Monday, May 20, 2024

වැල්ලවාය ප්‍රාදේශීය මාධ්‍යවේදියාට එල්ල කළ ප්‍රහාරය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකී

වැල්ලවාය ප්‍රාදේශීය මාධ්‍යවේදී යු. එස්. පී බණ්ඩාර මහතා සිය වෘත්තීය කාර්යයන්හි නිරත වෙමින් සිටිය දී ප්‍රහාරයට ලක් වීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකියි.

ආපදා අවස්ථාවේ විපතට පත් වූ ජනතාව පිළිබඳ රජයේ නිලධාරීන්ගේ දැනුවත් බව ද ඇතිව වාර්තාකරණයෙහි නිරතව සිටින අතර ඔහු මෙසේ ප්‍රහාරයට ලක් වීම අදහස් ප්‍රකාශනයෙහි ලා ජනතාව සතු අයිතිය ද උල්ලංඝණය කිරීමකි. මේ වන විට ප්‍රහාරයට වග කිව යුතු පුද්ගලයින් කෙරෙහි නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙන නමුත් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සුරක්ෂිත බව පිළිබඳ ගැටලු විසඳී නොමැති බව අදාල සිදුවීමෙන් සනාථ වේ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පසුගිය කාලය මුළුල්ලේම ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සුරක්ෂිත බව වෙනුවෙන් පෙනී සිටි සංවිධානයක් ලෙස මේ සිදුවීම ද හඳුනා ගන්නේ මාධ්‍ය වෘත්තියට එරෙහි බරපතල තර්ජනයක් ලෙසිනි. එබැවින් වඩාත් උසස් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීම උදෙසා බණ්ඩාර මහතාගේ සිදුවීම හෙළා දැකීමෙන් නොනැවතී, එය හුදෙකලා සිදුවීමක් ලෙස නොසළකා ඉදිරියෙහි දී ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ආරක්ෂිතව හා නිදහසේ වෘත්තීය කටයුතුවල නිරත වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය විය යුතු බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව අවධාරණය කරයි.

සී. දොඩාවත්ත
කැඳවුම්කරු

දිලීෂා අබේසුන්දර

ලේකම්

Archive

Latest news

Related news