Friday, May 3, 2024

ජන්දයට පෙර සිතා බැලීමට කරුණූ ශ්‍රී ලංකා විද්‍යාර්ථින්ගේ හා වෘත්තිකයින්ගේ සංගමය පෙන්වා දෙයි

එලඹෙන පළාත් පාලන මැතිවරණයෙහිදී ජන්දය ප්‍රකාශ කිරීම සඳහා පුරවැසියන් විසින් කල්පනාවට ගත යුතු වැදගත් කරුණූ ගණනාවක් පෙන්වා දෙමින් ශ්‍රී ලංකා විද්‍යාර්ථින්ගේ හා වෘත්තිකයින්ගේ සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළවේ.

පළාත්පාලන මැතිවරණය — 2018
මාධ්‍ය නිවේදනය
ශ්‍රී ලංකා විද්‍යාර්ථින්ගේ හා වෘත්තිකයින්ගේ සංගමය

ශ්‍රී ලාංකේය ඡන්ද දායක රටවැසියනි,

අප රටේ පළාත්පාලන ආයතන ත්‍රිත්වයට අයත්වන කාර්යයන් හා බලතල නීතිගත වී ඇති මහනගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත හා ප්‍රාදේශීය සභා පනතට අනුව පළාත් පාලන මැතිවරණ වලින් බලාපොරොත්තු වන්නේ අදාල බල ප්‍රදේශයේ වැසියන්ගේ එදිනෙදා ජීවිතයේ විධිමත්බව හා සුවපහසුව සඳහා අත්‍යාවශ්‍ය වන ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ, කසල නල හා වැසි ජලාපවහන පද්ධති ඉදිකිරීම හා නඩත්තුව ආදී මූලික පහසුකම් හා උපයෝගීතාවන් අදාල ප්‍රදේශවාසීන්හට නිසි ලෙස ලබා දීම සඳහා මහජන නියෝජිතයින්ගෙන් සමන්විත ආයතන වන පළාත්පාලන සභා ස්ථාපිත කිරීමයි. එම අරමුණ පෙරදැරි කරගෙන පැවැත්වෙන මෙම පළාත්පාලන මැතිවරණයේදී රටපුරා ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව හුවා දක්වමින් මෙම මැතිවරණයේ පිළිගත් අරමුණට පටහැනිව මුළු රටේම පාලනය වෙනස් කිරීමට යම් දේශපාලන පක්ෂයට හැකි වේයයි යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ප්‍රචාරය කරන්නේ නම් එය රටේ නීතියටත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායටත් දේශපාලන සදාචාරයටත් පටහැනි අප්‍රායෝගික, මනඃකල්පිත, කිසිසේත් මුදුන් පමුණවා ගත නොහැකි හා ආත්මාර්ථකාමී අරමුණකි. එබදු ප්‍රචාර වලින් නොමඟ නොයන ලෙස අපි ඔබට ආයාචනා කරමු.

ජන්දය ප්‍රතික්ෂේප කරන්න එපා!

පළාත්පාලන ආයතන සඳහා මහජන ඡන්දයෙන් තේරී පත්වීමට නියමිත සභිකයින් සංඛ්‍යාව කලින් පැවැති සංඛ්‍යාවට වඩා දෙගුණයකින් පමණ වැඩිවීම නිසා මහජනතාවට දැරීමට සිදුවන වැය බර පිළිබඳ විරෝධය පල කිරීම සඳහා හෝ වෙනත් ඕනෑම හේතුවක් මුල්කර ගෙන ඡන්දය දීමෙන් වැලකී සිටීමට හෝ ඡන්ද පත්‍රිකාව කටුගා අවලංගු කිරීමට යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් ඡන්දදායකයින් හට උපදෙස් දෙනු ලබන්නේ නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවකි. එපමණක් නොව එබදු ක්‍රියාවන් නිසා වාසි සැලසෙන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධීන්ටය. අතීතයේ පැවති අන්ත දූෂිත මැතිවරණ රටාවෙන් මිදී නිදහස් හා සාධාරණ ඡන්ද ප්‍රතිඵල තහවුරු වීමේ මෑතකාලීන අත්දැකීම් ආපසු කැරකැවීමේ සියළු කුමන්ත්‍රණ වලට ගොදුරු නොවීමට ඡන්දදායකයා බුද්ධිමත්වීම අද අවශ්‍යව ඇත. එනිසා ඡන්ද පත්‍රිකා කටුගා දැමීමේ උපදෙස් තරයේ ප්‍රතික්‍ෂේප කරන ලෙස අපි ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

සුදුස්සා තේරීමට පක්ෂය ගැනද බලන්න

කුමන පක්‍ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක සිටින යහපත් හා සුදුසු අපේක්‍ෂකයින් හදුනාගෙන ඔවුන්ට ඡන්දය ලබා දීම මෙම පළාත්පාලන මැතිවරණයේ දී ගත යුතු වඩාත් නිවැරදි තීරණයයයි මතයක්ද ප්‍රචාරය වෙමින් පවතී. මෙයද මුළුමනින්ම වැරදි හා නොමඟ යවන සුළු අදහසකි. මන්ද, කොතරම් සුදුසු සහ යහපත් ඡන්ද අපේක්‍ෂකයෙක් හෝ අපේක්‍ෂිකාවක් වුවත් ඔහු හෝ ඇය අයත්වන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පක්ෂයකට හෝ ස්වාධීන දේශපාලන කණ්ඩායමකට නම් එමඟින් එම ප්‍රජාතන්ත්‍ර විරෝධී කණ්ඩායම ශක්තිමත් වේ. තවද ඔබ මෙවර ඡන්දය දෙනුයේ ඡන්ද ලකුණකට නිසා ඒ මත පළාත්පාලන ආයතනයට පත් කරන මුළු මන්ත්‍රී වරුන්ගෙන් 40% ක් නම් කිරීමේ අයිතියද ඔබගේ ඡන්දය ලබන පක්‍ෂයට හෝ කණ්ඩායමට ඔබ ලබා දේ. එනිසා පුද්ගලයාගේ සුදුසුකමට වඩා පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ සුදුසුකමට ප්‍රමුඛතාව ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු. ඒ අනුව ඔබ ඡන්දය ලබා දීම වඩාම සුදුසු වනුයේ ඔබ කැමති පක්ෂයෙන් හෝ කණ්ඩායමෙන් ඔබේ කොට්ඨාශයට ඉදිරිපත් වී සිටින අපේක්‍ෂකයාට හෝ අපේක්‍ෂිකාවටය. කෙසේ වුවද ඔබ කැමති පක්ෂයෙන් හෝ කණ්ඩායමෙන් කොට්ඨාශයට නම් කර ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, දූෂිත, අශීලාචාර හෝ අවස්ථාවාදී අයෙකු නම් ඔබගේ යුතු කම වනුයේ ඡන්දය කටුගෑම නොව ඔහු පරාජය කිරීමය.

දූෂිතයින් සහ දූෂිත දේශපාලනය පරාජය කරන්න

අල්ලස, දූෂණය, ඥාති හා මිත්‍ර සංග්‍රහය, පවුල්වාදය, නාස්තිය, බියවැද්දීම්, අයුතු බලපෑම් හා හිංසනය රටපුරා ආයතන ගතව පැවැති අතීතයක් අප රටේ පැවති අතර පළාත්පාලන ආයතනද ඒ ඔස්සේ අන්තයටම පිරීහී තිබුණි. මෙයට හේතු වූයේ ඡන්ද දායකයින් විසින් නුසුදුසු පුද්ගලයින් පළාත්පාලන ආයතන සඳහා සභිකයින් වශයෙන් තෝරාපත් කර එවීම පමණක් නොවේ. තෝරාපත් කර එවනු ලබන සභිකයින් අයත් වූ දේශපාලන පක්ෂයේ දේශපාලන සංස්කෘතිය පළාත්පාලන ආයතන වල පරිහානියට සෘජුව හා තීරණාත්මකව බලපා තිබීමයි. ඒ කෙසේද යත්, පළාත්පාලන ආයතන වල වගකිව යුත්තන් දූෂණයට හා අල්ලස් සඳහා දිරි ගන්වන තත්ත්වයක් ඔවුන් අයත්වන දේශපාලන පක්ෂ තුළත් එම පක්ෂ වල නායකයින් හොබවන බල අධිකාරයන් තුළත් ඉහල මට්ටමෙන් පැවතී තිබීමයි. එම අශීලාචාර දේශපාලන සංස්කෘතිය පලාත්පාලන ආයතනවලටද බලපෑවේය. එමනිසා ඔබේ ඡන්දය ඉල්ලා සිටින අපේක්‍ෂකයින් අයත්වන දේශපාලන පක්‍ෂයද ස්වාධීන කණ්ඩායම පිටුපස සිටින දේශපාලන පක්‍ෂයද පිළිබඳව විමසිලිමත් වනු මැනවි.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතාසංස්කරණ රැක ගමු! 

මියැදෙමින් පැවති ප්‍රජාතන්ත්‍රවාදයේ අභිලාශයන් වන නීතියේ ආධිපත්‍යය, නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමය තවතවත් තහවුරුව, බියෙන් සැකයෙන් තොරව ඡීවත්වීමේ අයිතිය, උචිතම පරිදි ව්‍යවස්ථාව සැකසීම, මාධ්‍ය නිදහස, රාජ්‍ය තොරතුරු දැන ගැනීමේ අයිතිය, රාජ්‍ය වගකීම, ජනවාර්ගික හා ආගමික සමගිය හා සංහිදියාව ප්‍රවර්ධනය, අල්ලසද, දූෂණයද, ඥාති හා මිත්‍ර සංග්‍රහයද, රාජ්‍ය අකාර්යක්‍ෂමතාවද, භීෂණය හා නාස්තියද පිටු දැකීම, ලෝක ප්‍රජාවගේ පිළිගැනීම හා ගෞරවය දිනා ගැනීම, දේශපාලන පලිගැනීම්ද, දේශපාලන ඝාතනද, හා අතුරුදහන් කිරීම් වලටද තිත තැබීම වැනි මහඟු ප්‍රාර්ථනයන් ඉදිරියට ගෙන යැමට බාධාකාරී වන දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට මෙම පළාත්පාලන මැතිවරණයේ දී වැඩි ජන ප්‍රසාදයක් ලැබුනහොත් එය ජනතාවගේ පරාජයක්ම වන්නේ ය. ඒ පිළිබඳව ඔබේ අවධානය යෙමු කරනු මැනවි.
මෙම පළාත්පාලන මැතිවරණයේ දී ප්‍රජාතන්ත්‍රවාදයේත්, සමාජ සාධාරණත්වයේත්, යහපත් ආණ්ඩුකරණයේ සියළු ප්‍රතිපත්තිමය මූල ධර්මයන්ගේත් නාමයෙන් නිවැරදි හා කාලෝචිත තීන්දුවකට එලඹීම සඳහා අවශ්‍ය ධෛර්යය, අධිෂ්ඨානය හා සත්‍යාවබෝධය ලබා ගන්නා ලෙස අපි අවසාන වශයෙන් ඔබට ආයාචනා කරමු.

– ජගත් සිරිවර්ධන

Archive

Latest news

Related news