Tuesday, July 16, 2024

හැමෝම ඒකම කතාවක් කී දිගන ගමන – උපුල් කුමාරප්පෙරුම

සති දෙකකට පෙර දිගනට ගිය ගමනේදී කතා කල අය කිව්වෙ එකම කතාවක්. ඒ ඔවුන් දිගටම රවටා ඇති බව. එය ජාති භේදයකින් තොරව ප්‍රකාශ වූ දෙයක්. මුස්ලිම් ජනතාව සිංහල දේශපාලන පක්ෂ නායකයන්ට විතරක් නෙවෙයි ඔවුන්ගේ මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයන්ටත් දැඩිව දෝශාරෝපණය කලා. ඔවුන් බිම ඇති දේශපාලනයේ ඉත්තන් වී ඇති බව ඔවුන්ම පිලි ගන්න තත්වයක් ඇති වෙලා. ඔවුන් කිව්වෙ ප්‍රධාන දේශපාලන පක්ෂ ගැන ඔවුන්ට තව දුරටත් විශ්වාසයක් තියන්න බැහැ කියල. ඔවුන් කියන්නේ ඔවුන් විශ්වාස කල දේශපාලන නායකයන් ඔවුන්ගේ ජන්දය ඩැහැ ගැනීම හැරෙන්නට ඔවුන් සමග වෙන ගනුදෙණුවක් නැහැ කියල. ඔවුන් සියල්ලෙන්ම හෙම්බත්වෙලා.

මේක දිගනට විතරක් නෙවෙයි රටටම බලපාන කාරණයක් වෙලා. උතුරට ගියත් නැගෙනහිරට ගියත් දකුණට ගියත් බටහිරට ගියත් කවුරුත් කියන්නෙ එකම කතාවක්. දේශපාලනය සහ දේශපාලකයා විසින් ඔවුන්ව රවටා ඇති හැටි. දේශපාලකයන්ට ලස්සන සටන් පාඨයන් තියෙන්නට පුලුවන්. ඒත් ඒවා ලියා ඇති රෙදි කඩට යටින් තිබෙන ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාවය ගොඩක් වෙලාවට අපට පෙනෙන්නෙ නැහැ. අපි ඒක කියවල තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නැහැ. අපිට වැරදිලා තියෙන්නෙත් ඒ නිසා. පසුගිය කාලයේ සිදුවූ දේශපාලන හැල හැප්පීම් බලනකොට පැහැදිලිව පෙනෙන දේ තමයි බල අරගලය සහ තමන්ගේ බලය සුරක්ෂිත කර ගැනීමට පමණක් කෙරෙන කුමන්ත්‍රණ, යටි කූට්ටු වැඩ. මේ සියල්ලෙහි ප්‍රතිඵලය රට අස්ථාවරත්වය කරා ගමන් කිරීම. සියලු දෙනාගේ හැසිරීම සහ භාවිතය තේරුම් ගත හැකි ඕනෑම කෙනෙකුට පෙනෙන දේ රට කියන කාරණය කාටවත් අදාල නැති බව. දේශ ප්‍රේමය, රටට පලමු තැන කියන්නෙ බලයට එන්න උපයෝගි කරණ වාක්‍යයන් පමණයි. එතැනන් එහාට රට කියන දෙය තමන් සුරක්ෂිත වීම සඳහා උපයෝගි කර ගන්නා මෙවලමක් පමණයි. දේශප්‍රේමීන්ද, දේශද්‍රෝහීන්ද, පතෝලයන්ද ඇතුලු මේ රට කරවපු හැම කෙනෙක්ම කරල තියෙන්නෙ මේ එකම දෙයයි. ඒ මේ රට නොපෙනෙන්න විනාශ ය කරා ගෙනිච්ච එක. අපි ආඩම්බරෙන් කතා කරණ ඉතිහාසය, සංස්කෘතිය ආගම සියල්ල තියාගෙන අපේ හිර ගෙවල්වල සිටිය යුතු ප්‍රමාණය මෙන් තුන් හතර ගුණයක් හිර කාරයො පිරිල ඉන්නත් අපි අපහාසයෙන් චාරයක්, ශිෂ්ඨත්වයක් නැහැයි කියල බණින යුරෝපයේ සමහර රටවල අපරාධ නැති නිසා හිර කාරයො නැතුව හිර ගෙවල් වහල දාන්නත් හේතුව හොයල බලන්න ඕන. ඒවට හේතු මේ කාරණාද කියල බලන්න ඕන.

[alert type=”success or warning or info or danger”]අදවෙන කොට රට හැම අතින්ම පිරිහිලා. මේ පිරිහීම එකවර සිදුවුනු දෙයක් නොවෙයි. කාලයක් තිස්සෙ පාලකයන් විසින් ගෙන ආ වැඩ පිලිවෙලක ප්‍රතිඑලය. ඉදිරියටත් මේ ක්‍රමය වෙනස් වෙයි කියන්න අමාරුයි.[/alert]

මොකද මේ අය හිතන්නෙ පතන්නෙ එකම විදියකට. මේ අයගේ අවශ්‍යතා සමානයි. මේ රටේ අතීතයේදි පරම්පරාවෙන් පරම්පරාවට එන රැකියා තිබුණා. ඒ රජකාලෙ රාජකාරි ක්‍රමය. අද දේශපාලනයත් එහෙමයි. රාජකාරි ක්‍රමයෙදි අදාල රාජකාරිය කරණ කුලයට ජීවත්වීම සඳහා ඉඩකඩම් රජ වාසලෙන් ලබාදීල තිබුණා. ඒ ඔවුන්ගේ සේවයට මිලක් විදියට. අද දේශපාලනයත් පැරණි රාජකාරි ලයිස්තුවටම ඇවිල්ලා, ඒත් වෙනසකට තියෙන්නෙ ඔවුන්ට ඒ සඳහා මිල විදියට රටම ලියල දීලා. කවුද මෙහෙම ලියල දීල තියෙන්නෙ? රටේ ජනතාව.

මේ දේවල් මෙහෙම ලිව්ව කියල හෝ මේක කියෙව්ව කියල කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නැහැ. සමහර විට කුණුහරුපයෙන් තමන්ගේ අදහස් ප්‍රකාශ වේවි. ඒත් කොතනකින් හරි කොයි වෙලාවක හරි මේ දේ වෙනස් කරන්න ඕන නේද කියලවත් හිතුනොත් ඒකත් ලොකු දෙයක්.

( මුහුණූ පොතෙනි)

Archive

Latest news

Related news