යහපාලනය පිළිබඳව අපේක්ෂාවන් දල්වාගත් මේ රටේ අති බහුතරයක් වූ ජනතාව එක්තරා අන්දමකට වික්ෂිප්ත කළ කාලයක් ලෙස පසුගිය සතිය දැක්විය හැකිය. පළාත් පාලන මැතිවරණයට අදාළව තීරණාත්මක බලපෑමක් ඇති කළ හැකි ආකාරයට අභියාචනාධිකරණය මගින් ලබාදී තිබූ මුල් නඩු තීන්දුව, එකී මැතිවරණයට අදාළව ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය අතර සිදුකළ සාකච්ඡා වට කිහිපය මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට පැවතියේ යැයි කියන සූදානමක් වැළකීම හෝ එසේ වැළැක්වීම සඳහා කටයුතු කළේ යැයි පැතිර ගිය පුවත් ඊට මුල් වූ ප්‍රමුඛ හේතූන් විය. ඒ අතර මේ රටේ යුක්තිගරුක ජනතාවට කිසියම් හෝ අස්වැසිල්ලක් ගෙනදිය හැකි කරුණක් සිදුවූයේ නම් එය දැක්විය හැක්කේ විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට කටයුතු කිරීමය.
2015 ජනවාරි 08 මේ රටේ සිදුවූ දේශපාලන විප්ලවයට උරදුන් අති බහුතරයක් වූ ජනතාව ඒ සඳහා පෙළගැසුණේ නිදහසේ ජීවත්විය හැකි සාමකාමී රටක් පිළිබඳව වන අපේක්ෂාව තුළ පමණක්ම නොවේ. පැවැති දූෂිත පාලනය තුළ මේ රටේ මහජන මුදල් හා දේපල කොල්ලකෑ බවට පැහැදිලි චෝදනා එල්ලවී පැවති දූෂිතයන්ට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදෙන ලෙසට එල්ල වූ බලපෑම ද ඒ පිළිබඳව වන දැඩි අපේක්ෂාවන් ද ඒ අතර විය. ඒ අනුව එවැනි දූෂිත සිදුවීම් කිහිපයකට අදාළව පසුගිය කාලය තුළ ආරම්භ කරන ලද විමර්ශන හා පර්යේෂණ කෙරෙහි පොදු සමාජය තුළ දැඩි අවධානයක් පැවැතිණ. එහිදී පවා බොහෝදෙනෙකු පළකළ දුක්ගැනවිල්ලක් වූයේ සිදුවන පරීක්ෂණ කටයුතු ඔවුන් අපේක්ෂා කළ අන්දමට වේගවත් බවකින් සිදුනොවීම ගැනය.
එවන් පරිසරයක් තුළ ගෝඨාභය රාජපක්ෂ මූලික වශයෙන් වගකීමට බැඳී සිටින දූෂිත ගනුදෙනු හා රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීමට අදාළ විමර්ශන ගණනාවක් පැවැති බව කිසිවකුට රහසක් නොවීය. එමෙන්ම වාර්තා වන අන්දමට ඊට අදාළ ඇතැම් පරීක්ෂණ සම්පූර්ණ කර මේ වනවිට කිසියම් කාලයක් ගත වී ඇති බවද ඒ අතර සිටි දැනුවත් පුරවැසියන් බොහෝදෙනෙකු තුළ අවබෝධයක් විය. ඩී.ඒ. රාජපක්ෂ පදනම නම් රාජ්‍ය නොවන සංවිධානය මගින් ඉදිකරන ලද රාජපක්ෂ පරපුරේ ස්මාරක හා සිහිවටන ද ඇතුළත් කෞතුකාගාරය සඳහා රාජ්‍ය ආයතනයකින් රුපියල් ලක්ෂ 910 ක මුදලක් නීතිවිරෝධී ලෙස වැයකිරීම පිළිබඳව චෝදනාවට අදාළව ද පරීක්ෂණයක් සිදුවන බව ඒ සියලුදෙනා හොඳින් දැන සිටියහ. එපමණක්ද නොව එකී විමර්ශනයේ මූලික කටයුතු අවසන් වී මේවනවිට මාස ගණනාවක් ගතවී තිබූ බවද ඔවුහු දැන සිටියහ.
ඒ අනුව දැන් අප සලකා බැලිය යුතු වැදගත්ම කාර්යය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට අදාළව පමණක් සැලකීමේදී වුවද ඔහුට එරෙහිව මතුවී පැවැති චෝදනා ආශ්‍රයෙන් සිදුකරන ලද විමර්ශනයන්ට අදාළව මූලික කටයුතු අවසන් කර ඇති එකම විමර්ශනය එය පමණක් ද යන්නය. දෙවන හා ඉතාම වැදගත් කාරණය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ කර ගනිමින් එල්ල වී ඇති චෝදනා හා ඒවාට අදාළ විමර්ශන කටයුතු පිළිබඳව සලකා බැලීමේදී අනෙකුත් චෝදනා සහ ඩී.ඒ. රාජපක්ෂ පදනමට රජයේ මුදල් වැය කිරීම පිළිබඳව වන චෝදනාව අතර බරපතලකම පිළිබඳව කොතරම් පරතරයක් ඇත්ද යන්න කාරණයයි.
ඒ පිළිබඳව යම් මූලික අවබෝධයක් ඇතිකර ගැනීමට නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අදාළව බරපතල චෝදනා එල්ල වූ අනෙකුත් සිදුවීම් මොනවාද යන්න පිළිබඳව ද යම් අවබෝධයක් ඇතිකර ගත යුතුය. ඒවාට අදාළ බරපතලකම සැලකීමේදී නිශ්චිතවම අනුපිළිවෙළට සටහන් කිරීම දුෂ්කර හා ප්‍රශ්න සහගත වුවත් දූෂිත මිග් යානා ගනුදෙනු, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීමට අදාළ සිදුවීම, ඇවන්ගාඞ් සමාගම ආශ්‍රයෙන් සිදුකර ඇති දූෂණ හා නීතිවිරෝධී ක්‍රියාවන් අතිශයින්ම බරපතල බව අවිවාදිතය. විශේෂයෙන්ම මිග් යානා ගනුදෙනුව හා ඒ පිළිබඳව බරපතල හෙළිදරව් කිරීම් ගණනාවකට මුල් වූ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය ද ඊට අදාල කර ගැනීම තුළ ඩී.ඒ. රාජපක්ෂ පදනම මුල්කර ගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල වූ චෝදනාව සිල්ලර එකක් ලෙස සැලකිය හැකිය. එමෙන්ම සිදුකර ඇති වරදට අදාළව නොව වරදෙහි ස්වභාවයට එනම් පොදු දේපල අයථා ලෙස පරිහරණය කළේ යැයි කියන චෝදනාවට අදාළව ඇතැම් විට රටේ පවත්නා නීතිය තුළ අභියෝගයක් එල්ල කළ හැකි එකම චෝදනාව එය වනවාට කිසිදු සැකයක් නැත. සත්‍ය වශයෙන්ම අවාසනයේ සිදුවී ඇත්තේ ද එයමය. එනම් අදාළ චෝදනා යටතේ අධිකරණය හමුවේ නඩුවක් පැවරීමේදී ඒ සඳහා පොදු දේපළ පනත උපයෝගී කරගත හැකිද යන ප්‍රශ්නය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල වී ඇති චෝදනා අවලංගු වී නැතත් ඒ සඳහා නඩු පැවරීමකදී යොදා ගන්නා නීතියේ ස්වභාවය පිළිබඳව මේ වනවිටත් විවාදයක් මතු වී තිබීම ඊට මනා නිදසුනකි. ඒ තුළ යම් තාවකාලික හෝ රැකවරණයක් ලබා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට සමත්වී තිබේ.
අද වනවිට මේ පිළිබඳව සමාජය තුළ මතුව ඇති විවාදය තුළ කැපී පෙනෙන දෙපාර්ශ්වයක් ද එකී දෙපාර්ශ්වය තුළ එක් එක් පාර්ශ්වයන්ට අදාළව මතුකරන පම්පෝරි මෙන්ම වේදනාත්මක දුක්ගැනවිලිද දැකගත හැකිය. ඉන් එක් පාර්ශ්වයක් රාජපක්ෂවාදී කඳවුර නියෝජනය කරන විට අනෙක් පාර්ශ්වය නියෝජනය කරන්නේ ජනවාරි 08 ජයග්‍රහණයට සෘජුවම දායක වූ මේ රටේ අති බහුතර ජනතාවයි. ඒ අනුව මතුවන ප්‍රශ්නය වන්නේ දූෂණයෙන් හා භීෂණයෙන් තොර රටක් පිළිබඳව පමණක් නොව දූෂිතයන්ට එරෙහිව උපරිම ලෙස දඬුවම් ලබාදිය යුතුය යන අපේක්ෂාවන්ගෙන් සමන්විත ජනතාවක් වික්ෂිප්ත කරමින් ජනවාරි 08 ජයග්‍රහණය තුළ පරාජයට පත් වූ දූෂිත බලවේගයකට තාවකාලික සුවයක් ලබාදෙමින් පම්පෝරි ගැසීමට අවස්ථාවක් නිර්මාණය වීමයි. ඒ සමගම මතුවන බරපතලම ප්‍රශ්නය වන්නේ මේ ආකාරයට කරුණු කාරණා සිදුවන්නේ ඇයි ද යන්නයි.
එය තේරුම් ගැනීමට නම් මේ රටේ දේශපාලනය වටහා ගත යුතුය. බලය උදෙසා පමණක් සිහින දකින ඒ වෙනුවෙන් කරට අත දමාගෙන සිටින සගයාගේ පවා ගෙල සිඳින්නට ඉදිරිපත් වන දේශපාලන කල්ලි කණ්ඩායම් වල චෙස් ඇදීමේ රටාව යම් ආකාරයකින් හෝ තේරුම් ගැනීම එහිදී ඉතා වැදගත්ය. ඒ සඳහා සංකීර්ණ ප්‍රහේලිකා පිරවීමට අවශ්‍ය නොවේ. මේ මොහොතේ රාජපක්ෂ කඳවුර දුර්වල නොකිරීමෙන් වඩාත්ම වාසිය අත්වන්නේ කාටදැයි යන්න තේරුම් ගැනීම පමණක් ඒ සඳහා ප්‍රමාණවත්ය.
එහෙත් එහිදී පෙර සඳහන් කළ දෙපාර්ශ්වයම වඩාත් සැලකිල්ලට ගැනීමට උනන්දුවක් දක්වා ඇත්තේ මතුපිට කරුණු කෙරෙහිය. තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස නියෝගයක් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය හමුවට ගොස් ඊට අදාළව ලබාගෙන ඇති සහනය තුළ අපි වෙනුවෙන් අපි යැයි කියා ගන්නා උදවිය රුපියල් මිලියන ගණන් වැය කරමින් මේ රටේ ජාතික පුවත්පත් පුරා දැන්වීම් පළ කරමින් ලබා ගන්නා තාවකාලික සැනසීම තුළදත වරදක බර මනින්නේ කෙසේ දැයි ප්‍රශ්න කරමින් අවසානයේ තමන් ප්‍රාර්ථනා කරන යුක්තිය කෙසේ හෝ ඉක්මනින් ලබාගත යුතු යැයි සිතන සාධාරණ සුධීමතුන් ද එහිදී පැටලී ඇත්තේ එකම පඹගාලකය.
ඒ බව තේරුම් ගැනීමට නම් දෙපාර්ශ්වයෙන්ම ඇසිය යුතු සාධාරණ ප්‍රශ්න දෙකක් තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතාට අධිකරණයෙන් ලබා දී ඇති තාවකාලික සහනය තුළ පාරම්බාමින් සිටින අපි වෙනුවෙන් අපි නම් නඩයෙන් පළමු ප්‍රශ්නය ඇසීම වැදගත්ය. මේ රටේ බොහෝ දෙනෙක් දන්නා පරිදි අපි වෙනුවෙන් අපි යනු රාජපක්ෂ පවුලේ හෝ රාජපක්ෂවාදී සනුහරයේ මුදල් යොදා ගොඩනගන ලද අරමුදලක් නොවේ. රටේ මහජන මුදල් ද ඇතු`ථ රාජ්‍ය සම්පත් යොදා ගොඩනගන ලද අරමුදලකි. එහි අරමුදල් යොදවා ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් දැන්වීම් පළකළ හැකිද? එකී අරමුදල එවැනි කටයුත්තක් සඳහා සම්බන්ධ වී නැත්නම් අපි වෙනුවෙන් අපි වැනි අරමුදලක කීර්තිනාමය මේ ආකාරයට පටු හා දූෂිත අරමුණක් වෙනුවෙන් යොදා ගැනීමට හැකිද යන්නයි.
ඒ සමගම මේ රටේ යුක්තිය ඉල්ලා එය මේ වනතෙක්ම ඉටු නොවීම පිළිබඳව කණස්සල්ලට හා විස්සෝපයට පත්ව සිටින ජනතා බලවේගය ද සබුද්ධිකව විමසා බැලිය යුතු ප්‍රශ්නයක් තිබේ. එනම් මේ මොහොතේදී වරදක බර හා වරදේ ප්‍රමාණය නොසලකා දුර්වලම නඩු නිමිත්තක් තුළ ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට පත් වූයේ නම් ඇතිවිය හැකිව තිබූ ප්‍රතිඵලය කුමක් විය හැකිද යන්නයි. එවැන්නක් සිදුවූයේ නම් නිසැකවම සිදුවනු ඇත්තේ අත්අඩංගුවට පත්වීමෙන් පැය කිහිපයකට පසු ඇප ලබා වීරයෙකු ලෙස නැවත සමාජගතවීමට හැකියාව ලැබීමයි. එසේ වූයේ නම් ඔහු එළියට එනු ඇත්තේ තමන්ගේ කඳවුරු තුළ වීරයෙකු නිර්මාණය කරමින්ය. එපමණක්ද නොව ඔහුට එරෙහිව නගා ඇති අන් සියලු බරපතල චෝදනාවන්ද පුස්සක්වනු ඇතැයි යන මතයක් සමාජය තුළ ගොඩනැගීමට ද ඒ තුළ ඔවුන්ට හැකියාවක් ලැබෙනු ඇත. එවැනි තත්ත්වයක් තවත් බොහෝ දේ නිර්මාණය කළ හැකිය. ඒ තුළ අවසානයේ සිදුවනු ඇත්තේ ජනවාරි 08 බලවේගය තුළ තවමත් නොසිඳී ඇති යුක්තිය පිළිබඳව වන අපේක්ෂාවන් මලානික වන තැනකට පත්වී දූෂිත බලවේගයන්හි අපේක්ෂාවන් බලවත්ව නැගීසිටීමේ තත්ත්වයකට පත්වීමයි. එවැන්නක අවසාන ප්‍රතිඵලය තම උපරිම වාසියට යොදාගත හැකි කණ්ඩායමක අරමුණු තුළ මෙකී සමස්ත සිදුවීමෙහි සැබෑ නිර්මාපකයන් හඳුනාගත හැකිවනු ඇත.
ඒ අනුව පසුගිය සතිය තුළ ඇති වූ තත්ත්වයන්හි මතුපිට සලකා බැලීමේදී මේ රටේ යුක්තිගරුක ජනතාව තුළ කිසියම් පසුබෑමක සේයාවක් දැකගත හැකි වුවත් දූෂිතයන්ට හා දූෂණයට එරෙහිව මතුවන සැබෑ බලවේගයන්ට තවදුරටත් අපේක්ෂා දල්වා ගැනීමට ඇති හැකියාව තවමත් ඇහිරී නොමැති බව තේරුම් ගැනීමද ඉතා වැදගත්ය. විමල් වීරවංශ මහතා විසින් සිදුකර ඇති අයථා ඉපයීම් පිළිබඳව චෝදනා ගොනු කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුව ඒ සඳහා දැක්විය හැකි එක් නිදසුනකි. ඒ සමගම ඉතා පැහැදිලි චෝදනා ඇති දූෂිත මිග් යානා ගනුදෙනුව, ඇවන්ගාඞ් හා බරපතල මිනීමැරුම් චෝදනා ද ඇතුළත් වැලිකඩ සිරකරුවන්ගේ ඝාතන වැනි අති ප්‍රබල නිමිති මුල්කර ගනිමින් ශක්තිමත් පදනමකින් යුතු චෝදනා ඉදිරිපත් කරන තුරු ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් රටට විය යුතු සැබෑ යුක්තිය ඉටුකර ගැනීමට කිසිවෙකුට නොහැකිවනු ඇත.
සුනිල් ජයසේකර