Monday, May 20, 2024

නත්තල් ආවර්ජනාවක්: යේසුස් වහන්සේගේ උත්පත්තිය සඳහා මරියතුමීගේ අනුමැතිය – රුකී ප්‍රනාන්දු

නත්තල යනු, තරුණ අවිවාහක මවක් වූ මේරි, ගව ගාලකදී යේසුස් නැමැති සරණාගත දරුවකු වැදීම පිළිබඳ කතාවකි. මේ කතාවේ ප්‍රධාන පිරිමි චරිතය වන්නේ, මේරිගේ පෙම්වතා වූ ජෝසප් ය. ඔහු, තමාගේ නොවන දරුවකු වැදීමට ඈ ගෙන තිබූ තීරණයට සහාය පෑවේය. මේ දරු උපත වසර 2000 කට වැඩි කාලයක් තිස්සේ සැමරෙණ තරමට ප්‍රසිද්ධ විය. එහෙත් එය නිමිති කරගෙන, යේසුස් වහන්සේට, මරියතුමීට සහ ජෝසප්ට වඳින පුදන ඇතැමුන්, මේරි සහ ජෝසප් වැනි අවිවාහක, දිළිඳු කම්කරුවන්ට දාව උපදින සරණාගත දරුවන් ගැන ප්‍රමාණවත් පරිද්දෙන් වර්තමානයේ සංවේදී වන බවක් පෙනෙන්ට නොතිබීම අවාසනාවකි.

ක්‍රිස්තියානි විශ්වාසයට අනුව, දෙවියන් වහන්සේ විසින්, ‘ගැලවුම්කාර’ යේසුස් ක්‍රිස්තුස්ගේ උත්පත්තිය සඳහා, වඩු කම්කරු පෙම්වතෙකු සිටි අවිවාහක තරුණියක්ව චේතනාන්විතව තෝරාගෙන ඇති බවක් පෙනේ. ක්‍රිස්තියානි සහ ක්‍රිස්තියානි නොවන මගේ ඇතැම් මිතුරියන් සමග මෑතකදී කරන ලද සාකච්ඡා තුළින්, මේ නත්තල් කතාවේ වෙනත් පැතිමානයක් දෙස බැලීමට මා තුළ උනන්දුවක් ඇති කෙළේය. එනම්, දරු ප්‍රසූතියක් සඳහා තිබිය යුතු මවකගේ අනුමැතිය පිළිබඳ කාරණයයි.

‘‘මේ කාරණය සම්බන්ධයෙන් යම් වෙනස්කම් සහිත බයිබලයේ විවිධ අර්ථකථන සියල්ල පොදුවේ එකඟ වන එක කාරණයක් ඇති බව පෙනෙන්ට තිබේ. එනම්, දරුවා පිළිසිඳ ගැනීම මේරිගේ අනුමැතිය ලැබීමෙන් පසුව මිස, ඊට කලින් ඇති වු දෙයක් නොවන බවයි. එනම් පිළිසිඳ ගැනීම පිළිබඳ යෝජනාව භාර ගැනීමට හෝ නොගැනීමට මේරිට නිදහස තිබුණු බවයි. ‘‘

මේරිගේ කුස තුළ යේසුස් පිළිසිඳ ගන්නේ දෙවියන් වහන්සේගේ/දේවාත්මයේ අනුහසින් බව ක්‍රිස්තියානි විශ්වාසයයි. ලූක්ගේ බයිබල් කතාවට අනුව, යේසුස්ගේ උත්පත්තිය පැවරීමට මේරිව තෝරා ගන්නා දෙවියන් වහන්සේ, ඒ ගැන ඈ සමග සාකච්ඡා කිරීම සඳහා ගේබි්‍රයල් නැමැති දේව දූතයෙකු ඈ වෙත යවා ඇත. තමා තුළ දරුවෙකු පිළිසිඳ ගනු ඇතැයි ගේබි්‍රයල් ඈට කී විට මේරි තිගැස්සුණු බව බයිබලය කියයි. ‘මං තාම කන්‍යාවියක් වෙද්දී, එහෙම දෙයක් කොහොම වෙන්නදැ?’ යි ඈ විමසුවේලු. ඊට සාවධානව කන් දුන් ගේබි්‍රයල්, දෙවියන් වහන්සේගේ අභිප්‍රාය පැහැදිළි කර දීම සඳහා අවශ්‍ය විවිධ තොරතුරු ඈට සපයා ඇති බව පෙනේ. එය ඇසීමෙන් අනතුරුව, දරුවා පිළිසිද ගැනීමටත්, දරුවා දැරීමට සහ වැදීමටත් අවශ්‍ය වාචික අනුමැතිය ඈ දී තිබේ.

මේ කාරණය සම්බන්ධයෙන් යම් වෙනස්කම් සහිත බයිබලයේ විවිධ අර්ථකථන සියල්ල පොදුවේ එකඟ වන එක කාරණයක් ඇති බව පෙනෙන්ට තිබේ. එනම්, දරුවා පිළිසිඳ ගැනීම මේරිගේ අනුමැතිය ලැබීමෙන් පසුව මිස, ඊට කලින් ඇති වු දෙයක් නොවන බවයි. එනම් පිළිසිඳ ගැනීම පිළිබඳ යෝජනාව භාර ගැනීමට හෝ නොගැනීමට මේරිට නිදහස තිබුණු බවයි. ගේබි්‍රයල් ගෙනා යෝජනාවට ප්‍රතිචාර දැක්වීම සඳහා මේරි ගත කළ කාලය විස්තර කෙරෙන්නේ, “ඇගේ පිළිතුර ලැබෙන තෙක් දේව දූතයන් නොඉවසිල්ලෙන් බලා සිටි” කාලයක් වශයෙනි. ක්ලෙයාවෝ ශාන්ත බර්නාඞ් එය විස්තර කරන්නේ මෙසේ ය: “ඕ කන්‍යාවිය, ඔබ පුතෙකු පිළිසිඳ, වදන බව ඔබට ඇසුණේය. ඒ මනුෂ්‍යයෙකුගෙන් නොව, දේව ආත්මයෙන් බවත් ඔබට ඇසුණේය. දේවදූතයා ඔබේ පිළිතුර ලැබෙන තෙක් බලා සිටී. දැන් ඔහු තමාව ඔබ වෙත එවූ දෙවියන් වහන්සේ කරා ආපසු යා යුතුව ඇත. අප සිටින්නේත් ඔබේ පිළිතුර එන මග බලමිනි… අපේ ගැලවීමේ මිල ඔබට දන්වා තිබේ. ඊට ඔබ අනුමැතිය පෑ සැණින් අප විමුක්තිය උදා කර ගනු ඇත.”

බයිබලයේ අර්ථකථනය තුළ ප්‍රමුඛත්වය ලැබෙන්නේ පිරිමියාගේ නොව, ගැහැනියගේ (මේරිගේ) අනුමැතියටයි. 

බයිබලයේ අර්ථකථනය තුළ ප්‍රමුඛත්වය ලැබෙන්නේ පිරිමියාගේ නොව, ගැහැනියගේ (මේරිගේ) අනුමැතියටයි. පිළිසිඳ ගැනීම, දරු ගැබ දැරීම සහ දරු ප්‍රසූතිය යන සංසිද්ධීන් තුළින් තීරණාත්මක විපර්යාසයකට ලක්වන්නේ ගැහැනියගේ ජීවිතය බව දෙවියන් වහන්සේ පිළිගෙන ඇති බව පෙනේ. එදා සිටි පූජක පක්ෂයේ ප්‍රධානීන් සමග මේ ගැන කතිකා කොට නැත. එපමණක් නොව, මෙහි ප්‍රධාන පිරිමියා වන ජෝසප් සමග වුව ඒ ගැන කතාබස් කොට නැත. තමාගේ නොවන දරුවකු දැරීමට මේරි අනුමැතිය පෑම නිසා ඇයව ‘අතහැර දැමීමට’ වරක් ජෝසප් කල්පනා කළ බවත්, එහෙත් පසුව තවදුරටත් ඒ ගැන කල්පනා කිරීමෙන් අනතුරුව ඇය සමග වන සිය සබඳතාව දිගටම පවත්වාගෙන යාමට සහ මව සමග දරුවාව හදාවඩා ගැනීමට ජෝසප් තීරණය කළ බවත්, මගේ පල්ලියේ වර්තමාන නත්තල් අනුශාසනා තුළ දේශනා කෙරේ.

සමහර විට, මේ ඉල්ලීමට මේරි අනුමැතිය නොදුන්නේ නම් ඇති විය හැකි තත්වය කුමක් වේද යන්න, නත්තල් කතාවට අදාළ විද්වත් උනන්දුව මත, ඊටත් වඩා සමාජයටත්, විශේෂයෙන් ගැහැනියටත් එහි ඇති අදාළත්වය මත සලකා බලන කල, වැදගත් ප්‍රශ්නයකි. කිතුණුවන් අදහන, ප්‍රේමයේ සහ යුක්ති ධර්මයේ දෙවි කෙනෙකු, මේරිගේ අභිමතයට පටහැනිව දරුවකු පිළිසිඳ ගැනීමට ඈට බල කරනු ඇත්ද?

දෙවියන් වහන්සේ, කොන්දේසි විරහිත නිදහස සහ වරණය ඇතුළුව, මිනිස් වර්ගයාට බොහෝ දෑ දානය කර ඇති බව කිතුණු විශ්වාසයයි. නත්තලට නිමිති වන, මිනිස් දරුවකු වශයෙන් වන යේසුස්ගේ උත්පත්තිය, කිතුණුවන්ගේ ගැලවීමේ කතාවේ කේන්ද්‍රීය සිද්ධියකි. නත්තල් කතාවට මූලික වන්නේ, තරුණ අවිවාහක කාන්තාවකට දරුවකු දැරීම සම්බන්ධයෙන් ඇති ශාරීරික ස්වාධීනත්වය පිළිගන්නා, ආදරණීය, ගෞරව සම්ප්‍රයුක්ත, පීතෘ-මූලික නොවන දෙවියන් වහන්සේ කෙනෙකු පිළිබඳ සහ ඒ සඳහා වන ඇගේ කොන්දේසි විරහිත අනුමැතියේ අවශ්‍යතාව පිළිබඳ කතාවකි.

(2017 දෙසැම්බර් 25 වැනි දා ‘ග්‍රවුන්ඞ්වීව්ස්’ වෙබ් අඩවියේ පළවූ Mary’s Consent for Jesus’s Birth: A Christmas Reflection නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.)

Archive

Latest news

Related news