යුද්ධයේ පසු-විපාක
දෙමළ කොටි සංවිධානය පරාජය කිරීමෙන් පසුවත්, තිරසාර දේශපාලනික විසඳූමක් පිළිබඳ අපේක්ෂා මෙතරම් මුඩුම ගතියක් ගත්තේ ඇයි? එල්.ටී.ටී.ඊ. නායකත්වය වනසාලීම සඳහා ගෙන ගිය යුද්ධය තුළ පැනවනු හමුදාමය කොන්දේසිම, දෙමළ ජනතාව විසින් සාමයේ කොන්දේසි වශයෙනුත් පිළිගත යුතුව ඇති බවට හැඟීමක් සිංහල දේශපාලන ප්‍රභූ තන්ත්‍රය තුළ තිබෙන බවක් පෙනේ. 2009 හමුදාමය ජයග්‍රහණය, විශාල උත්කර්ෂයකට තුඩුදුන්නේය. එම උත්කර්ෂය තුළ, සමාජ සහ දේශපාලනික අසාධාරණය විසඳීම සඳහා හෝ ඒ සඳහා වන මොනම සහනයක් සැලසීමේ හෝ ඉඩක් නොවුණි.
රාජ්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණයට ලක්කෙරෙන අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳ ප්‍රතිඥාව දෙමින් බලයට පත් වර්තමාන ආණ්ඩුව, ඒ සම්බන්ධයෙන් වන කිසියම් හෝ ප්‍රගතියක් මේ වන විට පමා කිරීමට පටන්ගෙන තිබේ. විපතට පත් මිනිසුන්ගේ උද්ඝෝෂණ ඉදිරියේ යම් ප්‍රගතියක් පෙන්නුම් කොට ඇතත්, යුද්ධ කාලය තුළ දෙමළ ජනතාවගෙන් අත්කරගත් නිවාස සහ ඉඩකඩම්වල තවමත් හමුදාව රැඳී සිටී. කිසි සලකුණක් ඉතිරි නොකොට අතුරුදහන් කරවනු ලැබූවන් පිළිබඳ නොවිසඳුණු ප්‍රශ්න තවත් රාශියක් තිබේ. නැති වූ හෝ අතුරුදහන් කරවනු ලැබූ පුද්ගලයන් වෙනුවෙන් මරණ සහතික මෙතෙක් නිකුත් කොට නැත. සැමියා අහිමි වූ 60,000 ක් වැන්දඹුවන්ගේ කුටුම්බවලට කිසි මූල්‍යමය සහායක් සැපයී නැත.
එසේම, තවමත් හිරභාරයේ සිටින දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නයත් නොවිසඳී පවතී. 1971 ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සිරකරුවන්ටත්, 1987-89 සන්නද්ධ නැගිටීමට සම්බන්ධ දේශපාලන සිරකරුවන්ටත් සමාව දී නිදහස් කොට තිබේ. එහෙත් සමාව නොලද දෙමළ දේශපාලන සිරකරුවෝ තවමත් සිටිති. යුද්ධය පටන් ගැනීමට කලින් තිබුණාට වඩා නරක දේශපාලනික තත්වයක් දැන් දකින්ට තිබේ. තමන් ඉල්ලා නොගත් යුද්ධයකින් බැටකෑ ප්‍රජාවකගේ ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කරන කිසි සහනයක් සැපයීමට ශ්‍රී ලංකාවේ රාජ්‍යය තවමත් අසමත්ව ඇත.
සිවිල් යුද්ධයකින් පසුව, සාමයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම් දැමීම සඳහා දේශපාලනික සහන සැපයීමේ ඇති වැදගත්කම, ශාස්ත්‍රඥයෝ පෙන්වා දී තිබේ: ‘බලතල බෙදාහදා ගැනීමේදී මතුවන උභතෝකෝටිකය උපදින්නේ, සංක්‍රාන්ති සමය (යුද්ධයෙන් සාමයට යන සමය) ඇරැඹීමත්, සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව තහවුරු කර ගැනීම සඳහා අත්‍යාවශ්‍ය කරන ක්‍රියාකාරීත්වයත් අතර පවතින හිඩැසිනි. සිවිල් යුද්ධයක් අවසානයේදී බලතල බෙදාහදා ගැනීමේ ක්‍රමවේදය සමග ගැටගැසී ඇති සීමාවන් භාර ගැනීමට පක්ෂවල ඇති එකඟත්වය, අනාගත ප්‍රශ්න සාමකාමීව විසඳා ගැනීමත්, ආයුධ බිම තැබූ පසු එම පාර්ශ්වය අපයෝජනය නොකිරීමට වගබලා ගැනීමත් සඳහා එම පක්ෂ වෙතින් නිකුත් වන ප්‍රබල සංඥාවක් වන්නේය. විශේෂයෙන් බහුතරයේ දෑත් බැඳ ගැනීමේ හෝ අඩු වශයෙන් බලතල බෙදාහදා ගන්නා ආණ්ඩුවක පාලනයට සහභාගී වීමේ වියදම්කාරී සංඥාව, සුළු ජාතීන්ට සාධාරණව සැලකීමට මහජාතියේ ඇති කැපවීම සුළු ජාතිකයන් ඉදිරියේ ඒත්තු ගැන්විය හැකි ප්‍රබල සංඥාවක් වන්නේය.’ මහ ජාතියෙන් සැපයෙන එවැනි ඉංගිතයන් හෝ කැපවීම් ශ්‍රී ලංකාවේ දැක ගැනීමට නොලැබේ. තිරසාර ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැගීම සඳහා සිංහල නායකත්වයේ ඇති කැපවීම සහ හැකියාව ඉතා සීමිත ය. දකුණේ තම ඡන්ද පදනම අහිමි කර ගැනීම ඔවුන් ඉදිරියේ ඇති අප්‍රසන්න භයංකාරයකි. දූෂිත දේශපාලන දැළේ ඔවුහූ පැටලී සිටිති. ජනතාවාදයේ සහ දේශපාලනික ආත්මය නැති කර ගැනීමේ අවදානම පිළිබඳ උගුලට ඔවුහූ හසුව සිටිති.
සමාන පුරවැසියන් වීම සඳහා දෙමළ ජනතාවට අභිමානවත් පැවැත්මක් අවශ්‍ය කරන බව සහ සමාන දේශපාලනික අයිතීන් භූක්ති විඳීමක් අවශ්‍ය කරන බව තේරුම් ගැනීමට, සිංහල දැඩි මතධාරී කඳවුරට තව කොපමණ කලක් යාවි ද? එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ජීවත් වීමට දෙමළ මධ්‍යස්ථ නායකත්වයේ සහතිකය ලැබී තිබියදීත් අනිත් පාර්ශ්වය විසින් එය භාර ගන්නා බවට ඉඟියක් දෙමළ ජනතාවට නොසැපයේ. ‘ඈඳනු ලැබීමකට ලක්වීමට හෝ තමන් නොකැමැති රාජ්‍යයකට ඈඳී සිටීමට හෝ සැබෑ කැමැත්තක් ජාතියකට නොපිහිටන්නේය. එක්ව විසීමට ජාතීන් තුළ ඇති කැමැත්ත පමණක්ම, නිතර සැලකිල්ලට ගත යුතු එකම කාරණය වන්නේය.’
එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කොට ලැබූ ජයග්‍රහණයෙන්, ප්‍රජාතන්ත්‍රවාදය සහ සාධාරණත්වය සඳහා වන දෙමළ ජනතාවගේ සැබෑ ඉල්ලීම්වලට විසඳූමක් ලැබී නැත. එක්සත් ශ්‍රී ලංකාවක් සඳහා තිස් අවුරුද්දක් තිස්සේ ගෙන ගිය යුද්ධයකින් පසුව තවමත් ඔවුහූ, ජාතියක් ඇතුළේ පලවා හැරිය ජාතියක් වශයෙන් ජීවත් වෙති. ඔවුන්ව නොපිළිගන්නා ජාතියක කොටස්කරුවන් වීමට ඔවුන්ට බල කෙරේ. තමන් ශ්‍රී ලාංකීය ජාතියේ කොටසකරුවන් නොවේය යන හැඟීම ඒ මගින් ඔවුන් තුළ රෝපණය කෙරේ. ‘මේ තත්වය තුළ බිහි විය හැක්කේ ජාතිකවාදීන් ය. ඉතා ස්වාභාවිකව ඔවුන්ට හැඟෙන හැඟීම්වලින් විනිර්මුක්තව සිටින්නැයි එම වින්දියතයන්ට අනුශාසනා කිරීමට වඩා, ජාතිකවාදය පෝෂණය කෙරෙන තත්වයන් වෙනස් කිරීමට කටයුතු කිරීම අගනේය.’
මධ්‍යස්ථ දෙමළ දේශපාලන නායකත්වයට පිළිගත හැකි සහතිකයක් දීමට වර්තමාන පාලකයන්ට නොහැකි වීම, දෙමළ ප්‍රජාව අතරේ සිටින අන්තවාදීන්ව ශක්තිමත් කිරීමට කාලයාගේ ඇවෑමෙන් තුඩුදෙනු ඇත. තවත් සන්නද්ධ නැගිටීමක් ඇති වීමේ ඉඩකඩ අඩුයි. එවැන්නකට, කලාපීය සහ ඉන්දියානු අවශ්‍යතා මගින් ඉඩක් ලබා නොදෙනු ඇත. එහෙත් අඩු වශයෙන්, යුද්ධයෙන් පසුව ඇති වී තිබෙන ප්‍රශ්නවලට පවා විසඳුමක් ලබා ගැනීමේ අපේක්ෂා භංගත්වයකට පත්වන විට දෙමළ ජනතාවගේ අදහස් සහ ආකල්ප වෙනස් විය හැකිය.
ජාතික අවමානය සහ අභිමානය අහිමි වීමේ තත්වයක් ඉදිරියේ, විය නොහැකි දෙයක් නැත. 1970 දශකයේ අවසාන භාගයේ යාපනේ සමාජය තුළ පැවති සාපේක්ෂ සාමකාමී වාතාවරණය තුළ, සන්නද්ධ ව්‍යාපාරයක වැඩී යාමක් ගැන කෙනෙකු කතා කෙළේ නම් එම අදහස හුදු පිස්සුවක් වශයෙන් සලකන තත්වයක් තිබුණි. එසේ තිබියදී ඒ තත්වය සැබවින්ම උදා විය. එය දශක ගණනාවක් පැවතියේය. ප්‍රචණ්ඩ එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුහුණදීම, දෙමළ ප්‍රජාවගේ ප්‍රජාතන්ත්‍රීය ඉල්ලීම්වලට කන්දීමට වඩා පහසු කාරණයක් වශයෙන් සිංහල ස්වෝත්තමවාදීන් විසින් ගැනීම තුළ පවතින්නේ, සකල ශ්‍රී ලාංකිකයන් මුහුණදෙන අභියෝගයන් පිළිබඳ දේශපාලනික අභියෝගය භාර ගැනීමට රාජ්‍යයට ඇති වගකීම පැහැර හැරීම පිළිබඳ කාරණයයි.
නිගමනය
රාජ්‍යයත්, විමුක්තියේ ඒජන්තයන් වශයෙන් හඳුන්වා ගන්නා සන්නද්ධ ක්‍රියාකාරීකයෝත්, ශ්‍රී ලංකාවේ බහුත්වවාදී ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ව්‍යාපෘතියට සහ එහි අනාගත අපේක්ෂාවන්ට විනාශකාරීව පහර දී තිබේ. යුද්ධයෙන් පසු දෙමළ ජනතාව කබලෙන් ලිපට වැටී ඇත. දැන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට සිටින්නේ ඔවුන්ම පමණි. තම පවුල් නඩත්තු කර ගැනීමේ දිනෙන් දින උග්‍ර වන දුෂ්කරතාවට මුහුණදී සිටින සහ යුද්ධයෙන් පසු අන්ත අසරණ තත්වයට පත්ව සිටින මේ ජනතාවගේ කලකිරීම, ජාතිකවාදී හැඟීම්වලට නිත්‍ය වශයෙන් තුඩුදෙන බව නොවලහා කිව යුතුය. සියලු ජනයා ඒකරාශී කර ගන්නා ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා වන දේශපාලන උපාය මාර්ගයක් යළි සකසා ගැනීමට ශ්‍රී ලංකාවේ රාජ්‍යයත්, දකුණේ සිංහල දේශපාලන පැලැන්තිය සහ පක්ෂත් අසමත් වන්නේ නම්, ජාතික රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව අනාගතය අස්ථාවර වන්නේය.
ශ්‍රී ලංකාව ඉදිරියේ දැන් ඇති විශාලම අභියෝගය වන්නේ, අතීතයේ යදම්වලින් අපේ ජනතාව ගලවා ගැනීමයි. අතීතයේ වැරදි යළි සිදු නොවන, සාමකාමී අනාගතයක් සඳහා වන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ස්ථාපනය කිරීමයි. එය, තවත් ප්‍රමාද නොවී අපේ දේශපාලන නායකත්වය භාර ගත යුතු අභියෝගයකි.
(2018 ජුනි 03 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Subversion of Our Democratic Political Spaces & What it Means for Sri Lanka’s Future නැමැති ලිපියේ සිංහල පරිවර්තනය (3) ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)