Sunday, April 28, 2024

බ්‍රිතාන්‍ය ධනකුවේර සාදයකදී ස්ත්‍රීන්ට ලිංගික හිංසා! 

ලන්ඩන් නගරය මැද පිහිටි ‘ඩෝචෙස්ටර්’ (Dorchester)අති සුඛෝපභෝගී හෝටලයේ පසුගියදා පැවැත්වුන ‘පිරිමින්ට පමණක්’ සීමා කෙරුණ සාදයකට සහභාගී වූ ඇමතිවරයකුට බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය විසින් දැඩි ලෙස දෝෂාරෝපණය කරනු ලැබ ඇත.

එම ඇමතිවරයා ද සහභාගී වූ ‘පිරිමින්ට පමණක්’ සීමා කෙරුණ සාදයට සහභාගී වූ ධන කුවේරයන් සඳහා සංග්‍රහ කිරීම සඳහා කොට ඇඳුමින් සැරසී සිටීම අනිවාර්ය කරන ලද සත්කාරක තරුණියන් (hostesses) යොදවා තිබුණ අතර සාදය අතරවාරයේ මත්පැනින් පදම් වූ ඇතැම් පුරුෂයන් තමන්ට ලිංගික හිරිහැර කළ බව එම තරුණියෝ පවසති.

සාදය සංවිධානය කර තිබෙන්නේ ‘ද ප්‍රසිඩන්ට් ක්ලබ්'(The Presidents Club)නම් බ්‍රිතාන්‍යයේ ඉහළ සමාජය නියෝජනය කරන සංවිධානයක් විසිනි.

සාදයේ අරමුණ වී තිබෙන්නේ අරමුදලක් එක්රැස් කිරීමයි.

එම සාදයට සහභාගී වීම සම්බන්ධයෙන් අගමැති කාර්යාලයේ දෝෂ දර්ශනයට ලක්ව සිටින ළමුන් සහ පවුල් කටයුතු භාර ඇමති නදීම් ෂහාවි (NADIM ZAHAW) ප්‍රකාශයක් කරමින්, තමා එම ‘පුරුෂ සාදයට’ සහභාගී වුනත් ඉතා ඉක්මනින් එම ස්ථානයෙන් පිටව ගිය බව පවසයි.

ඔහු එසේ ප්‍රකාශ කළත් ඊට සහභාගී වීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජුලියන් ස්මිත් ඉදිරියේ කරුණු පැහැදිලි කරණ ලෙස දන්වමින් නදීම් ෂහාවි (NADIM ZAHAW) ඇමතිවරයා අගමැති කාර්යාලයට කැඳවන ලද බව වාර්තා වෙයි.

පුරුෂයන්ට පමණක් සීමා වූ සාදයට සත්කාරක කතක් ලෙස වෙස්වලා ගනිමින් ඇතුල් වූ මාධ්‍යවේදිනිය
පුරුෂයන්ට පමණක් සීමා වූ සාදයට සත්කාරක කතක් ලෙස වෙස්වලා ගනිමින් ඇතුල් වූ මාධ්‍යවේදිනිය

ඩෝචෙස්ටර් හෝටලයේ ‘පුරුෂ සාදය’ තුළ සිදුව ඇති දේවල් බාහිර ලෝකයට අනාවරණය වුණේ ‘ද ෆයිනෑන්සල් ටයිම්ස්’ පුවත්පතේ මාධ්‍යවේදිනියක් සත්කාරිකාවක් (hostesses) ලෙස වෙස් ගන්වමින් ඊට සහභාගී කරවීම මගිනි.

සාදයට සහභාගී වූ ඇතැම් අමුත්තන් ඔවුන්ට සත්කාර කිරීමේ නිරත වෙමින් සිටි තරුණියන් අතගෑම, සිප ගැනීම සහ අසභ්‍ය වචන කීම ආදී ක්‍රියා මගින් ඔවුන්ට ලිංගික හිරිහැර කරන ලද බව මැඩිසන් මැරිජ් (Madison Marriage) නම් එම මාධ්‍යවේදිනිය පවසයි.

ඇය සාදය අතරවාරයේ සිදු වූ දේවල් සවිස්තරාත්මකව අනාවරණය කරමින්, තමා ඇතුළු බොහෝ සත්කාරක තරුණියන් අමුත්තන්ට රාත්‍රි ආහාරය පිළිගන්වද්දී ලිංගික හිරිහැරවලට ගොදුරු වූ බව සඳහන් කරන්නීය.

“සායවල් ඉස්සීම්, තට්ටම ඇල්ලීම, උකුල අතගෑම, උදරය ප්‍රදේශයේ අත තැබීම සහ බලාපොරොත්තු නැති අවස්ථාවල ඉණ වටේ අත දැමීම වගේ දේවල්වලට අපි මුහුණ දුන්නා” මාධ්‍යවේදිනී මැඩිසන් මැරිජ් (Madison Marriage) බීබීසී ‘නිව්ස් නයිට්’ වැඩසටහනට ප්‍රකාශ කළාය.

සාදය සංවිධානය කළ ‘ද ප්‍රසිඩන්ට් ක්ලබ්'(The Presidents Club) නම් බ්‍රිතාන්‍ය ධනවතුන්ගේ සමාජය වසර තිහක පමණ කාලයක් ක්‍රියාත්මක වෙන සමාජ සංවිධානයකි.

මෙවැනි සාද මගින් ඔවුන් එක්රැස් කරන මුදල් රෝහල් සහ වෙනත් ශුභසාධක ආයතනවලට පිරිනමන අතර මෙහි සාකච්ඡාවට ගනු ලබන මතභේදයට තුඩු දී ඇති සාදයේදීත් පවුම් ලක්ෂ විස්සක පමණ අරමුදලක් එකතු වී ඇති බව වාර්තා වෙයි.

පුරුදු පරිදි එහි ආරාධිතයන් වී ඇත්තේ ධනවතුන්,බැංකු කරුවන්, දේශපාලනඥයන් සහ වෙනත් විවිධ ක්‍ෂේත්‍රයන්හි ප්‍රභූ මට්ටමේ වැජඹෙන්නෝ වෙති.

සාදයට සහභාගී වීම නිසා අගමැතිවරියගේ උදහසට ලක්ව සිටින ඇමතිවරයා
සාදයට සහභාගී වීම නිසා අගමැතිවරියගේ උදහසට ලක්ව සිටින ඇමතිවරයා

I

ඔවුන්ට සංග්‍රහ කිරීම සඳහා විශේෂයෙන්ම තෝරාගත් සත්කාරක කතුන්(hostesses) 130 ක් යොදාගෙන ඇති අතර ඔවුන්ට විශේෂ ඇඳුමක් ද නියම කර තිබුණි.

කළු පැහැති කොට සායක්, ඊට ගැළපෙන යට ඇඳුමක් සහ අඩි උස පාවහන් ඔවුන් සඳහා නිර්දේශ කර තිබුණ ඇඳුමයි.

මෙම සාදය ආරම්භ වීමට පෙර ඒ පිළිබඳව බාහිර ලෝකයට දැනුම් නොදෙන ලෙස සත්කාරක කතුන්(hostesses) ගිවිස්වා ගෙන තිබුණි.

බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලයීය ආරංචි මාර්ග අනුව අගමැතිනි තෙරේසා මේ එම සාදයේ තොරතුරු ඇසීමෙන් බලවත් කම්පාවට පත්ව සිටින්නීය.

“සියලු කාන්තාවන්ට සමාන ලෙස මෙන්ම විධිමත්ව සැලකිල්ලක් ලබා දීම සඳහා තවත් බොහෝ දුරක් යායුතුව ඇති බව එම සිද්ධිය මගින් පෙන්නුම් කෙරෙන” බව අගමැති කාර්යාලයේ වාර්තාවක දැක්වෙයි.

සංස්කෘතික කටයුතු භාර බ්‍රිතාන්‍ය ඇමති මැට් හැන්කොක් (Matt Hancock) ඉහත කී සාදයේ සිදුවීම් පිළිබඳව කම්පාව පළ කරමින්, ‘ද ප්‍රසිඩන්ට් ක්ලබ්'(The Presidents Club) සමාජය වසා දමනු ලැබීම වඩාත් යහපත් බව කියා සිටියේය.

කොල්ලන් විතරක් සංස්කෘතියට අපේ රටේ තැනක් නැහැ - ලේබර් මන්ත්‍රීනි ජෙස් පිලිප්
කොල්ලන් විතරක් සංස්කෘතියට අපේ රටේ තැනක් නැහැ – ලේබර් මන්ත්‍රීනි ජෙස් පිලිප්

බීබීසී වැඩසටහනකදී අදහස් දැක්වූ සංස්කෘතික ඇමතිවරයා, එම සාදය අරමුදල් එකතු කිරීමේ අවස්ථාවක් වූ හෙයින් ළමුන් සහ පවුල් කටයුතු භාර ඇමති නදීම් ෂහාවි (NADIM ZAHAW) ඒ සඳහා ආරාධනා ලබන්නට ඇතැයි සඳහන් කළේය.

“මේ සිද්ධියෙන් පස්සේ ඔහු (නදීම් ෂහාවි) දිගටම ඇමති පදවියේ රැඳී සිටිනවාද යන්න තීන්දු කිරීම මට අයත් නැහැ. එය තීන්දු කළ යුත්තේ අගමැතිනිය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක විසිනුයි” සංස්කෘතික කටයුතු භාර බ්‍රිතාන්‍ය ඇමති මැට් හැන්කොක් (Matt Hancock) බීබීසී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.

පිරිමින්ට පමණක් සීමා කෙරුණ ඉහත කී සාදයත් සමඟ කාන්තාවන්ට වෙනස්කොට සැලකීම තුරන් කරනු ලැබීම පිළිබඳ සමාජ සංවාදය යළිත් බ්‍රිතාන්‍ය සමාජය තුළ ඉස්මතුව ඇත.

සාදයේ සංවිධායකයකු වූ ඩේවිඩ් මිලර් (David Meller) එහි සිදුව ඇති දේවල් වාර්තා වීමත් සමඟ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාලක මණ්ඩලයේ ඔහු දැරූ විධායක නොවන පදවියෙන් දැනටමත් ඉල්ලා අස් වී ඇත.

සාදය මගින් තමන් විසින් එකතු කරන ලද අරමුදල ළමා ශුභසාධක ආයතනවලට පිරිනමන බව ‘ද ප්‍රසිඩන්ට් ක්ලබ්'(The Presidents Club) සමාජය ප්‍රකාශ කරයි

එහෙත් එම සාදය මගින් උපයන ලද මුදල් භාර ගැනීම ලෝකයේ ඉහළම මට්ටමේ ළමා රෝහලක් වන ලන්ඩන් නගරයේ ‘ග්‍රේට් ඕර්මන්ඩ් ස්ට්‍රීට්’ රෝහල සහ තවත් ශුභසාධක ආයතන විසින් බැහැර කරනු ලැබ ඇත.

‘ද ප්‍රසිඩන්ට් ක්ලබ්'(The Presidents Club) සමාජයෙන් මින්පෙර තමන්ට ලැබී ඇති සියලු අරමුදල් ද ආපසු හරවා යවන බව ‘ග්‍රේට් ඕර්මන්ඩ් ස්ට්‍රීට්’ ළමා රෝහල කියා සිටියි.

“පුරුෂාධිපත්‍යයේ සිනහවෙන් පිරුණ මුහුණේ පිළිකුල් කළයුතු අවස්ථාවක් මේ සාදය මගින් නිරූපණය කෙරෙන” බව බ්‍රිතාන්‍යයේ ඩිජිටල් කටයුතු භාර ඇමතිනී මාර්ගට් ජේම්ස් (Margot James) පවසයි.

බ්‍රිතාන්‍ය උමං දුම්රිය පද්ධතියේ සිදු කෙරෙන ලිංගික හිරිහැර මැඩලීමට වෙස්වලාගත් පොලිසිය යොදවා ඇත

ළමුන් සහ පවුල් කටයුතු භාර ඇමති නදීම් ෂහාවි (NADIM ZAHAW) සාදයට සහභාගී වී කල්තබා ඉන් පිටව යන්නට ඇත්තේ එහි සිදු වූ දේවල් දැකීමෙන් කම්පාවට පත්වීම නිසා විය යන්න ඇමතිවරියගේ අදහසයි.

එහෙත් නදීම් ෂහාවි ඇමතිවරයා මින් පෙරත් ‘ද ප්‍රසිඩන්ට් ක්ලබ්'(The Presidents Club) සමාජයේ සාදවලට සහභාගී වී ඇත්නම් සහ ඔහු මෙවර සාදය පිළිබඳව සිය කනස්සල්ල පළ කරන්නේ නැත්නම් පදවියෙන් ඉවත්ව යා යුතුයයි බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ සාරා ජෝන්ස් (Sarah Jones) කියා සිටින්නීය.

නදීම් ෂහාවි ඇමතිවරයා සාදයට සහභාගී වීම සම්බන්ධයෙන් විභාගයක් පැවැත්විය යුතු යයි අධ්‍යාපන කටයුතු භාර ඡායා කැබිනට් ඇමති ඇන්ජෙලා රේනර් (Angela Rayner) පවසයි.

අර්බුදයකට මුහුණ දුන් සාදයේ නිමාව නිවේදනය කරනු ලැබීමටත් පෙරම ලෝකයේ මුල්පෙළේ දැන්වීම් ප්‍රචාරක ආයතනයක් වන WPP සහ දේපොළ ආයෝජන ව්‍යාපාරයක් වන Frogmore සමාගම නිවේදන නිකුත් කරමින් ‘ද ප්‍රසිඩන්ට් ක්ලබ්'(The Presidents Club) සමාජයෙන් ඉවත්වෙන බව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

CBI අධ්‍යක්ෂ ජනරාල් කැරොලයින් ෆෙයර්බේන් (Carolyn Fairbairn) මෙසේ සඳහන් කළාය.

“මේ සාදය ගැන ලියා ඇති කරුණුවලින් අඩක් පමණක් සත්‍යය වන තත්වයක් තුළ වුනත් මෙය අතිශය කනගාටුවට කාරණයක්. ලිංගික හිරිහැර මුලිනුපුටා දැමීම අතින් අපට තවත් කොයිතරම් දුරක් යන්න තියෙනවාද කියන කාරණය මේ සිද්ධියෙන් පෙන්නුම් කෙරෙනවා”

එහෙත් ඉහත කී සාදයේ දී අමුත්තන් විසින් සිදු කරන ලද කිසිදු අවිනීත ක්‍රියාවක් පිළිබඳව තමා නොදන්නා බව එම සාදයේ වෙන්දේසිකරුවකු ලෙස ක්‍රියාකළ චැනල් -5 ක්‍රීඩා තොරතුරු ඉදිරිපත් කරන්නකු වන ජොනී ගුඩ් (Jonny Gould) පවසයි.

“මට සාක්ෂියක් ලැබුණා නම්, එම සාදයේ මට පැවරුන කාර්යය දිගට ගෙනියන්නේ නැහැ” ඔහු අවධාරණය කළේය.

ලිංගික හිංසනයට එරෙහි හොලිවුඩ් නිලියන්
ලිංගික හිංසනයට එරෙහි හොලිවුඩ් නිලියන් Image copyrightGETTY IMAGES

සාදය අතරවාරයේ සිදුවී යයි පැවසෙන දේ ඇසීමෙන් සිය ආයතනය බලවත් කණගාටුවට පත්ව සිටින බව එය පැවැත්වුන ඩෝචෙස්ටර් (Dorchester) හෝටලයේ කළමනාකාරිත්වය පවසයි.

සාදය සඳහා සත්කාරක කතුන්(hostesses) බඳවා ගත් ‘ආර්ටිස්ටා’ (Artista) ආයතනයේ ප්‍රකාශකයෙක් අදහස් දක්වමින් පහත දැක්වෙන ප්‍රකාශය කළේය.

“ලිංගික හිරහැර සිදු කරනු ලැබීමක් පිළිබඳව මම දැනුවත් නැහැ.ඒත් එවැන්නක් සිදු වුනානම් එය කොහොමවත් අනුමත කරන්න බැහැ. මම මේ කාරණය පිළිබඳව අපේ කාර්ය මණ්ඩලයෙන් විමසනවා”

ලිංගික හිරිහැර කිරීමක් පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් වුනොත් ඒ සම්බන්ධයෙන් ඉතාම ඉක්මනින් ඒ වගේම අපක්ෂපාතීව කටයුතු කරන බවත් එම ප්‍රකාශකයා අවධාරණය කළේය.

-බීබීසී  සිංහල

Archive

Latest news

Related news