“ශ්‍රී ලංකාව නව ලිබරල්වාදී ආර්ථික ඝාතකයන්ගේ අරමුණු ප්‍රකාරව ස්වකීය ආර්ථික ස්වෛරීත්වය නැති කරගෙන තිබේ” – -තමරා කුනනායගම්
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නිලධාරිනියක් සහ හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක් ද, දැනට සිවිල් සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියක් මෙන්ම පොදු කරුණු පිළිබඳ අදහස් දක්වන්නියක් ද වන තමරා කුනනායගම් පසුගිය සතියේ කොළඹ පැවති ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයකදී ශාස්ත්‍රීය පත්‍රිකාවක් ඉදිරිපත් කළාය. එහි මාතෘකාව වුණේ, ‘ආර්ථික ප්‍රතිපත්තිය, ජාත්‍යන්තර සබඳතා සහ ජාතික ස්වෛරීත්වය අතර ඇති ගතික අන්තර්-සබඳතා’ යන්නයි. මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ, මෑතකදී පිහිටුවා ගත් ‘දේශපාලන-ආර්ථික විද්‍යා ශ්‍රී ලංකා සංවිධානය’ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශය සහ එහි ආර්ථික විද්‍යා ශිෂ්‍ය සංගමය විසිනි.
ආර්ථික ස්වෛරීත්වය නැති වීම
කුනනායගම්ගේ ප්‍රවාදය වුණේ, ශ්‍රී ලංකාව තමන්ගේ ආර්ථික ස්වෛරීත්වය අහිමි කරගෙන ඇති බවයි. එයින් ඈ ගම්‍ය කෙළේ, තමන්ගේ ආර්ථික ඉරණම ගැන තීන්දු ගැනීමේ හැකියාවක් තවදුරටත් ශ්‍රී ලංකාවට නැති බවයි. ඇගේ චෝදනාව, මෙතෙක් බලයේ සිටි සියලු ආණ්ඩු වෙත පොදුවේ එල්ල වුවත්, ඒ චෝදනාවෙන් විශාල පදාසයක් ඈ බැර කෙළේ වර්තමාන යහපාලන ආණ්ඩුවටයි. එහිදී පවා, ඇගේ චෝදනාව එල්ල වුණේ අගමැතිවරයාගේ පාර්ශ්වයට මිස ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට නොවේ. සිය කතිකාව තුළ ඈ ගොනු කොට තිබූ සියලු නිදර්ශන ඈඳී තිබුණේ, අගමැතිවරයා සහ ඔහුගේ කැබිනට් සගයන් විසින් ගන්නා ලද තීරණ සමග ය.
‘මොන්ට් පෙලරින් සමාජය’ බිහි වීම
තමාගේ කතිකාවට අදාළ බොහෝ කරුණු ඈ වෙහෙස වී ගොනු කරගෙන තිබුණි. ඒවා පරිස්සමින් විශ්ලේෂණය කොට තිබූ ඈ, එය ශ්‍රී ලංකාවට අදාළ වන සැටි අවධාරණය කොට තිබුණි. එම කරුණු ආශ්‍රයෙන්, ශ්‍රී ලංකාව තමන්ගේ ආර්ථික ස්වෛරීත්වය දැනටමත් නැති කොටගෙන ඇති බව තීරණය කොට තිබූ ඈ, එය ‘මොන්ට් පෙලරින් සමාජයේ’ ඉතිහාසයට ඈඳා තිබුණි. මෙය, 1947 දී ගොඩනැගුණු සංවිධානයකි.
ස්විට්සර්ලන්තයේ මොන්ට් පෙලරින් නුවර පැවති රැස්වීමකදී, විසිවැනි සියවසේ මැද භාගයේ ලෝකයේ ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයන් පිරිසක් දැරූ චින්තනයක් විධිමත්ව සංගෘහිත කිරීම එහිදී සිදු විය. මේ ව්‍යාපාරය පසුපස සිටි කෙනා වශයෙන් තමරා කුනනායගම් හඳුනාගෙන තිබුණේ ෆ්‍රියෙඞ්රික් හයෙක් වුව ද, එය තනි පුද්ගලයෙකුගේ නිර්මාණයක් නොවුණි. එදා ලෝකයේ සිටි ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයන් වන ෆ්‍රෑන්ක් නයිට්, ලුඞ්විග් වොන් මිසස්, ජෝර්ජ් ස්ටිග්ලර් සහ මිල්ටන් ෆ්‍රීඞ්මාන් ද, මහා දාර්ශනික කාල් පොපර් ද ඒ අතර වුහ. ඔවුන්ගේ විෂය පථය වුණේ, වෙනත් කරුණුවලට අමතරව, ප්‍රකාශනයේ නිදහස සහ නිදහස් වෙළඳපොළ ආර්ථිකයයි. නිදහස් අදහස් හුවමාරුව සඳහා වන වේදිකාවක් ගොඩනැගීම මිස ප්‍රචාරකවාදී ව්‍යාපාරයක් වශයෙන් කටයුතු කිරීම ඔවුන්ගේ අරමුණ නොවුණි. ඔවුන්ගේ මතයට අනුව, මිනිස් වර්ගයාගේ සතුට උපදින්නේ, තමාට ප්‍රියමනාප යැයි හැඟෙන දෙයක් කිරීමට කෙනෙකුට ඇති නිදහස තුළිනි. එබැවින් එම නිදහස සීමා කෙරෙන හෝ උල්ලංඝණය කෙරෙන සෑම අංශයක් ගැනම අවධානය යොමු කිරීම මේ චින්තනයේ හරය වශයෙන් පැවතියේය.
ඉහත නම් සඳහන් පුද්ගලයන්ගෙන් තිදෙනෙක්, එනම්, හයෙක්. ස්ටිග්ලර් සහ ෆ්‍රීඞ්මාන්, ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභීන් ය. එම පිරිස අතරේ සිටි නයිට්, ඒ නොබෙල් ත්‍යාගලාභීන් දෙදෙනාගේ ගුරුවරයා ය. ඔවුන් අතරේ සිටි, ආර්ථික විද්‍යාඥයෙකු නොවන එකම තැනැත්තා වන කාල් පොපර්ව සාමාන්‍යයෙන් සැලකෙන්නේ, විසිවැනි සියවසේ විද්‍යාත්මක චින්තන වීමංසාවේ පුරෝගාමියා වශයෙනි. එබැවින් මොන පැත්තකින් ගත්තත්, මේ ‘මොන්ට් පෙරලින් සමාජ’ ව්‍යපාරයේ නිර්මාතෘවරුන් විසිවැනි සියවසේ ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයන් මිස නිවටයන් නොවේ. එවැනි දැවැන්තයන්ගේ චින්තනයක් විවේචනය කිරීමට තරම් හයියක් තමරා කුනනාගයගම්ට තිබීම ප්‍රශංසාවට කාරණයකි.
ලෝකයේ රටවල් කෙරෙහි ‘මොන්ට් පෙලරින් සමාජයේ’ බලපෑම
කුනනායගම් සිතන පරිදි, ලංකාවට යෝග්‍ය ආර්ථික ප්‍රතිපත්ති කවරේදැ යි තීරණය කිරීමේදී අපේ නායකයන්ට බලපා ඇත්තේ ඉහත කී ‘මොන්ට් පෙලරින් සමාජයේ’ මතිමතාන්තර ය. මේ නායකයන් රැඳෙන න්‍යායික පදනම වන්නේ, නව ලිබරල් ආර්ථික චින්තනයයි. නව ලිබරල් ආර්ථික චින්තනය තුළ, සංවර්ධිත රටවල්වල සිට සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙතට ප්‍රාග්ධනය නිදහසේ ගලා යාම නිර්දේශ කෙරේ. ඊළඟට, එවැනි ප්‍රාග්ධන අරමුදල් උරා ගත හැකි වන ආකාරයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ආර්ථිකයන් සූදානම් කැරැවිය යුතු බවත් නිර්දේශ කෙරේ.
මේ ප්‍රතිපත්තිමය පැකේජය තුළ, රාජ්‍ය අංශය කුඩා වීම, රාජ්‍ය ව්‍යවසායයන් පෞද්ගලීකරණයට ලක්කිරීම, ආර්ථිකයන් ප්‍රතිව්‍යුහගත කිරීම සහ නිදහස් කිරීම ඇතුළත් වන අතර, නිදහස් සහ විවෘත වෙළඳපොළ හඳූන්වා දෙමින් විදේශ අංශයේ ප්‍රතිපත්ති සකසා ගැනීම නිර්දේශ කෙරේ. බහු-පාර්ශ්වීය ණය දෙන ආයතන, විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ණය දීමට ඇති ඔවුන්ගේ ශක්තිය පාවිච්චියට ගනිමින් ඉහත කී ප්‍රතිපත්ති පැකේජය සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ ක්‍රියාත්මක කැරැවීමට යත්න දරයි. අනතුරුව, එම නව-ලිබරල්වාදි ආර්ථික ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීමට ඒ ඒ රටවල නායකයන් හරහා ඔවුන්ගේ ආණ්ඩු කෙරෙහි බලපෑම් ඇති කරවයි.
මේ නව-ලිබරල් ප්‍රතිපත්තිය ලංකාවේ ප්‍රකාශයට පත්කෙරෙන ප්‍රධාන ආයතන දෙකක් කුනනායගම් හඳුනාගෙන ඇත. එකක් වන්නේ, ‘ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයයි’. ඕලන්ද ආණ්ඩුවේ මූල්‍යාධාර සහ තාක්ෂණික උපකාර මත 1989 දී එය පිහිටුවන ලද්දේ, ප්‍රතිපත්ති සම්පාදක ස්වාධීන බුද්ධි මණ්ඩලයක් වශයෙනි. අනෙක වන්නේ, මෑතකදී පිහිටුවන ලද ‘ඇඩවොකාටා ආයතනයයි’. ඔවුන්ගේ අරමුණ වන්නේත්, ඉහත කී නව-ලිබරල් චින්තනයක් රටේ ස්ථාපිත කිරීමයි. කුනනායගම් සිතන විදිහට, මේ ආයතන දෙකේම ප්‍රධානියා වශයෙන්, නව-ලිබරල්වාදී ආර්ථික විද්‍යාඥයෙකු වන රසීන් සාලි පත්ව සිටීම, ඇගේ තර්කය සනාථ කරන්නකි.
බටහිර ආර්ථික මතිමතාන්තර මැඩලීමට ‘තෙවැනි ලෝකවාදය’
කුනනායගම්ගේ තර්ක මාදිලිය අලුත් එකක් නොවේ. ඈට පෙර, තුන්වැනි ලෝකයේ චින්තකයන් බොහොමයක්, බටහිර ආර්ථික සහ දේශපාලනික බලවතුන් විසින් තුන්වැනි ලෝකයේ රටවල් මේ ධනවාදී ක්‍රමය තුළ සූරාකනු ලබන සැටි ලියා තිබේ. ඊජිප්තු ජාතික සමීර් අමීන්, ජරමානු-ඇමරිකානු ආර්ථික විද්‍යාඥ අන්ද්‍රේ ගුන්ඩ ෆ්‍රෑන්ක් සහ ඇමරිකානු සමාජ විද්‍යාඥ ඉම්මානුවෙල් වොලර්ස්ටයින් ඒ අතර වෙති. මේ චින්තකයන් විසින් ගෙනහැර දක්වන ලද ප්‍රවාදය දළ වශයෙන් හැඳින්වෙන්නේ, ‘තෙවැනි ලෝකවාදය’ වශයෙනි. මේ ‘තෙවැනි ලෝකවාදයේ’ මූලික කරුණු කිහිපයක්, වෙනිසුවෙලානු මාධ්‍යවේදියෙකු වන කාර්ලෝස් රැන්ගල් පහත පරිදි පෙළ ගස්වා තිබේ:
1. බටහිර ලෝකයේ දියුණුවට සහ තුන්වැනි ලෝකයේ නොදියුණුවට මූලික හේතුව, තුන්වැනි ලෝකයේ රටවල් කෙරෙහි දියුණු බටහිර පාලකයන් විසින් ගෙන ගිය යටත්විජිත පාලනයයි.
2. එක රටකට හානියක් නොකොට කිසි රටකට ධනය හෝ සෞභාග්‍ය ළඟා කර ගැනීමේ ක්‍රමයක් නැත.
3. දියුණු ලෝකය තමන්ගේ කාර්මික භාණ්ඩ වැඩි මිලකට තුන්වැනි ලෝකයට විකිණීමෙන් ද, තුන්වැනි ලෝකයේ ප්‍රාථමික භාණ්ඩ අඩු මිලකට ලබා ගැනීමෙන් ද සූරාකෑම සිදු කරගෙන යනු ලැබේ.
4. බටහිර ලෝකයා මෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ණය දෙන ජාත්‍යන්තර ආයතන එකී හැකියාව, තුන්වැනි ලෝකය මත නව-යටත්විජිතවාදය අභ්‍යාස කිරීම සඳහා පාවිච්චියට ගනු ලැබේ.
5. තුන්වැනි ලෝකය තුළ සංස්කෘතික යටත්විජිතවාදයකුත් තිබේ. ඒ, ස්වදේශීය භාවිතාවන් සහ සාරධර්ම හෑල්ලු කොට බටහිර සංස්කෘතිය ඔවුන් මත පැටවීමෙනි.
6. තුන්වැනි ලෝකයේ බුද්ධිමය සම්පත බටහිර ලෝකයට ඇද ගැනීම තුළින් එකී තුන්වැනි ලෝකයට සැබෑ සංවර්ධනයක් ඇති කර ගැනීමට ඇති හැකියාව ඔවුන්ගෙන් උදුරා ගනු ලැබේ.
මියගිය ‘තෙවැනි ලෝකවාදය’ ජාතික නායකයන් විසින් ගලවා ගැනීම
මේ කරුණු ඇත්තෙන්ම විවාදාත්මක ය. එසේම, සැබෑ ලෝකයේ ආර්ථික දත්ත සහ සංඛ්‍යා ලේඛන මගින් ඒවා සනාථ කොට නැත. එහෙත් 1989 දී බර්ලින් තාප්පය බිඳ වැටෙන තෙක් සහ දෙවැනි ලෝකය වශයෙන් ගැනුණු සෝවියට් කඳවුර බිඳ වැටෙන තෙක්, තුන්වැනි ලෝකයේ චින්තන නායකයන් හරහා ඉහත කී ‘තෙවැනි ලෝකවාද’ මතය එක දිගටම සමාජගත කෙරුණි. මේ ‘තෙවැනි ලෝකවාදීන්’ තමන්ගේ දෘෂ්ටිවාදයන් බොහෝ කොට සකසා ගත්තේ සමාජවාදී ‘දෙවැනි ලෝකයෙන්’ නිසා, එම දෙවැනි ලෝකය කඩා වැටීමත් සමගම ‘තෙවැනි ලෝකවාදයත්’ කඩා වැටුණි. එසේ වෙතත්, ලෝකයේ ඇතැම් තැන්වල දේශපාලනික නායකයෝ ඒ ඒ රටවල තමන්ගේ බල පදනම් රැක ගැනීම සඳහා අර කියන ‘තෙවැනි ලෝකවාදය’, තවදුරටත් කරේ තියාගෙන ගියෝය.
එය ද, මැද පෙරදිග ලෝකයේදී අභාවයට පත්විය. ඒ, ටියුනීසියාව, ඊජිප්තුව සහ ලිබියාව වැනි රටවල්වල ඇති වූ විප්ලව හරහා ය. ඉහත කී ආකාරයේ ජාතික නායකයන්ව මේ විප්ලව තුළින් ඉවත් කර දැමුණි. එහෙත් ආසියාවේ, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ, නායකයන් සහ මහජන මත ගොඩනගන්නන්, ජාතිකවාදී සහ නව-ලිබරල්වාද-විරෝධී ස්ථාවරයන් ගනිමින්, ‘තෙවැනි ලෝකවාදය’ මතම එල්බ සිටිනු පෙනෙන්ට තිබේ. ඒ අනුව, අපේ රටේ පවතින ආර්ථික අවස්ථාවන් කලමනාකරණය සඳහා ඉදිරිපත් වන ඕනෑම විදේශ රටකට මොවුහූ විරෝධය දක්වති. වෙනත් රටකින් මේ රටට දෙන ඕනෑම අනුග්‍රහයක් හෝ සහනයක් මොවුන් සලකනු ලබන්නේ, ජාතික අවශ්‍යතා පාවා දීමකට පාර කපන්නක් වශයෙනි. එවැනි අවස්ථාවන්, ජාතියට එරෙහි කුමන්ත්‍රණ වශයෙන් සලකනු ලැබේ. (ඉතිරිය ඉදිරියට)
(2018 ජුලි 11 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Sri Lanka Has Lost Economic Sovereignty, Target of Neo-Liberal Hitmen නැමැති ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)