Sunday, November 24, 2024

2020 සඳහා ගෝඨා: ජනාධිපති වන්නේ නම් ලාංකිකයෙක්, නැත්නම් ඇමරිකානුවෙක් – සුරනිමල උමගිලිය

2018 මාර්තු 11 වැනි දා ‘සිලෝන් ටුඬේ’ පුවත්පතේ ගගනී වීරකෝන්, ගෝඨාභය රාජපක්ෂ සමග කළ සම්මුඛ සාකච්ඡාවක් පළ කොට තිබුණි. තමන්ගෙන් ඉල්ලා සිටියොත් 2020 දී ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත්, ඒ අනුව තමාගේ ඇමරිකානු පුරවැසි භාවය අත්හරින බවත් පළමු වරට එම සම්මුඛ සාකච්ඡාවේදී ඔහු කියා තිබේ. එසේම, තමාගේ තනිකර අවධානය යොමු වන්නේ, ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමත්, එක්සත් ශ්‍රී ලංකාවක් සහතික කරලීම සහ රණවිරුවන්ගේ ආරක්ෂාව සැලසීම සඳහා වන බවත් ඔහු තවදුරටත් කියා තිබේ. කාට නම් එය විශ්වාස කළ හැකි ද? එසේ නම්, ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසි භාවය අත්හරින්නේ, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සඳහා තරග කරන්නේ නම් පමණි/ එසේ නැතොත්, ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට සහ ශ්‍රී ලංකාවේ එක්සත් භාවයට පැත්තක සිට ආදරය කරන අතරේම, ඔහු එක දිගටම ඇමරිකානු පුරවැසියෙකු වශයෙන්ම සිටිනු ඇත. අපි මෙච්චර ගොබ්බ ද? 2018 මාර්තු 11 වැනි දා ‘සිලෝන් ටුඬේ’ පුවත්පත කියවන්න.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර්ව පැහැරගෙන ගොස් පහර දීම සහ උපාලි තෙන්නකෝන්ට පහර දීම පිළිබඳ සිද්ධි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ත්‍රස්ත විමර්ශන අංශයට ‘භාර දීමෙන්’ තමන් කෙළේ ‘නිවැරදි වැඩක්’ බව ඔහු කියයි. ඒවා සම්බන්ධයෙන් එම අංශ විසින් බොහෝ කරුණු හෙලිදරව් කරගෙන තිබේලු. ඉහත කී සියලු දෙනා ගගනී වීරකෝන් වැනිම මාධ්‍යවේදීන් බවත්, එබැවින් මෙම ප්‍රශ්න ඔහුගෙන් ඇසීම මාධ්‍යවේදියෙකුගේ අවම වගකීමක් වන බවත් සිතන්න. එහි වරදක් නැත. මේ කියන ගගනී වීරකෝන් මොන තරම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යාව්දිනියක් දැ යි අපි නොදනිමු. එහෙත් ගෝඨාභයගේ පිළිතුරුවලින් පැනනගින තවත් වැදගත් ප්‍රශ්න, බරසාර මාධ්‍යවේදිනියක නම් ඇසිය යුතුව තිබුණි. එහෙත් මේ මාධ්‍යවේදිනිය එසේ නොකරයි. සමහර විට මේ සම්මුඛ සාකච්ඡාව පවත්වන ලද්දේම, හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව පැනනැගී ඇති චෝදනාවන්ගෙන් අවධානය ඉවත හැරවීමේ උපක්‍රමික අවශ්‍යතාවක් සඳහාමත් විය හැකිය.

ක්‍රිස් මොරිස් සමග ගෝඨාභය රාජපක්ෂ පැවැත්වූ බී.බී.සී. සම්මුඛ සාකච්ඡාවේදී, ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ “ලසන්ත කියන්නේ කවුද?” යන්න හැරුණු කොට, ජෙනරාල් ෆොන්සේකා ගැන ඔහු එක වචනයක්වත් කීවේ නැත. එහෙත් ස්ටෙෆන් සැකුර් පැවැත්වූ ‘හාඞ් ටෝක්’ වැඩ සටහනේ දී, සිදු වී යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව ෆොන්සේකා කළ ප්‍රකාශයක් අරභයා ඔහුව එල්ලන්නට ගෝඨාභය කතා කෙළේය.

සිදු වූ බොහෝ අපරාධවලින් කිහිපයක් ගැන පමණක් ප්‍රශ්න කිරීම ගැන ගගනී වීරකෝන් ලජ්ජා විය යුතුය. එතකොට, ‘උදයන්’ පුවත්පතේ වැඩ කිරීම නිසා ඝාතනයට ලක්වූ සහ ප්‍රහාරයන්ට ලක්වූ දුසිම් ගණන් අනිත් මාධ්‍යවේදීන්? ගෝඨාභය යනු නොම්මර එකේ ජාතිවාදියෙකු බව ලෝකයම දනී. සමහර විට ඔබත් එවැනි කෙනෙකු විය හැකිය.

බී.බී.සී. සේවයට සහ ‘හාඞ් ටෝක්’ වැඩ සටහනට ගෝඨාභය දුන් කුප්‍රකට සම්මුඛ සාකච්ඡා මහත් ආන්දෝලනයට ලක්වූ අතර තවමත් ඒවා අන්තර්ජාලයේ තිබේ. එහිදී ඔහු බොහෝ ප්‍රශ්න මගහැරියේය. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හැරුණු කොට ඉහළින්ම සිටියේ තමන් බව ඔහු එම සම්මුඛ සාකච්ඡාවේදී පිළිගනී. ඉහත කී සියලු අපරාධ සිදුවන අවස්ථාවේ යුද හමුදාපතිවරයා වශයෙන් සිටියේ සරත් ෆොන්සේකා බවත්, එබැවින් ඔහුගෙන් ප්‍රශ්න කළ යුතුව ඇති බවත් ඔහු කියයි. ඔහුව ඇත්තෙන්ම ප්‍රශ්න කොට තිබේ. එම ප්‍රශ්න කිරීම්වලදී ඔහු කියා ඇත්තේ, ‘සුදු වෑන්’ භාවිත කළ, රහස් හමුදා කල්ලි එදා ආරක්ෂක ලේකම්වරයා විසින් ක්‍රියාත්මක කරමින් තිබුණු බව ය. තවත් මොනවා ඔහු කරන්ට ඇත්දැයි දන්නේ දෙවියන්ම පමණි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය හමුදාමය වශයෙන් පරාජය කිරීමේ ගෞරවය ගෝඨාභය තමා වෙත පවරා ගනී. එහෙත් ඉහත කී අපරාධ සම්බන්ධයෙන් ජෙනරාල් ෆොන්සේකාගෙන් එදා ප්‍රශ්න කිරීමට තමා අසමත් වූ බව ඔහු පිළිගන්නේ නැත. ඔහුම කියන පරිදි ඔහු එම සිදුවීම් භාර දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන අංශය පැවතුණේ ඔහුගේ සෘජු පාලනය යටතේ ය. ඒ අංශවලට බලපෑම් කිරීමට මොනම හැකියාවක්වත් සරත් ෆොන්සේකාට තිබුණේ නැත.

ගගනී වීරකෝන් මේවා දැන සිටියේ නැත. නැත්නම්, දැන ගැනීමට උවමනාවක් තිබුණේ නැත. අදාළ සම්මුඛ සාකච්ඡාව පැවැත්වුණේ වෙනත් කාරණයක් සම්බන්ධයෙන් බව එහිදී කෙනෙකු කිව හැකිය. එහෙත්, 2009 සිට 2015 දක්වා අවුරුදු හයක්ම ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂට තිබුණු බව අමතක නොකරන්න. ජෙනරාල් ෆොන්සේකාව පවා ප්‍රශ්න කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ත්‍රස්ත විමර්ශන අංශයට උපදෙස් දීමට ගෝඨාභයට එදා පුළුවන් කම තිබුණි. එහෙත් ඔහු එසේ කෙළේ නැත. ඇයි? එසේ කිරීමට පියවර නොගත් ඔහු, පසුව, දූරදර්ශක වගයක් මිලදී ගත් සොච්චම් මුදලක් සඳහාත්, ඉන් පසුව ‘සුදු කොඩි’ සිද්ධිය සම්බන්ධයෙනුත් ජෙනරාල් ෆොන්සේකාට එරෙහිව නඩු පැටලෙව්වේය. ඉහත කී අපරාධ සම්බන්ධයෙන් එදා ජෙනරාල් ෆොන්සේකාව කොටු කර ගත්තේ නම්, එය ගෝඨාභය රාජපක්ෂට අතිමහත් වූ කීර්තියක් ගෙන දීමට තිබුණා නොවේද? එදා එසේ කෙළේ නම් ජෙනරාල් ෆොන්සේකා අද පාර්ලිමේන්තුවේ පවා නොසිටිනු ඇත.

සිය ‘සිවිල්’ බුද්ධි ප්‍රධානී කපිල හෙන්දවිතාරණ ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ, හමුදා බුද්ධි අංශය භාරව සිටි ජෙනරාල් අමල් කරුණාතිලකට වරද පැටවීමට බලයි. මේ අපරාධ පසුපස සිටියේ හමුදා බුද්ධි අංශ බව මේ සම්මුඛ සාකච්ඡාවේදී ගෝඨාභය පිළිගනී. ඒ ගැන හොඳින් සොයා බැලුවොත්, සැබෑ කාරණය එලිදරව් වනු ඇත. ඉහත කී දෙන්නාගෙන් වඩා ශක්තිවන්තයා ජෙනරාල් කරුණාතිලක වන නිසා, අදාළ පරීක්ෂණවලට වඩාත් හොඳින් ඔහුට මුහුණදිය හැකි වෙතැයි ඔහු සිතුවා වන්නට පුළුවන. එසේම, ඔහු දැනටත් සේවයේ යෙදී සිටින ‘රණ විරුවෙකු’ වන නිසා ඔහුට යම් ආරක්ෂාවක් ඇතැයි සිතුවා වන්නටත් පුළුවන. එහෙත් එම ප්‍රශ්නය මේ සම්මුඛ සාකච්ඡාවේදී ඔහුට ඉදිරිපත් නොකළ හෙයින්, එවැනි අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් ඔහුට අනුව ‘රණ විරුවන්’ ද යන්න දැන ගැනීමේ ක්‍රමයකුත් නොවුණි.

ශ්‍රී ලංකාව මහ අමුතු රටකි. අපි මේ කසළ කතා විශ්වාස කරමු ද? සමහර විට එසේ විය හැකිය. කොත්තු රොටි සමග මිශ්‍ර කර දිය හැකි වඳ පෙති ඇති බව අපි විශ්වාස කෙළෙමු. ඒ විශ්වාසය අනුව යමින්, මුස්ලිම් ගෙවල් දොරවල්, කඩසාප්පු සහ මුස්ලිම් පල්ලි ගිනිබත් කෙළෙමු. පොලිස්කාරයෙකු ඉදිරියේම පවා රටේ නීතිය කඩ කරන කහ සිවුරුකාරයන්ව අත්අඩංගුවට ගත නොහැකි බව අපි විශ්වාස කරමු. එබැවින්, ගගනී වීරකෝන් සහ තවත් දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ගෝඨාභය රාජපක්ෂ වන ඔබව විශ්වාස කළ හැකි බව මට අනුමාන කළ හැකිය. ඔව්, ඔවුන් එසේ විශ්වාස කරනු ඇත. ඒ අතරේ, ඔබ අපේ ජනාධිපති වන්නේ නම් අනේ කරුණාකර ශ්‍රී ලාංකික වන්න. එසේ නොවන්නේ නම් ඇමරිකානුවෙකු වන්න. ඔබම එය තීරණය කරන්න. ශ්‍රී ලාංකිකයන් ඔබ පස්සේ එනු ඇත.

(2018 මාර්තු 11 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ     Gota for 2020: Sri Lankan If President, American If Not නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.)

Archive

Latest news

Related news