Monday, May 20, 2024

අලි ගැටලුවට ගතයුතු විසදුම – සුනිල් ජයසේකර

ශ්‍රී ලංකාවේ අලි ඇතුන් පිළිබඳව මේ දිනවල රට තුළ විශේෂ අවධානයක් යොමු වී ඇති බවක් පෙනෙන්නට තිබේ. ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය කිරීමෙන් පසු එක්තරා පිරිසක් එම සත්වයාගේ දළ යුගලය විකිණීම සඳහා උත්සාහ ගනිමින් සිටින අවස්ථාවක දී අත්අඩංගුවට පත්වීමත් සමග ඇතිවූ ආන්දෝලනය මේ වනවිටත් සමහන් වී නැත. තබ්බෝවේ ඇතා, රිටිගල ඇතා හා තනි දලයා නමින් ප්‍රසිද්ධියට පත්වී සිටි අලි ඇතුන් ගණනාවක් එක දිගටම ඝාතනය වීම ද ඇතුළු අභිරහස් ලෙස අලි ඇතුන් ගණනාවක්ම මියයාම පිළිබඳව පළවූ පුවත් සමාජය තුළ ඒ ආකාරයේ ආන්දෝලනයක් ඇතිකිරීමට හේතු වී තිබේ.
මේ සතිඅන්තයේ පළවූ පුවත්පත් ගණනාවකම ඒ පිළිබඳව සිදුකර ඇති විපරම් හා විමසුම් ඔස්සේ ලියැවී ඇති විශේෂාංග හා ප්‍රවෘත්ති කිහිපයක්ම දැකගත හැකිවේ. ඒ අතර ඇති වඩාත්ම අවධානයට ලක්විය යුතු පුවතක් වන්නේ පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ඇතින්නියන් 24 දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කර පැටවුන් 24 දෙනෙකු පැහැරගෙන ඒමෙන් පසුව අතිවිශාල මුදලකට විකුණා ඇති බවට සඳහන් වන පුවතයි. එම පුවතට අනුව ඊට අදාළ තොරතුරු හෙළිවී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරමින් සිටින විශේෂ පරීක්ෂණයකදී ය.

ඒ සමගම තිරසර සංවර්ධන, වනජීවි හා බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා බී.බී.සී ලෝක සේවය සමග සිදුකර ඇති විශේෂ සාකච්ඡාවක දී හෙළිකර ඇති එක්තරා හෙළිදරව්වක් අතිශයින්ම බරපතළ මෙන්ම විශේෂ වූ අවධානයකට යොමුකළ යුතුව ඇති කරුණක්ව තිබේ. එනම් නීතිවිරෝධි ආකාරයට අලි පැටවුන් අල්ලාගෙන මැද පෙරදිග වැනි රටවල ධනවතුන්ට විකිණීමේ ජාවාරමක් පිළිබඳව මේ වනවිට සැක මතුවී තිබීමයි. ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා සඳහන් කර ඇති අන්දමට එම අලි පැටවුන් පිටරට පටවා ඇත්තේ බෝට්ටු උපයෝගී කරගනිමින් මුහුදු මාර්ග ඔස්සේය. බී.බී.සී ලෝක සේවය සමග පැවති එම සාකච්ඡාවේදී වනජීවි අමාත්‍යවරයා තවත් එක් වැදගත් කරුණක් කෙරෙහි ද අවධානය යොමුකර තිබේ. එනම් පසුගිය සති කිහිපය තුළ දළ ඇතුන් ගණනාවක්ම මරා දමා ඇත්තේ නීතිවිරෝධි ලෙස අලි ඇතුන් ළඟ තබාගැනීම පිළිබඳව මේ වනවිටත් චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් විසින් ද යන සැකය මතුවී ඇතැයි යන්න එම කාරණයයි.

මේ සියලු කරුණු කාරණා කිසිසේත්ම නොතකා සිටිය හැකි කරුණු නොවේ. එක්තරා යුගයක රටේ සිදුව ඇති මේ අමානුෂික ක්‍රියාවලිය පිළිබඳව මේ රටේ තතු දත් කිසිවෙකුට රහසක් නොවේ. එය සිදුවූයේ එවකට මේ රට පාලනය කළ ඉහළම පුද්ගලයින්ගේ අනුග්‍රහය හා ආශිර්වාදය ඇතිව වන බව ද ඒ බොහෝ දෙනා දන්නා ප්‍රසිද්ධ රහසකි. ඒ අනුව මේ කරුණට අදාළව රටක් ලෙස ශ්‍රී ලංකාව හමුවේ ඇති ප්‍රමුඛ අභියෝග දෙකක් පවතී. පළමුවැන්න මේ සාපරාධි අපරාධකරුවන්ට එරෙහිව තරාතිරම නොබලා දඬුවම් ලබාදීමය. දෙවැන්න ශ්‍රී ලංකාවේ අලි සම්පත ද ඇතුළු ආරක්ෂා කරගතයුතුව ඇති වනජීවින්ගේ ආරක්ෂාවට හා පැවැත්මට අදාළ ක්‍රමවත් වැඩපිළිවෙලක් සැකසීමය. එහිදී අදාළ අපරාධකරුවන් ඇතුළු ඔවුන්ගේ සහකරුවන් ගණනාවකට මේ වනවිටත් නඩු පවරා ඇති අතර එවැනි වූ මෑත කාලීන සිදුවීම් වලට අදාළව මේ වනවිටත් පුළුල් පරීක්ෂණ සිදුකරමින් පවතින බව තේරුම් ගතයුතු වුවත් එය සාර්ථක අවසානයක් කරා යොමුකිරීමට මේ දක්වාම නොහැකි වී ඇති බව ද පිළිගත යුතුය.

එමෙන්ම අලි ඇතුන් ද ඇතුළුව ශ්‍රී ලංකාවේ ආරක්ෂා කරගත යුතුව ඇති වනජීවීන්ගේ ආරක්ෂාව උදෙසා යම් ක්‍රියාමාර්ග ගණනාවක්ම යෝජනා වී ඇති බව ද පැහැදිළිය. පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබඳ දැනුවත් කිරීමක් සිදුවී ඇති බව ද දැනගන්නට තිබේ. එය යහපත් ප්‍රවණතාවයකි. එහෙත් එහිදී ද අවධාරණය කළයුතු එක් කරුණක් තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අලි ඇතුන් පිළිබඳව උනන්දුවක් දක්වන දෙපාර්ශවයක් වන එනම් ඇතැම් පරිසරවේදීන් හා රාජ්‍ය යාන්ත්‍රණයට සම්බන්ධ ආයතන හා පුද්ගලයන් එල්බගෙන ඇති ආකල්පයන් හි අන්තවාදී ස්වභාවයක් දැකගත හැකි බවයි. එය දීර්ඝ වශයෙන් පැහැදිළි කළයුතු මෙන්ම සංවාදයට බඳුන්විය යුතු කාරණාවක් වියයුතු වුවත් මේ මොහොතේ ඉතා සංශිප්තව හෝ ඒ බව සඳහන් කළයුතුව තිබේ.

[alert type=”success or warning or info or danger”]එනම් රටක් ලෙස අප සංරක්ෂණය කළයුතු වනජීවීන් මෙන්ම යම් පාලනයක් අතිකරගැනීම සඳහා සීමා කිරීමකට ලක්ව විනාශ කළයුතු වනජීවීන් ද අප රටෙහි සිටින බවය. එහිදී කිසිසේත්ම ඝාතනය වීමට ඉඩක් නොතබා අත්‍යන්තයෙන්ම ආරක්ෂා කරගත යුතු ප්‍රමුඛතම සත්වයා අලි ඇතුන්ය. [/alert]

ඒ සමගම මේවනවිට අතීතයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ යම් සීමාවකට ලක්ව ඇති වන සම්පත හා ඊට දරාගත හැකි අලිසම්පත පිළිබඳව නිසි හා ක්‍රමවත් ගණනයක් සිදුකර අතිරික්ත ප්‍රමාණය සැලකිල්ලට ගෙන යම් විධිමත් ක්‍රමවේදයක් හා නීතිමය රාමුවකට යටත්ව පසු නියාමනයකින් ද යුක්ත වූ සැලැස්මක් මත අලි ඇතුන්ගෙන් යම් ප්‍රමාණයක් රැකබලාගත හැකි ආයතන හා පුද්ගලයන් වෙත පවරා දීම කෙරෙහි ද සලකා බැලීමක් කළහැකිය.

එහෙත් එය සිදුකළ යුතුව ඇත්තේ ඇතැම් පාපිශ්ඨ හා සාහසික අපරාධකරුවන් සිදුකර ඇති ආකාරයට මව් ඇතින්නන් ඝාතනය කර පැටවුන් උදුරාගෙන අලෙවිකරන ආකාරයේ වානිජ අපේක්ෂාවන්ගෙන් තොරවය. මේ රටේ නිතිපතා සිදුවන අලි ඇතුන් ඝාතනය කිරීම් ද වෙනත් අනතුරු හේතුවෙන් අලි ඇතුන්ට සිදුවන හානි පිළිබඳව සළකා බැලීමේදී මෙන්ම වගා හානි හා දේපල හානි මුල් කරගනිමින් සිදුවන අලි මිනිස් ගැටුම ද පාපිශ්ඨ ජාවාරම්කරුවන්ගේ පාපතර ක්‍රියාවන් ද නතර කළහැක්කේ එවන් පිළිවෙතකට යොමුවීම තුළින් පමණය.

සුනිල් ජයසේකර

Archive

Latest news

Related news