ජායාරූපය: සරත් පොන්සේකා නීතිය හා සාමය ඇමති ධුරයට පත් නොකළේ මහින්ද පසුපස ගාටන නිසා සිරිසේනද?
ඇමරිකානු රාජ්‍ය බුද්ධි අංශයේ නායකත්වයට පුද්ගලයෙකු පත්කිරීම ඇමරිකානු මාෆියාවේ විරෝධය නිසා අතහැර දැමීමට සිදුවන තත්වයක් හිතාගන්න.
නීතිය හා සාමය ඇමති ධුරයට ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාව පත්කිරීම අතහැරියේ ඇතැම් නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ වෙනත් උසස් පොලිස් නිලධාරීන් ඊට විරෝධය පෑම නිසා යැයි ජනාධිපතිවරයා කියා තිබේ. එසේ විරෝධය පාන පොලිස් ලොක්කන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ තක්කඩියන් බව සරත් ෆොන්සේකා කියයි. කෙසේ වෙතත්, සැබෑ හේතුව වන්නේ, යම් හේතුවක් නිසා දැන් බැසිල් සහ මහින්ද පස්සේ ගාටන සිරිසේන, හිටපු රජයේ හොරුන්ව සහ අපරාධකරුවන්ව උසාවියක් ඉදිරියට කුදලාගෙන ආ හැකි කිසිවෙකු එම ඇමති තනතුරට පත් නොකර සිටීමට වගබලා ගැනීම ය.
මම ඔහු ගැන නොදනිමි. අලුතින් එම අමාත්‍ය පදවියට පත්කළ මද්දුම බණ්ඩාර ගැනත් වැඩි විස්තරයක් නොදනිමි. දැන ගැනීමට ඇති පරිදි, ඔහු විනීත පුද්ගලයෙකි. එහෙත් හයියක් නැති කෙනෙකි. වැඩ බැරි අගමැතිවරයෙකුට සහ වළේ වැටුණු ජනාධිපතිවරයෙකුට එක් වන තවත් මළ කඳක් බවට ඔහු පත්වෙතොත් එය අබග්ගයකි. පෙබරවාරි 10 වැනි දා ලද සබ්බුවෙන් සිරිසේන අන්දමන්ද වීම, මුහුදු වැල්ලේ මිනිස් අඩි පාරක් දැකීමෙන් රොබින්සන් කෲසෝ හෘදයාබාදයකට ලක්වීමට සමාන ය.
මොන පක්ෂයකට ඡන්දය පාවිච්චි කොට තිබුණත්, පෙබරවාරි 10 වැනි දා ඡන්දදායකයන් කියා සිටියේ එක කාරණයකි. එනම්, වැඩ පෙන්නපල්ලා යන්න ය. දේශපාලනික ප්‍රේක්ෂාවලිය අරා එදා එක සේ රජ කෙළේ, “හොරුන් සහ මිනීමරුවන් උසාවි ගෙනැවිත්, ඔප්පු වුණොත් දඬුවම් දියව්, නැත්නම් නිදහස් කරව්/” යන එම පණිවිඩයයි. පුරපසට සහ අවපසට ඒ මේ අත පනින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ජී. ඇල්. පීරිස් සහ තවත් එවැනි කාලකණ්ණි සොක්කන් සොටු පෙරාගෙන හැඬුවාදෙන්/ විශේෂ අධිකරණ හයක් පිහිටුවීමේ අණපනත් වහා ගෙන ආ යුතුය. ඉන් පසු, නිශ්චිත වූත්, කඩිනම් වූත් පියවර ගත යුතුය. එහෙත්, එසේ ක්‍රියාත්මක වීමේ ගායක් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට තිබේ ද? ජීව විද්‍යා පාඨ ග්‍රන්ථවල, දියාරු සත්ව විශේෂ හඳුන්වන්නේ, අපෘෂ්ඨවංශීන් (කොන්දක් නැති සතුන්) වශයෙනි. බයිබලයේ වචනවලින් කිවහොත්: “හරහට ඇදෙන ගෙයක් කෙලින් පිහිටන්නේ නැත”- (මැතිව්: 12.25)
නින්දෙන් ඇවිදින එක්සත් ජාතික පක්ෂය
මෙය, අධෛර්යට පත් ජනතාවක් කෙලින් කරලීම සඳහා වන්නක් මිස, රාජපක්ෂලාගේ පුනරාගමනයක් ගැන ත්‍රාසයට පත්ව සිටින පුහුදුන් ජනයාගේ සිත්සතන් තවත් අධෛර්යමත් කරලීම සඳහා නොවේ. තණ්හාධික, පිංපඩිකාර, යසඉසුරු-ප්‍රේත, පෙඅල්ලස්කාමී හෝ එසේ නොවන, කැබිනට්, රාජ්‍ය හෝ නියෝජ්‍ය කිසි ඇමතිවරයෙකු ඒවා හැරපියා බිම් මට්ටමට බැස නැත. ජේ. ආර්. ගැන මගේ ඇති අපුල වැසැංගීමට මට අවශ්‍ය නැතත්, ඔහු දේශපාලනය බරසාරව ගත්තේය. පිස්සු කෙළියේ නැත. පක්ෂය හොම්බෙන් ගිය වෙලාවේ බිම් මට්ටමේ පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා පාරට බැස උරදුන්නේය. තමාගේ වාරය පැමිණි විට රණසිංහ ප්‍රේමදාසත් එසේම කෙළේය. අද එක්සත් ජාතික පක්ෂයේ ඒ වරිගේ එකෙකු හෝ නැත. පෙබරවාරි 10 වැනි දායින් පසුව පවා, වැඬේ බරසාරව ගැනීමට ඒ එකෙක්වත් ඉදිරියට විත් නැත.
එක්සත් ජාතික පක්ෂය සහ එහි නායකත්වය එසේ සෝදාපාළුවට ගොස් ඇතත්, තත්වය තවත් භයංකාර වන්නේ සිරිසේනගේ සෙල්ලම නිසා ය. තව එක අවුරුද්දක් උසාවියෙන් ඉල්ලා හොට බිම ඇන ගැනීමෙන් පසුව පසුගිය පළාත් පාලන ඡන්ද ව්‍යාපාරය තුළ දකින්ට ලැබුණු ඔහුගේ කල්ක්‍රියාව, කොටින්ම කිවහොත්, නරිනාඩගමක් විය. තමාගේ සභාග රජයේ පාර්ශ්වකාර එක්සත් ජාතික පක්ෂය සහ රනිල්ව කකුල් මාට්ටු දමා වැට්ටීමට හැකි සෑම දෙයක්ම ඔහු කෙළේය. රනිල්ව අගමැති තනතුරෙන් ඉවත් කිරීමට ප්‍රසිද්ධියේම වැඩ කෙළේය. ඔහුගේ ඒ ක්‍රීඩා සැලැස්ම විවෘත එකක් විය. එය, රාජපක්ෂ සහෝදරත්වයේ උපදෙස් මත ක්‍රියාවට නැගුනක් විය.
එතකොට දැන්? එකම ගමනක් වෙනත් පාරකින් යාමකි. අභ්‍යන්තර තොරතුරු මට නැත. ඇතැම් මාධ්‍යකරුවන් තමන්ගේ ක්ෂණික වාසියට පාවිච්චියට ගන්නා ‘විශ්වාසවන්ත ආරංචි මාර්ගත්’ මට නැත. මට ඇත්තේ, පවතින තත්වයන් ආශ්‍රයෙන් බැස ගන්නා දේශපාලනික විනිශ්චයක් පමණි. ඒ පදනම මත, සිරිසේන අරඅඳින්නේ 2020 දී එක්සත් ජාතික පක්ෂය පරාජය වන බවට දැන්ම වගබලා ගැනීම බව මම කියමි. මේ වන විට ඔහු ඇවිදින මළ මිනියක් බවට පත්ව ඇති තත්වය තුළ, ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පතුර හුදු අවතාරයක් බවට පත්ව ඇති තත්වය තුළ, සිරිසේන දැන් අතුරු-කොන්ත්‍රාත්කරුවෙකු බවට පත්ව ඇත. ඔහු නටන්නේ මහින්ද සමග ය. එද, මරණයේ බමර නැටුමේ යට-පලුව වශයෙනි. අසරණ කීටයාව ගිනි මැළයෙන් බේරා ගැනීමට හැටහුටාමාරක් වන අනිත් නැට්ටුවන්ටත් නොහැකි වනු ඇත. දෙපිටකාට්ටු ආප්ප-කපුටන්ට රාජපක්ෂලාගෙන් සමාවක් නැත.
පෙබරවාරි 11 වැනි දා, තැනේ හැටියට ඇණේ ගසමින් අගමැතිකමින් (පක්ෂ නායකත්වයෙන් නොව) ඉල්ලා අස්ව, ජාතියෙන් සමාව ගෙන, 2020 සඳහා ජනතාව පෙළගැස්වීමට රනිල් කටයුතු කෙළේ නම්, එක්සත් ජාතික පක්ෂය අද සිටින අර්බුදයේ නොසිටිනු ඇත. දැන් එය, කැටි ගැසී, කුණු වී, දත් හැලී ගොසිනි. බිම් මට්ටමේ හැකියාවන් ඇති සජිත්, මංගල, රාමනායක සහ හරීන් වැන්නෝ තානාන්තර සහ වරදානවල එල්බ සිටිති. රාජිත, දෛනිකව ඇණගන්නා කට-හැකරයෙකු වශයෙන් අවලංගු වී සිටී. එරාන්, මලික් සහ හර්ෂ ජනතාවගෙන් කෙතෙක් ඈත් ද යත්, සහරා කතරට එස්කිමෝවරු වැන්න. මෙවන් එක්සත් ජාතික පක්ෂයක් කූද්දන්ට සහ අගාධය වෙත නින්දෙන් ඇවිදීම අඩාල කිරීමට, මහීකත සොලවාලන ගැස්මක්ම අවශ්‍ය කරනු ඇත.
දවල් හීනෙක ඉන්න ජනතා විමුක්ති පෙරමුණ
ජනතා විමුක්ති පෙරමුණ කිසි දිනෙක වැඩිවිය පත්නොවනු ඇත. මේ ලියුම්කරු ද ඇතුළු බොහෝ පිරිස් එක් සරළ සත්‍යයක් නොයෙක් වර කියා තිබේ. එනම්, වඩාත් පුළුල් වාමාංශික, ප්‍රජාතන්ත්‍රවාදී සහ ප්‍රගතිශීලී සන්ධානයක කොටසක් වශයෙන් මිස මේ පක්ෂයට අනාගතයක් නැති බව ය. 1960 මැද හරියේදී, ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ පිලිප් වැන්නන්ට එවැනි අවස්ථාවක් තිබුණත් ඔවුහූ එය නැති කර ගත්හ. අද දවසේ ගෝලීයකරණය තුළ, නේපාලය, දකුණු අප්‍රිකාව, රුසියාව, නැගෙනහිර යුරෝපය ආදී රටවල කොමියුනිස්ට් පක්ෂ සේම, (බි්‍රතාන්‍යයේ කම්කරු පක්ෂය හැරුණු කොට) යුරෝපයේ වම සහ ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණත්, සන්ධානයක කොටස්කරුවන් වශයෙන් මිස, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ පවතින ආණ්ඩුවක තනි අයිතිරුවන් විය නොහැක්කේය. ජනතා විමුක්ති පෙරමුණේ මෝඩයන්ට- (නායකයන් ද, සාමාජිකයන් ද, ඒ දෙගොල්ලන්ම ද යන්න පැහැදිළි නැත) එය නොතේරේ. එය දැන්, හැට පැන්න, වෑරුණු පක්ෂයකි. ඔවුන් තාමත් සිතන්නේ, ලෙනින්, මාඕ සහ චේ ගෙවාරාගෙන් පසුව ලෝකය ඉදිරියට ගොස් නැති බවකි. මේ බුද්ධිමය හිරවීම සහ උපායික පෝලියෝව, එම පක්ෂය විසංඥතාවට පත්කොට තිබේ.
එසේ නම්, ජනතා විමුක්ති පෙරමුණත්, අත්හල යුතුව තිබේ ද? එසේ නම් වෙනත් විකල්ප තිබේ ද? ඔවුන්ගෙන් කැඩී ගිය ‘පෙරටුගාමී’ සහ ඔවුන්ගෙනුත් කැඩී ගිය ‘කුරුටුගාමී’ කොටස් ගොබ්බ-සුබවාදී මනෝ ලෝකයක වෙසෙති. පශ්චාත්-ට්‍රොට්ස්කිවාදී සහ පශ්චාත්-මාඕවාදී නිකායන් සේ, මොවුන් ද කුඩා වෑන් රියක පහසුවෙන් පටවා ගත හැකි අතලොස්සකි.
රාජපක්ෂලා බලයෙන් සම්මෝහයට පත්ව සිටියත්, එම බලය හැසිරවීමේ අසමතුන් බව පෙන්වා දුන්හ. ප්‍රජාතන්ත්‍රවාදයට සහ මානව අයිතීන්ට මේ හැත්ත හතුරු නම්, එක්සත් ජාතික පක්ෂයේ දත් හැලී (දළ හැලී?) ගොස් ඇත්නම්, සිංහල ජනතාව සහ දේශපාලඥයන් විසින් නැවතත් රවටනු ලැබ ඇති දෙමළ ජාතික සන්ධානය එම ජනතාව ඉදිරියේ සිටින්නේ පල්ලම් බසිමින් නම්, ඉතිරි වන්නේ කුමක් ද? 2020 දී දෙපැත්තට නැති පාර්ලිමේන්තුවක් සහ පාර්ලිමේන්තුවෙන් වියෝ වූ ජනාධිපතිවරයෙකු සහිත තත්වයක්?
පෙබරවාරි 10 වැනි දා පාඩම කෝකටත් තෛලයක් වශයෙන් ගත යුතු නැත. එසේ වෙතත්, දැනට ඇති ආසන්නතම අනුභූතික සාක්ෂිය එයයි. ඒ තත්වය තුළ, සැලකිල්ලට ගත යුතු කරුණු ගණනාවකි. උදාහරණයක් වශයෙන්, එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමින් කාලක් නැවත වරක් ඡන්දය පාවිච්චි නොකොට සිටිති යි සිතිය නොහේ. එසේම, සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දිය වී යනු ඇත. බොහෝ විට ඒ, මහින්ද රාජපක්ෂගේ තුරුල්ලට ය. යහපාලනය සිය වැරදි හරිගස්සා ගන්නා බවක් පෙනෙන්ටත් නැත. මේ කරුණු, අනාගත වැඩපිළිවෙලක් සඳහා සැලකිල්ලට ගත යුතුව තිබේ.
නිකමට මෙහෙම හිතන්න: රාජපක්ෂ පිළේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය වීම. මිශ්‍ර ඡන්ද ක්‍රමය ඉදිරියටත් පවත්වා ගැනීම. (සියයට 13 ක් පමණ වන) එක්සත් ජාතික පක්ෂය වර්ජනය කළ ඡන්දායකයන් ඊළඟ වර ඡන්ද පොළට පැමිණීම. සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් ගෝඨාභයගේ පැත්තට යාම. දීර්ඝ කාලයක් තිස්සේ මා කියමින් සිටි තර්කය මේ තත්වය යටතේත් වලංගු වන්නේය. එනම්, සුළු ජාතික ඡන්ද පදනමක් නැති ගෝඨාභයට, ජනාධිපතිවරණයකින් සියයට 42 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත නොහැකි බව ය. මේ අතර, අලුත් ව්‍යවස්ථාවක් හෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන සංශෝධනයක් දවල් හීනයක් වන පාට ය.
එතකොට පාර්ලිමේන්තුව.. කොට්ඨාශ ක්‍රමය යටතේ පැවැත්වෙන මැතිවරණයකදී සිංහල ප්‍රදේශවල රාජපක්ෂ කඳවුර බහුතරයක් දිනා ගනු ඇත. සියයට 60-40 මිශ්‍ර මැතිවරණ ක්‍රමයක, බහුතරයක් ගැනීම උගහට වෙතත්, ජාතික මට්ටමින් වැඩි ප්‍රතිශතයක් රාජපක්ෂ කඳවුරට ලැබීමට ඉඩ තිබේ. මෙය, පෙබරවාරි 10 ප්‍රතිඵල මත කෙරෙන සරළ රේඛීය ප්‍රක්ෂේපනයකි. ආණ්ඩු බලය සඳහා මෙහිදී කඹ ඇදීමක් සිදු වනු ඇත. එහෙත් ගෝඨා-නොවන ජනාධිපතිවරයෙකු, පුළුවන් කමක් ඇතොත්, රාජපක්ෂ-නොවන ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ කරනු ඇත. මේ කියන දේවල්වලින් කුමක් වෙතත්, ඔබ සහ අප වැන්නන්ට, ශක්තිමත් ස්වාධීන තුන්වැනි බලවේගයක්, දේශපාලන තන්ත්‍රය තුළත්, පාර්ලිමේන්තුව තුළත්, අවශ්‍ය කරන බව නම් පැහැදිළි ය.
දුෂ්කර කාර්යය වන්නේ එයයි. ජනතා විමුක්ති පෙරමුණට මේ භාෂාව නොවැටහෙයි. එවැනි තුන්වැනි බලවේගයකට ගොනු විය හැකි, ජනවාරි 8 ව්‍යාපාරය, එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ රැඩිකල් රාජ්‍ය නොවන සංවිධාන, එක්සත් වාමාංශික පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් කණ්ඩායම, බාහු, වට කරනු ලැබ සිටින මුස්ලිම්වරු, බියට පත්ව සිටින දෙමළ ජනතාව වැනි පිරිස්, ‘ලොකු කූඩාරමකට’ ගොනු වී නැත. ඉතාලියේ ‘තරු පහේ ව්‍යාපාරය’ මේ සමග සසඳන්න. අපේ අරමුණ වන්නේ, බල අපයෝජනය පාලනය කළ හැකි විශ්වසනීය බලවේගයක් මිස, ආණ්ඩු බලය හෙබවීම නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ශක්තිමත් දේශපාලනික ක්‍රියාකාරීත්වයකින් සන්නද්ධ, ආරක්ෂණවාදී මැතිවරණමය උපාය මාර්ගයක් මෙහිදී ප්‍රශස්ත වන්නේය. එක්සත් ජාතික පක්ෂ නායකත්යෙන් යුත් සන්ධානයක් හෝ රාජපක්ෂ කඳවුර, 2010 දී ආණ්ඩුකරණයේ කුමන හෝ අංශයක් (විධායක හෝ ව්‍යවස්ථාදායක) හසුරුවනු ඇත. ඒ කෙසේ වෙතත්, ස්වාධීන, ප්‍රජාතන්ත්‍රවාදී, රැඩිකල් ව්‍යාපාරයක් බලමුළු ගැන්වීම, ශිෂ්ට ජාතියක් වශයෙන් රටේ මතු පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය වන්නේය.
තුන්වැනි බලවේගයේ වැඩපිළිවෙල තුළ අඩංගු විය යුතු කරුණු මෙසේ ය:
1. හදිසි මහජන ඉල්ලීම සැලකිල්ලට ගෙන, දූෂිත දේශපාලඥයන්ට නඩු පවරා හිරේ දැමිය යුතුය.
2. ආර්ථික සංවර්ධනයට බාධක තිබියේ වී මුත්, ණය බර වැඩිවිය හැකි මුත්, මූල්‍ය ප්‍රඥාව සහ සංවර්ධනය අතර සහසම්බන්ධය පිළිබඳ යම් අවබෝධයක් ජනතාව අතර ඇති වන තෙක්, ජීවන වියදම් සහන සැපයිය යුතුය. සමාජ ස්ථායීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා වඩාත් පුළුල් සමානාත්මතාවක් ඇති කළ යුතුය. (එනම්, රනිල්-මංගල-මලික් අරමුණුවලට තිරිංග දැමිය යුතු බව ය).
3. සුළු ජන අයිතීන් පිළිබඳව සිංහල ජනතාව දැනුවත් කළ හැකි වැඩපිළිවෙලක් සකස් කර ගත යුතු අතර, පූජ්‍ය පක්ෂය විසින් දැනට දියත් කොට ඇති සහ රාජපක්ෂ ස්වෝත්තමවාදයෙන් අවුලුවාලන ජාතිවාදී ප්‍රචණ්ඩත්වයට දැඩි ප්‍රතිචාර දැක්විය යුතුය. (ඒ සඳහා, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, රාජපක්ෂලාගේ විද්වතුන් සහ ජනතා විමුක්ති පෙරමුණට නැති, දේශපාලනික ධෛර්යයක් අවශ්‍ය කෙරේ.)
– 2018 මාර්තු 24 වැනි දා, ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ Sirisena Brazenly Waltzes with Mahinda: Can Maddumabandara Cope? Or, Is He A Third Bot in a Spineless Trinity නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි