Friday, May 3, 2024

ඊළම බිහිවෙතොත් ඒ රාජපක්ෂ මහතාගේ නෙළුම් පෙහොට්ටුවෙනි – ආර්. සම්පන්දන්

මා කැමැතියි මේ විවාදය ගැන වචන කිහිපයක් කියන්න. මහජනයා තීන්දුවක් දී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මහජන තීන්දුවට ගරු කළ යුතුයි.  මූලික වශයෙන්ම පෙරවාරි 10 දා පැවැති පළාත් පාලන ජන්ද විමසීම විග්‍රහ කරන්නයි මා යන්නේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මැතිවරණයේදී ප්‍රකාශිත ජන්ද වලින් 44.69ක් ලබා ගත්තා. එක්සත් ජාතික පක්ෂය 32.61ක් ලබා ගත්තා. එක්සත් ජනතා නිදහස් සන්ධානය 8.90ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 4.48ක් ලබා ගත්තා. එජාපය, පොදු පෙරමුණ සහ ශ්‍රිලනිපය ලබා ගත් ජන්ද එකතු කළ විට 45.99ක්. ඒ කියන්නේ සියයට 46ක් තරම්.

මෙම ප්‍රතිශතය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබා ගත් සියයට 44.69ට වඩා සියයට දෙකක් වැඩියි.

ජනතා විමුක්ති පෙරමුණ සියයට 6.26ක් ලබා ගත් අතර ඉලන්කෙයි තමිල් අරසු කච්චි ( ටී.එන්.ඒ) 3.06ක් ලබා ගත්තා. එම සංඛ්‍යාවත් එජාපය, පොදු පෙරමුණ සහ ශ්‍රීලනිපය ලබා ගත් ජන්ද ප්‍රතිශතයට එක් කළ විට සියයට 55.31ක් වෙනවා. ඒ කියන්නේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට විරුද්ධ පක්ෂ ජන්ද 55.31ක ප්‍රතිශතයක් ලබා ගෙන තිබෙනවා. පොදු ජන පෙරමුණ ලබා ගත්තේ සියයට44.69ක් පමණයි. මෙය අවිවාදාත්මකයි.

2015 ජනවාරි මාසයේදී පැවැති ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රාජපක්ෂ ජන්ද සියයට 47.58ක් ලබා ගත්තා. ඔහු ජනාධිපතිවරණයේදී ලබා ගත් ජන්ද මෙවර ලබා ගත් ජන්ද ප්‍රමාණයට වැඩියි. 2015 පැවැති ජනාධිපතිවරණයේදී හෝ මහා මැතිවරණයේදී හෝ මෑත පළාත් පාලන මැතිවරණයේදි හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සියයට 50 ඉක්ම වූ ජන්ද ප්‍රමාණයක් ලබා ගන්නට සමත් වී නැහැ.

හැම විටම ඔහු ලද ජන්ද සියයට 50ට අඩුයි. එබැවින් පළාත් පාලන ජන්ද ප්‍රතිපලය ගැන උදම්වන්නේ කුමටද? මැතිවරණ පැවැත්වෙනවා. පක්ෂ දිනනවා. පරදිනවා. පළාත් පාලන මැතිවරණය පැවැත් වූවා. රාජපක්ෂ මහතාණෙනි, ඔබ දිනා තිබෙනවා. නමුත් ඇත්ත තමයි ඔබ ඔබට විරුද්ධ ජන්ද සියයට 55.31ක් හමුවේ ඔබ ලබා ගත්තේ සියයට 44.69යි කියන එක. ඉතින් උදම් අනන්නේ කාරණයක් තියෙනවාද? කොහෙමත්ම නැහැ.

පාර්ලිමේන්තුව සෑදෙන්නේ පළාත් පාලන ජන්දයේදී ලබා ගන්නා ජන්ද අනුව නොවෙයි. ජනාධිපතිවරයා පත් වන්නේ ජනාධිපතිවරණයේදී ප්‍රකාශ වන ජන්ද අනුව. පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වෙන්නේ රටෙහි ව්‍යවස්ථාව සහ නීති රීති අනුවයි. රටෙහි ව්‍යවස්ථාව සහ නීති, ඔබ පළාත් පාලන මැතිවරණයේදී ලද වාසි නිසා ඔබට කැමැති පරිදි වෙනස් කරන්නට බැහැ.

මා කැමැතියි, කතානායකතුමනි ඔබේ අවසරයෙන්, මෙම පසුගිය මැතිවරණයේදී ගෙන ගිය ප්‍රචාරක ව්‍යාපාර ගැන යමක් කියන්න. මට විවාදාත්මක දෙයක් කරන්න අවශය නැහැ.එනමුත් මැතිවරණ ව්‍යාපාරයේ මුල් දවස්වලම ජන්ද රුස්වීමකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම මැතිවරණයෙහි විපාකයක් වශයෙන් දෙමළ ඊළම බිහිවනු ඇතැයි කී විට මා මහත් සේ තිගැස්සුණු බව කිව යුතුයි. ඔහු දුන් හේතුව තමයි නව ව්‍යවස්ථාවක් සකස්කරගෙන යන බවත් එමගින් ඊළම ඇතිවිය හැකි බවත්.

1987 -1988 කාලයේ 13වන සංසෝධනය ඇති කළ අවස්ථාවෙහි පටන් මෙරටෙහි සියළු පුරවැසියන්ට එකඟ වියහැකි ආකාරයේ දේශපාලන විසඳුමක් ලබා දීම සඳහා විවිධ ජනාධිපතිවරැන් මෙන්ම විවිධ ආණ්ඩුද දිගටම උත්සාහ දරා තිබෙනවා.

ජනාධිපති ප්‍රේමදාස සමයෙහි 13වන සංසෝධනයට වඩා බොහෝ දුර ගිය මංගල මුණසිංහ තේරීම් කාරක සභා යෝජනා ඉදිරිපත් වුණා. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග කාලයෙහිදී 2000 වසරේ ව්‍යවස්ථා යෝජනා ඉදිරිපත් වුණා. 13වන සංසෝධනය ඉක්මවා බොහෝ දුර ගිය සහ විවිධ නවතාවයන් ඇතුළත් එම කෙටුම්පත ඉදිරිපත් කළේ අන් කිසිවකු නොව මහාචාර්ය ජි.එල්.පිරිස්. එම ව්‍යවස්ථා සංසෝධන කෙටුම්පත ගෙන ආවේ පාර්ලිමේන්තු පනතක් ලෙසයි.

ඉන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට පත්වුණා. සර්ව පාක්ෂික නියෝජිත කමිටුවෙහි ප්‍රථම රුස්වීමෙහිදී ඔහු කළ කතාව මෙනෙහි කරන්නේ නම්, ඔහු කතා කළේ උපරිම බලය බෙදීමක් ගැනයි.  විශේෂඥ කමිටුවක් පත් කළා. එය වාර්තා ඉදිරිපත් කළා. අනතුරුව පිහිටැවුණු මහාචාර්ය තිස්ස විතාරණ කමිටුව, 13 වන සංසෝධනය ඉක්මවා ගිය ව්‍යවස්ථා යෝජනා ඉදිරිපත් කළා.

මෙම පාර්ලිමේන්තුව බලයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තුවම නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ව්‍යවස්ථා සභාවක් බවට පත් කෙරුණා. ඒකබද්ධ විපක්ෂයේ මංත්‍රීවරුන් කිසිවකු විරුද්ධ නොවූ ඒකමතික යෝජනාවක් මගින් මෙහෙයුම් කමිටුවක් පත් කෙරුණා. ‍ඒකාබද්ධ විපක්ෂයේ ඔබත් එම මෙහෙයුම් කමිටු රුස්වීම් වලට සහභාගි වුණා. ඔබ එය පිළිගත්තා. ඒකාබද්ධ විපක්ෂයේ ඔබත් එම ක්‍රියාදාමය සමඟ ඉදිරියට ගියා. දැන් හදිසියේම මහින්ද රාජපක්ෂ මහතා කියනවා ‘ ජනතාව පරිස්සම් නූනොත් පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ ඊළාමය පිබිදෙයි’ කියා.

ගරු කතානායකතුමනි. මට තොරතුරු තිබෙනවා, මෙම මතය රටෙහි අහිංසක සිංහල ජනතාව අතරට ගෙන ගිය බවට. ඔවුන්ට මෙසේ කිව්වා.‘ ඔබ මෙම මැතිවරණයේදී ආණ්ඩුවට හෝ එජාපයට ජන්දය දුන්නොත් එහි විපාකය වන්නේ ඊළාමය ඇතිවීමයි’ ‘ඔවුන්ට ජන්දය දෙන්න එපා. නෙළුම් පොහොට්ටුවට ජන්දය දෙන්න’.

මට දැන ගන්නට ලැබී තිබෙන්නේ මෙම ප්‍රචාරය සිංහල දකුණෙහි ගම්බද සියලු පන්සල් හරහා ප්‍රබල ලෙස ගෙන ගිය බවයි. එය අවාසනාවක් බවයි මා හිතන්නේ. මට අවශ්‍යයි වාර්තා කරන්න, අපේ පක්ෂයේ මැතිවරණ ප්‍රකාශණයෙහි අප කතා කළේ නොබෙදුණූ, බෙදිය නොහැකි, තනි රටක් තුළ දේශපාලන විසඳුමක් ලබා ගැනීම වෙනුවෙන් බව.

උතුරු නැගෙනහිර කිසිම තැනක රට බෙදීම සඳහා වූ දේශපාලන ප්‍රචාරයක් තිබුණේ නැහැ.අප කතා කළේ අපේ ජනයාට පිළිගත හැකි, යුක්තිගරුක, පුළුල් බලය බෙදා හැරීමක් සහිත එක්සත්, නොබෙදුණූ, නොබෙදිය හැකි රටක් තුළ දේශපාලන විසඳුමක් ගැනයි.

ඒ තමයි අප අපේ සියළු පෙදෙසේහි  අප කර ගෙන ගිය ප්‍රචාරය. ඉදින් ජනාධිපති රාජපක්ෂ මෙම මැතිවරණයෙන් පසු ඊළාමයක් ඇති වනු ඇතැයි කියන්නේ මොන කෙංගිඩියකටද? මේ වනාහී දකුණෙහි ජනයා, දකුණෙහි අහිංසක සිංහල ජනයා රැවටීමක් පමණක් නොවෙයි. හැමෝම රැවටීමක්. තමන්මත් රවටා ගැනීමක්.

මා කැමැතියි මෙය වාර්තාගත කරන්න. මන්ද කියනවා නම් මට අවශ්‍යයි හැම දෙනාම දැන ගන්න, මේ වනාහි ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෙන ගිය  ද්වේශ සහගත, දුෂ්ඨ, වංචාකාරී බොරු ප්‍රචාරයක් බව‍. ඔබ මේ න්‍යාය පත්‍රය දිගටම ගෙන ගියහොත්, මා ඔබට කියන්නේ ඊළාමය බිහිවනු ඇත්තේ අප තුරෙන් නොව ඔබේ නෙළුම් පොහොට්ටුවෙන් බව‍යි. ඔබේ නෙළුම් පෙහොට්ටුව ඊළාමයක් බවට විකසිත වේවි. ඒක තමයි වෙන්න තියෙන්නේ.

ඒ නිසා, රාජපක්ෂ මහතාණෙනි, කරුණාකර බොරු ප්‍රචාර මගින් ලාභ දේශපාලන වාසි ලබා ගැනීමට ඇති පෙරේතකම අත්හරින්න.

© SLB

(දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර්. සම්පන්දන් පසුගිය 19වන දින පැවැති පාර්ලිමේන්තු විවාදයේදී කළ කතාවෙහි දල පරිවර්ථනයකි.)

 

 

 

Archive

Latest news

Related news