Sunday, May 5, 2024

ඥානසාර හිමිට දඬුවම: “හිංසාවට ලක් වූ සමස්ත ජනතාව ලැබූ ජයග්‍රහණයක්” – සන්ධ්‍යා එක්නැලිගොඩ

ජායාරූපය: GETTY IMAGES

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ලබා දුන් දඬුවම සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බව අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ පවසයි.

“මම මගේ සැමියා වෙනුවෙන් යුක්තිය සොයමින් යන ගමනේදී මේ හිමිනම මට හිංසා කළා. මේක හිංසාවට ලක් වූ සමස්ත ජනතාව ලැබූ ජයග්‍රහණයක්,” යනුවෙන් සන්ධ්‍යා එක්නැලිගොඩ කියා සිටියේ අදාළ තීන්දුව ලබා දීමෙන් අනතුරුව බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

සන්ධ්‍යා එක්නැලිගොඩට බැනවැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කෙරුණ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට චෝදනා දෙකකට අදාළව මාස 6 බැගින් එකවර ගෙවී යන ලෙස බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කෙරිණි.

“අධිකරණය ඇතුලේ හෝ ස්ත්‍රියකට හිංසා කිරීම වරදක් කියන එක මේ රටේ සියලුම මිනිස්සු දැනගත යුතු වෙනවා. විශේෂයෙන් අනාගතයේදීත් ඕනෑ තරම් මිනිස්සු ඉන්න පුළුවන් වින්දිතයන්ට හිංසා කරන,” ඇය කියා සිටියාය.

සිය සැමියා වන මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන්වීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ පිළිබඳ අදහස් දක්වමින් ඇය කියා සිටියේ මේ වනවිට අදාළ පරීක්ෂණය යුද හමුදාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතර “දෝලනය වන” බවය.

“හමුදාපතිවරයා විසින් ලබා දෙන්න කියන ලේඛන රාජ්‍ය ආරක්ෂාවට ප්‍රශ්නයක් කියමින් ඊට පහළ නිලධාරියෙකු විසින් ඒවා දීම වළක්වනවා.”

Sandya EkneligodaImage copyrightGETTY IMAGES
Image captionඅතුරුදහන්ව සටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ

එක්නැලිගොඩ ඇතුළු අතුරුදහන් වූ සහ ඝාතනය කරන ලද මාධ්‍යවේදීන් වෙනුවෙන් පැවැත්වෙන පරීක්ෂණ කඩිනම් කර වරදකරුවන්ට දඬුවම් ලබා දීමට කටයුතු කරන බව 2015 ජනාධිපතිවරණයේ ප්‍රධාන සටන් පාඨයක් විය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සන්ධ්‍යා එක්නැලිගොඩ කියා සිටියේ වත්වමන් දේශපාලන තත්ත්වය පිළිබඳ තමන්ට පමණක් නොව රටේ සියලුම ජනතාවට විශ්වාසයක් නොමැති බවය.

“ජනාධිපතිවරයාට බොහෝ දේවල් අමතක වෙලා තිබෙනවා. ඇයි ඔහු මේ තැනට ආවේ කියලා අමතක වෙලා. එතුමාත් නොදන්නා දින සියයේ වැඩසටහන ඇතුලේ ප්‍රගීත්ගේ පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතට පත්වීම ගැන මම සතුටු වෙනවා.”

මේ අතර ඥානසාර හිමියන්ට ලබා දුන් තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන බව බොදුබල සේනා සංවිධානයේ මාගල්කන්දේ සුදත්ත හිමියෝ පැවසූහ.

Bodu Bala Sena - Ven. Gnanasara

“ඥානසාර හාමුදුරුවෝ ආරම්භ කරපු ඒ සටන නතර කරන්නේ නැහැ. හෙට ඉඳන් අලුත් ක්‍රමයකට අපේ වැඩසටහන ඉදිරියට ගෙන යනවා කියන එක මේ වෙලාවේ මතක් කරනවා,” හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවෙන පිටත දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

දණ්ඩ නීති සංග්‍රහයේ අංක 386 සහ අංක 486 යටතේ පිළිවෙලින් සාපරාධී අඩන්තේට්ටම් කිරීම සහ සාපරාධී බිය ගැන්වීම යන චෝදනාවලට ඥානසාර හිමියන් වරදකරු බව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය මැයි 24 වෙනිදා තීන්දු කළේය.එදින දඬුවම් ලබා දීම ජුනි 14 දක්වා කල් තැබුණි.

දඬුවම ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල මාකුඹුර අධිකරණය හමුවේ අදහස් දක්වමින් ඉල්ලා සිටියේ උන්වහන්සේ පෙර වැරදී කර නොමැති බැවින් ඒ පිළිබඳ සලකා තීන්දුවක් ලබා දෙන ලෙසය.

එවැනි දෙයක් වෙත පෙළඹුනේ කුමන හේතුවක් මත දැයි යන්න පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටි ඔහු, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ බුද්ධි අංශ හමුදා සෙබළුන්ගේ දරුවන්ගේ දුක්ගැනවිලි අසා උන්වහන්සේ කණගාටුවට පත්ව සිටි බව සඳහන් කළේය.

විනිසුරුවරයෙක් සිටියදීම අධිකරණ ශාලාවේ සිටි අයෙකුට තර්ජනය කිරීම බරපතල වරදක් සේ සලකා තීන්දුවක් ලබා දෙන ලෙස අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ නීතිඥ ජනක බණ්ඩාර අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Bodu Bala Sena - Ven. GnanasaraImage copyrightGETTY IMAGES

එසේම බුද්ධි අංශ නිලධාරීන්ගේ දරුවන් සිය පියවරු වෙනුවෙන් දුක්වනවා සේම ප්‍රගීත් එක්නැලිගොඩගේ දරුවන් දෙදෙනා ද සිය පියා නැති සොවින් පසුවන බව ඔහු එහිදී සඳහන් කළේය.

“තෝ දැනගනින් තොගේ මිනිහා කොටියා. තෝ ගිහින් හිඟා කාපිය,” යනුවෙන් අධිකරණය තුළ කළ තර්ජනය අනාගතයේදී තවත් අයෙකු විසින් යම්කිසිවකුට කරනු ලැබීමට ඉඩ ඇති බව කී නීතිඥ ජනක බණ්ඩාර දඬුවක් නියම කිරීමේ අර්ථය කුමක්දැයි යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බව පැවසීය.

සමාජයේ ආරක්ෂාව, විත්තිකරු යළි එවැනි වරදක් කිරීමෙන් අධෛර්යට පත් කිරීම හෝ අනාගතයේ එවැනි වරදක් සිදු කරන අයෙකු ඉන් වැළකීම, දඬුවම් කිරීම, පුනරුත්තාපනය කිරීම යනු කරුණු පිළිබඳ එහිදී අවධානය යොමු කළ යුතු බව ඔහු සඳහන් කළේය.

ජංගම දුරකතනයක් නාද වන පමණින් හෝ “උඩ බොත්තම ඇර” අධිකරණයට පිවිසෙන සාමාන්‍ය වැසියෙකුට අධිකරණයට අපහාස කිරීම යටතේ දඬුවම් ලබා දෙන බැවින් අධිකරණ භූමියේදී යම් කිසිවෙකුට තර්ජනය කළ පුද්ගලයෙකුට එරෙහිව දිය හැකි උපරිම දඬුවම ලබා දිය යුතු බව ද නීතිඥ ජනක බණ්ඩාර වැඩිදුරටත් පැවසීය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මාස 6 බැගින් එකවර ගෙවී යන ලෙස බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.

එක් වරදකට රු. 1500 බැගින් රු 3000.00 ක දඩයක් ගෙවීමට ද අධිකරණය නියෝග කළේය.

අගතියට පත් සන්ධ්‍යා එක්නැලිගොඩට රු 50000ක වන්දියක් ගෙවන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, එය නොගෙවන්නේ නම් එය දඩයක් ලෙස අයකර ගැනීමට ද නියම කළේය. එම දඩය ද නොගෙවන්නේ නම්, මාස 3 ක ලිහිල් සිර දඬුවමකට යටත්වීමට සිදුවන බවද මහේස්ත‍්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමත් සමග, විත්ති කූඩුවේ සිටි ඥානසාර හිමියන් තමන්ට ප්‍රකාශයක් කිරීමට අවස්ථාවක් අවශ්‍ය බව සඳහන් කරමින් “අධිකරණය විතර ද පැවතිය යුත්තේ” යනුවෙන් පැවසූහ.

එවැනි ප්‍රකාශයක් කිරීමට අවසර ලබාදිය නොහැකි බව පැවසූ මහේස්ත්‍රාත්වරයා අවශ්‍ය නම් තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළ හැකි බව ප්‍රකාශ කළේය.

ඥානසාර හිමියන් බන්ධනාගාර බස් රථයට රැගෙනයන අවස්ථාවේ ඒ අසල බොදු බල සේනා සංවිධානයේ සාමාජිකයන් ඇතුළු භික්ෂූන් වහන්සේ රැස්ව සිටි අතර එහිදී තරමක නොසන්සුන්කාරී තත්ත්වයක් හටගැනිණි.

එම අවස්ථාවේ භික්ෂූන් වහන්සේ කිහිප නමක් සන්ධ්‍යා එක්නැලිගොඩ සමග පැමිණි කාන්තාවන් දෙදෙනෙකුට චෝදනාත්මක ස්වරයෙන් අදහස් දක්වනු දැකගත හැකිවිය.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වූයේ 2010 වසරේ ජනවාරි 24 වෙනිදාය.

ඔහුගේ අතුරුදහන්වීමට එවක පැවති ආණ්ඩුව වගකිව යුතු බවට බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ චෝදනා කරයි.

ඒ සම්බන්ධයෙන් දැනට නඩු දෙකක් විභාග වෙමින් පවතී.

උපුටා ගැනීම:බීබීසී සිංහල‍

Archive

Latest news

Related news