පලාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව සන්ධාන ආණ්ඩුව කිසියම් පසුබෑමකට ලක් වී ඇති බව ඉතා පැහැදිළි ය. සන්ධාන ආණ්ඩුව මෙලෙස පසුබා ඇත්තේ 2015 ජනවාරි 08 පොරොන්දුවලට අනුව කිසියම් ප්‍රමාණයකට ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ සිදුකර තිබියදී ය. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අමතරව තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම ඇතුලූ ධනාත්මක වෙනස්කම් ගණනාවක් එම ප්‍රතිසංස්කරණවලට ඇතුලත් වේ.
ඒ අතරම කල් යෑමේ දී ජනවාරි 8 පොදු න්‍යාය පත්‍රය පසෙක තබා තම පක්ෂවල න්‍යාය පත්‍රයන්ට අමතරව ජනාධිපතිවරයා හා අගමැතිවරයා තම අනාගත පෞද්ගලික සැලසුම්වලට අනුව වැඩකළ බව ද නොරහසකි. රාජපක්ෂ පාලනය තුළ වංචා හා අපරාධවලට සම්බන්ධ සමහර සංඝයා වහන්සේලා, හමුදාවේ ඇතැම් කොටස් සහ ඇතැම් රාජ්‍ය නිලධාරින් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහනශීලි විය. අගමැතිවරයා ද දූෂණ හා අපරාධ සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල වෙත දැක්වූයේ සහනශිලී ප්‍රතිපත්තියකි. ඒ අනුව රාජපක්ෂ පාලනයේ වංචා, දූෂණ හා අපරාධවලට සම්බන්ධවූවන් නීතිය ඉදිරියට පමුණුවා වැරදි කරුවන්ට දඬුවම් පැමිණවීම වෙනුවට ජනවාරි 8 පරාජය කළ පිරිස් සමග ඩීල් දැමීම මේ සැළසුම්වල කොටසක් වූ බව පෙනී යයි. ජනතාව විසින් පරාජයට පත්කරන ලද දූෂිතයින් සහ අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවා අඩපන කිරීම බලයට පත්වන ආණ්ඩුවක ප්‍රධානතම වගකීමක් වේ.
නීතියේ පාලනයක් හරි ආකාරයට ස්ථාපිත නොකිරීම සන්ධාන ආණ්ඩුවේ මේ පසුබැසීමට ප්‍රථම හේතුව බව මේ අනුව සැළකිය හැක.
අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ආර්ථීක වැඩපිළිවෙලට අනුව ඉදිරිපත්වන පනත් කෙටුම්පත් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් විවේචනයට ලක්වීම ද සුලභ සිද්ධියකි. අභ්‍යන්තරයේ කළ යුතු විවේචන එළියේ කෙරුණා පමණක් නොව ඇතැම් විවේචන පිළිගතහැකි මට්ටමේ ඒවා ද නොවී ය. ඒකාබද්ධ විපක්ෂය එම විවේචනවලට උඩගෙඩි දුන්නා පමණක් නොව ඇතැම් අවස්ථාවල ඔවුනගේ බලවේග වීදිවලට කැඳවීමට ද වග බලාගත්හ. සාමූහික වගකීමක් නොතිබුණු තැනක ආර්ථීක වැඩපිලිවෙලක් ක්‍රියාවට නැගීමට නොහැකි බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ අනුව රාජපක්ෂ සමාගම ණය උගුලක හිරකළ රට එයින් ගලවා ගැනීමට අමතරව දෙන ලද සීමාවන් තුළ දෙපාර්ශවයට එකගවිය හැකි ආර්ථීක වැඩපිළිවෙලක් සකස් නොකරගැනීම ද ආණ්ඩුවේ පසුබැසිමට දෙවැනි හේතුව ලෙස සැළකිය හැක.
බැඳුම්කර සිද්ධිය ආණ්ඩුවේ පසුබැසීමට හේතු වූ තුන්වෙනි කාරණාව ය. මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධ ප්‍රශ්නය මතු වූයේ 2015 අගෝස්තු මැතිවරණයට පෙර ය. අගමැතිවරයා එය සැළකිල්ලට නොගත්තා පමණක් නොව මහබැංකු අධිපතිවරයා ආරක්ෂාකරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ය. එය ජනාධිපති කොමිසමක් මගින් විමර්ශනය කිරිම දක්වා දුරදිග ගිය අතර රාජපක්ෂ ආණ්ඩුවේ දූෂිතයින් කළ වංචාවන් යටපත් වීමට තරම් මහබැංකු බැඳුම්කර සිද්ධිය ප්‍රභල විය. පලාත් පාලන මැතිවරණයේ දී බැඳුම්කර සිද්ධිය ප්‍රධාන වාද කරුණක් වූවා පමණක් නොව තම ආණ්ඩුවේ පාර්ශව කරුවා වූ එක්සත් ජාතික පක්ෂයට එරෙහි ප්‍රධාන අවිය ලෙස එම සිද්ධිය ජනාධිපතිවරයා යොදාගත්තේ ය.
“ඌරන් කැකුණ තලනවිට හබන් කුකුළන්ට මගුල් “ යන කියමනට අනුව ආණ්ඩුවේ නායකයින් දෙදෙනා ඔවුනොවුන්ට එරෙහිව ගෙනගිය මැතිවරණ ව්‍යාපාරය රාජපක්ෂ ප්‍රමුඛ දූෂිත ඒකාබද්ධ විපක්ෂය ශක්තිමත් කළේ ය. මේ අනුව ජනවාරි 08 සමාජ ගිවිසුමට එරෙහිවු නායකයින් දෙපොලගේ මේ උපායන් රාජපක්ෂ නායකත්වය දෙන ෆැසිස්ට් මාදිලියේ ජාතිවාදි බලවේග ඉදිරියට පැමිණීමට හේතුවී තිබේ. මේ සියලූ අවාසිදායක තත්වයන් හමුවේ එක් රිදි රේඛාවක් පෙනෙන්නට ඇත. රාජපක්ෂ ප්‍රමුඛ දූෂිත බලවේගය පළාත් පාලන මැතිවරණයෙන් ඉදිරියට පැමිණ ඇති නමුත් ජනවාරි 08 ජයග්‍රහණයට උරදුන් සියලූ බලවේග එක්ව ලබාගත් ජනවරම නිශේධ කිරීමට තරම් වරමක් මේ දුෂ්ඨ බලවේගයන්ට ලබාගත හැකිවූයේ නැත.
ආණ්ඩුවට සහ විධායකයට ජනතාව රතු එළියක් දල්වා ඇතත් රාජපක්ෂ බලවේගය නැවත බලයේ පිහිටුවීමට ජනතාව සූදානම් නැතිබව මේ අනුව ඉතා පැහැදිළිය. ජනවාරි 08 දුන් පොරොන්දු කඩ නොකර, මෙතෙක් කළ වැරදි නිවැරදි කරගනිමින් රාජපක්ෂ ප්‍රමුඛ දුෂිත බලවේගය පරාජය කිරීමට ආණ්ඩුවේ නායකයින් දැන්වත් එකට ක්‍රියාකළ යුතු බව අපි අවධාරණය කර සිටිමු.
ලාල් විජේනායක
ප්‍රධාන ලේකම්
වාමාංශික එක්සත් පෙරමුණ