Tuesday, May 7, 2024

කාන්තා නියෝජනය ජයගැනීමේ අභියෝගය – හර්ෂණ තුෂාර සිල්වා

පළාත් පාලන මැතිවරණය පැවැත්වුණේ ඉකුත් 10 වැනිදාය. මේ වනවිට පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ අපේක්‌ෂක අපේක්‌ෂිකාවන්ගේ නම් ද ගැසට්‌ කර අවසන්ය.

මෙවර මැතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් මැතිවරණයක්‌ ලෙස පෙන්වා දෙන්නට පුළුවන. එය පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සියයට 25 ක්‌ විය යුතුය බව ස්‌ථාපිත කළ 2017 අංක 16 දරන පළාත් පාලන ආයතන (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු මෙරට පැවැත්වුණු පළමු පළාත් පාලන මැතිවරණයයි.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව කාන්තාවන් වෙනුවෙන් වෙන් කරන ලද සියයට 25 ක කෝටාව සම්බන්ධයෙන් මෙන්ම නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් විවිධ අදහස්‌ උදහස්‌ පළ විය. ඇතමෙක්‌ ඊට පක්‌ෂව ද ඇතමෙක්‌ ඊට විරුද්ධව ද අදහස්‌ දැක්‌වූහ. එපමණක්‌ නොව කාන්තාවන් සඳහා වෙන් කරන ලද සියයට 25ක කෝටාව ඇතැම් පාර්ශවවල දැඩි විවේචනයට ලක්‌වන ආකාරය ද දක්‌නට ලැබිණි. අපේක්‌ෂක අපේක්‌ෂිකාවන්ගේ නම් ගැසට්‌ කළ ද විරෝධයේ අඩුවක්‌ නැත.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ඇති වූ අර්බුදකාරී තත්ත්වයත් සමඟ කාන්තාවන් සඳහා වෙන් කරන සියයට 25 කෝටාවට දැඩි විරෝධයක්‌ එල්ල වූ බව ඉහත දී සඳහන් කළේය. එම තත්ත්වයත් සමඟ කාන්තාවන් සඳහා වූ සියයට 25 ක කෝටාව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන ලෙස කාන්තා කණ්‌ඩායම් සහ කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් ඇතුළු සිවිල් සමාජ සංවිධාන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ එහි සාමාජිකයන්ගෙන් ලිතව ඉල්ලා සිටියහ.

දැනටමත් නීතිමය වශයෙන් ස්‌ථාපිත කර ඇති කාන්තාවන් සඳහා වූ කෝටාව සම්පූර්ණ කිරීම තමන් වෙත පැවරී ඇති අසාධාරණ බරක්‌ ය යන හැඟීම ඇතැම් දේශපාලන පක්‌ෂ කරන ලද සහ කරන ප්‍රකාශවලින් පිළිඹිඹු විය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස්‌ මත දේශපාලන පක්‌ෂ කාන්තාවන් සඳහා වෙන් කරන ලද කෝටාව සම්බන්ධයෙන් නීතිමය සංශෝධනයක්‌ ගෙන ඒමට සූදානම් වන බවද වාර්තා විය.

වසර 1931 දී සර්වජන ඡන්ද බලය හිමිකරගත් දකුණු ආසියාවේ පළමු රට මෙන්ම ආසියාවේ පැරැණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්‌ වන ශ්‍රී ලංකාවේ දේශපාලන සන්දර්භය තුළ කාන්තා නියෝජනය ඇත්තේ කනගාටුදායක තත්ත්වයකය. සර්වජන ඡන්ද අයිතිය හිමිවී වසර 87 ක්‌ ගෙවී ගොස්‌ ඇතත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඇත්තේ සියයට 5.3 කටත් අඩු අගයකය. වසර 2011 මැතිවරණයෙන් පසු පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය පැවතියේ සියයට 1.9 ක්‌ තරම් ඉතාමත් අඩු අගයකි. වසර 2006 සිට 2011 දක්‌වා පළාත් පාලන ඒකකවලට තේරී පත්වී ඇති කාන්තා සභිකයන්ගේ සංඛ්‍යාව 164 කි. මෙය කලාපයේ අනෙක්‌ රටවල් හා සැසඳීමේදී ඉතාමත් අඩු අගයකි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනය මධ්‍යම ආණ්‌ඩුව, පළාත් සභා සහ පළාත් පාලන යන මට්‌ටම් යන ත්‍රිත්වයෙන් සමන්විතය. පළාත් පාලන කටයුතු මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන ආයතන තුනක්‌ යටතේ සිදු වේ. පළාත් පාලන ආයතන යනු ශ්‍රී ලංකාවේ කුඩාම පරිපාලන ඒකකය වුවත් සනීපාරක්‌ෂක කටයුතු, ජල ප්‍රවාහන, පොදු ප්‍රවාහන, කුණු කසළ බැහර කිරීම, මාර්ග සේවා හා නිවාස ආදී වැදගත් සේවා රැසක්‌ ඉටු කරයි. මේ සියලු සේවා කාන්තාවකගේ ජීවිතයට ඉතා වැදගත් සහ බෙහෙවින් සමීප සේවා සහ කටයුතු ලෙස පෙන්වා දිය හැකිය.

සියයට 25 ක කෝටා ක්‍රමය ක්‍රියාත්මක කෙසේද යන්න විමසා බැලීම ඉතා වැදගත්ය. මේ අනුව සෑම ප්‍රාදේශීය බල මණ්‌ඩලයකම කාන්තා නියෝජනය සියයට 25 ක්‌ විය යුතුය. එපමණක්‌ නොව විවිධ පක්‌ෂ පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්‌ෂක ලැයිස්‌තු එසේ නොමැතිනම් නාම යෝජනා පත්‍රවල සමස්‌ත අපේක්‌ෂකයන්ගෙන් සියයට 25 ක්‌ කාන්තාවන් විය යුතුය.

මෙවර මැතිවරණය පවත්වන ලද්දේ නව මැතිවරණ ක්‍රමවේදය අනුවය. එනම් කොට්‌ඨාශ සහ සමානුපාතික ක්‍රමවේදයටය. නව ක්‍රමවේදය යටතේ පළාත් පාලන ආයතනයක සාමාජිකයන්ගෙන් සියයට 60 ක්‌ කොට්‌ඨාශ ක්‍රමයෙන්ද ඉතිරි සියයට 40 සමානුපාතික ක්‍රමයෙන්ද ද පත් කරගනු ලබයි. පළාත් පාලන ආයතන දේශපාලන පක්‌ෂ ඉදිරිපත් කරනු ලබන නාමයෝජන පත්‍රය, එසේත් නැතිනම් ලැයිස්‌තුව කොටස්‌ දෙකකින් සමන්විතය. කොට්‌ඨාශවල තරග කරන අපේක්‌ෂක ලැයිස්‌තුව එකක්‌ වන අතර අතිරේක ලැයිස්‌තුව අනෙක්‌ නාමයෝජනා ලැයිස්‌තුවයි.

කොට්‌ඨාශවල තරග කරන අපේක්‌ෂක ලැයිස්‌තුවේ කාන්තාවන්ට අවම සියයට 10 ක්‌ ද අතිරේක නාම යෝජනා පරතරයෙන් අවම සියයට 15 ක්‌ ද කාන්තා නියෝජනයට හිමිවිය යුතුය. තේරි පත්වූවන්ගෙන් අවම වශයෙන් සියයට 10 ක්‌ කාන්තාවන් නොවන විටකදී ඉතිරිය අතිරේක ලැයිස්‌තුවෙන් ආවරණය කරගැනේ. දේශපාලන පක්‌ෂවලින් තේරී පත්වූ සාමාජික සංඛ්‍යාව වැඩි අගයක්‌ ගන්නේ නම් සහ එමගින්, සමාජිකයින් ලෙස තේරී පත්වීමට නියමිත සංඛ්‍යාව ඉක්‌මවා ගොස්‌ ඇත්නම්, එවැනි සමාජික සංඛ්‍යාවකට කාන්තා සාමාජිකයන් ඇතුළත් නොවේ නම්, නීතියට අනුව කෝටාව ඉටුකිරීමට දේශපාලන පක්‌ෂ බැඳී නැත.

දේශපාලන පක්‌ෂයකින් තේරීපත්වන අපේක්‌ෂකයන් සංඛ්‍යාව 3 කට අඩු නම් හෝ ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 20 ට අඩුනම් හෝ මෙම කෝටා ක්‍රමය අදාළ වන්නේ නැත. කාන්තා සාමාජිකයකු මරණයට පත්වුවහොත් යම්කිසි පුරප්පාඩුවක්‌ ඇතිවුවහොත් ඒ සඳහා පත්කළ යුත්තේ ද කාන්තාවකි.

විශේෂයෙන් දකුණු ආසියානු සමාජයේ තිබෙන පුරුෂ මුලික සමාජ හා සංස්‌කෘතික ක්‍රමය මෙන්ම කාන්තාවකගේ කාර්යය නිවසට සීමා විය යුතුයෑයි වැනි මත සහ පසුගාමී ආකල්ප කාන්තා සහභාගිත්වය අධෛර්යමත් කර ඇති බැවින් මෙලෙස කාන්තා සහභාගිත්වය ඉහළ නැංවීම සඳහා නීතිරීති සම්මත කිරීමට සිදුව තිබේ.

පාර්ලිමේන්තු කාන්තා නියෝජනය සැලකිල්ලට ගනිමින් අන්තර් පාර්ලිමේන්තු සංගමය විසින් රටවල් 190 ක දත්ත හා තොරතුරු සැලකිල්ලට ගනිමින් සකසන ලද දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 179 වැනි ස්‌ථානයයි. දකුණු ආසියානු කලාපය ලෙස ගත්ත ද ශ්‍රී ලංකාව සිටින්නේ ඉතා පහළ තැනකය. අසල්වැසි ඉන්දියාවට එම දර්ශකයේ 145 වැනි ස්‌ථානය හිමිව තිබෙන අතර පාකිස්‌තානය 91 වැනි ස්‌ථානයේද බංග්ලාදේශය 93 වැනි ස්‌ථානයේද පසුවෙයි. ඇෆ්ගනිස්‌ථානය එහි 55 වැනි ස්‌ථානයේද නේපාලය 48 වැනි ස්‌ථානයේ ද පසුවෙයි.

අවුරුදු 20 කට ආසන්න කාලයක්‌ මුළුල්ලේ කාන්තා සංවිධාන සහ කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් කරන ලද අති දුෂ්කර අරගලයක ප්‍රතිඵලයක්‌ ලෙස කාන්තාවන් සඳහා වූ 25% කෝටාව දැක්‌විය හැකිය. කාන්තා සහභාගීත්වය ඉහළ දැමීම යනු ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්‌තිමත් වීමක්‌ මෙන්ම එය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්‌කෘතියක ගෞරවසම්පන්න අංගයක්‌ ලෙස ද පෙන්වා දිය හැකිය.

මෙය පාර්ලිමේන්තුව තුළ සියලුම දේශපාලන පක්‌ෂ විසින් සාකච්ඡා කොට, ඒ පිළිබඳ විවාද කොට අවසානයේ එකඟතාවයකට පැමිණ, නීතියක්‌ ලෙස සම්මත කරගන්නා ලද කෝටාවකි. සිවිල් සමාජ නිවේදනයට අනුව දේශපාලන ආයතනවල කාන්තාවන් සඳහා ගන්නා ධනාත්මක ක්‍රියාමාර්ගවල සමස්‌ථ අරමුණ වන්නේ එම ආයතනවල කාන්තා නියෝජනය වැඩි කිරීමයි. එවන් විශේෂ විධි විධාන සැලැස්‌වීමේදී, වසර ගණනාවක්‌ මුළුල්ලේ පුරුෂයන් අත්පත් කරගෙන සිටි ආසන ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නැවත බෙදා දීමක්‌ ද සිදුවේ. එහිදී පුරුෂයන් පීඩාවට පත්වීමට ඉඩ ඇති අතර, පුරුෂයන් වීම නිසාම ඔවුන් භුක්‌ති විඳින මූලික වරප්‍රසාදය දිගින් දිගටම භුක්‌ති විඳීමට ඉඩ ලබා දීමට නොහැකි බව පිළිගැනීමට ඔවුන්ට බල කර කිරීමක්‌ සිදු වේ. කෝටාවට මූලික වන මූලධර්මය මෙයයි.

ඉහතින් සඳහන් කළ පරිදි සියයට 25 ඇතිව පළාත් පාලන ආයතන සඳහා අපේක්‌ෂක අපේක්‌ෂිකාවන්ගේ නම් ගැසට්‌ කර තිබේ. වර්තමානයේ දේශපාලනයේ ඇති වී තිබෙන අර්බුදකාරි තත්ත්වය නිසා කාන්තාවන් සඳහා වෙන් කරන ලද සියයට 25 ක කෝටාවට එල්ල වූ විරෝධය යම් දුරකට අමතකව ගොස්‌ තිබේ. එහෙත් යම් මොහොතක එම අසාධාරණ විරෝධය යම් කිසි මොහොතක නැවත කරළියට පැමිණෙනු ඇත. එම අසාධාරණ විරෝධයට ඉඩක්‌ නොතබන ලෙස අපි ඉල්ලා සිටිමු. නම් ද ගැසට්‌ කර ඇති මොහොතක එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අවස්‌ථාව සහ අභියෝගය අප ඉදිරියේ ඇත.

(2018.04.10 වැනි දින කළම්බෝ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ පලවූ ලිපියකි.)

Archive

Latest news

Related news