Monday, May 20, 2024

නව ලිබරල්වාදය සහ ආර්ථික ස්වෛරීත්වය:තමරා කුනනායගම්ට පිළිතුරක්(2)- ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන

“නව ලිබරල්වාදී ආර්ථික ඝාතකයන්ගේ අරමුණු ප්‍රකාරව ශ්‍රී ලංකාව ස්වකීය ආර්ථික ස්වෛරීත්වය නැති කරගෙන තිබේ” (2)
-තමරා කුනනායගම්.

හතර වටේට වනන ‘කුමන්ත්‍රණ න්‍යායන්’

අදෘෂ්‍යමාන හතුරන් විසින් තමන්ට එරෙහිව අටවනු ලබතැයි කියන කුමන්ත්‍රණ කතාවලට මිනිසුන් පහසුවෙන් යට වීම, ඉතිහාසය පුරා දකින්ට ලැබෙන දෙයකි. තමන්ගේ සංස්කෘතිය, ආර්ථිකය සහ සභ්‍යත්වය විනාශ කිරීමට විදේශිකයන් දත කට මැදගෙන සිටින බවට ගෙතෙන කතාව, මේ කුමන්ත්‍රණ කතා අතරින් ඉතා ප්‍රබල කතාවකි. කලකට ඉහතදී මේ කුමන්ත්‍රණකාරී හතුරන් වුණේ, ධනපති යුරෝපයයි. දැන් ඒ ධනපති යුරෝපීය සතුරාට අමතරව, අපේම ආසියානු කලාපයේ මතුවෙමින් සිටින ආර්ථික යෝධයන් ද අපේ හතුරන් වශයෙන් සැලකීමේ ප්‍රවණතාවක් තිබේ. සමකාලීන ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සමාජ සංවාදය තුළ, බොහෝ විට චීනය සහ ඉන්දියාව කෙරෙහි දක්වන ආකල්පය මීට නිදසුනකි.

ආර්ථික ජාතිකවාදය

තුන්වැනි ලෝකයේ කෛරාටික ජාතික නායකයෝ තම තමන්ගේ රටවල් තුළ ‘ආර්ථික ජාතිකවාදයක්’ (හෙවත් බාහිර ලෝකයාගෙන් තොරව, තමන්ගේම වන ස්වදේශීය ආර්ථික සංවර්ධනයක් ගොඩනගා ගැනීමට හැකි වෙතැයි යන මතයක්) වැපිරීම සඳහා එය පාවිචචියට ගනිති.

ආර්ථික ජාතිකවාදය තුළ, වෙළඳපොළ ප්‍රතික්ෂේප කෙරේ. සෑම දෙයකින්ම ස්වයං-පෝෂිත වීමේ මහානිසංශ වදාරනු ලැබේ. උදාහරණයක් වශයෙන්, කෙනෙකුගේ ජීවිකා වෘත්තිය කුමක් වෙතත්, ඉහළ යන ජීවන වියදමට සහ වෙළඳපොළේ පවතින්නේ යැයි කියන අක්‍රමිකතාවන්ට පිළිතුරක් වශයෙන් තමන්ගේම ගෙදරදොරේ ආහාර වගා කරගෙන ස්වයං-පෝෂිත වන්නැයි ඒ මගින් කියාදෙයි. ‘ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත’ කියා පිරුළක් තිබේ. එහෙත් තමන්ට විශේෂඥතාවක් නැති හැම කර්මාන්තයක්ම එක් අයෙක් කිරීමට ගියොත්, ඔහු ඒ එක කර්මාන්තයකවත් සාර්ථකත්වයක් නොලබයි. එවිට සිදුවන්නේ ඒ හැම අංශයකින්ම ඔහු අකාර්යක්ෂම වීමයි. හරියට, දොඩම් ගෙඩි හත අටක් එක මිටට ගැනීමට ගියොත් එක දොඩම් ගෙඩියක්වත් හරියට අල්ලා ගැනීමට නොහැකි වන්නා සේ ය. පිත්තල බඩුමුට්ටු නිපදවන තැනැත්තෙකුට තමන්ගේ ගෙවත්තේම ආහාර වවාගෙන කන්නැයි කීවොත්, ඔහු ඒ නව අංශයෙන් මෙන්ම, තමාගේ සුපුරුදු වෘත්තීය අංශයෙන් ද අසාර්ථකත්වයට පත්වෙනු නොඅනුමානයි.

ජාත්‍යන්තර වෙළඳාම ප්‍රතික්ෂේප කිරීම

රටක ජාතික මට්ටමේදී මේ කියන ‘ආර්ථික ජාතිකවාදය’ යම් රටක් අනුගමනය කරද්දී සිදුවන්නේ, ජාත්‍යන්තර වෙළඳාම ප්‍රතික්ෂේප කිරීමයි. එම චින්තනයට අනුව, වෙනත් රටක නිෂ්පාදනය කරන භාණ්ඩයක් අප විසින් මිලදී ගනු ලැබීම, එම රටේ මිනිසුන්ගේ මඩි තර කර ගැනීමට අප විසින් උදව් උපකාර වීමකි. ඒ නිසා, ආනයනයන්ට හෙවත් පිටරටින් තමන්ගේ රටට බඩු භාණ්ඩ ගෙන්වීමට තහංචි දැමීම දිරිමත් කෙරේ. එහෙත් මේ පිරිසම, තමන්ගේ රටවල්වලින් වෙනත් රටවල්වලට භාණ්ඩ සහ සේවා විකිණීම භාග්‍යයක් කොට සලකති. කෙනෙකුට වෙනත් රටකට තමන්ගේ නිෂ්පාදන විකිණිය හැක්කේ වෙනත් රටවලින් තමනුත් යමක් මිලදී ගන්නේ නම් පමණක් බව මේ අය අමතක කරති. මේ ‘ආර්ථික ජාතිකවාදය’ ඔවා දෙන පරිදි, සෑම රටක්ම විකුණන්නන් පමණක් වීමට යත්න දැරුවොත්, කිසි රටකට කිසිවක් විකුණා ගැනීමට නොහැකි වන්නේය. එබැවින් විසඳුම වන්නේ, සෑම රටක්ම, විකිණීම සහ මිලදී ගැනීම යන කාර්යයන් දෙකේම එක විට නිමග්න වීමයි.

‘ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය’ යක්ෂයෙකු සේ වෙස්ගැන්වීම

‘ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය’ නව ලිබරල් කුමන්ත්‍රණයක බළල් අතක් යැයි තමරා කුනනායගම් කියන කතාව, එම ආයතනයේ අතීත චර්යාව මගින් ඔප්පු කළ හැකි දෙයක් නොවේ. එම ආයතනයෙන් නිකුත් කරන වාර්තා, විශේෂයෙන් වසරක් පාසා නිකුත් කරන ‘ආර්ථික තත්වය පිළිබඳ වාර්තාව’ තුළ අඩංගු වන්නේ, රටේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට තමන්ගේ කාර්යය සඳහා පාවිච්චියට ගත හැකි සබුද්ධික ආර්ථික ප්‍රතිපත්ති පමණි. ඒ ප්‍රතිපත්ති සියලු ආර්ථික විද්‍යාඥයන් විසින් පිළිගනු ලැබ තිබේ. එසේ පිළිගත් අයවළුන්, නව ලිබරල්වාදී ආර්ථික විද්‍යාඥයන් පමණක්ම නොවේ.

උදාහරණයක් වශයෙන්, රට ඇතුළතින් හෝ බාහිර මූලාශ්‍රවලින් ලබා ගන්නා ණය, බුද්ධිමත්ව ආයෝජනය නොකරන්නේ නම් රටකට තිරසාර සමෘද්ධියක් පවත්වාගෙන යා නොහැකි වන බවට ඔවුන් එක දිගටම ඉදිරිපත් කොට ඇති මතය සැලකිල්ලට ගත හැකිය. ශ්‍රී ලංකාව, දීර්ඝ කාලීන ප්‍රතිපත්තිමය විකල්පයක් වශයෙන්, තමන් සතු සම්පත්, පරිභෝජන අංශයෙන් ආයෝජන අංශයට මාරු කළ යුතුව ඇති බව එම ආයතනය එක දිගටම පෙන්වා දී තිබේ. එසේ කිරීමට නම්, රටක් වශයෙන් තමන්ගේ ඉතිරි කිරීම් වැඩි කළ යුතුව ඇත. මෙය පටන් ගත යුත්තේ ආණ්ඩුව පැත්තෙනි. දැනට ආණ්ඩුව කරන්නේ, හම්බ කරනවාට වඩා පරිභෝජනය කිරීම ය. එය වෙනස් කොට, ආණ්ඩුවේ ආදායම් ගිණුම අතිරික්තයක් සහිතව පවත්වා ගත යුතුව තිබේ. මෙසේ නොකරන ඕනෑම ආණ්ඩුවක්, එය නව-ලිබරල් ආණ්ඩුවක් වේවා, එසේ නොවන ආණ්ඩුවක් වේවා, බංකොලොත් වනු ඇත. මෙය, ආර්ථික විද්‍යාව නැමැති විශේෂඥතාවක් ඇති කෙනෙකුට පමණක් නොව, ඕනෑම සාමාන්‍ය මිනිසෙකුට පවා තේරෙන දෙයකි.

බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ දී මේ කාරණයම දේශනා කොට තිබේ. ‘නුවණැත්තා තමන්ගේ ආදායම කොටස් හතරකට වෙන් කර ගනී. එක කොටසක්, තමාගේ සහ තම පවුලේ පරිභෝජනය සඳහා ය. තව කොටසක්, සිල්වත් බුද්ධිමතුන් නඩත්තු කිරීම සඳහා ය. තව කොටසක්, හදිසි ආපදාවකදී පාවිච්චියට ගැනීම සඳහා වෙන් කර තැබේ. සිව්වැනි කොටස, තවත් ධනය ඉපැයීම සඳහා ආයෝජනය කෙරේ.’ මෙය, කෙනෙකුට කෙනෙකු සතු ධනය ඉතා දැඩි ආකාරයකින් වෙන් කොට තබා ගන්නා ආකාරය දක්වන අවස්ථාවකි. මන්ද යත්, ආදායමෙන් භාගයක්ම, ඉතිරි කොට ආයෝජනය කළ යුතු බව එහි සඳහන් වන බැවිනි. කෙසේ වෙතත්, යම් පුද්ගලයෙකු සම්බන්ධයෙන් වලංගු වන ආර්ථික සත්‍යයක්, රටක් වෙනුවෙන් ද වලංගු වන්නේය. නූතන යුගයේ, ගෘහ මූලාශ්‍ර සම්පත් පාවිච්චිය පිළිබඳ බුදුන් වහන්සේගේ ඉහත කී ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේ, සිංගප්පූරුව සහ චීනය වැනි රටවල් පමණි.

යහපත් ආර්ථික පිළිවෙත් සපයන ‘ඇඞ්වොකාටා ආයතනය’

‘ඇඞ්වොකාටා ආයතනය’ සම්බන්ධයෙන් සහ එහි සභාපති රසීන් සාලි සම්බන්ධයෙන් ද සත්‍යය වන්නේ එයයි. මේ ආයතන දෙකම, පසුගිය තෙවසරක කාලය තිස්සේ උපදෙස් දී ඇති ප්‍රතිපත්ති අතරේ, ලංකාවේ අයවැය දරා ගත හැකි මට්ටමකින් තුලනය කර ගත යුතුව ඇති බව කියා තිබේ. අපේ අයවැය සම්බන්ධයෙන් ගත් විට, අපට ඇත්තේ දරා ගත නොහැකි මට්ටමේ අයවැය හිඟයකි. මේ නිසා රාජ්‍ය ව්‍යවසායන් වඩාත් කාර්යක්ෂම කර ගත යුතු බවට එම ඉහත කී ආයතන මගින් උපදෙස් දෙනු ලැබේ. මන්ද යත්, අකාර්යක්ෂම රාජ්‍ය ආයතනවල පාඩුව එක දිගටම බදු ගෙවන සාමාන්‍ය ජනතාවට දැරිය හැකි දෙයක් නොවන නිසා ය. එසේම රටේ ආර්ථිකය තුළ තරගකාරී කාර්යක්ෂමතාවක් පවත්වා ගැනීමට නම්, නීතිරීති සහ රෙගුලාසිවල පවතින බාධක ඉවත් කර ගත යුතුව ඇති බවටත් එම ආයතන මගින් උපදෙස් දෙනු ලැබේ. ආපසු හැරී බලන විට, මේ කරුණු සියල්ල ගත්තත්, ඒවා සාමාන්‍ය ඥානයට වැටහෙන සත්‍යයන් මිස, නව-ලිබරල් ආර්ථිකවාදයක් වශයෙන් හඳුන්වා ගත යුතු දේවල් නොවේ. ‘ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය’ සහ ‘ඇඞ්වොකාටා ආයතනයත්’ ඒවායේ සභාපති රසීන් අලී මහතාත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය විනාශ කිරීමේ කුමන්ත්‍රණකරුවන් වශයෙන් හංවඩු ගැසීමට කලින්, තමරා කුනනායගම්, ඔවුන් විසින් ඉදිරිපත් කොට ඇති වාර්තා මැනවින් අධ්‍යයනය කොට තිබුණේ නම් මැනවි.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සිසුන් විසින් කුනනායගම්ව ප්‍රශ්න කිරීම

කුනනායගම්ගේ දේශනය ගැන සභාවේ ප්‍රතිචාරය මිශ්‍ර එකක් විය. ඇතැමුන් ඇගේ හෙලිදරව් කිරීම් මගින් ගැස්සී ගිය බවක් පෙනුණි. කෙසේ වෙතත්, සාකච්ඡා වාරය පැමිණි විට, ඇගේ කුමන්ත්‍රණ න්‍යාය පිළිබඳ හැමෝම පැහැදී නොසිටි වග පසක් වුණි. ලෝකයේ වෙනත් රටවලට එරෙහිව ඇමරිකාව ආර්ථික කුමන්ත්‍රණයක් දියත් කොට ඇති බවට ඇය කරන ප්‍රකාශය අතිශයෝක්තියක් බව සභාවේ කෙනෙක් ඈට පෙන්වා දුන්නේය.

මේ සාකච්ඡාව තුළදී හොඳම දායකත්වයක් සැපයුවේ, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ශිෂ්‍යාවන් දෙන්නෙකි. චතුර ඉංග්‍රීසියෙන් සභාව ඇමතූ එක් ශිෂ්‍යාවක්, කුනනායගම්ගේ කුමන්ත්‍රණ න්‍යාය, කෝකටත් තෛලයක් වශයෙන් නොයෙක් දෙනා ඉදිරිපත් කරනු අසා තමන් හොඳටම හෙම්බත්ව සිටින බව ඈට පෙන්වා දුන්නාය. ඈ කීවේ, මෙය තමන්ට අලුත් න්‍යායක් නොවන බවයි.

චතුර ඉංග්‍රීසියෙන් සභාව ඇමතූ අනිත් ශිෂ්‍යාව, සංකීර්ණ ආර්ථික ලෝකයක පවතින ආර්ථික සබඳතා එකිනෙක මත රැඳෙන බව පෙන්වා දුන්නාය. එනම්, එක ආර්ථික සබඳතාවකට, අනිත් ආර්ථික සබඳතාවන් කිසිවකින් නිදහස්ව පැවතිය නොහැකි බවයි. තමාගේ අදහස් දැක්වීම ගැන විවේචනාත්මක අදහස් දැක්වීම් කළ සියලු දෙනාට, පැසුණු පර්යේෂිකාවක් වශයෙන්, තමරා කුනනායගම් සිය ස්තුතිය පළකළාය.

ආර්ථික ප්‍රශ්න දෙස ප්‍රායෝගිකව බැලීම

ප්‍රශ්න දෙස කෙනෙකු ප්‍රායෝගිකව බලන්නේ නම්, මුලින්ම සකල ‘..වාද‘ පැත්තකින් තැබිය යුතුය. එය නව-ලිබරල්වාදය විය හැකිය. ‘තෙවැනි ලෝකවාදය’ විය හැකිය. ධනවාදය විය හැකිය. සමාජවාදය විය හැකිය. නූතන යුගයේ ආර්ථික විද්‍යාඥයෙකු යනු, විවිධ උපකරණ කට්ටලයක් අතින් ගත්, කාර්මික ශිල්පියෙකු මෙනි. යම් ගැටළුවක් විසඳා ගැනීමට එක උපකරණයකින් නොහැකි වන විට ඒ සඳහා ඔහු වෙනත් උපකරණයක් පාවිච්චියට ගනී. එම උපකරණයත් වැඩ නොකරන විට, තවත් උපකරණයක් පාවිච්චියට ගනී. ඒ අනුව, එක් සුවිශේෂී න්‍යායකට හෝ න්‍යාය පද්ධතියකට ඔහු ගැට ගැසී සිටින්නේ නැත.

මෙය ඉතා සරළ භාෂාවෙන් නූතන යුගයේ ප්‍රකාශයට පත් කළ පුද්ගලයා වන්නේ, චීනයේ ආර්ථික සංවර්ධන ප්‍රාතිහාර්යයේ පුරෝගාමියා වන ඩෙං ෂියාඕපිං ය: ‘බළලා මීයන්ව අල්ලන්නේ නම්, එම බළලා මැටියෙන් කළ එකෙකු වුවත් කම් නැත.’

[2018 ජුනි 11 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Sri Lanka Has Lost Economic Sovereignty, Target of Neo-Liberal Hitmen නැමැති ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි (අවසාන කොටස)]

Archive

Latest news

Related news