දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කිරීම ජිඑස්පී එකඟතා කඩ කිරීමක්! – ඇන්ටන් මාර්කස්

848
October 12, 2017 - Colombo, Western, Sri Lanka - Sri Lankan passengers hold on to door handles as they travel in a full carriage of a train during a nationwide railway strike in Colombo on October 12, 2017. Train engineers and conductors staged the strike demanding higher pay. (Credit Image: © Musthaq Thasleem/Pacific Press via ZUMA Wire)

ජායාරූපය: දුම්රිය වර්ජනයක් අවස්ථාවක මගීන් මෙරට  ගමන් ගන්නා අන්දම.(http://metro.co.uk)

වර්ජන අයිතිය අහෝසි කිරීමේ ගැසට් නිවේදනය ආණ්ඩුව වහා ඉවත් කරගත යුතුයි යන මැයෙන් 2017 දෙසැම්බර 10 වන දින පුවත් පත් නිවේදනයක් නිකුත් කරන නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස්  දුම්රිය සේවක වර්ජනය නිසා ‘සේවා ඇණ හිටීමෙන් සමස්ථ ජනගහනයේ හෝ ඉන් කොටසකගේ ජීවිත අනතුරට පත් කෙරෙන්නේ ‘ නැති බැවින් එම සේවා අත්‍යවශය සේවා ලෙස ප්‍රකාශයට පත් කිරීම යුරෝපා සංගමයේ ජිඑස්පී ප්ලස් ලබා ගැනිම ඇති කර ගත් එකඟතා බිඳ දැමීමක්  බව ප්‍රකාශ කරයි.

එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළවේ:

මේ යහපාලන ආණ්ඩුව දුම්රිය රියදුරන් හා ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය සමිති විසින් දියත් කර ඇති වැඩ වර්ජනය 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවා පනත උපයෝගී කර ගනිමින් හදිසි ගැසට් නිවේදනයක් මගින් නීති විරෝධී වර්ජනයක් බවට පත්කර ඇත.

[alert type=”success or warning or info or danger”]මේ වෘත්තීය සමිති ඉල්ලා සිටිනුයේ ආණ්ඩුවේ ඇමති මණ්ඩලය විසින් සම්මත කරනු ලැබූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් තීන්දු කළ නව වැටුප් සංශෝධන ක්‍රියාත්මක කරන මෙන්ය. එබැවින් ඔවුන්ගේ ඉල්ලීම අනුව එය ක්‍රියාවට නැගීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවට ය.[/alert]

මොනයම් හේතුවක් මත ආණ්ඩුව එය ක්‍රියාවට නගන්නේ නැතිනම් සහ ඒ සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් ඉදිරිපත් කරන්නේ නැතිනම්, වර්ජනය කිරීමේ අයිතිය මේ වෘත්තීය සමිති සතු මූලික අයිතියකි. ඒ අයිතිය පසුගිය රාජපක්ෂ ආණ්ඩුව වෘත්තීය සමිති ක්‍රියාකාරකම් විවිධාකාරයෙන් මර්දනය කළ අයුරු අත්‍යාවශ්‍ය සේවා නීති මගින් යටපත් කිරීම යහපාලනය පොරොන්දු වන, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට පොරොන්දු වූ ආණ්ඩුවකට ගැලපෙන කාර්යක් නොවේ.

එයටත් අමතරව, අත්‍යාවශ්‍ය සේවා ලෙස යම් සේවාවක් තීන්දු කළ යුතු පදනම, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන් හා නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධ විශේෂඥයින්ගේ කමිටුව විසින් වසර 2000 දී ඉතා නිරවුල්ව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තීන්දු කර ඇත. එයට අනුව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කළ යුත්තේ “එම සේවා ඇණ හිටීමෙන් සමස්ථ ජනගහනයේ හෝ ඉන් කොටසකගේ ජීවිත අනතුරට පත් කෙරෙන්නේ නම්” පමණි. එහිම සඳහන්වන අයුරු ගුවන් විදුලි හෝ රූපවාහිනි විකාශන වැනි සේවා එවැනි සේවා නොවේ. එබැවින් දුම්රිය ගමනා ගමනය හා ප්‍රවාහනය ඇණ හිටීම ජනතාවගේ දෛනික ජීවිතයට බලපාන්නාවූ නමුත් ජනතාවගේ ජීවිත අනතුරට පත් කරන්නක් නොවේ. එබැවින් ආණ්ඩුවේ මේ ගැසට් නිවේදනය ශ්‍රී ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර කම්කරු සම්මුතීන් ක්‍රියාත්මක කිරීමට අත්සන් තැබීමෙන් යටත් වන වගකීමත් ඒ හේතුවෙන් යුරෝපා ජී.එස්.පී ‘අධි සහන’ ලබා ගැනීම වෙනුවෙන් දෙනු ලැබූ සහතිකයත් උල්ලංඝණය කරන්නකි.

මේ ආරවුල විසින් යලි ඉස්මතු කරන අනෙක් වැදගත් කාරණාව වනුයේ කාර්මික ආරවුල් පනත යටතේ පෞද්ගලික අංශය සතු වර්ජනයකට නොගොසින් ආරවුල් නිරාකරණය කර ගැනීමේ ස්වාධීන පිළිවෙතක් රාජ්‍ය සේවාවේ ආරවුල් නිරාකරණය සඳහා නොතිබීමය. රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය සේවා කොමිසම් සභාවත් මැදිහත්වන්නේ පෞද්ගලික සේවක ප්‍රශ්න සම්බන්ධයෙන් පමණි. ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, විටින් විට නිකුත් කෙරෙන සේවා සටහන් හා චක්‍ර ලේඛ කිසිවක් රාජ්‍ය සේවකයින් සඳහා සාමුහික කේවල් කිරීමේ හා ආරවුල් නිරාකරණය කිරීමේ කිසිදු ආයතනගත විසඳුමක් ඉදිරිපත් කරන්නේ නැත. එබැවින් මේ ගැටළුවේදී ද, වැටුප් විෂමතා සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මත තම වැටුප් සංශෝධනය කර ගැනීම සඳහා වර්ජනයට පෙර ආරවුල සමථයකට පත් කර ගැනීමට එය ඉදිරිපත් කළ හැකි ස්වාධීන ආයතනයක් වෘත්තීය සමිති වලට නොවුනි.

එවැනි පසුබිමක මේ ආණ්ඩුව වෘත්තීය සමිති ඉල්ලීම් වෙනුවෙන් විසඳුම් ලබාදීම වෙනුවට අත්‍යාවශ්‍ය සේවා පනත යොදා ගැනීම දැන් පුරුද්දක් කරගෙන ඇත. මීට ඉහතින් ඛනිජ තෙල් සංස්ථාවේ සේවක වර්ජනයට විරුද්ධවද මේ ආණ්ඩුව මේ අත්‍යාවශ්‍ය සේවා පනත යොදා ගත්තේය. වෘත්තීය සමිති ඉල්ලීම් වෙනුවෙන් සාධනීය පියවර නොගෙන පොදුවේ හැම ආණ්ඩුවක් මෙන්ම තමන්ගේ පහසුව සඳහා වර්ජන අයිතිය සමාජ ගැරහුමට පත් කෙරෙන අයුරු අත්‍යාවශ්‍ය සේවා නියෝග මත වර්ජන තහනම් කිරීමට ආණ්ඩුව පියවර ගැනීම, අප සංගමය තරයේ හෙළා දකිමු. අදාල ගැසට් පත්‍රය වහා ඉවත් කර ගිනිමින් වෘත්තීය සමිති සමග ඔවුන්ගේ ගැටළු සඳහා විසඳුම් සෙවීමට ආණ්ඩුව වැදගත් හා අවංක සාකච්ඡාවකට වහා පියවර ගත යුතුයැයි අප සංගමය කියමු. ආණ්ඩුවේ මූලික වගකීම වර්ජන තහනම් කිරීම නොව, කෙතරම් අසීරු වූවත් ගැටළු විසඳීම බැව්ද අප සංගමය මින් අවධාරණය කරමු.

ස්තූතියි.
මෙයට විශ්වාසී

ඇන්ටන් මාකස්
සම ලේකම්
නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය