Thursday, November 21, 2024

ප්‍රරසන්න රණතුංග කප්පම් ගත්හැටි ව්‍යාපාරිකයා අධිකරණයේදී හෙළිකරයි

වත්තෙ ගනුදෙනුව ඉවරයි. දැන් ගණන් හිලව් හරේන් (පළමු විත්තිකරුගේ බිරියගේ සොහොයුරා) කියන විදිහට ඉවරයක් කරන්නැයි පළමු විත්තිකාර ප්‍රසන්න රණතුංග තමාට පැවසූ බවත් ඔවුන්ගේ රාජ්‍ය බලය නිසා බිරිඳගේ හා තමාගේ ආරක්ෂාව ගැන සිතා චෙක්පත් 11ක් අත්සන් කර දුන් බවත් රුපියල් මිලියන හැට හතරක මුදලක් ව්‍යාපාරිකයකුගෙන් බලෙන් ලබාගත් බවට ප්‍රසන්න රණතුංග මහතා, ඔහුගේ බිරිඳ හා ව්‍යාපාරිකයකුට එරෙහි නඩුවේ සාක්කි දුන් ජෙරාඩ් මෙන්ඩිස් මහතා ඊයේ (12) කොළඹ මහාධිකරණයේදී ප්‍රකාශකර තිබේ.

කොලොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් විකිණීමේදී ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක් ලබාගැනීම ඇතුළු අධි චෝදනා 15ක් මත නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහි නඩුවේ සාක්ෂිදෙමින් සිලිකන් ටෙක්නොලොජි නමැති සමාගමේ හිමිකරු ජෙරාඩ් මෙන්ඩිස් මහතා එසේ ප්‍රකාශකර ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා හමුවේ මෙම නඩුව විභාගයට ගැනේ.‍

ප්‍රසන්න රණතුංග මහතා හා ඔහුගේ බිරිඳ මොරීස් ස්ටෙලා රණතුංග මහත්මිය ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටි අතර තුන්වන විත්තිකරු වූ හරේන් නමැත්තා නොමැතිව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 241 ප්‍රකාරව මෙම නඩුව විභාගයට ගැනේ.

අධිකරණය හමුවේ පෙනී සිටින විත්තිකරුට හා විත්තිකාරියට ඔවුනට එරෙහි අධි චෝදනා විවෘත අධිකරණයේදී ඊයේ කියවා දීමෙන් පසු එම චෝදනාවන්ට තමන් නිවැරැදිකරුවන් බව විත්තිකරුවන් ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව නඩුව විභාගය ආරම්භ කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.

නඩුවේ පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාගේ මෙහෙයවීම මත සාක්ෂි දුන් ජෙරාඩ් මෙන්ඩිස් මහතා මෙසේද ප්‍රකාශ කර ඇත.

“මා පුද්ගලික සමාගමක විධායක අධ්‍යක්ෂවරයෙක්. සිලිකන් ටෙක්නොලොජි ආයතනයේ හිමිකරු මමයි. මගේ බිරිඳ එහි අධ්‍යක්ෂවරියක්. 1993 ඔක්තෝබර් මස ඇරැඹි මෙම සමාගම අද දක්වා පිටකෝට්ටේ පවත්වාගෙන යනවා. තාක්ෂණික උපකරණ සම්බන්ධවයි මෙම සමාගම පවත්වන් යන්නේ.

‍මා මෙම නඩුවේ පළමු විත්තිකරු හා දෙවන විත්තිකාරිය හඳුනනවා. මෙම ඉඩම් ගනුදෙනුව සිදුකිරීමට පෙර වසර තුන හතරකට කලින් මොවුන් හඳුනගත්තා. මෙම ඉඩමට මම සම්බන්ධ වුණේ පැස්කුවල් නමැත්තාගේ උවමනාව මතයි. එම ඉඩම මීතොටමුල්ල කොලොන්නාවේ පිහිටි අක්කර දෙකයි දශම දෙකක එකක්. 2013/09/21 මෙම ඉඩම මා මිලට ගත්තේ අජිත් පැස්කුවල් නමැත්තාගෙන්. ඔහු මගේ ආයතනයේ වසර 13ක් කුලී පදනම මත රියදුරකු ලෙස සේවය කළා.

පැස්කුවල්ගෙන් ගත් එම ඉඩම මා ටෝකියෝ සිමෙන්ට් නමැති සමාගමට විකුණුව 2015 අ‍ප්‍රියෙල් 07 වැනිදා. ඒ විකුණපු ඔප්පුවල පිටපත් දුටුවිට හඳුනාගත හැකියි.

(සාක්ෂිකරු හට එම ඔප්පුවේ සහතික පිටපත පෙන්වා සිටීමෙන් පසු එය හඳුනා ගනියි.) පැස්කුවල්ගෙන් මෙම ඉඩම ගත්තෙත් ඔප්පුවක් ලියලයි. (සාක්ෂිකරු එම ඔප්පුවේද සහතික පිටපත හඳුනා ගනියි)

පැස්කුවල්ගෙන් මෙම ඉඩම මා මිලට ගත්තේ හිමොෆීලියා නමැති රෝගයෙන් පෙළෙන පැස්කුවල්ගේ පුතාට ඔස්ට්‍රේලියාවේ ප්‍රතිකාර සඳහා යාමට සල්ලි වුවමනා වුණා. ඒ නිසයි ඒ ඉඩම මා මිලට ගන්න පෙළඹුණේ.

ඉඩමට ඇතුළුවන පාරේ පවුල් 23ක් අනවසරයෙන් පදිංචිව සිටියා. පැස්කුවල්ගේ දරුවා ඉගෙන ගන්න දක්ෂයි. ඒ නිසා මා ඔහුට උපකාර කළා. මේ වත්තෙ අයිතිකාරයෝ 21ක් සිටියා. එම 21 දෙනා සමඟ ඇති කරගත් ගිවිසුමක් මත පැස්කුවල් මෙම ඉඩම ලියාගෙන තිබුණා. ඉඩමට ඇතුළුවන පාරේ පවුල් 23ක් අනවසරයෙන් පදිංචිව සිටියා.

මා ඉඩම මිලට ගත්තත් භෞතිකව ඉඩමට ඇතුළුවීමට හැකියාවක් තිබුණේ නැහැ. පාරේ අනවසර පදිංචිකරුවන් 23 ඉවත් කර දෙන්න ප්‍රසන්න රණතුංග මහතාගේ සාකච්ඡාවකින් පසු අජිත් පැස්කුවල් නමැත්තා එකඟ වුණා. එම සාකච්ඡාව තිබුණේ කොල්ලුපිටියේ මහ ඇමැති නිල නිවසෙයි. වත්ත මිලට ගන්න මාස 06කට කලින් මේ සාකච්ඡාව තිබුණේ.

මුලින්ම පළමු විත්තිකරු හඳුනා ගත්තේ ඒ සාකච්ඡාවකදී අජිත් පැස්කුවල් හා ජෙහාන් සොයිසා ද එම සාකච්ඡාවට සහභාගි වුණා. ඔවුන් දෙන්නා තමයි වත්තෙ ගනුදෙනුව මත ඇමැතිත් එක්ක සාකච්ඡා කළේ. මේ නඩුවේ තුන්වන විත්තිකරු මා හඳුනා ගත්තේ ජෙහාන් සොයිසා මගින්. තුන්වන විත්තිකරු සමඟ මා ව්‍යාපාර කටයුතුවලට සහභාගි වී තිබෙනවා.

තුන්වන විත්තිකරු ප්‍රසන්න රණතුංග මහතාගේ බිරිඳගේ ඥාතියෙක් බව මා පසුව දැනගත්තේ.

නිල නිවසේ සාකච්ඡාවෙන් මසකට විතර පසු මා මේ ඉඩම මිලදී ගත්තා. ඉඩම සම්බන්ධ තක්සේරු වාර්තාවේ සඳහන් වුණේ ඝන හා මෘදු පස් සහිත ඉඩමක් ලෙසටයි. පර්චසයක වටිනාකම ලක්ෂ තුනහමාරකට හතරහමාරක් ලෙස සඳහන් කර තිබුණා. නමුත් ඇතුළුවීමට පාරක් නැති නිසා කිසිදු වටිනාකමක් නැති බව වාර්තාවේ සඳහන් කර තිබුණා.

අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම ගැන සාකච්ඡා කළේ ඉඩම මිලට ගන්න මාස 06 කට පෙරයි. නමුත් අනවසර පදිංචිකරුවන් ඉවත් කරන්න අජිත් පැස්කුවල්ට මූලික ධනයක් නැතිවුණා. ඔහු මගෙන් ආයාචනා කළා දිගින් දිගටම එයට උපකාර කරන ලෙස.

මා පළමු විත්තිකරු ගැන ඉඩමේ සංවර්ධන කටයුත්තක් ගැන කතා කළේ ඉඩම් මිලට ගත් පසු 2013/10/30 වැනිදායි. පළමු විත්තිකරු මට කිව්වා ගබඩාවක් හා කන්ටේනර් පර්යන්තයකට පළාත් සභාවට කුලියට ලබාගන්න හැකි බව. මේ අනවසර පදිංචිකරුවන්ට මගේ වියදමෙන් පර්චස් 40ක් මිලට ගෙන මගේ වියදමෙන් ගෙවල් හදලා දුන්නා. ඔවුන් බලහත්කාරයෙන් ඉවත් කළේ නැහැ. ඒ වනවිට පළමු විත්තිකරු බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැතිවරයායි. මා ඉඩම මිලට ගන්න කලිනුයි අනවසර පදිංචිකරුවන් ඉවත් කළේ.

අනවසර පදිංචිකරුවන් ඉවත් කළ පසු බැකෝ යන්ත්‍රය වත්ත සුද්ද කරන්න ගිය පසුයි මා දැනගත්තේ මේ වත්ත වගුරුබිමක් බව.

මේ ඉඩමේ ගබඩා පර්යන්තයක් සකසා බස්නාහිර පළාත් සභාවට දෙන්න පළමු විත්තිකරුගේ ඉල්ලීම මත මා එකඟ වුණා. ගබඩා පර්යන්තයක් ඉදිකිරීම සම්බන්ධව සාකච්ඡා කරන්න මා නිතර සම්බන්ධ වුණේ නැහැ. ඊට නිතර මා සමඟ සම්බන්ධ වුණේ නඩුවේ තුන්වන විත්තිකරුයි. පළමු විත්තිකරු මේ ඉඩම තිබෙන තැනට සිව් වතාවක් පමණ පැමිණියා.

පළමු විත්තිකරුගේ ඉල්ලීම මත ගබඩා සංකීර්ණයක් සාදන්න මා මුලින් හිතුවත් වැඩ පටන්ගන්න හදනකොටයි මම දන්නෙ එහි අඩි 22ක පමණ මඩ තට්ටුවක් ඇති වගුරු බිමක් බව. ඒ වනවිටත් මා මිලියන 09ක් විතර වත්තට වියදම් කළ නිසා අකමැත්තෙන් වුවත් මට ඒ ඉඩම ගන්න සිදුවුණා. වූ අලාභය පියව ගන්න වගුරු බිම ගොඩකරන්න මා පියවර ගත්තා. ඒ අනුව එය ගොඩකිරීමේ නීත්‍යානුකූල අයිතිය මට ලැබුණා.

වසරකට ආසන්න කාලයක් ඉඩම පුරවන්න ගතවුණා. ඉඩම පිරවීමට තනියම මමයි වියදම් කළේ. ඉඩම පිරවීමට සම්පූර්ණයෙන් මට මිලියන 90ක් පමණ ගියා. මගේ අත තිබුණු මුදල් හා ණය මුදල් ලබාගත්තා. මේ ඉඩම රජයට ගැනීමෙන් මට විශාල මුදලක් ලැබෙන නිසා ඒ ඉඩම ලබාගන්නා ලෙසට බස්නාහිර පළාත් සභාවෙන් දුන් ලිපිය ණය මුදල් ලබාගැනීමට පාවිච්චි කළා.

හිටපු මහ ඇමැති එනම් පළමු විත්තිකරු කඩිනමින් ඉඩම පුරවා දෙන්න කියලා ලිපි දෙකක් එව්වා. 2015 ඉඩම පුරවල ඉවර කළේ. ඉන්පසු මට ඉදිකිරීම් සිදුකරන්න බැරිවුණේ මූල්‍යමය වශයෙන් ප්‍රශ්න පැමිණි නිසයි.

ගබඩා සංකීර්ණය මා ඉදිකළේ නැහැ. ඉඩම පිරවීම සම්බන්ධව පළමු විත්තිකරු සමඟ මා සාකච්ඡා කළා. 2014/01/06 මට කඩිනම් කරන ලෙස දෙවන ලිපිය එව්වා. ඉන් සති දෙකකට පසු තුන්වන විත්තිකරු අයියට මම ගැරන්ටියක් වුණා කිව්වා. එවිටයි මා දැනගත්තේ ඔහු පළමු විත්තිකරුගේ බිරිඳගේ වැඩිමහල් ‍සොහොයුරා බව. මට කොලකෑල්ලක් දෙන්න කිව්වා. ඇග්‍රිමන්ට් එකක් ගහමු කිව්වා. ඒ අනුව මා නීත්‍යානුකූල ගිවිසුමක් සැකසුවා. මා මේ ඉඩම විකුණන්න තීරණය කළේ ගිවිසුම අත්සන් කළ පසුවයි.

මේ ඉඩම විකුණන්න ගැනුම්කරුවන් සොයාගන්න මා උත්සාහ කළා. මොකද දිගින් දිගටම වත්තට වියදම් කරන්න මට බැරිවුණා. මා පළමු විත්තිකරුට පැවසුවා ඉඩම විකුණන්න ඕන බව. ඒ අතරතුර පළමු විත්තිකරු ගුණරත්න කියන තැරැව්කරුවෙක් මට හඳුන්වල දුන්නා.

ටෝකියෝ සිමෙන්ති සමාගමට මෙම ඉඩම මිලියන දෙසිය හතරයි දශම අටකට ඒ අනුව විකුණන්න තීරණය කළා. මෙම මුදල චෙක්පත් දෙකකින් ලැබුණා. ඒ මුදල් මගේ ණය ලබාගත් ආයතන දෙකට කෙලින්ම ලබාදී තිබුණා. ණය පියවන්න ඒ ගිණුම් දෙකට මූල්‍ය ආයතන දෙකට චෙක්පත් එවීමට මම කැමැති වුණා. කල්පිරුණු ණයවලට පොලිය සමඟ ගණන් හදලා ඒ චෙක්පත් දෙක මූල්‍ය ආයතන වෙත කෙලින්ම ලබාදුන්නා. මන්ද ඉඩමේ ඔප්පුවද ඇපකරයක් ලෙස එක් මූල්‍ය ආයතනයක් තබා සිටියා.‍ ගුණරත්නට තැරැව් ගාස්තුව ලෙස සම්පූර්ණ විකුණුම් මුදලින් 3%ක් ගෙව්වා. ඉන් 50%ක් විකුණු දිනම ලබාදුන්නා. ඉතිරියට මගේ ආයතනය නමින් වූ චෙක්පතක් ලබාදුන්නා. මට නිරවුල් සහතිකය දෙන්න පරක්කු වුණු නිසා එම සහතිකය ලබාගත් පසුවයි ගුණරත්නට සම්පූර්ණ මුදල ලබාදුන්නේ.

තුන්වන විත්තිකරු මෙම ඉඩම විකුණන වෙලාවෙ ඇවිත් හිටියා. විකුණුම්කරයේදී සාක්කිකරුවකු ලෙස ඔහු අත්සන් කළා.

ඉඩම විකුණපු 2015/04/07 ඉඩම විකුණු දිනම මට පස්සෙ හමුවෙන්න ඕන කියලා තුන්වන විත්තිකරු කිව්වා. තමා රට යනවා ඊට කලින් අයියවයි මාවයි හමුවන්න කියලා තුන්වන විත්තිකරු කිව්වා. අයියා කියා ඔහු හැඳින්වූයේ ප්‍රසන්න රණතුංග මහත්තයයි.

හිටපු මහ ඇමැති නිල නිවසට චෙක් පොතක් අරන් එන්න කිව්වා

2015/04/10 තුන්වන විත්තිකරු දුරකථනයෙන් මට අමතා හිටපු මහ ඇමැති නිල නිවසට චෙක් පොතක් අරන් එන්න කිව්වා. මීට පෙරත් ව්‍යාපාර කටයුතුවලට ඔහු මා හා සම්බන්ධව වැඩ කළා. පළමු විත්තිකරුට මා දුරකථනයෙන් අමතා තිබෙනවා. ඔහුත් මට කතා කරනවා. හරේන් (තුන්වන විත්තිකරු) ලංකාවේ නැති විට මා පළමු විත්තිකරුට දුරකථනයෙන් කතා කළා. ගුණරත්න මහත්තයා හඳුන්වල දුන්නෙ මහ ඇමැති ඔහු මට කතා කර කිව්වා ගුණරත්නට කමිෂන් එක දෙන්න කියලා.

මම ඇහුව චෙක්පත් අරන් එන්න කිව්වේ ඇයි කියලා. තමා රට යනවා ගුණරත්න මහත්මයගේ කමිෂන් එක රට යන්න කලින් විසඳන්න චෙක් පොත අරන් එන්න කිව්වා කියලා. 2015/04/10 වනවිට ගුණරත්න යන අයගේ තැරැව් ගාස්තු ගෙවලා තිබුණේ නැහැ.

මගේ චෙක් එකක් දෙන්න මගේ හා බිරිඳගේ අත්සන් දෙකම ඕනි නිසා ගුණරත්නගේ ගාන විතරක් නම් මම ලියන් එන්නම් කිව්වා. නැහැ මෙහාට ඇවිත් ලියමු කිව්වා. ඒ නිසා මා බිරිඳවත් අරන් එහි ගියා.

එදින සවස මමයි බිරිඳයි පළමු විත්තිකරුගෙ නිල නිවසට ගියා. මම හැටන්නැෂනල් බැංකුවේ මරදාන ශාඛාවට අයත් මගේ ජංගම ගිණුමේ චෙක්පත ද කැටුව ගියා. මම හිතුවේ ගුණරත්නගේ තැරැව් ගාස්තු කතා කරගෙන ගෙවන්න.

වත්තෙ විකුණුම් මිලෙන් 31%ක් ගණන් හදල ඒ අනුව මිලියන 64ක් විතර වෙනව. ඉන් 3%ක් ගුණරත්නට දෙන්න කිව්වා. ඉතිරිය ප්‍රසන්න රණතුංගගේ බිරිඳගේ නමට ලියන්න කිව්වා. එහි දෙවන විත්තිකාරියවූ ප්‍රසන්න රණතුංග මහතාගේ බිරිඳත් සිටියා. මෙය සිදුවුණේ නිල නිවසේ සාලයේදියි.

මගේ බිරිඳ, ප්‍රසන්න රණතුංග මහතා, ඔහුගේ බිරිඳ හා මගේ බිරි‍ඳගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් මේ වෙලාවෙ සාලයේ සිටියා. මා සාලයේ ඩිවාන් එකේ වාඩිවී සිටිනවිට තුන්වන විත්තිකරු කිව්වා චෙක් පොත අරන් කෑම කන මේසෙට එන්න චෙක් ලියන්න කියල.

වත්තෙ ගනුදෙනුව ඉවරයි. දැන් ගණන් හිලව් ඉවර කරන්න කියල පළමු විත්තිකරු කිව්වා. වත්තෙ ආදායම බෙදෙන විදිහක් අවබෝධතා ගිවිසුමේ තිබුණත් වත්ත විකුණල කොටසක් දෙන්න පොරොන්දුවක් තිබුණෙ නැහැ. ඒත් විකුණුම් මිලෙන් 31%ක් ඉල්ලුව. 3%ක් ගුණරත්නට ලියල, ඉතිරිය මගේ මිතුරකුගෙන් මිලියන තුනක් තුන්වන විත්තිකරුටත් මිලියන පහක් පළමු විත්තිකරුට මාරුකර ගැනීමට දුන්නා.

තුන්වැනි විත්තිකරු රට යන්න පෙර ගනුදෙනු බේරන්න කිවුවා

තුන්වන විත්තිකරුයි මිලියන 64ක් ගැන සඳහන් කළේ. එය පළමු විත්තිකරුත් දැනුවත්. මම රට යන්න කලින් අයියගෙ ගනුදෙනු බේරන්න ඕනි කිව්වා. හරේන් කියන විදිහට කරන්න කියල පළමු විත්තිකරු කිව්වා.

මමයි බිරිඳයි චෙක්පොත අරන් කෑම කන මේසයේ වාඩි වුණා. තුන්වන විත්තිකරු තමයි ගණන් ටික හැදුවෙ. මේ වෙලාවෙ මගේ ගිණුමෙ සල්ලි නැහැ කියල පැවසූ විට පළමු විත්තිකරු පැවසුව ඒ ගැන කළබල වෙන්න එපා පස්සෙ දාන්න කිව්වා.

මගෙ ලොකු පුතා උසස් පෙළ ලිව්වා. ඒ අතරතුර මගේ සමාගමට පැමිණ ගුණරත්න හා හරේන් (තුන්වන විත්තිකරු) මට තර්ජනය කළා.

පළමු විත්තිකරු කිව්ව මට මුදල් නැති බව අදාළ නැහැ හරේන් කියන විදිහට චෙක් ලියන්න කියලා කිව්වා.

මගේත් බිරියගේත් ආරක්ෂාව ගැන හිතලා හොඳම දේ මම කළා

අවශ්‍යම කියා පැවසූ නිසාත් බලපෑම නිසාත් ඕඩී කරල ඒ සල්ලි ලබා දුන්නා. ඔවුන්ගේ රාජ්‍ය බලය පාවිච්චි කරල බලපෑම් කළ නිසා ණය වෙලා මුදල් දුන්නා. ඒ වෙලාවෙ මගේ හා බිරිඳගේ ආරක්ෂාව ගැන හිතල ගන්න ඕනි හොඳම දේ මම කළා. එවලෙ කියපු දේ නොකළනම් වෙන්න තිබුණ‍දේ හිතාගන්න බැහැ.

එදින මා චෙක්පත් 11ක් ලිව්වා. මිලියන පහක චෙක්පතක් එදිනට මාරුකරගන්න මුදල් චෙක්පතක් ලෙස ලබාදුන්නා. ඉතිරි චෙක්පත්වලට ඉදිරි දින දමා තිබුණ. මේ චෙක්පත් 11ම භාරගත්තේ තුන්වන විත්තිකරුයි. මේ සියලු ‍ගනුදෙනු සිදු කළේ තුන්වන විත්තිකරුයි.

මේ විදිහට චෙක්පත් ලියන්න කියන්න හරේන්ට අවවාද කළේ පළමු විත්තිකරුයි. ඔහු ඩිවාන් එකේ වාඩිගෙන සිට එසේ පැවසුවා.

විනිසුරුතුමා – කොයි වෙලාවකහෝ පළමු විත්තිකරු තමන්ට කිව්වද චෙක් පොතක් අරන් තමා හමුවන්න එන්න කියල.

සාක්ෂිකරු – දින දෙකතුනකට කලින් අරන් එන්න මේ ගනුදෙනු අහවරයක් කරන්න. හරේන් එක්ක කතාකරගෙන එන්න කිව්වා. චෙක් පොතක් ගැන කිව්වෙ නැහැ. නමුත් අරන් එන්න කිව්වා.

විනිසුරුතුමා – දෙපාර්ශවය අතර වූ අවබෝධතා ගිවිසුමෙන් මොකක් ද ඇති කරගත්තෙ.

සාක්ෂිකරු – ඉඩම කුලියට දීමෙන් මාසිකව ලැබෙන මිලියන 2.4ක් වූ කුලී පදනමෙන් ලැ‍බෙන මුදලින් 50% මටත් 50%ක් 1,2,3 විත්තිකරුවනට හා මට වත්ත විකුණූ අයට ලැබෙන සේ.

විනිසුරුතුමා – අවබෝධතා ගිවිසුමේ තිබුණෙ මාසික කුලියක් ගැන විතර ද?

සාක්ෂිකරු – ඔව්.

විනිසුරුතුමා – අවබෝධතා ගිවිසුම අනුව ඉඩමේ කොටස් පාර්ශවකරුවනට හිමි වන බව කියල තිබෙනවා, එය පිළිගන්නවද තමුන්?

සාක්ෂිකරු – ඔව්.

නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති අදාළ චෙක්පත් සාක්කිකරුහට පෙන්වා දීමෙන් පසු එම සියලු චෙක්පත් තමා 2015/04/10 දින අත්සන් කර ලබා දුන්න ඒවා බව පවසා සිටියේය.

පැය දෙකක් විතර මහ ඇමැති නිල නිවසෙ මේ වැඩවලට ගතවුණා. මුලින් ගණන් හැදුවා. පසුව චෙක් ලිව්වා.

විනිසුරුතුමා – තමන් ගෙවීම් කටයුතු කළේ කැමැත්තෙන් ද?

සාක්ෂිකරු – නැහැ. එවලේ කළ බලපෑම් නිසයි මම ඒ දේ කළේ.

විනිසුරුතුමා – අනිත් චෙක් ලිව්වෙත් එදාමයි නේද?

සාක්ෂිකරු – ඔව්.

විනිසුරුතුමා – තමා කියනව බලපෑම නිසා මේ චෙක් ලියල දුන්න කියල. නමුත් චෙක්පත් ලියල දුන්න පසු කොයි වෙලේ හරි පොලිසියට පැමිණිලි කළා ද?

සාක්ෂිකරු – නැහැ… මොකද මගේ පවුල ගැන මට බයක් තිබුණ. ඔවුන් බලපෑම් කළා. මේ අය ගැන මම දන්න නිසා තමයි මගේ පවුල ගැන හිතල පොලිසියට නොගියෙ. පොලිසි යන්න එපා කියලත් මට පැවසුවා.

ගෙවීම් නතර කරන්න උපදෙස් දුන්විට පිස්තෝල අරන් පිරිසක් කාර්යාලය ඉදිරියට ආවා

මා දුන්න චෙක්පතක් අගරු වුණා. ඒ අනුව ගෙවීම් නතර කරන ලෙස මා බැංකුවට උපදෙස් දුන්නා. ඉන් පසුව පිස්තෝල අරන් මගේ කාර්යාලය ඉදිරිපිටට පිරිස් ආවා. මට ඇති එකම විකල්පය ලෙස මා මේ ගැන කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කළා.

මට දුරකථන ඇමතුම් ආවත් දුරකථනය බලල පළමු විත්තිකරු හඳුනගන්න බැරි වුණේ අංකයක් සඳහන් නොවුණු නිසයි. නමුත් කතා කරනවිට පළමු විත්තිකරු කටහඬින් මා හඳුනගත්තා.

මුදල් අවශ්‍යතාවක් තිබෙනව. ඉතිරි චෙක්පත්වල මුදල් ලැබෙන්න සලස්වන්න කියල පළමු විත්තිකරු පැවසුව. නමුත් මට කලක් දුන්නෙ නැහැ. හොඳින් විසඳගන්න බැරි වුණ නිසා මම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කළා.

මා දෙවැනිවරටත් බිරිඳ සමඟ පළමු විත්තිකරු හමුවන්න ගියා. එවිට සිටියේ පළමු විත්තිකරු හා තුන්වන විත්තිකරු පමණි. මේ ගණන් ගැන නැවත කතා කළා. එහෙම කියද්දි ගනුදෙනුව ඉවරයි මේක ගෙවන්න කිව්වා. ඒ දෙවනවර හමුවූ අවස්ථාව මා පටිගතකිරීමක් කළා. මට ආරක්ෂක පද්ධති ගෙන්වන කම්පැනියක් තිබෙන්නෙ.

එදා මට මුලින් එන්න කිව්වෙ නිල නිවසට, මම කැමැති වුණේ නැහැ. පසුව ශ්‍රාවස්තියට ගියේ. ඒ ඔහුගේ රාජකාරි ස්ථානය. එහි තුන්වන විත්තිකරුත් සිටිය. ආරක්ෂක හේතු මත මගේ ජංගම දුරකථනය ගත්තා. මම නීති උපදෙස් ලබා තිබුණ නිසා නොහිතපු දෙයක් මගේ බිරිඳගේ අත් බෑගයේ දමන් ගියා. ඒකෙන් සියලු සංවාද පටිගත කළා.

ඉන් පසු මම නැවත පැමිණ මගේ සාමාන්‍යාධිකාරි ලෙස සේවය කළ මේජර් විමල් යන අය අත චෙක්පත් 8ක් හෝ 09ක් යැව්වා. ඊට පසුව මට පළමු විත්තිකරු දුරකථනයෙන් කතා කළා. මේ චෙක් දාන්න පුළුවන් ද ඇහැව්වා. පසුව ඔහු හමුවන්න එන ලෙස ඉල්ලීමක් කළා. මොකද පහුවෙනිද රට යන්න තිබෙනවා. මේ චෙක් ගැන කතා කරගන්න එන්න කිව්වා. මම තනියම යන්න හදනවිට විමල් මා එක්ක ආවා. නිළ නිවසට ගියෙ. තමුසෙත් එක්ක මීට පස්සෙ ඩීල් කරන්නෙ මම නොවෙයි. කළුමල්ලි කිව්ව. කළු මල්ලි තමුසෙත් එක්ක ගනුදෙනු කරයි. චෙක්වලට හරියන්න පොරොන්දු නෝට්ටු කිසිම නමක් ගමක් නැතුව ලියන්න කිව්වා. එ‍ෙවලෙ හිටියේ පළමු විත්තිකරු විතරයි. දෙවැනි විත්තිකාරිය පැමිණියෙ ඊට පැය බාගයක් පමණ පසුයි. කළු මල්ලි කියන අයට මට කතා කරන්න සලස්වා දුන්නා. පළමු විත්තිකරු ඉතාමත් තර්ජනාත්මක ස්වරූපයෙන් මට කතා කළේ. මට වුවමනා වුණේ පළමු විත්තිකරු හා ඔහුගේ ආරක්ෂක නිලධාරීන් මගේ පවුලේ අය ඉදිරියට ඒම වැළැක්වීමයි. දෙවනවර දුන් චෙක්වලට අදාළව පොරොන්දු නෝට්ටු ලියල දුන්නා. සාක්ෂිකරු ලෙස තමුසෙ අත්සන් කරන්න කියල මා එක්ක ගිය විමල්ට පළමු විත්තිකරු පැවසුවා. ඒ අනුව අපි දෙන්නම අත්සන් කළා.

සාක්ෂිකරුහට පෙන්වා සිටි පොරොන්දු නෝට්ටු හඳුනා ගන්නා ලදී.

වැඩිදුරටත් විභාගය මෙම මස 15 වැනි දිනට කල් තැබුණි.

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ශවේන්ද්‍ර වික්‍රම මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.

  • Lanka Truth

Archive

Latest news

Related news