Monday, May 20, 2024

රවී මුල්කර ගනිමින් මෛත්‍රී හා මහින්ද කියන කතාවේ ඇත්ත – සුනිල් ජයසේකර

දේශපාලන වේදිකාව තරම් වාද විවාද සඳහා පසුබිමක් නිර්මාණය කරන අන් තැනක් නොමැති තරම්ය. එය ලංකාවට හෝ තවත් එක් රටකට පමණක් සීමා වන දෙයක් නොවේ. මුළු මහත් ලෝකයටම අදාළ වන තත්ත්වයකි. එහෙත් රටක රාජ්‍ය නායකයා සහ හිටපු රාජ්‍ය නායකයා අතර නිර්මාණය වන විවාදයක් ලෝකයේ ඕනෑම රටකට අදාළව වුව ද සුවිශේෂී වන්නේය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට අදාළව සැලකීමේදී අපේ අතීත පාර්ලිමේන්තුව තුළ එවැනි අවස්ථා නිර්මාණය වී ඇති බව දැකගත හැකි වුවත් ශ්‍රී ලංකාවට විධායක ජනාධිපති ධුරය හඳුන්වාදීමෙන් පසු පාර්ලිමේන්තුව තුළ එවැනි අවස්ථා නිර්මාණය වීම වැළකී ගියේය.
එහෙත් පසුගිය දිනවල මේ රටේ දේශපාලන වේදිකාව එවැනි දුර්ලභ අවස්ථාවක් නිර්මාණය කර තිබේ. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකර ඇති අදහස් දැක්වීමකට හිටපු  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පිළිතුරු දෙන්නට යාමෙනි. රටක දේශපාලන සාහිත්‍යයෙහි විචිත්‍රභාවයට මෙන්ම දේශපාලනඥයින්ගේ හෘද සාක්ෂිය මැණ බැලීම සඳහා ද එවැනි අවස්ථා අත්‍යන්තයෙන්ම තීරණාත්මක හා වැදගත්වනවා විය හැකි වුවත් අප රටේ ජනමාධ්‍ය මේ කරුණු පිළිබඳව එතරම් අවධානයක් යොමු කර ඇති ආකාරයක් දැකගත නොහැක. එහෙත් ඒ වෙනුවට නව මාධ්‍ය ඒ කෙරෙහි යොමු කර ඇති අවධානය තුළ මේ රටේ සාමාන්‍ය ජනතාව ඊට දක්වා ඇති ප්‍රතිචාර සැලකීමේදී ඒ පිළිබඳව සුවිශේෂී උනන්දුවක් ඇති බවත් පෙනෙන්නට තිබේ.

නිමිත්ත

මේ කියන විවාදයට නිමිත්ත සපයා ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. එය ද මෑත කාලයේ ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ මහත් විවාදයට තුඩුදී ඇති දූෂණයට එරෙහි දේශපාලන හා සමාජ ක්‍රියාවලිය පදනම් කර ගනිමිනි. මහබැංකු බැඳුම්කර වංචාව පදනම් කර ගනිමින් ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග තුළ අද වනවිට මේ රටේ විවිධ පාර්ශ්ව ඒ පිළිබඳ බලවත් අවධානයක් යොමුකර ඇති අතර එකී කරුණ මුල්කර ගනිම්න් රටේ සෑම පාර්ශවයක්ම ද ජනමාධ්‍ය ඇතුළු විවිධ දේශපාලන කණ්ඩායම් ද පුරවැසි ප්‍රජාව ද විවිධාකාරයෙන් තම අදහස් සමාජගත කරමින් සිටිති.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධ වේදිකාවේ දී ඊට අදාළව සෘජුවම අදහස් දක්වමින් සිටින අතර ඒ තුළ ඔහු අවධාරණය කරන ප්‍රබල කරුණක් තිබේ. එනම් දූෂණයට එරෙහිව තමන් විසින් ගෙන යන ක්‍රියාදාමයට මේ රටේ ඇතැම් දේශපාලන බලවේග නියමින් හා අනියමින් අකුල් හෙළනා බවය. ඔහු ඒ සඳහා ගෙන හැර පෑ එක් ප්‍රබල උදාහරණයක් වූයේ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මුල් කර ගනිමින් ගනු ලැබූ ඇතැම් ක්‍රියාමාර්ගයන්ට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රබලයන් බාධාකරන බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී උදාහරණයක් ලෙස පෙන්වා දුන්නේ රවී කරුණානායක මහතාට එරෙහිව පසුගිය කාලයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනාවේ දී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව තුළ තම අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා පමණක් නොව රවී කරුණානායක මහතා ආරක්ෂා කරමින් ඔහුට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ද වැළකී සිටිය බවයි. ඒ තුළ ජනාධිපතිවරයා මතුකර ඇති ප්‍රබලතම කරුණ වන්නේ අදාළ විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුව තුළ වැඩි ඡන්දයෙන් පරාජයට පත්වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා තම දුරකතනයෙන් රවි කරුණනායක මහතාට කතාකර සුබපැතුවේය යන කාරණයයි.

ප්‍රතිචාරය

පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු දී ඇත්තේ එම චෝදනාවටය. මහින්ද රාජපක්ෂ මහතා එහිදී තමන් රවී කරුණානායක මහතාට සුබපැතුවේය යන කාරණය ප්‍රතික්ෂේප කර නැතත් රවී කරුණනායක මහතාට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය විසින් හෝ තමන් මුල් වී හෝ එවැනි විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් නොවූ බව අවධාරණය කර තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට පිළිතුරු දී ඇත්තේ තම දබරැඟිල්ල හිස දෙසට යොමු කරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ එතැන හොඳ නැතැයි පෙන්වා දෙමිනි. ඒ තුළ ජනාධිපතිවරයා අදහස් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට අතීතයේ සිදුවූ බොහෝ දේවල් අමතක වී ඇති බවක් විය හැකිය. ඒ කෙසේ වුවත් රටේ හිටපු රාජ්‍ය නායකයා සහ වර්තමාන රාජ්‍ය නායකයා ප්‍රකාශ කරන මේ කාරණයට අදාළ සත්‍යය කුමක්ද යන්න තේරුම් බේරුම්කර ගැනීම රටේ පුරවැසියන්ට මහත් වැඩදායකය. මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිර්මාණය වී ඇති මෙම විවාදය රටට වැදගත් වන්නේ ඒ අනුවය.

සද්භාවය

මෙහිදී රටේ සාමාන්‍ය පුරවැසියන්ට හැඟෙන වැදගත්ම ප්‍රශ්නය වන්නේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණනායක මහතා ඉලක්ක කර ගනිමින් වර්තමාන පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වූවේද නැද්ද යන්නය. එවැන්නක් සිදුවී ඇත්නම් එකී විශ්වාස භංග යෝජනාව සඳහා ඒකාබද්ධ විපක්ෂය ලබාදී ඇති දායකත්වය කුමක්ද යන්නයි. එමෙන්ම එවැනි විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම තුළ මහින්ද රාජපක්ෂ මහතා හෝ ඒකාබද්ධ විපක්ෂය සද්භාවයෙන් යුතුව කටයුතු කර තිබේ ද යන්නය. එම කරුණු පැහැදිලිකර ගැනීම තුළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සඳහන් කරන මහින්ද රාජපක්ෂ මහතා රවී කරුණානයක මහතාට සුබපැතුවේ යැයි කියන කාරණයෙහි ද සත්‍ය අසත්‍ය තාවය තේරුම් ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.

එහිදී අවධානයට යොමුවිය යුතු වැදගත් කරුණක් තිබේ. එනම් 2016 ජුනි මස 04 වනදා බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකදි පළකරන ලද අදහසකි. එහිදී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත රවී කරුණනායක මුදල් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළ බවයි. ඒ අනුව තමන් විසින් සකස්කරන ලද එකී විශ්වාස භංග යෝජනා කෙටුම්පත මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කර තිබිණි. එපමණක්ද නොව නියමිත පරිදි එකී විශ්වාස භංග යෝජනාව 2016 ජුනි මස 09 වනදා පාර්ලිමෙන්තුව තුළ විවාදයට ගනු ලැබූ අවස්ථාවේදී එම විවාදයට එක්වෙමින් අමාත්‍ය සරත් අමුණුගම මහතා පළකරන අදහසක් ද සැලකිල්ලට ගත යුතුව තිබේ. එහිදි සරත් අමුණුගම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදී රටේ ආර්ථිකයට අදාළව යම් මැදිහත්වීමක් දැක්වූ පුද්ගලයින් කිහිපදෙනෙක් සිටින බවත් ඒ අතර තමන් ද සුළු දායකත්වයක් දක්වා ඇති පුද්ගලයෙක් වන බවය. එහෙත් රවී කරුණනායක මහතාට විශ්වාස භංග යෝජනාවක් ගෙන ආ අවස්ථාවේදී තමා පාර්ලිමේන්තු සභා ගර්භයේ සිටින නමුත් මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව තුළ දක්නට නොමැති බව ද පෙන්වා දී ඇත. ඒ තුළ සරත් අමුණුගම මහතා අවධාරණය කර ඇත්තේ රවී කරුණනායක මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව ගෙන ඒමට මහින්ද රාජපක්ෂ මහතා තම සගයන්ට උපදෙස් ලබාදී තිබුණද එය සාර්ථක කර ගැනීමේ වගකීමෙන් මහින්ද රාජපක්ෂ මහතා පැහැදිලිවම කරඇර තිබෙන බව විය හැකිය.

දායකත්වය

ඒ කෙසේ වුවත් ඉතා පැහැදිළි ලෙසම 2016 ජුනි මස 09 වන දිනයේ රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුව තුළ විවාදයට ගෙන තිබේ. චෝදනා ගණනාවක් මුල් කර ගනිමින් එම විශ්වාස භංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 37 දෙනෙකු අත්සන් කර තිබුණ ද මහින්ද රාජපක්ෂ මහතා ඊට අත්සන් කර නොතිබුණා පමණක් නොව එහිදී රවී කරුණනායක මහතාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරිමට සභා ගර්භයට පැමිණ නැත. එහි ප්‍රථිපලය වූයේ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්ද 51 ක් හා විපක්ෂව ඡන්ද 145 ක් ලැබීම තුළ පරාජයට පත්වීමය. එහිදී එකී විශ්වාස භංග යෝජනාවට මහින්ද රාජපක්ෂ මහතා ලබාදී ඇති දායකත්වය මැනවින් තහවුරු කරන ප්‍රකාශයක් රවී කරුණනායක මහතා විසින් ද සිදු කර තිබේ. ඒ එදිනම සවස පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. එහිදී රවී කරුණානායක මහතා ප්‍රකාශ කරන්නේ මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ හා විමල් වීරවංශ වැනි මන්ත්‍රීවරුන් අත්සන් නොකළ හා ඡන්දය නොදුන් විශ්වාස භංග යෝජනාව පරාජයට පත්කරන්නට තමන්ට හැකිවූ බවයි.

මේ සමස්ත ක්‍රියාවලිය මැනවින් අධ්‍යයනය කිරීමේදී රවි කරුණනායක මහතාට අදාළව ඒකාබද්ධ විපක්ෂය පමණක් නොව මහින්ද රාජපක්ෂ මහතා ද ගෙන ඇති ක්‍රියාමාර්ගයන්හි සද්භාවයේ තරම මැනවින් තේරුම් ගත හැකිය. එම කරුණ මුල්කර ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරන කාරණය මෙන්ම ඊට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබාදී ඇති පිළිතුරෙහි සත්‍ය අසත්‍ය භාවය ද අවබෝධ කරගත හැකිය. ඒ සියල්ලටම වඩා මේ රටේ දේශපාලනයේ නියැලෙන දේශපාලන කණ්ඩායම් මෙන්ම ඊට නායකත්වය දෙන පුද්ගලයින්ගේ හෘද සාක්ෂිය තේරුම් ගැනීමට හැකියාවක් ඒ තුළ ලබාගත හැකිය.

Archive

Latest news

Related news