Friday, May 3, 2024

සම්මුති ආණ්ඩුව බිඳ දමා යළි පවුල් අඥාදායකත්වයට පාර කැපීය යුතුද? – සුනන්ද දේශප්‍රිය

 

පළාත් පාලන මැතිවරණයෙන් එජාපය ලද පරාජයට මූලිකම හේතුව බැඳුම්කර මග‍ඩිය සහ රනිල් වික්‍රමසිංහගේ කපටි සහ උපාමාරු දේශපාලනයයි.

සමස්තයක් ආණ්ඩුවම 2015 ජනවාරි පෙරළියට මඟ කැපූ මහජන බලවේග අමතක කර බලයේ රසවිදීමට පටන් ගත්හ. එම සිවිල් බලවේග ආණ්ඩුව සහමුලින්ම වාගේ අමතක කර දමන ලදී. එයද පරාජයට හේතු විය.

සංඛ්‍යා ලේඛණ විජ්ජා කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයෙන් එජාපය ලබා ඇත්තේ ලොකු  පරාජයකි. ශ්‍රීලනිපය දෙකට බෙදා නිකම්ම ජය ලැබිය හැකියැයි රනිල් වික්‍රමසිංහ කල්පනා කලේ ඔහුගේ උපාමාරු දේශපාලනය අනුවය.

ආණඩු බලවේගයන්ගේ පරාජයට මුලික හේතුව වුයේද රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුකරණයේ තිබූ කැපි පෙනෙන දුර්වලතාවයන් බවට කැරෙන විවේචනයෙහිද ඇත්තක් නැතුවා නොවේ.

එමෙන්ම සිරිසේනගේ මැතිවරණ ව්‍යාපාරයේ අවසන් දින ගණනාව පුරා  එජාපයට පහර ගැසීම රාජපක්ෂ ශක්තිමත් කිරීමක් බවට ද පත්විය.

පරාජයන් හමුවෙහි වගකීම බාර ගැනීමත් නායකත්වය වෙනත් අයකුට බාරදීමත් ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියට අයත් නැත. රනිල් වික්‍රමසිංහ ඒ අතින් කප් ගසා තිබේ.

දැන් රනිල් වික්‍රමසිංහගේ අගමැතිකම දිගටම පවත්වා ගෙන යාම පි‍නිස සම්මුති ආණ්ඩුවෙන් ඉවත්වීමට යූඇන්පිය තීරණය කර ඇතැයි කියනු ලැබේ.

සම්මුති ආ‍ණ්ඩුවෙන් එජාපය ඉවත්වීම යනු 2015 ජනවාරියෙහි මෙරට බහුතර ජනයා විසින් ලබා දෙන ලද වරම අහෝසි කිරීමකි. තනි එජාප ආණ්ඩුවක අනීවාර්ය ප්‍රතිපලය වනු ඇත්තේ 2015 ජනවාරි පෙරළිය ආපස්සට හරවා 2020 හිදී රාජපක්ෂ පාලනයකට මඟ කැපීමයි.

තනි එජාප ආණ්ඩුවක න්‍යාය පත්‍රය වනු ඇත්තේ සංහිදියාව සහ ප්‍රජාතන්ත්‍රවාදය නොව නව ලිබරල්වාදී ජනතා විරෝධී පිළිවෙත් ඉදිරියට ගෙන යාමයි.

එජාපයට පිහිටුවිය හැක්කේ සුළුතර ආණ්ඩුවකි. එමෙන්ම එවැනි තනි ආණ්ඩුවක අමාත්‍ය මංඩළය 30කට සිමා වෙයි. සිරිසේන පාර්ශවයෙන්  එජාපයට එකතු වීමට සූදානම් ඇමැතිවරුන් පක්ෂයෙන් ඉල්ලා අස්වන්නේ නැති නම් ඔවුන්ට ඇමැතිතනතුරු ලැබෙන්නේ ද නැත.

දෙමළ සන්ධානය එජාප ආණ්ඩුවට එක්වනු ඇතැයි සිතීම දුෂ්කරය. රනිල්- සිරිසේන ආණ්ඩුවට හේත්තු වී සිටීම නිසා දැනටමත් එහි ජන පදනම දුර්වල වී තිබේ. අනෙත් අතට පවතින දේශපාලන තත්වය යටතේ දෙමළ සන්ධානය සමඟ එකතුවකට යෑම සිංහල දේශපාලන පක්ෂවලට සිය දිවි නසා ගැනීමක් වනු ඇත.

රාජපක්ෂ ආඥාදායකත්වට එරෙහි ජනතා බලවේග  මේ අවස්ථාවෙහි මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය නම් සම්මුති ආණ්ඩුව රැකගැනීමයි. 2015 ජනවාරියෙහි එජාප ආණ්ඩුවක් සැදීමට ජන වරමක් ලැබුණේ නැත.

එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා නොවී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ නම් ඉඩ තිබුණේ ඔහු පරදින්නටය.

අවම වශයෙන් 2015 ජනවාරි පෙරළියේ දිනා ගැනීම් තහවුරු කොට දූෂිතයින් සිරගත කිරීමට නම් සම්මුති ආණ්ඩුව පවත්වා ගැනීම අත්‍යවශය. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත්වීම අවශය නම් එය කල යුතුමය. එපමණක් නොව මේතාක් දූෂකයින්  සහ භීෂකයින් ආරක්ෂා කළ නීතිය සහ සාමය පිළිබද ඇමැතිවරයා ඉවත් කළ යුතුමය. එමෙන්ම සිරිසේන පාර්ශවයද වෙනසකට ඇති සූදානම පෙන්විය යුතුය.

මේ අවස්ථාවෙහි තනි යූඇන්පී ආණ්ඩුවක් පිහිටුවීමට දැරෙන උත්සාහයන් පරාජය කිරීම 2015 ජනවාරි වෙනසට උරදුන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ගේ වගකීම සහ යුතුකම වේ.

Archive

Latest news

Related news