේශපාලන විසඳුමක් සඳහා වෙහෙසවන සෑම දෙමළ දේශපාලනඥයකුම ත්‍රස්තය හමුවෙහි දිවිරැකගත් අයෙකි. ඒ වනාහී නොපසුබටභාවයේ ළකුණකි.

ව්‍යවස්ථාගරුක, පාර්ලිමේන්තුවාදීමය වන, එක්සත් සහ යුක්තිගරුක ශ්‍රී ලංකාවක් කෙරෙහි විශ්වසය තබා ඇති ශ්‍රී ලාංකික දෙමළ ජනයා කල කිරවා කොන් නොකළ යුතුය. පැරණි විශම චක්‍රය යළිිි පණ නොගැන්විය යුතුය. ලාංකික දෙමළ අපේක්ෂා හිතෛශීව ඉටුකරනු විනා ශ්‍රී ලංකාවට වෙනත් තෝරා ගැනීමක් නැත.මන්ද යත් ඒවා ඓතිහාසික අවශ්‍යතාවයක් වන නිසාය. ශ්‍රී ලංකාව නව කළකිරීම්, නව නොසළකාහැරීම් සහ නව කොන්කිරීම් වැළැක්වීම පිනිස කළ යුතු සියල්ල කළ යුතුය. එවැනි තත්වයක් විසින් හුදකළා වූ ලාකික දෙමළ ඩයස්පෝරා මනසෙහි සැඟව ඇති ඊළාම් සිහිනය යළි පණ පෙවීමට ඉඩ තිබේ. පළිගැනීම් සහගත ප්‍රචණ්ඩත්වයක්, නව දෙවැනි වටයක්, මහ එහිම නිවුන් වර්ධනය වන මර්දනය අතිශය අවාසනාවක් වනු ඇත.

ව්‍යවස්ථානූකුල ප්‍රතිසංස්කරණයන්ගේ සිට ඊළම හරහා ත්‍රස්තවාදය හරහා බෙදුම්වාදය කරා වූ ශ්‍රී ලංකික දෙමළ දේශපාලන ස්ථාවරයේ පරිණාමය ආපසු හැරවිය නොහැකියැයි සිතූ කාලයක් තිබුණි. නමුත් දැන් ඒ වෙනස සිදුව ඇත. සාකච්ජාමය විසදුම දැන් යළි මේසය මතට පැමිණ තිබේ. ආණ්ඩුව එහි නිදිකිරා නොවැටිය යුතුය. පළි ගැනීම ප්‍රතිසංස්කරණ අසාර්ථකවන තුරු බලා සිටී. ශ්‍රී ලංකාවට පමණක් නොව දකුණූ ආසියාවට පමනක් නොව ඇත්ත වශයෙන්ම නම් පොදුවෙහි ලිබරල්වාදය සහ බහුත්වවාදය උදෙසාද ජාතික සමගි ආණ්ඩුවේ මෙකී ප්‍රයත්නයන්ගේ සාර්ථකවීම අවශ්‍යය. මන්ද යත් මෙම අවස්ථාව අතහැරිය හොත් එය යළි පැමිනීමට ඇති ඉඩක් නැති තරම් නිසාය.

මා සිතන්නේ මෙම අවස්ථාව පැමිණ ඇත්තේ අසාර්ථවීමට නොවේයැයි කියාය.’’ ( සම්පූර්ණ පරිවර්ථනයක් නොවන බව සළකන්න.)

පසුගිය මාස ගණනාව පුරා මෙරටට පැමිණි ඉහළපෙළේ විදෙස් නියෝජිත පිරිස් හමුවෙහි දෙමළ සන්ධානයේ නායක සම්පන්දන් විසින් කරන ලද අදහස් දැක්වීම් සහ කරන ලද ආයාචනා සියල්ල මගින් පෙන්නුම් කරන්නේ එදා ගෝපාල්සාමි ගාන්ධි නොවිය යුතුයැයි කී සියල්ල දැන් සිදුවී හමාර බවයි. නැත්නම් එකී අවසානය ලගාවෙමින් ඇති බවයි. යළිි නොඑනු ඇති දේශපාලන මෙහොත ගිලිහී ගොස් හමාරය.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ආණ්ඩුව නිදිකිරා වැටෙනවා පමණක් නොව ආපස්සට යෑම ආරම්භ කර තිබේ. ජාතික සමගි ආණ්ඩුව කියා දෙයක් දැන් නැත. සිරිසේනගේ සහ වික්‍රමසිංහගේ මුහුණු එකිනෙකා සමඟ සිනාසෙන්නේද නැත. සාකච්ජාමය විසඳුමක් ලබා ගැනීමේ අවකාශය නැතිවෙමින් යන අතර ඊට සමගාමීව දෙමළ ජාතික සන්ධානය දුර්වලවෙමින්, කැඩී බිඳී යමින් තිබේ. කොළඹ සිංහල ආණ්ඩුව සමඟ සහජීවනයෙන් දේශපාලන විසඳුමක් ලබා ගැනීමට පසුගිය වසර 3ම පුරා කටයුතු කළ සම්පන්දන්ගේ දේශපාලන නායකත්වයට ප්‍රබල අභියෝග ඉදරිපත්වෙමින් තිබේ. යූඇන්පියේ සහ සිරිසේනගේ මෙන්ම ඔවුන්ගේද ජන්ද පදනම දුර්වල වෙමින් තිබේ.

ආණ්ඩුව සමඟ හිතහොඳ පවත්වා ගැනීම පිනිස දෙමළ සන්ධානය, සිය ඉඩම්, දරුවන්, රැකියා යනාදී අයිතිවාසිකම් ඉල්ලා දෙමළ ජනතාව කෙරෙන් නැගී ආ උද්ඝෝෂනයන්කෙරෙන් කර ඇරියේ ය. පෙනෙන විදියට දෙමළ සන්ධානය සිරිසේනගේ සහ වික්‍රමසිංහගේ හොඳහිත කෙරෙහි පමණක් විශ්වාසය තබා පාර්ලිමේන්තුවෙන් බාහිරව දෙමළ අයිතීන් සඳහා සටන් පෙරමුණක් විවෘත කිරීමට මූලිකත්වය ගත්තේ නැත. එම විශ්වාසය කොතෙක්වීද යත් ජනාධිපතිවරණයේහිදී ඔවුන් සිරිසේනට සහාය දුන්නේ කිසිදු කොන්දේසියක් නැතිවය.

1958 බණ්ඩාරනායක චෙල්වනායකම් ගිවිසුමෙහි සිට නැවත නැවත අත්දැක ඇති පරිදි සිරිසේන – වික්‍රමසිංහ කෙරෙහි දෙමළ සන්ධානය තැබූ විශ්වාසයද දැන් ඒක පාර්ශවිකව බිඳදමා අවසන්ය. දැන් එළඹ ඇත්තේ 2020 යැයි කියන නමුත් 2019 වසරෙහි දෙසැම්බර් මාසය අවසන් වීමට පෙර පැවැත්විය යුතු ජනාධිපතිවරණයට ගණන් බැලීමේ කාලයයි.

දෙමළ සන්ධානය 2010 ජනාධිපතිවරණයෙහිදී රාජපක්ෂ පරාජය කරනු පිනිස පොදු අපේක්ෂක සරත් පොන්සේකාට සහාය පළ කර ජන්ද ලබාදුන් නමුත් ඔහු ජයග්‍රහණය කලේ නැත. ඒ සිංහල ජනයා අතරින් අවශ්‍ය තරම් ජන්ද ලබා ගැනීමට ඔහුට නොහැකි වූ නිසාය. එළඹෙන ජනාධිපතිවරණයෙහිදී ද දෙමළ ජන්ද තීරණාත්මක නොවනු ඇති අතර සිරිසේන සහ වික්‍රමසිංහ දේශපාලන වශයෙන් පිරිහී ඇති නිසාම රාජපක්ෂ කඳවුර දෙමළ ජන්ද බහුතරය නැතිව ජය ගැනීමට බොහෝ දුරට ඉඩ තිබේ.

තවත් වැදගත් කරුණක් නම් දෙමළ ජන්ද මගින් බලය ලබා ගන්නවා විනා ඔවුන්ගේ දේශපාලන අභිලාශයන් සැපැරීමට සිංහල නායකයින් සූදනම් නැති බව ‘ජාතික සමගි ආණ්ඩුව’ විසින් යළිත් වරක් සනාථ කර ඇති තිබීමයි.

දැන් දෙමළ ජනයාට, පාර්ලිමේන්තුව තුල ස්වාධීනත්වයරැක ගන්නා අතරම පාර්ලිමේන්තුවෙන් බැහැර සාමකාමී අරගල මාවත කරා ගමන් කිරීම හැර අන් මාවතක් නැත.ජනාධිපතිවරණයන්හිදී සිංහල නායකයින් බලයට පත් කිරීමට සහාය වීම දෙමළ දේශපාලනය විසින් නතර කිරීමට ද කාලය දැන් එලඹ තිබේ.

මගේ අදහස නම් ජනාධිපතිවරණයෙහිදි දෙමළ ජනයා වෙනුවෙන් පොදු අපෙක්ෂකයකු ඉදිරිපත් කිරීමට කාලය දැන් යෝග්‍ය අවස්ථාව බවයි. ඒ සඳහා දෙමළ දේශපාලනයේ සියලු ක්‍රියාකාරී පිරිස්වලට එක්විය හැකි, එමෙන්ම සිංහල සමාජයෙහි දෙමළ අයිතීන් පිළිගන්නා ක්‍රියාකාරී පිරිස්වලට ද පිළිගත හැකි අයකු සොයා ගැනීම අත්‍යවශය වේ. ඔහු හෝ ඇය ජයග්‍රහණය නොකරනු ඇති නමුත් දෙමළ ජනයාගේ සාමූහික අභිලාශන්හි පොදු නියෝජිතයකු ලෙස මෙරට සහ එතෙරමතුවීමට අවස්ථාව එලඹෙනු ඇත.

බ්‍රිතාන්‍යයින් ශ්‍රී ලංකාව පාලනය කළේ ගැත්තන්ට වරදාන දෙමින් අන් ජනයා බෙදා වෙන් කිරීම මගිනි. අද කොලඹ සිංහල නායකත්වය දෙමළ ජනයා පාලනය කරන්නේ ද වරදාන මුසුකළ බෙදා කෙටවීම මගිනි.

මෙම තත්වයට සාමූහික දේශපාලන ප්‍රතිචාරයක් දෙමළ සමාජයෙන් ඉදිරිපත් නොවන්නේ නම් යටපත්වීම සහ ප්‍රචන්ඩ අරගලය යන දෙකෙන් එක් මාවතක් තෝරා ගැනීමට සිදුවන්නට ඉඩ තිබේ. ගෝපාල්සාමි ගාන්ධිගේම වචනයෙන් කියන්නේ නම් එය මහත් අවාසානාවක් වනු නොඅනුමානය.

.

Archive

Latest news

Related news