Monday, May 20, 2024

ජෝ සෙනෙවිරත්න ට උපහාරයක් – දයාපාල තිරාණගම

පසු ගිය 17 දා සිය ජීවිතයට සමුදුන් ජෝ සහෝදරයා හෙට 24 දා අපහැර යයි.

මා ජෝ සහෝදරයා පළමුව මුණ ගැසුනේ 1982 දී වැලිකඩ බන්ධනාගාරය අභියසදීය.මා එවකට බන්ධනාගාර ගතව සිටි නිර්මලා රජසින්ග්හම් බැලීමට ගොස් තිබියදී ඔහුද ඇය බැලීම සඳහා පැමිණ සිටියේය.මේ යුගය අපේ රටේ ඉතාමත් ප්‍රචණ්ඩකාරී දේශපාලන යුගය ට අවතීරණය වීමට පෙරාතුවය.

එයට පසුව අප දෙදෙනාම 1984 දී විකල්ප කණ්ඩායම ලෙස නම් කල සන්නද්ධ ව්‍යාපාරය ගොඩ නැගීමට උර දුන්නෙමු.නමුත් අපේ එක උරයක අප කර ගසා ගෙන සිටියේ ප්‍රජා පීඩක සමාජවාදයේ ගැටලුව සහ සන්නද්ධ ව්‍යාපාරයන් විසින් දියත් කරන ප්‍රචණ්ඩත්වයේ දුෂ්ටත්වය සහ ම්ලේච්ඡ ස්වභාවය විසදීම පිණිස අප ගොඩනගන සංවිධාන ව්‍යුහයන් තුල පවතින දැඩි සිමාවන් පිලිබඳ ගැටලුවයි.

අපේ දෙවුර මත පැවති මේ එකිනෙකකට පරස්පර වූ ගැටළු දෙක එසේත් නැත්නම් එහි දෙබිඩි ස්වභාවය අවසානයේ විකල්ප කණ්ඩායමේ අවසානයද සනිටුහන් කල දේශපාලන යෝජනා ක්‍රමයක් බවට පත්විය.අප මෙයට විසදුමක් ලෙස සමාජවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ව්‍යාපාරය ගොඩ නැගුවද එයට පසු ඇති වූ භීම සමය සමග එය ද අසාර්ථක විය.1983 ආරම්භ වූ ප්‍රචණ්ඩත්වය,ආණ්ඩුවේ සහ ජවිපෙ මෙන්මකොටි සංවිධනයේ ප්‍රචණ්ඩ කාරී ක්‍රියාවන් ද පසුව සෝවියට් සංගමයේ අද වැටීමද අපට මුලින් පැවති අප කර පින්න ගෙන සිටි සැකයන් සනාථ කරනු ලැබිය.

ජෝ 1965 අග භාගයේ ලංකාවේ බිහිවූ ජවිපෙ සහ පෙරදිග සුළග වැනි ප්‍රචණ්ඩකාරී සංවිධානයන්ට බැඳුනේ නැත.ඔහු උරුම කම කියන මලයාලි සංස්කෘතිකඋරුමයන්ට මේ සංවිධානවල එකල පවතී දෘෂ්ටිමය සහ දේශපාලන පරිකල්පනය හරස් වූ බැවින් ඔහු එම තීරණයට එළඹුන බව මම විශ්වාස කරමි.පසුව ඊ පී ආර්එල් එෆ් සංවිධානය සමග විකල්ප කණ්ඩායම ඇතිකරගෙන තිබු සන්ධානය ඔහුට ජාතික අනන්‍යතාවයේ සුරක්ෂිත බව පිළිබඳව විශ්වාශයක් ඇත කරන්නක් විය.

ජෝ අතිශයින්ම නිදහස්කාමී මිනිසෙක් වුවා පණක් නොව ඔහු සංවිධානය තුල ගොඩ නැගීමට වෙර දැරුවේ එබඳු මිනිසුන්ය.එමනිසා ඔහුගේ මනුෂත්වය ඔහුගේ දේශපාලන කටයුතු වල දී කැපී පෙනෙන අංගයක් විය.ඔහු ඉතාමත් ලෙහෙසියෙන් ප්‍රවේශ වය හැකි සරල සහ සුන්දර මිනිසෙක් වූ අතර මේ නිසාම 1986 දී හලාවත දී ආණ්ඩුවේ ඔත්තු කරුවෙකුගේ උගුලකට හසු වී මහා වධ් හිංසාවන්ට භාජනය කරනු ලැබිය.වසර ගණනකට පසුව ඔහු නිදහස් වීමෙන් පසුව නැවත දේශපාලන කට යුතු වල නියැළුණි.

මෙයට වසර දෙකකට පමණ පෙර නැවත සවිධාන කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ඔහු සිහින දුටු නමුත් ඔහුගේ ශාරීරික තත්වය මෙයට හරස් විය.ඔහු මේ ගැන කතා කරනවිට මා සිතුවේ සිත් ඇත්නම් පත් කුඩාද කියාය.ඇත්තටම මෙහිදී පත් කුඩා විය.

අපේ පරම්පරාවට විසදිය නොහැකි වූ මා මුලින් සඳහන් කල දේශපාලන ප්‍රශ්නවලට ජෝ අපෙන් සමුගන්න මේ අවස්ථාවේදී පවා විසදුම් පෙනෙන තෙක් මානයේ නැත.නමුත් ඔහු ජීවිත්කලයක්ම කැප කල ජනවාර්ගික ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් පමුණුවා ගැනීමට ඔහු කල මෙහෙය සදා අනුස්මරණීය වෙයි.

ජෝ සහෝදරයා ට යාමට ඉඩ දීම මට ඉතාමත් දුෂ්කර දෙයකි.නමුත් අප තවත් ජෝ ලා අනාගතයේදී බිහිවෙනු ඇති’යි පාර්ථනා කරමින් එයට ඉඩ දෙන්නෙමු.

Archive

Latest news

Related news