Monday, May 20, 2024

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්  ඉවත් කළේ තෙල්දෙණිය වර්ගවාදී ප්‍රහාරකයින් රැකීමටද?

 

ජායාරූපය: ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවූ මහාචාර්ය සිරි හෙට්ටිගේ් ඉයත්වීමෙන් පසු එය දේශපාලනයට නතුවීද?

කොන්ත්‍රාත් පදනම මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ධූරය දැරූ ආරියදාස කුරේ මහතා එම තනතුරෙන් ඉවත් කොට ඇත්තේ පසුගිය දා තෙල්දෙණිය හා දිගන ඇති වු ගැටුම් සම්බන්ධයෙන් පොලීසියේ ක්‍රියාකාරීත්වය පිළිබද පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලු නිසා බව කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ අවධාරණය කරයි. ජාතික පොලිස් කොමිෂන් සභාව තෙල්දෙණිය ගැටුම් පිළිබදව ස්වාධීන විමර්ශනයක් සිදුකිරීමට උත්සහ දැරීම වලක්වා ගැනීමට දේශපාලන නායකත්වයේ බලපෑම මත ලේකම්වරයා ඉවත් කිරීම සිදුව ඇත.

පොලිස් අකාර්යක්ෂමතාව හේතුවෙන් තෙල්දෙණිය හා දිගන ගැටුම් උත්සන්න වූ බව මේ වන විට විවෘත රහසකි. කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය විසින් ගැටුමට පසුදින මේ පිළිබද අදහස් දැක්වූ අතර සිද්ධියේ දී පොලිස් දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව පිළිබද විමර්ශනයක් පවත්වන ලෙස පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේය. ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, හලීම් යන අමාත්‍යවරුන් ද, පා.ම. දිළුම් අමුණුගම හා යුධ හමුදාපතිවරයා ද පැවසූවේ පොලිස් අකාර්යක්ෂමතාව හේතුවෙන් ගැටුම් වර්ධනය වූ බවයි.

ප්‍ර‍හාරය වර්ධනය වන තෙක් පොලීසිය එයට ඉඩ දී බලා සිටි බවට පොදු මතයක් රට තුල පවතින අතර මේ පිළිබද පොලිස් කොමිෂන් සභාව වෙත ඉල්ලීමක් ගණනාවක් ඉදිරිපත් වී තිබුණි. (කැෆේ සංවිධානයේ ඉල්ලීම මේ සමග අමුණා ඇත) අම්පාර හා තෙල්දෙණිය සිදුවීම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ද පොලිසියට චෝදනා කර තිබුණි. පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා මේ පිළිබද පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා සිටි අතර ඒ පිළිබද ප්‍ර‍මුඛ දේශපාලනඥයින්ගේ නොකැමැත්ත පළ වී තිබුණි. මෙම අර්බුදය හේතුවෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයෙකු හෝ කිහිප දෙනෙකු ඉල්ලා අස්වීමේ සුදානමක් පවතින බව ද, අප වෙත දැනගන්නට ඇත.

දේශපාලන අතපෙවීම් හේතුවෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව දැඩි පීඩනයකට ලක්වී ඇති අතර, මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා සභාපති ධූරයෙන් ඉවත්වීමෙන් පසුව දේශපාලන අවශ්‍යතාව මත එහි කටයුතු සිදුවන බවට චෝදනා එල්ල විය. දිගු කලක් සැගවී තිබූ ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත එල්ලවන දේශපාලන බලපෑම් පිළිබද ආරියදාස කුරේ මහතා ඉවත් කිරීමත් සමග සමාජ අවධානය යොමුවී ඇත. ස්වාධීන කොමිෂන් සභා සදහා එල්ලවන බලපෑම් පිළිබද සමාජ කතිකාවක් ආරම්භ කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්වෙමින් තිබේ.

කීර්ති තෙන්නකෝන්

Archive

Latest news

Related news