Monday, May 6, 2024

බාධාවකින් තොරව ජනමාධ්‍යවේදයේ යෙදීමට ඉඩ සළසන බවට දෙමළ මාධ්‍යවේදියකුට හමුදාවෙන් පොරොන්දුවක්

ජායාරුපය: රේඩියෝ ගගන.

උතුරේ වාර්තාකරණයේ යෙදී සිටියදී නිලධාරියකුගේ තර්ජනයට ලක්වූ දෙමළ මාධ්‍යවේදියකුට අනාගතයේ කිසිදු බාධාවකින් තොරව රාජකාරි කරගෙන යාමට ඉඩ සලසන බව ශ්‍රී ලංකා යුද හමුදාව මානව හිමිකම් කොමිසම හමුවේ පොරොන්දු වී තිබේ.

අට අවුරුද්දකට අධික කාලයක් යුද හමුදාව විසින් වාඩිලාගෙන ඉන්නා මුලතිව් දිස්ත්‍රික්කයේ සුසාන භූමියක් ස්ථිර වශයෙන් පවරා ගැනීමට එරෙහිව මතුවන ජනතා විරෝධය වාර්තා කිරීමට සති තුනකට පමණ කලකට ඉහතදී ගිය මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් සිංහ රෙජිමේන්තුවේ අලම්පිල් අනුඛණ්ඩයේ ඉහල නිලධාරියකුගේ හිරිහැරයට ලක්වී තිබුනි.

ප්‍රදේශවාසී ජනතාවට අත්‍යාවශ්‍ය වන සංස්කෘතික වටිනාකමක් සහිත භූමියක් යුද හමුදාවට පවරා ගැනීම නිසා ප්‍රදේශවාසීන් සමග හටගෙන තිබෙන ගැටුම්කාරී තත්වය සම්බන්ධයෙන් වාර්තා කරන්නට ගිය අවස්ථාවේ හිරිහැරයට ලක්වූ බව හිරු මාධ්‍ය ජාලයට සම්බන්ධ තවසීලන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

අනාගතයේදී බාධාවකින් තොරව රාජකාරි කටයුතු කිරීමේ අයිතිය ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා තමන් කොමිසමට පැමිණිලි කළ බව ඔහු ගගන හා කියා සිටියේය.

කපිතාන් ලහිරු ප්‍රියදර්ශන රාජකාරියට බාධා කිරීමට එරෙහිව ගොනු කර තිබූ පැමිණිල්ල විභාග කළ වව්නියාව මානව හිමිකම් ප්‍රාදේශීය සම්බන්ධීකාරක නීතිඥ ලීනස් වසන්තරාජ් හමුවේ වරද පිළිගත් අලම්පිල් කඳවුරු භාර නිලධාරියා මාධ්‍යවේදී තවසීලන් හට සහතික වී ඇත්තේ ඉදිරියේදී කිසිදු අතවරයක් නොවන බවටයි.

කපිතාන් ප්‍රියදර්ශන තමන්ට “මෝඩයා” යනුවෙන් අපහාස කරමින් තර්ජනාත්මක ලෙස හැසිරුනු ආකාරය අනුව ඔහු පහර දෙනු ඇතැයි බියපත් වූ බව මාධ්‍යවේදියා හමුදා නිලධාරීන් සහ වවුනියාව කලාපීය මානව හිමිකම් සම්බන්ධීකාරක නීතිඥ වසන්ත රාජ් හමුවේ ප්‍රකාශ කර ඇත.

“අපි රාජකාරිය කරන්නේ මුලතිව් වල. සිවිල් ජීවිතයට එහෙ හමුදා බලපෑම බලවත්. මට කතා කරපු ජාතියේ නිලධාරීන් තාම එහෙ ඉන්නවා. හමුදාවෙන් මොනවා හරි කරදරයක් උනොත් මේ නිලධාරීන් ඒ වගකීම ගන්න ඕනේ.”

“ඉදිරියේ එහෙම කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ,” යි කඳවුරු භාර නිලධාරී චම්පික කත්‍රිආරච්චි වව්නියාව මානව හිමිකම් කොමිසම් කාර්යාලයේදී සහතික වී තිබේ.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ කිසියම් ගැටළුවක් වේ නම් එහි වගකීම තමන් භාරගන්නා බවයි.

හමුදා උත්සව හා ජනතා අරගල

රජයේ ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසී ජනතාව අතර මතුවන ගැටළු වාර්තාකිරීම තමන්ගේ අත්‍යාවශ්‍ය රාජකාරියක් බව පෙන්වා දුන් ෂන්මුගම් තවසීලන් පෙන්වා දී ඇත්තේ උතුරේ මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය නිදහස හමුදාවේ තර්ජනයට ලක්වන්නේ එවන් අවස්ථාවලදී බවයි.

“හමුදාවේ උත්සව වාර්තා කරන්න ගියාම ප්‍රශ්න ඇති වෙන්නේ නෑ. හමුදාව නිසා මිනිස්සුන්ට ගැටළු ඇතිවෙන අවස්ථා වාර්තා කරන්න ගියාම තමයි ප්‍රශ්න ඇති වෙන්නේ.”

තමන් ඇතුළු මාධ්‍ය සගයන්ගේ රාජකාරියට බාධා නොකිරීමට ලිඛිතව සහතික වන බවට යුද හමුදාව දුන් පොරොන්දුව සලකා තමන්ට හිරිහැර කළ නිලධාරියාට එරෙහිව තව දුරටත් පියවර නොගැනීමට තීරණය කළ බව ෂන්මුගම් තවසීලන් ගගන හා කියා සිටියේය.

රේඩියෝ ගගන

Archive

Latest news

Related news