Sunday, May 19, 2024

අධිකරණය, නීතිඥවරුන් ගැන තවත් කථාවක්; මුදලට නීතිය නැවූ මාධ්‍ය නීතිඥ හවුල – කසුන් පුස්සෙවෙල

 

අධිකරණ පද්ධතිය ආරම්භ වූ ඉතිහාසයේ පටන් මෙරට විශිෂ්ට නීතිඥ ප්‍රජාවක් සිටී. ඔවුහු තම සේවාදායක මහජනතාව වෙනුවෙන් යුක්තිය පසිඳලීමේ කාර්ය ඉටුකරමින්, තම වෘත්තික භාවයට සරිලන මිළක් ලබාගනිති. එම වෘත්තීය මැදිහත්වීම මඟින් යම් පුද්ගලයකු අධිකරණය හමුවේ නිවැරැදිකරුවෙකු මෙන්ම වැරදිකරුවෙකුද විය හැකිය. ඒ අනුව එම වෘත්තීය, වගකීම්සගත වූවකි. එයට සාධාරණ මිළක් නියමවීම යුක්ති සහගතය. සමාජයද එය ගෞරවනීය වෘත්තීයක් ලෙස සලකයි. මෙරට මාධ්‍යකරුවාගේ භූමිකාව වෘත්තීයක් වශයෙන් පිළිනොගත්තත්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මහජනතාවට වඩා ඉදිරියට ගොස්, මිනිස් ජීවිතවලට සමීපව විශිෂ්ට සේවාවක් ඉටුකරති. සමාජයකට අවශ්‍ය මඟ පෙන්වති. නීතියටත්, අනෙකුත් ඕනෑම වෘත්තීන්ටත් විටෙක ඉදිරිය පෙන්වන්නේ මෙකී මාධ්‍යකරුවාය. එම කාර්‍යයට නිශ්චිත මිළක් නියමව නැතත් එය සමාජ වගකීමක් හා යුතුකමක්ද වේ. මහජනයාගේ ජීවිතයට සමීප හා ඍජුව සම්බන්ධවන වෙනත් වෘත්තීන් කොතෙකුත් ඇතත් නීතිඥවරුන්ට හා මාධ්‍යකරුවන්ට වගකීම් සහගත කාර්යයක් බාරව තිබේ. ඒ හරහා ඔවුන් මත ගොඩනැගෙන සිවිල් බලයක් තිබේ. ගෞරවයක් තිබේ.

එහෙත් ඒ හරහා මෙම වෘත්තීන් වෙත ගොඩනැගෙන සිවිල් බලයෙන් අයුතු ප්‍රයෝජන ගන්නා පිරිස් ද සිටිති. එය අප ජීවත්වන කලාපයේ රටවල ඕනෑම වෘත්තියක් තුළ දැකිය හැකි පොදු ලක්ෂණයකි. එමෙන්ම මෙම වෘත්තීන්ට පුද්ගලික සම්බන්ධතා, මූල්‍යමය ගනුදෙනු තිබිය හැකිය. ඒවා පුද්ගලිකත්වය සතු කාරණා බව අපි තදින්ම විශ්වාස කරමු. එහෙත් එවැනි ගනුදෙනු පුද්ගලිකත්වයෙන් එහා ගොස් සිය සිවිල් සබඳතා බලය පාවිච්චි කර යමෙකුට අසාධාරණයක් සිදුකරයි නම් හෝ වංචාවන් හෝ බොරු චෝදනා එල්ල කරයි නම් එය බරපතළ වරදකි. ඉකුත් ජනවාරි 11වෙනිදා හෙලිදරව් කළ ‘ පගාවට නඩු අසා නීතියේ දෙවොල කෙලෙසූ ගාල්ලේ මහාධිකරණ විනිසුරු – මොහාන් සෙනෙවිරත්න ‘ මැයෙන් ලියැවුණු ලිපියේ සඳහන් නීතිඥවරිය සම්බන්ධ මූල්‍යමය ගනුදෙනුවක දිගුවක් වන මෙම ලිපියේ ආරම්භය මෙරට ප්‍රධානතම පුවත්පතක මාධ්‍යවේදියෙකු සමගද සම්බන්ධ වේ. එනයින් බලාපොරොත්තු වන්නේ එම මාධ්‍ය ආයතනය හෝ එහි සිටින විශිෂ්ට සහෝදර මාධ්‍යකරුවන් අපහසුතාවයට පත් කිරීමවත්, අගතියට පත්කිරීමවත් නොවේ. හුදෙක් උක්ත මහාධිකරණ විනිසුරුවරයා හා බැඳෙන මූල්‍යමය චෝදනා ලත් නීතිඥවරිය පිළිබඳව හෙළිකිරීම මෙහි මූලිකම අරමුණ වෙතත් වින්දිත පාර්ශ්වය හෙළිකරන අනෙකුත් තොරතුරු මහජන තොරතුරු දැනගැනීම උදෙසා හෙලිදරව් කිරීම බලාපොරොත්තු වේ. ඒ සඳහා හඬ පට, වීඩියෝ දර්ශන හා සියලු ලිපි ලේඛනද ඇති අතර මෙමඟින් එම පුවත්පත් කර්තෘවරුන් හෝ සහෝදර මාධ්‍යකරුවන් හෝ නීතිඥ ප්‍රජාව අපහසුතාවයට පත් නොවනු ඇතැයි විශ්වාස කෙරේ.

එල්.එච් දීපිකා දමයන්තිගේ පැමිණිල්ල

බණ්ඩාරමුල්ල , මිරිස්ස ලිපිනයෙහි පදිංචි එල්. එච් දීපිකා දමයන්ති එම ප්‍රදේශයේ හෝටලයක් හිමි ව්‍යාපාරික කාන්තාවක හා සමාජ සේවිකාවකි. ඇයත් සමඟ කලකට පෙර සිට හිතවත් වූ මෙරට ප්‍රධානතම පුවත්පතක මාතර ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ඇයගෙන් ලක්ෂ 30ක ණය මුදලක් ලබාගෙන තිබේ. ඇය ජනාධිපතිවරයාට, පොලිස්පතිවරයාට සහ ජාතික පොලිස් කොමිසම වෙත යවා ඇති පැමිණිලිවලට අනුව එම ණය මුදල් අදාළ මාධ්‍යවේදියාට ලබා දී ඇත්තේ පහත පරිදිය.

2014.02.11වන දින රුපියල් 1,350,000ක් ද, 2014.11.24 දින රුපියල් 1,000,000ක් ද ද, 2014.11.26 දින රුපියල් 475,000ක් ද සහ 2014.12.10 දින රුපියල් 175,000ක් වශයෙන් එම ණය මුදල ලබා දී තිබේ. හිතවත්කමත්, නැවත ගෙවන පොරොන්දුවත් මත ලිඛිත සඳහනක් ලබානොගෙන එම ණය මුදල් ලබාදීමට දීපිකා දමයන්ති කටයුතු කර තිබේ. එම මාධ්‍යවේදියා දිගින් දිගටම ණය මුදල ගෙවීම පැහැර හැර ඇති අතර, පසුව ඔහු සිය වැටුපෙන් මාසිකව රුපියල් 20000ක් දමයන්තිගේ ගිණුමකට බැරවන පරිදි අංක CSO/MTB/14/A/0000024 යටතේ ස්ථාවර නියෝගයකින් මුදලක් ආපසු බැරකර තිබේ. ඒ අනුව 2014.03.27 සිට 2016.04.28 දක්වා දමයන්තිගේ සෙලාන් බැංකු ගිණුමකටද, ඉන්පසුව සම්පත් බැංකු ගිණුමකටද, ලංකා බැංකු ගිණුමකටද කොටස් වශයෙන් ණයෙන් කොටසක් පියවා තිබේ.

2014.11.26 දින පළමු ලියාපදිංචිය සහිත, අංක 152/A, උඩ අපරැක්ක, අපරැක්ක, මාතර ලිපිනයේ පදිංචි අදාල මාධ්‍යවේදියාට අයත්ව තිබූ SP BBN – 8293 දරන මෝටර් බයිකලයේ ලියාපදිංචිය 2016.05.27 දින දමයන්ති වෙත පවරා ඇත්තේ එය විකුණා ණය පියවා ගන්නා ලෙස දන්වමිනි. ඇය මෝටර් බයිසිකලය රුපියල් 15000කට විකුණා තිබේ. අදාල මාධ්‍යවේදියා ඊට පෙර බැංකු ගත කළ මුදල සහ මෝටර් බයිසිකලය විකුණා ලැබූ මුදල රුපියල් 892000ක් බවත්, තමන් ලබාදුන් ලක්ෂ 30ක මුදලෙන් නැවත ලැබුණේ එපමණක් බවත් දමයන්ති විසින් ජනාධිපතිවරයා, අගමැතිවරයා, පොලිස්පතිවරයා ඇතුළු රජයේ ආයතන වෙත යවන ලද ලිපිවල සඳහන් කර තිබේ.

දමයන්තිට බොරු පැමිණිලි

එම පැමිණිලිවල වැඩිදුරටත් දක්වා ඇත්තේ 2016.05.16 වැනිදා ස්ථාවර දුරකථනයකින් දමයන්තිට කතා කළ අදාළ මාධ්‍යවේදියා ‘ මැඩම් ගහපු කැලෑ පත්තර ටික සීසීටීවී කැමරාවක තිබිලා ගහපු එකාව අල්ලගත්තා. මම දැන් ඌත් අරගෙන ඩී.අයි.ජී සුමිත් එදිරිසිංහ ළඟට යනවා. මැඩම් ඇතුළට යන්න බලාගෙන ඉන්න’යැයි ප්‍රකාශ කර තිබේ. ඉන්පසුව ඔහුගේ මව ලෙස කාන්තාවක්ද, තවත් පුද්ගලයන් කීපදෙනෙක්ද දුරකථනයෙන් අමතා එම තොරතුරු දමයන්ති වෙත පවසා තිබේ. පසුව මාධ්‍යවේදියාගේ හිතවතියක බව කියැවෙන ජීවනී චම්පිකා හෙවත් බොබී නැමැත්තියක දුරකථනයෙන් අමතා එම කැලෑ පත්තර ගැසූ බවට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයා නිදහස් කරගැනීම සඳහා ලක්ෂ 10ක මුදලක් ඩී.අයි.ජී සුමිත් එදිරිසිංහ ඉල්ලා සිටින බවත්, එය තමන් ලක්ෂ 6කට අඩු කරගත් බවත්, එය නොදුන්නහොත් එම චෝදනාවට දමයන්තිට රිමාන්ඩ් වීමට සිදුවනු ඇති බවත් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව තමන් මත පැවරීමට යන බොරු චෝදනාවට හා පොලීසියට ඇති බියෙන් දමයන්ති දෙවරකදී ලක්ෂ 5ක මුදලක් ලබා දී තිබේ. එම ගනුදෙනු සිදු වූ දුරකථන සංවාද දමයන්ති විසින් පටිගත කර ඇත. පසුව එම බොරු චෝදනාව සහ මුදල් ලබාගැනීම වංචාවක් බව තේරුම්ගත් දමයන්ති මාතර වංචා විමර්ශන අංශයට පැමිණිලි කර කොටස් වශයෙන් එම මුදල චම්පිකා නැමැත්තියගෙන් ලබාගෙන තිබේ. ඊට අමතරව එම වංචාවට විරුද්ධව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ 62988 යන නඩුව තවමත් විභාග වෙමින් තිබේ.

තවත් බොරු චෝදනාවක්

2016.05.31 දින දමයන්තිගේ ජංගම දුරකථනයට අදාල මාධ්‍යවේදියාගේ 071423097 දරන අංකයෙන් කෙටි පණිවිඩයක් එවමින් වියදම සඳහා ලක්ෂ 5ක මුදලක් ඉල්ලා තිබේ. දමයන්ති එම මුදල ලබාදීමෙන් වැලකී තිබේ. එම මාධ්‍යවේදියා 2016.12.14 දින මාතර තිහගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඔවුන් පානීය ජලය ලබාගන්නා ළිඳට කවුරුන් හෝ වස දමා ජීවිතහානි කිරීමට කටයුතු කර ඇති බව පැමිණිලි කර තිබේ. 2016.12.18 වෙනිදින නැවතත් ඔහු ප්‍රකාශයක් ලබාදෙමින් වස දැමීම සඳහා කොන්ත්‍රාත්තුව බාර දී ඇත්තේ දමයන්ති විසින් ගයාන් සහ වසන්ති යන දෙදෙනෙකුට බවත්, දමයන්ති විසින් ඔහුගේ පුතා ඝාතනය කිරීමටද උත්සාහ ගන්නා බවත් වැඩිදුරටත් පැමිණිලි කර ඇත. එම පැමිණිල්ල සඳහා මාධ්‍යවේදියාගේ බිරිඳ ඇතුළු සාක්ෂිකරුවන් 5 දෙනෙකුගෙන් සාක්ෂි ලබාගත් බවත්, පැමිණිලිකරුට හා ඔහුගේ පවුලේ උදවියට ජීවිත හානි කිරීමට උත්සාහ කිරීම යන අපරාධ චෝදනා ගොනු කළ බවත් දන්වා තිබේ. තිහගොඩ පොලීසියේ කර තිබූ පැමිණිල්ල ප්‍රකාරව කොටවිල පොලීසිය 2017.04.02 දින දමයන්තිට පැමිණෙන ලෙස දන්වා තිබේ. එදිනම එහි ගොස් තමන් එවැන්නක් සිදුනොකළ බව එම පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක ප්‍රේමසිරිට ප්‍රකාශ කර ඇත. පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු විසින් දමයන්තිට දිගින් දිගටම බැණවැදී ඇති අතර, ඉක්මණින්ම සිරබාරයට ගන්නා බවත් ප්‍රකාශ කර තිබේ.

වරුණි බෝගහවත්ත සහ හෙළනි ද සිල්වා

මෙම අසත්‍ය චෝදනා හේතුවෙන් හා බැණවැදීම් හේතුවෙන් සිත්තැවුලටත්, බියටත් පත් වූ දමයන්ති 2017.04.02 දින මාතර පොලීසියේ කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි වරුණි බෝගහවත්තගේ නිවසට ඇය හමුවීමට ගොස් තිබේ. තමන් මූණදෙන ගැටලුවත්, අසාධාරණයත් පිළිබඳව ඇයට පැවසීමෙන් පසුව තමන් දන්නා නීතිඥවරියක් සිටින බව පවසා හෙළනි ද සිල්වා නැමැත්තියකට දුරකථනයෙන් කතාකර, දමයන්තිට ඇමතුම ලබාදී ඇත. තමන්ට සිදුව ඇති අසත්‍ය චෝදනාව සහ එනයින් අත්අඩංගුවට පත්වීමට ඇතිබව පවසා දමයන්ති මෝටර් රථයෙන් පිට වී ආපසු එන මඟ වරුණි බෝගහවත්තගේ නිවස අසල මාර්ගයේ උක්ත මාධ්‍යවේදියාද සිට තිබේ. ඔහු පසුකර මද දුරක් ගිය පසු උක්ත නීතිඥවරිය දමයන්තිට කතා කර තමන් මෝටර් රථය පසුපසින් පැමිණෙන බවත්, ඉදිරියෙන් නතර කරන ලෙසත් දන්වා තිබේ. මාතර තල්අරඹ ප්‍රදේශයේදී රථය නතර කළ ඉන්පසුව නීතිඥවරිය ඇයගෙ මෝටර් රථය ඉදිරියෙන් නතර කර එයට එන ලෙස දමයන්තිට දන්වා ඇත. හෙළනි ද සිල්වා යමෙකුට ඇමතුමක් ලබාදී දමයන්තිට එය ඇසෙන්න සලස්වා තිබේ. එහිදී පිරිමි පුද්ගලයෙක් කතා කර ‘ඔය ගෑනි කොහේ හිටියත් අද අත්අඩංගුවට ගන්නවා. මාස 6 කට ඇතුළට යවනවා’යැයි පවසා තිබේ. ඉන්පසුව හෙළනි විසින් ‘ඔයාව තව පැයකින් අත්අඩංගුවට ගන්නවා. ඒකට මාධ්‍යවේදියා ඔක්කොම සාක්ෂි හදලා ඉවරයි. ඔයාව අත්අඩංගුවට ගන්න එක මට නතර කරන්න පුලුවන්. පොඩි ගණන්වලට නඩු බාරගන්නෙ නෑ. මේක මිනීමැරුම් නඩුවක්. එකක් නෙමෙයි පවුලක්ම ඝාතනය කරන්න හදපු එකක්.’ බව පවසා විනාඩි 30ක් ඇතුළත ලක්ෂ 15ක මුදලක් අවශ්‍ය බව පවසා තිබේ. එලෙස ලබාදුනහොත් අත්අඩංගුවට ගැනීම හා නඩුව ඉවත් කිරීම සිදුකළ හැකි බව ප්‍රකාශ කර ඇත. මේ සියල්ල සටහන්ව ඇත්තේ දමයන්ති කරන ලද පැමිණිලිවලය.

ඒ අනුව 0777728796 අංකයෙන් හෙළනි ද සිල්වා කෙටි පණිවිඩයක් එවමින් මාතර සෙලාන් බැංකු ශාඛාවේ 002033318996101 දරන ගිණුම් අංකයත්, එහි හිමිකරු ලෙස එච්. එච්. සී ද සිල්වා යන නමත් එවා තිබේ. දමයන්ති විසින් තම බෑනාවන ඩික්සන් ජයවර්ධනට හදිසි මුදල් අවශ්‍යතාවයක් ඇති බව දන්වා ඔහු හරහා පැය බාගයක් තුළ හෙළනිගේ ගිණුමට එම මුදල බැර කර තිබේ. ඉන්පසු කිහිපවරක් හෙළනි දුරකථනයෙන් කතා කර ඇති අතර, 2016.04.07 දින මාතර කාලිදාස පාරේ ඇයගේ නිවසට එන ලෙස දන්වා තිබේ. දමයන්ති එදින එහි ගොස් ඇති ඇතර එහිදී කර ඇත්තේ මෙම සිදුවීම යටපත් කිරීමට තවත් මුදල් අවශ්‍ය බවත්, මෙවැනි දේ සඳහා ඕනෑතරම් පුද්ගලයන් විශාල වශයෙන් මුදල් ලබාදෙන බවත් පවසා, ලක්ෂ 35ක මුදලක් ලබා දෙන්නේ නම් එතැනින් සියල්ල අවසන් කළ හැකි බව ප්‍රකාශ කිරීමය. මෙම සිදුවීමෙන් අනතුරුව වෙනත් නීතිඥයෙකු මාර්ගයෙන් 2017.04.26 දින දමයන්ති අධිකරණයට ඉදිරිපත් වී රුපියල් 5000ක මුදල් ඇපමත මුදාහැර තිබේ. එහිදී මහේස්ත්‍රාත් ඉදිරියේ අදාල මාධ්‍යවේදියා තමන්ට ගෙතූ බොරු චෝදනාව පිළිබඳවද ප්‍රකාශයක් ලබා දී තිබේ. හෙළනි ද සිල්වා ලක්ෂ 15ක මුදලක් ලබාගෙන නඩුවට පෙනී නොසිටීමත්, එය ආපසු නොගෙවීමත් හේතුවෙන් 2017.06.03 සහ 05වැනිදා දුරකථනයෙන් කතාකොට මුදල් ඉල්ලූ විට එය ලබාදිය නොහැකි බවත්, එය කොළඹ ප්‍රදේශයේ වෙනත් අයෙක්ට ලබා දුන් බවත් පවසා මගහැර කටයුතු කළ බව පැමැණිලිවල සඳහන්වේ.

ලක්ෂ 15 ආපසු නොදීම

මෙලෙස නීතිඥවරිය ලක්ෂ 15ක මුදලක් ලබාගෙන නඩුවට පෙනී සිටීමෙන්ද වැළකී සිට ඇති අතර දිගින් දිගටම දමයන්ති විසින් එම මුදල ඉල්ලා සිටීමේදී එය නැවත ගෙවීමද මඟහැර තිබේ. මේ අතර දමයන්ති 2017.04.26 දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට ප්‍රථම 2017.04.09 දින රුසියාව බලා කලින් සැලසුම් කරන ලද විදේශ සංචාරයකට ගොස් තිබේ. ඇය කර ඇති පැමිණිලිවලට අනුව අදාළ මාධ්‍යවේදියා විසින් පවත්වාගෙන යනු ලබන බව කියැවෙන මාතර හොට් නිව්ස් නම් සමාජ ජාල පිටුවක් මගින් ‘ළිඳකට වස දැමූ මිරිස්සේ කෝටිපතිනියගෙන් සාක්ෂිකරුවන්ට තර්ජන’ යම මැයෙන් සහ ‘ළිඳකට වස දැමූ මිරිස්සේ කෝටිපතිනිය රට පැනලා….’ යන මැයෙන් පුවත් කීපයක් පළ කර තිබෙන බව දමයන්ති අදාළ පැමිණිලිවල ඒවායෙහි පිටපත් සමඟ සඳහන් කර ඇත. එමෙන්ම එම මාධ්‍යවේදියාට එරෙහිව දීපිකා විසින් බෙදාහරින ලදැයි කියන අසත්‍ය තොරතුරු සහිත පත්‍රිකා පොලීසිය අධිකරණය වෙත සාක්ෂි ලෙස ඉදිරිපත් නොකළේ ඇයිද යන්න සහ තමන් ඔහුට මරණ තර්ජන කළේ නම් හෝ වෙනත් පාර්ශ්වයකට එවැනි තර්ජනයක් කිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබුණේ නම් ඒවාට අදාළ දුරකථන සාක්ෂි පොලීසිය ඉදිරිපත් නොකළේ මන්ද යන ගැටලු ලිඛිතව පැමිණිලි මගින් විමසා තිබේ.

2017.01.26 දින අංක BR 59/17 දරන නඩුව ප්‍රකාරව මාතර මහේස්ත්‍රාත් අධිකරණය රජයේ රස පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත අදාළ මාධ්‍යවේදියා ජලය ලබාගන්නා ළිඳෙහි ජල සාම්පල ‍යවා තිබේ. ඒ අනුව රසපරීක්ෂක දෙපාර්තුමේන්තුවේ අංක එස්/1147/17(සීටී/240/17) යටතේ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක කේ.ඒ.පී.බී. පෙරේරා සහ වැඩබලන රස පරීක්ෂක ඒ.වැලිඅංග විසින් සම්පාදිත ජල සාම්පල පරීක්ෂණ වාර්තාව අධිකරණය වෙත 2017.06.30 දින එවා තිබේ. එම වාර්තාවට අනුව අදාළ මාධ්‍යවේදියාගේ ළිඳේ කිසිදු වස වර්ගයක් නොමැති බව දක්වා තිබේ. එමෙන්ම දමයන්ති දිගින් දිගටම තම පැමිණිලිවල දක්වා තිබෙන්නේ තමන් අදාළ මාධ්‍යවේදියාගේ ළිඳට වස දමා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට උත්සාහ කළේ නම් ඒ සඳහා චෝදනා ගොනු කිරීමට පොලීසිය ලබාගත් සාක්ෂි මොනවාද යන්නත්, ගයාන් සහ වසන්ති යන දෙදෙනාට තමන් වස දැමීමට කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බව චෝදනා කරන්නේ නම් ඔවුන්ගෙන් ලබාගත් සාක්ෂි මොනවාද යන්නත්ය. මාධ්‍යවේදියාට තමන් මෙම චෝදනාවලින් පසුව තර්ජන කළේ නම් හෝ එවැන්නක් කළ බවට පැමිණිලි කර ඇත්නම් ඒවායෙහි දින මොනවාද යන්න දමයන්ති තම පැමිණිලි මගින් ප්‍රශ්න කරයි. පොලීසිය මෙම අසත්‍ය චෝදනා ගොනු කිරීමට සාක්ෂි කිසිවක් ඉදිරිපත් නොකළ බවද දිගින් දිගටම පැමිණිලිවල සඳහන් කර තිබේ. ඒ අනුව දමයන්ති විසින් 2016.06.27 දින ජනාධිපතිවරයාටද, 2017.07.10 දින අධිකරණ සේවා කොමිසමටද, 2017.07.22 දින ශ්‍රේෂ්ධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාටද, 2017.11.09 දින පොලිස්පතිවරයාටද මෙම අසත්‍ය චෝදනා එල්ල කළ බව කියන මාධ්‍යවේදි ක්‍රිෂාන් ජීවක ජයරුක් හා නීතිඥ හෙළනි ද සිල්වා පිළිබඳව ලිඛිතව පැමිණිලි කර තිබේ.

යුක්තිය අවශ්‍යයි

මෙම පැමිණිලි පිළිබඳව කිසිදු පාර්ශවයක් වෙත විශේෂිත ළැදියාවක් හෝ බැඳීමක්ද නැත. ලියුම්කරුට හිමි වන විශේෂ වාසි ප්‍රයෝජනයක්ද නැත. මීට පෙර සඳහන් කළ පරිදි මේ එකදු පාර්ශවයක් අපහසුතාවකට හෝ අගතියකට පත් කිරීමේ චේතනාන්විත වුවමනාවක් ද නැත. ගැටලුව ඇත්තේ මෙරට සාමාන්‍ය කාන්තාවක විසින් ලිඛිතව සහ වාචිකව තමන්ට සිදු වූ මූල්‍යමය වංචාවක් පිළිබඳවත්, එල්ල වූ අසත්‍ය චෝදනා පිළිබඳවත්, රැවටීමට ලක් කිරීමත් පිළිබඳ චෝදනා ගොන්නකි. එම චෝදනා සත්‍ය ඒවා නම් ඒවා බරපතළය. ඉහළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වන මාතර පොලිස් කාන්තා අංශයේ ස්ථානාධිපතිනි වරුණි බෝගහවත්ත සහ නියෝජ්‍ය පොලිස් අධිකාරී සුමිත් එදිරිසිංහ ආදීන්ගේ නම්ද දමයන්ති කළ පැමිණිලිවල සඳහන් වේ. ඒවා ව්‍යංගයෙන් අල්ලස් සහ වංචා චෝදනා සමග බැඳී පවතී. මාධ්‍යවේදියා විසින් එලෙස මූල්‍ය වංචාවක් කරමින් පසුව අසත්‍ය චෝදනා එල්ල කර තිබේ නම් එයද, වෘත්තීමය වශයෙන් තම සේවාදායකයා රවටා සේවය පැහැරහැර මුදල් වංචා කර ඇත්නම් නීතිඥවරියද වරදක් කර තිබේ. එමෙන්ම එම නීතිඥවරිය සම්බන්ධව මීට පෙරද දූෂණ චෝදනා එල්ල වී තිබෙන්නේ මුදලට අපරාධ නඩු අහවර කිරීම් පිළිබඳවය. මේ සියල්ලෙහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීම රටේ නීතිය සතු කාර්යකි. නීතියට ඉහළින් කිසිවෙකු නොමැති නීතියේ ආධිපත්‍යය පිළිබඳව කතා කරන පාලනයක් තුළ සිවිල් පුරවැසියාටද, මාධ්‍යකරුවාටද, නීතිඥයාටද එක ලෙස සාධාරණ නීතියක් ක්‍රියාත්මක විය යුතුය. මෙරට මාධ්‍යකරුවන් පිළිබඳව විශ්වාසය පළුඳු වී ඇත්තේද මෙවැනි චෝදනාවන් මාධ්‍යකරුවන් වෙත එල්ල වීම හේතුවෙනි. එමෙන්ම තම සිවිල් බලයෙන් විවිධ අකටයුතුකම් හා වරප්‍රසාද ලබාගැනීම හේතුවෙනි. නීතිඥ ප්‍රජාවේ සමහරක්ද එලෙස නීතියත්, තම වෘත්තිය බලයත් අකටයුතුකම්වලට භාවිත කිරීම හේතුවෙන් අප්‍රසාදයට පත්ව තිබේ. මේ කුණු වූ ක්‍රමය නිසාවෙන් එයින් නොනැවතී මහජනතාව අතරින්ද යම් යම් පිරිස් නීතිය අවභාවිත කරමින් තම පුද්ගලික අවශ්‍යතා ඉටුකරගනිමින් සිටිති. ඒ නිසා මෙම වගකිවයුතු පාර්ශ්වයන් තුන විසින් නඟන ලද චෝදනා සහ ප්‍රතිඋත්තර සලකා බලා නීතිය වහාම ක්‍රියාත්මක කළ යුතුය.

මම ඒ ගැන නීතිඥ සංගමයට උත්තර දෙනවා : නීතිඥ හෙළනි ද සිල්වා

මේ සම්බන්ධව මට විරුද්ධව පොලීසිය මගින් කටයුතු කරන්න හැකියාවක් මේ චෝදනා කරන තැනැත්තියට නැහැ. මම ඒ මුදල ලබා ගත්තේ එයාගේ ඉල්ලීම අනුව, එයාගෙ කැමැත්ත මත. ඒ නිසා මේකට පොලීසි ගානෙ ගියාට වැඩක් නෑ. මම මේ ගැන පොලිස්පතිට පැමිණිලි කරලා එතුමාගෙන් ගත්තු නියෝගයකුත් මගේ ළඟ තියෙනවා. මේ ගැන නීතිඥ සංගමයෙන් වෘත්තීමය කටයුතු පිළිබඳව පරීක්ෂණයක් යන නිසා මට තවදුරටත් අදහස් දක්වන්න බැහැ, ඒක ඉවර වෙනකම්. ඒ පරීක්ෂණය අවසන් වුණාට පස්සෙ ඒ ලැබෙන තීරණය අනුව පොලිසිය මගින් ක්‍රියාත්මක වෙන්න කියලයි පොලිස්පති ඒ නියෝගයෙන් දක්වලා තියෙන්නෙ.

නීතිඥවරු සම්බන්ධව අධිකරණ සේවා කොමිසමට කටයුතු කරන්න බැහැ. මම මේ කියන මුදල ගත්තෙ ඇයි සහ ඒවා වියදම් කරපු විදිය නීතිඥ සංගමයේ පරීක්ෂණයෙදි මම ප්‍රකාශ කරනවා. දැනට ඒ ගැන කතා කරන්න බෑ. ඒ සම්බන්ධව තොරතුරු අවශ්‍ය නම් මාව හමුවන්න. මීට කලින් මම ගැන තොරතුරු පළ වුණා. ඒ සම්බන්ධවත් මම ඉදිරියෙදි නීතිමය පියවර ගන්නවා. මම ලක්ෂ පහළොවක් අරගෙන තවත් මුදල් ඉල්ලුවා කියල නීතිඥ සංගමයේ පරික්ෂණෙවලදී කියලා තියෙනවා. එයා ළඟ මම එහෙම සල්ලි ඉල්ලපු ඇමතුම්වල පටිගත කිරීම් තියෙනවා කියනවා. තාම මට නම් ඒක හමු වෙලා නෑ. ඒවා හදපුවා වෙන්න පුළුවන්. මට විරුද්ධව තියෙන චෝදනාවලට පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ. මම ඒ ගැන නීතිඥ සංගමයට උත්තර දෙනවා. එයා මටවත් නොකියා වෙනත් නීතිඥවරයෙකු නඩුවට සම්බන්ධ කරගෙන තිබුණා. පස්සේ මටවත් නොකියා නඩුව කතාකරගෙන මගෙන් සල්ලි නැවත ඉල්ලනවා. ඒ නඩුව දවසේ මට තවත් නඩුවක් උසාවියේ තිබුණා. එයා මට නඩුවට පෙනී සිටින්න නොකිය කොහොමද මම නඩුවට පෙනී ඉන්නෙ. වෘත්තීය ගාස්තු ගෙවලා දැන් සල්ලි දුන්නා කියනවා. මම ඒ සියල්ල නීතිඥ සංගමයට අවශ්‍ය වුණාම දන්වනවා. කොහොම වුණත් ඒ ගෑනු කෙනා ඔය කියන කොල්ලව මරන්න කියලා කිව්ව පටිගත කිරීමුත් අපි ළඟ තියෙනවා. අපි අවශ්‍ය වෙලාවට ඒවා පාවිච්චි කරනවා. ඔයා ඇවිත් මාව හමුවෙලා මේ ගැන දැනුවත් වුණා නම් හොඳයි.

එයා තමයි මගෙන් සල්ලි ගත්තේ : මාධ්‍යවේදී ක්‍රිෂාන් ජීවක ජයරුක්

පොලීසියට කතා කළා නම් ඕක ගැන ඔක්කොම ගන්න තිබුණා. අපේ අම්මයි තාත්ටයි රට යවන්න කියලා ඔය ගෑනි මගෙන් සල්ලි අරගෙන තියෙනවා. තුන්ලක්ෂ ගාණක් බිල් ලියල ගනිපුවා. ඉතුරි තුන්ලක්ෂ ගණන අතින් දීපුවා. ඒ ගෑනිගේ ආටිකල් පවා මම දාල දුන්නා. අපේ ගෙදර පවා ආව ගියා. බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් මට ආපු සංචාරයක් මම අපේ අම්මටයි තාත්තටයි හදලා දුන්නා. ඒකට මම දුන්නු සල්ලි ඉල්ලුවාම තමයි මම ඒ ගෑනිගෙන් ලක්ෂ තිහක් අරගෙන කියලා ඔහොම කිය කියා යන්නේ. ඒකට එහෙ මෙහෙ ගිහින් පොලිස්පතිට පවා පැමිණිලි දැම්මා. ලක්ෂ තිහක් තියා රුපියලක්වත් මම ගත්තා නම් එයා ළඟ එක ඩොකියුමන්ට් එකක් හරි තියෙන්න ඕන. මම ඒ සියල්ලටම පිළිතුරු දුන්නා.

කාලයක් ඔය ගෑනි නිහඬව ඉඳලා පහුගිය අවුරුද්දේ අපේ ළිඳට වස දැම්මා කට්ටිය දම්මලා. ඒකට මේ ගෑනි අත්අඩංගුවට ගන්න හොයද්දී අධිකරණයට බාර වුණා. දැන් ඇප අරගෙන ඇඟ බැඳලා ඉන්නේ. ළිඳට දැම්මේ මොනවද කියලා අපි දන්නේ නෑ. අපි පැමිණිල්ල දැම්මේ වස දාලා කියලා. පොලීසිය රස පරීක්ෂණ වාර්තාව ඉල්ලලා තිබුණේ අපද්‍රව්‍ය දාල කියලා. වාර්තාව ආවා එහෙම වසක් නෑ කියලා. පෙට්‍රල් කළුතෙල් එකතු කරලා ළිඳට දාලා තිබුණේ. අපද්‍රව්‍ය දැමීමේ නඩුව තවම යනවා.

මගේ නෝනයි ළමයයි වාහනේට හප්පන්න ගියාට නඩුවක් ගොනු කරනවා කියල පොලීසිය කියලා තියෙන්නෙ. එහෙම තව නඩු හතරක් විතර එයාට පොලීසිය දාන්න තියෙනවා. ඒ ගෑනිට ඕන තරම් සල්ලි තියෙනවා. දිවයිනේ සමන් ගමගේටත් සල්ලි දීලා මේ ගැන දාලා තිබුණා. මට මඩ ගහන්න ඔහොම දානවා ඒ ගෑනි. ඔය ලිපි ලේඛන, හඬ පටි ඔක්කොම හදපුවා. ඔයිට වඩා ඔය ගෑනි හදපුවා මං ළඟ තියෙනවා. මට විරුද්ධව කැලෑ පත්තර ගහන්න කියලත් ගෑනියෙකුට සල්ලි දීලා තිබුණා. පස්සේ ඒ ගෑනිට විරුද්ධවත් නඩුවක් දාලා සල්ලි ඉල්ලලා තිබුණා. ගිය අප්‍රේල් වලින් පස්සේ සද්දයක් නැතුව හිටියා. දැන් ආයෙ පටන් අරගෙන වගේ. වෙන වැඩක් නෑ එයාට ඔහොම පැමිණිලි කරනවා ඇරෙන්න. මම පඩියෙන් කැපෙන්න සල්ලි දැම්මේ මාතර ගොඩගම ඉඩමක් ගන්න. එයාගේ ඉඩමක් තියෙනවා කොටස් වශයෙන් සල්ලි දාලා ගන්න කිව්වා. මම ලක්ෂ පහක් විතර දැම්මා. මගෙන් එහෙම ලක්ෂ දහයක් ඒ ගෑනි ගත්තා. මම ඒකටත් පොලිස් පැමිණිල්ලක් දාලා තියෙනවා. ඒකෙ විමර්ශනය පටන් ගනීවි. මට මඩ ගැහුවට කමක් නෑ ඔය ගෑනි. මම ඔක්කොම අධිකරණයට කියනවා. ඔය ගෑනිට අධිකරණයෙන් කියලා තියෙන්නෙ මට හෝ මගේ පවුලට කිසිම බලපෑමක් කරන්න එපා කියලා. ළිඳට වස නොදැම්ම නම් ඇයි අපේක්ෂිත ඇප ඉල්ලලා බාර වුණේ. රස පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ගෑනිත් අල්ලන් සල්ලිවලට වාර්තාව හදාගත්තා. ඔන්න ඔහොම තමයි එයා ගේම ගහන්නේ.

නීතිඥවරිය ලක්ෂ 15ක් ගත්තා, තව 35ක් ඉල්ලුවා : දීපිකා දමයන්ති

මම 2010 ජුනි මාසයේ දවසක් මාතර පොලිස් කාන්තා අංශයේ වරුණි මිස් හමුවෙන්න ගියපු වෙලාවක තමයි ලංකාදීපෙ ක්‍රිෂාන් ජීවක ජයරුක් මුණ ගැහුණෙ. මගේ ආටිකල් එකක් කරල සිරිකත පත්තරේ දාන්න ඕන කියලා තමයි හිතවත් වුණේ. එයා ඒ ආටිකල් එක කළා. පස්සේ මම කරන ප්‍රජා කටයුතු වාර්තා කරන්නත් එයා නිතරම ආවා. ඒ සියලුම ලිපි මගේ ළඟ තියෙනවා. එයාගෙ පවුලේ අයත් මාත් එක්ක හිතවත් වුණා. ටික කාලයක් ගියාට පස්සෙ ජයරුක් මගෙන් ලක්ෂ තිහක් ඉල්ලුවා එයාට ගේ හදාගන්න ඕන කියලා. එයා ඒවගෙන් පොළොව ටයිල් කළා. සිවිලින් ගැහුවා. දොරවල් දැම්මා. මම ඒ සල්ලිවලට කිසිම ලියැවිල්ලක් ගත්තේ නෑ විශ්වාසයට. එයාගෙ නෝනගේ කපුගම ඉඩමක් තියෙනවා ඒක විකුණලා සල්ලි දෙන්නම් කිව්වා. නමුත් කාලයක් යනකම් සල්ලි ඉල්ලුවාට දුන්නේ නෑ. පස්සේ එයාගෙ පඩියෙන් මාසෙට විසිදාහ ගානෙ කැපෙන්න මට සල්ලි දැම්මා. ඒකත් නතර වුණා. පස්සේ එයාගෙ මෝටර් සයිකල් එකේ පොත ගෙනත් දීලා ඒක මගේ නමට හරවලා දුන්නා විකුණගන්න කියලා. මට ඔක්කොම ආපහු දුන්නේ ලක්ෂ අටක් වගේ. මට ආයෙ ටික කාලෙකින් එස්.එම්.එස් පණිවිඩයක් එව්වා ලක්ෂ පහක් ඉල්ලලා. මම දෙන්න බෑ කිව්වා කෝල් කරලා. එදා ක්‍රිෂාන් තරහා වුණා හපෝ ඔයාලට ලක්ෂ පහ මොකද්ද කුණු ලෝබයි කියලා බැන්නා.

අවුරුද්දකට විතර පස්සේ මට කතා කරලා කියනවා මම කැලෑ පත්තර ගහන්න කියලා කෙනෙකුට කොන්ත්‍රාත් එකක් දුන්නා කියලා. ඒකට ගියපු කෙනා අහුවුණාය, සුමිත් එදිරිසිංහ මහත්තය ළඟට එන්න කිව්වා හිරේ යන්න බලාගෙන. මම එහෙම කිසිම දෙයක් දන්න්නෙ නෑ. මට ක්‍රිෂාන් යාළු බොබී කියලා ගෑනියෙකුත් කතා කරලා ඒකම කිව්වා. එයාට කැලෑ පත්තර මම දුන්නා කියලා පොලිසියට කියනවා කිව්වා.

බේරෙන්න ඕන නම් සුමිත් එදිරිසිංහ මහත්තයට ලක්ෂ පහක් දෙන්න වෙනවා කියලා මගෙන් සල්ලි ඉල්ලගත්තා. මම නඩුවක් දාල ඒ සල්ලි බොබීගෙන් ගත්තා. ක්‍රිෂාන්ගේ ළිඳට මම වස දැම්මා කියලා පස්සේ මට බොරු චෝදනාවක් කළා. මම තිහගොඩ, කොටවිල පොලීසිවලට ගියා කටඋත්තර දෙන්න. මට පොලීයෙ අය කැත විදියට බැන්නා. මාව අත්අඩංගුවට ගන්නවා කිව්වා. මම මේ බොරු චෝදනාවෙන් බේරෙන්න උපදෙස් ගන්න වරුණි මිස් ළඟට ගියාම තමයි හෙළනි කියන නීතිඥවරියව කතා කරලා දුන්නේ. එදා වරුණි මිස් එක්ක කතා කරලා එළියට එද්දී පාරෙ ක්‍රිෂාන් හිටියා. මම බයටම දිගට කාර් එකෙන් එද්දි හෙළනි මිස් කෝල් කරලා කිව්වා එයා පස්සෙන් එනවා, කාර් එක නතර කරන්න කිව්වා. පස්සේ එයාගෙ කාර් එකට මට එන්න කියලා ලක්ෂ පහළවක් ඉල්ලුවා පැය භාගයක් ඇතුළත. මම ඒ සල්ලි දැම්මා. එයා ආයෙ කතා කරලා මාතර කාලිදාස පාරේ එයාගෙ ගෙදරට එන්න කිව්වා. එහෙට ගියාම තවත් ලක්ෂ තිස්පහක් ඉල්ලුවා. කොහොම හරි එයා නඩුවට පෙනී ඉඳියේ නෑ. මට ආපහු සල්ලි දුන්නෙත් නෑ. මේ මාධ්‍යවේදියා ගැන රටේ නීතියත්, මාධ්‍ය ආයතනත් වහාම පියවර ගන්න ඕන. මෙයාට විරුද්ධව මාතර ඕන තරන් සිද්ධි තියෙනවා. මේ නීතිඥවරියත් මෙහෙම සල්ලි අරගෙන නඩු වෙනස් කරනවා මේ ඔක්කොම අය එක්ක එකතු වෙලා. මේවාට නිසි පියවර ගන්න. මම හැම තැනටම පැමිණිලි කළා. මම ස්වභාවදහමෙන් හරි මේවට දඬුවම් ඉල්ලා සිටිනවා.

කසුන් පුස්සෙවෙල
රැස – 05 සහ 06. 02. 2018

Archive

Latest news

Related news