Tuesday, July 16, 2024

එල්.ටී.ටී.ඊ ය ට අභියෝග කරන දුම්රිය වෘත්තීය සමිති – සුනිල් ජයසේකර

2009 අප්‍රේල් හා මැයි යන මාස වලදී එල්.ටී.ටී.ඊ සංවිධානය හැසිරුණු ආකාරය පිළිබඳව ඔබ තුළ මතකයක් තිබේ ද?.

ඒ වනවිට ඔවුන් සිටියේ මුල්ලෙවයික්කාල් ප්‍රදේශයේ කුඩා බිම් තීරුවකට කොටුවෙමින් ය. ඒ අතර ත්‍රස්තවාදයට කිසිදු සම්බන්ධයක් නැති අහිංසක දෙමළ ජනතාව ද අතිවිශාල සංඛ්‍යාවක් විය. එදා එල්.ටී.ටී.ඊ සංවිධානය තම හැසිරීම තුළින් ප්‍රදර්ශනය කරන ලද්දේ එම අහිංසක සිවිල් ජනතාවගේ ආරක්ෂාව ද? කිසිසේත්ම නැත. එල්.ටී.ටී.ඊ ය එදා අපේක්ෂා කළේ එම විසිල් ජනතාවගෙන් අතිවිශාල ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වනු දැකීමය. එවිට ආණ්ඩුව මත එහි පීඩනය පවරා විදේශ රටවල මැදිහත්වීමක් ඇතිකරගැනීම ඔවුන්ගේ ඒකායන අභිලාෂය විය.

මේ වනවිට දින ගණනාවක් තිස්සේ අඛණ්ඩ වර්ජනයක නිරත වී සිටින දුම්රිය වෘත්තීය සමිති අනුගමනය කරමින් සිටින පිළිවෙත හා එදා එල්.ටී.ටී.ඊ යේ අපේක්ෂාවන් අතර යම් හෝ වෙනසක් දැකගත හැකිද? එදා එල්.ටී.ටී.ඊ ය සාමාන්‍ය අහිංසක ජනතාව පළිහක් සේ තබාගනිමින් ඔවුන්ගේ ලේ මස් හා ජීවිත හරහා අපේක්ෂා කළේ ඒ තුළ වන තමන්ගේ ගැලවීමය. ඒ ගැලවීමේ උත්සාහයේ දී ඔවුන් අපේක්ෂා කළේ සාමාන්‍ය දෙමළ ජනතාව උපරිම ප්‍රමාණයක් ඝාතනය වනු දකින්නටය. අද දුම්රිය වර්ජකයන් අපේක්ෂා කරන්නේ ද තම වර්ජනය තුළ මේ රටේ සාමාන්‍ය ජනතාව උපරිම අන්දමෙන් පීඩාවට පත්වනු දකින්නට ය. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මේ රටේ අහිංසක දරු දැරියන් ද පීඩාවට පත්වනු දකින්නට ය. එසේ ඔවුන් පීඩාවට පත්වන තරමටම ඒ පීඩාව ආණ්ඩුවට එරෙහිව ජනමතයක් ගොඩනැගීමට හේතුවනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරන බවක් පෙනෙන්නට තිබේ. දැන් මේ රටේ යුක්තිගරුක ජනතාව තම හදවතින් විමසා බැලියයුතුව ඇති ප්‍රශ්නයක් තිබේ. එනම් එල්.ටී.ටී.ඊ ය හා මෙම දුම්රිය වෘත්තීය සමිති අතර වෙනසක් තිබේද යන්නය.

එහිදී කෙනෙකුට මෙසේ ද කිවහැකිය. එල්.ටී.ටී.ඊ ය අපේක්ෂා කළේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත විනාශවනු දකින්නට ය. දුම්රිය වෘත්තීය සමිති එසේ ජීවිත විනාශ වීමක් අපේක්ෂා කරන්නේ නැත. ඔවුන් යෙදී සිටින්නේ ආයුධ සන්නද්ධ අරගලයක නොව, වෘත්තීය අරගලයක ය. ඒ කියන්නේ එල්.ටී.ටී.ඊ ය මෙන් දුම්රිය වෘත්තීය සමිති සාමාන්‍ය ජනතාවගේ ජීවිත භෞතික වශයෙන් විනාශ වීමක් අපේක්ෂා කරන්නේ නැත. එහෙත් මේ දේ අමතක නොකළ යුතුය. එල්.ටී.ටී.ඊ. ය තම ජනතාවගේ ජීවිත විනාශ වීම තුළ පවා අපේක්ෂා කළේ වෙනම රටකි. එහෙත් දුම්රිය වෘත්තීය සමිති මේ රටේ සාමාන්‍ය ජනජීවිතය මෙන්ම අනාගත පරපුරේ දැනුම හා උගත්කම පරදුවට තබමින් මානසික වශයෙන් සිදුකරන පීඩාව තුළ කරමින් සිටින්නේ වෘත්තීය කුහකත්වය පෙරටු කරගත් පටු ආර්මාර්ථකාමී සටනක් ය. ඒ අනුව අද ඔවුන් සිටින්නේ එදා එල්.ටී.ටී.ඊ ය සිටියාටත් වඩා පහත් තැනකය.

එසේ කියන්නේ ඇයි? දුම්රිය වෘත්තීය සමිති අද ගෙනයන මේ සටන තුළ ඇති ඉල්ලීම් අතර ඇති ප්‍රමුඛතම ඉල්ලීම් දෙක පිළිබඳව සලකා බැලීම තුළය. ඔවුන්ගේ පළමු ඉල්ලීම කුමක්ද? දුම්රිය සහයකයින් බඳවා ගැනීමේ නව පටිපාටිය අහෝසි කරන ලෙසට ය. එයින් ඔවුන් අපේක්ෂා කරන්නේ කුමක්ද? අධ්‍යාපන සුදුසුකම් මත තරග විභාගයක් මගින් ඉහළම සුදුසුකම් මත දුම්රිය සහායකයින් බඳවා ගැනීම නතර කරන ලෙසට වන බලකිරීමයි. එවැනි ඉල්ලීමක් යුක්ති සහගත කළහැක්කේ කාහට ද? මේ රටේ තරුණ කැරළි දෙකක් තමන්ගේ ජීවිත පූජා කරන ලේ, මස් දන්දෙමින් කළ අරගල තුළ ලබාදුන් එක් පණිවුඩයක් වූයේ කුමක්ද? දේශපාලන හෝ වේවා, වෙනත් බලපු`එවන්කාරකම් මත හෝ වේවා, පන්දමට, මුදලට හෝ වෙනත් අයතා ක්‍රම මගින් රජයේ රැකියා ලබාදීම නිසා මේ රටේ තරුණ පරපුරට වන පීඩාවන්ට එරෙහිව කටයුතු කළයුතුව ඇති බවයි. එහෙත් අද දුම්රිය වෘත්තීය සමිති මේ රටේ සාමාන්‍ය ජනතාව පළිහක් ලෙස යොදාගෙන ඔවුන් පීඩාවට පත්කරමින් රජයට බල කරන්නේ උගත්කම හා දක්ෂතාවය පදනම් කරමින් රැකියා ලබාදීමට ගත් තීරණයක් වෙනස් කරන්නට ය.

ඒ සමග දුම්රිය වෘත්තීය සමිති අද කරන සටනේ දෙවැනි ඉලක්කයක් ද තිබේ. ඒ දුම්රිය සේවයේ වැටුප් විෂමතා ඉවත් කරන ලෙසට වන ඉල්ලීමකි. දැනගන්නට ඇති ආකාරයට ඒ සඳහා රජය මේ වනවිටත් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. කැබිනට් මණ්ඩලය එම යෝජනාව අමාත්‍ය මණ්ඩල උපදේශක කාරක සභාවට මේ වනවිටත් යොමුකර ඇත්තේ ඒ පිළිබඳ පරීක්ෂා කර අවශ්‍ය නිර්දේශ ලබාදෙන්නට ය. එහෙත් එතෙක් බලාසිටින්නට දුම්රිය වෘත්තීය සමිති අකැමති බව කියයි. තම ඉල්ලීම් නොපමාව ලබාදෙන ලෙස බල කරයි. යුක්තිගරුක සමාජයක තිබිය යුතු සාධාරණත්වය නීත්‍යානුකූලභාවය හා සමානත්වය මුල් කරගත් ක්‍රමවේද පසෙකලා තම ඉල්ලීම පමණක් කෙසේ හෝ ඉටුකළයුතු බවට කරන බලපෑම හැර ඒ තුළ ඇත්තේ වෙන කුමක්ද?

ඒ අනුව මේ රටේ සබුද්ධික ජනතාව ඉතා ගැඹුරින් තේරුම්ගත යුතුව ඇති බරපතළ සත්‍යයක් තිබේ. එනම් ආයුධ සන්නද්ධව රටේ ජනතාව ප්‍රාණ ඇපයට ගත් ත්‍රස්තවාදය අප රටක් වශයෙන් පරාජය කළ ද වෘත්තීය අයිතිවාසිකම් වල නාමයෙන් සිදුකරන මහජන පීඩාවන් හා මේ රටේ සාමාන්‍ය ජනතාව පළිහක් කරගනිමින් සිදුකරන ත්‍රස්තවාදය තවමත් පරාජය කර නැති බවයි. මේ රටේ තවත් ලේ සෙලවීමකට ඉඩ නොතබා එය පරාජය කළයුතුය. එසේ නොවුණහොත් නියත වශයෙන්ම මේ රටට සිදුවනු ඇත්තේ ඒ සඳහා ලේ වලින් වන්දි ගෙවන්නට ය. මක්නිසාද යත් බලහත්කාරය තුළ තහවුරු කරගන්නා අසාධාරණය හේතුවෙන් අවසානයේ කැරළිකාර තරුණ පරපුරක් නිර්මාණය කළහැකි නිසාය.
සුනිල් ජයසේකර

Archive

Latest news

Related news