Saturday, April 20, 2024

මැයි දිනය: ජාතික ගැටලුවට විසඳුම් සෙවීමට ඒකරාශී වෙමු! – ආර් . සම්බන්දන්

මැයි දින පණිවුඩය:

ලෝක ඉතිහාසය තුළ ඇති ‍ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් දිනයක් පිළිබඳව අප සිහිපත් කරන මෙම අවස්ථාවේ, මෙම දිවයිනේ ජනතාවට දීප්තිමත් අනාගතයක් උදා කරලීම සඳහා තම උපරිම දායකත්වය ලබාදුන් අපේ රටේ වැඩකරන ජනතාවට මගේ සුබ පැතුම් හිමි වනු ඇත.

වැඩකරන පන්තිය අපගේ ආර්ථික සමෘද්ධියේ කොඳු නාරටිය වන බැවින්, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීමටත්, සුබ සිද්ධිය තහවුරු කිරීමටත් කටයුතු කළ යුතුය. එහෙත්, සියලුම ජනතාවට සමානව සැලකීම හෝ සමාන පිළිගැනීමක් හා ගරුත්වයක් ලබාදීම අපේ රටේ වත්මන් පාලන ව්‍යුහයන් තුළින් සිදු නොවීම කණගාටුවට කරුණකි.

මෙම ජාත්‍යන්තර කම්කරු දින සැමරුමත් සමඟම, කලාපය තුළ, ආර්ථික සමෘද්ධියෙන් අප වඩාත් පසුගාමී වීමට පාදක වී ඇති කරුණු ද සැලකිල්ලට ගෙන, ඒවාට මුල් වූ හේතු ආමන්ත්‍රණය කර, ඒ සඳහා විසඳුම් සෙවීමටත් අවශ්‍ය මූලික පියවර ගනිමු.

ස්ථිර සාමයක හා සමෘද්ධිමත් ආර්ථිකයක ඵල නෙළා ගැනීම උදෙසා සියලු පුරවැසියන්ට සමාන ලෙසත්, අභිමානයෙන් හා ආත්ම ගෞරවයෙන් යුතුව සැලකිය හැකි උත්තරීතර නීතියක් නැතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම නියත වශයෙන්ම කළ යුතුව ඇත. අපගේ මාතෘ භූමියට මෙම මහඟු අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා තිබුණු බොහෝ අවස්ථාවන් අතීතයේදී ද අපෙන් ගිලිහී ගොස් ඇති හෙයින්, මේ සඳහා ඇති තවත් අවස්ථාවක් අහිමි කර ගැනීමට අපට නුපුළුවන.

මේ රටේ අනාගතය හා අනාගත පරපුර වෙනුවෙන්, සියලු දේශපාලන මතවාද බැහැර කරමින්, ජාතික ගැටලුවට මූලික වී ඇති හේතු සඳහා විසඳුම් සෙවීමට, ඒකරාශී වන මෙන් සියලු දේශපාලන පක්ෂ වලින්, මෙම මැයි දිනයේදී, මම ඉල්ලා සිටිමි.

ආර්. සම්බන්දන්, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, 2018.04.27 වෙනි දින.

Archive

Latest news

Related news