Thursday, March 28, 2024

ගිංතාට සිද්ධියේ සැබෑව හා යතාර්ථය (1) සජීව විජේසිංහගේ විග්‍රහය

රට පුරා සියළුම දිස්ත්‍රික්කයන් හි ඉදිරි සැළසුම් සාකච්ඡා කළ දිනයකි.

ඒ දිසාපතිවරුන්ගේ සමුළුවේ පළමු දිනයේ අවසානයයි.

දිසාපතිවරුන් සියලු දෙනාම ඇමති වජිර අබේවර්ධනගේ නිවසේ රාත්‍රී භෝජනය ගමින් සිටියහ.

මොහාතකින් ඇමතිතුමා දුරකථන ඇමතුමකි.

ඔහුගේ මුහුණ බැරෑරුම් පෙනුමක් ගනිද්දී මට සිතුනේ යම් ගැටළුවක් මතුවී ඇති බවකි.

ඩී.අයි.ජී. ට ගන්න.

ඔහු සිය ආරක්ෂක නිලධාරියාට දුරකථනය දෙමින් මදක් ඉවත්ව ගියේය

ඇමතිවරයා ඩීඅයිජී සමග කතා කරද්දී මගේ දුරකථනය නාදවිය.

ඒ ඇමතුම බිරිඳගෙනි.

”සජීව ගිංතොට සිංහල මුස්ලිම් ගහගන්නවා ඉක්මණට මොනවා හරි කරන්න වේවි”

ඒ සමගම දුරකථනයට ඇමතුම් රැසක් ගලා එන්නට විය.

මිතුරන්, ඥාතීන් වෙනත් හිතවතුන් කතා කළහ.

ගිංතොට උණුසුම් වී තිබේ.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාත්, අගමැති ලේකම් සමන් ඒකනායක මහතාත් ඇමතිතුමාගේ නිවසේය. ගාල්ල දිසාපති එස්.ටී.කොඩිකාර මහතා ද එහි ය. කළ යුතු සියල්ල සාකච්ඡා කෙරිණ. ආරක්ෂක අංශවලට කඩිනම් උපදෙස් ලැබිණි.

ඇමතිවරයාගේ කවුදෝ හිතවතුගෙන් ලැබුණු ඇමතුමකින් කියවුණේ කියාස් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් බව අසළ සිටි අපිට හොඳින් තේරුම්ගත හැකිවිය.

”නියාස් මේකට සම්බන්ධනම්. එයාව අත්ඩංගුවට ගන්න ඕන. මිනිහව බේරගන්න මට උවමනාවක් නැහැ. අපේ පක්ෂයේ මිනිහෙක්නම් කිසිම වැරැද්දක් නොකර ඉන්න ඕන. වැරදි කරන්න ඉඩ දෙන්න බැහැ.” ඇමතිතුමා ඔහුට කියනවා ඇසිණි.

ඒ සමගම යළිත් පොලිස් නිලධාරියකුට ඇමතිවරයාගෙන් ඇමතුමකි.

”ඔය සිද්ධියට සම්බන්ධ අය කියනවානම් මගේ මිනිස්සු කියලා ඒ අය හැමෝටම කලින් ඇරස් කරන්න. නීතිය තදින් ක්‍රියාත්මක කරන්න. ගිංතොට ප්‍රශ්නය දුරදිග යන්න දෙන්න එපා.”

එදින රාත්‍රිය කිසිවෙකුට නින්දක් වූයේ නැත.

උදේ වනවිට සියල්ල යථා තත්ත්වයට පත්ව තිබිණි.

නොවැම්බර් මාසයේ 12 දා තනිරෝදයෙන් පාරේ යතුරුපැදියක් ධාවනය කිරීමට උත්සාහගත් සිංහල තරුණයකු මුස්ලිම් මවක හා ඇගේ දරුවන් අනතුරට ලක්කර තිබිණි. ඒ අනතුරින් ඔවුන් තුවාල ලබා තිබූ අතර මේ සිංහල තරුණයා වටකරගත් පිරිස ඔහුට බැණ වැදී ඇත්තේ කවදත් ඔහුගේ රිය ධාවනය නොහික්මුණු ආකාරයෙන් සිදුවන බව ඔවුන් දන්නා බැවිනි. මෙතැනට පැමිණි බෝපේ පෝද්ද්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කියාස් මැදහත් වී අනතුරට පත්වූ අයට වන්දියක් ලබාදීමට උත්සාහයක නිරත වී ඇති අතර රුපියල් 25,000/= ඒ තරුණයා විසින් ලබා දී ඇතැයි කියැවිණි.

එතැනින් සිද්ධිය අවසන් විය. 14 වැනි දා සවස පාපන්දු ක්‍රීඩාවේ නිරත වී යළි නිවෙස් බලා යමින් සිටි මුස්ලිම් ජාතික තරුණයන් දෙදෙනකු නැවතූ ඉහත කී යතුරුපැදි කරුගේ මිතුරන් ඔවුන් සමග බහින් බස් වී පහර දී ඇතැයි ද දැන් තහවුරු වී තිබේ. මේ සිද්ධිය කියාස් හිටපු මන්ත්‍රීවරයා දක්වා ගියේය.

15 දා කිසිවක් වූයේ නැත. 16 වැනිදා කියාස් ක්‍රියාත්මක වී තිබිණි. තමන්ගේ පිරිසක් සමග පැමිණි කියාස් තම හිතවතුන් දෙදෙනාට මහ මගදී පහර දුන් තරුණයන් දෙදෙනා සොයන්නට විය. මෙය දේශපාලන පටු අරමුණ්ක හේතුවේන වූවා යැයි ද එයට ප්‍රබල දේශපාලනඥයන් මැදහත් වී ඇතැයි පැවසුණ ද මා දන්නා තරමින් එතෙක් කිසිදු දේශපාලනඥයෙන් එයට සම්බන්ධ නැත.

තරුණයන් දෙදෙනා පහරකෑමට ලක්වූ ස්ථානයේ ඇතිවූ බහින්බස්වීම් දුරදිග යද්දී සිංහල පවුල් පදිංචිව සිටි නිවාස දෙකකට පැමිණ පිරිස අතින් ප්‍රහාර එල්ලවන්නට විය. ඒ 16 දා රාත්‍රියයි. දිසාපති සමුළුවේ පළමු දිනයේ අවසානයයි. වජිර අබේවර්ධන ස්වදේශ කටයුතු අමාත්‍යවරයාත් අප සියලු දෙනාත් මේ සිද්ධිය දැනගන්නේ එ් අවස්ථාවේ දී ය.

පසු දා (17) දා පහන් වනවිට ප්‍රදේශය යළි සාමකාමීය. තැන තැන පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) ස්ථානගත කර තිබුණි. කියාස් සහ කළහයට සම්බන්ධ තවත් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබිණි.

දිසාපති සමුළුවට පැමිණි අමාත්‍යවරයා ගිංතොට සිද්ධිය සමථයකට පත්කර ඇති බවත් ඒ ගැන සොයා බලා වැඩි විස්තර දන්වන්නැයි ද දිසාපතිවරයාට කීවේය.

එදින රාජකාරී වැඩ අවසන් කළ මම ගාලු පැමිණියෙමි. ඒ පසු දා වජිර අබේවර්ධන අමාත්‍යවරයා සමග ඇල්පිටියේ පැවැත්වෙන ගංවතුර ආධාර බෙදාදීමේ වැඩසටහනක් සඳහා සහභාගී වීමේ අපේක්ෂාවෙනි.
නිවසට පැමිණ සුළු මොහොතක් ගත වූවා පමණි හතරවටින් දුරකථනය නාද වන්නට විය.

”ගිංතොට සිංහල මුස්ලිම් අය මරා ගන්නවා. කඩ ගිනිතියලා, දැනටමත් සිංහල අය කීප දෙනෙක්ව කපලා. බෝම්බ දෙක තුනකුත් පත්තු වුණා” මෙ ආරංචිවලින් කියවිණි.

මම ඒ මොහොතේ සිට වජිර අබේවර්ධන ඇමතිවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත්ත ද එය ව්‍යර්ථ විය.

විනාඩි ගණනාවකට පසු ඇමතිවරයා සම්බන්ධකරගත හැකිවිය.

”සජීව, සිද්ධිය දන්නවනේ. ඔයාලා ඒ පැත්තට දැන් යන්න එපා. උදේ පාන්දර මම ගාලු එනවා. දැන් එස්.ටී.එෆ්. එක දාන්න කිව්වා. හමුදාවත් යැව්වා. තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වේවි. ඔයාලා පරෙස්සමෙන් ඉන්න. වැරදි තොරතුරු ෆේස්බුක් එකෙයි මීඩියාවලයි යන්න දෙන්න එපා. ඔයා අපේ මීඩියා එකේ හැමෝටම කියන්න උදේ පාන්දර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට එන්න කියලා. අනිත් මීඩියා අයටත් කියන්න. වැරදි තොරතුරු යන එක වළක්වන්නත් ඕනේ. අවශ්‍ය වුණොත් මම කතා කරන්නම්.”

ඇමතිතුමා ඉතා වේගයෙන් උපෙදෙස් දුන්නේය. කලබලය ඔහුගේ වදන්වල ගැබ්ව තිබිණි.

පැය ගණනක් ගතවනතුරු මට දුරකථන ඇමතුම්වලින් අඩුවක් තිබුණේ නැත.

කවදාවත් ජාතිවාදී නොවේ යැයි කියූ මගේ මිත්‍රයෝ ද ඥාතීහු ද කතා කළහ. ඔවුන්ගේ ද ජාතිවාදී හැඟීම් කුපිත වී තිබිණි. මහ රාත්‍රියේ ෆේස්බුක් හරහා ප්‍රචාරය වන අසත්‍ය තොරතුරුවලට තටු ලැබී තිබිණි. එක් පුද්ගලයකු ගිංතොට ගිනියම් වී ඇතැයි කියමින් ඡායාරූප පලකර තිබිණි. ගිංතොට හන්දියේ කඩ ගිනිතියා ඇති ආකාරය යැයි සඳහන් ඒ ඡායාරූප ගිංතොට නොවන බව ගිංතොට ගැන දන්නා අපිට බැලූ බැල්මට වටහාගත හැකි විය. නමුත් කොළඹ, අනුරාධපුරයේ, මහනුවර, රත්නපුරය වැනි දුරබැහැර ප්‍රදේශවල සිටින මගේ මිත්‍රයෝ කතා කරමින් තොරතුරු විමසා සිටිය ද ඔවුන් මා කියන දේ විශ්වාස කළේ නැත.

සෞඛ්‍ය අංශයේ මගේ හොඳ මිත්‍රයකු මට කතා කළේය.

”මචං මේ සිද්ධියත් එක්ක මට මතක් වුණා අර ගාල්ලේ කඩයක වඳ බෙහෙත් කතාව. ඒ කඩේ වඳ බෙහෙතක් තිබුණේ නැහැ. එක කඩේක කෑම දාල තියෙන කබඩ් එකට වහළෙන් වතුර වැටෙනවා කියලා පී.එච්.අයි. ලා නඩුවක් දාලා. අනිත් කඩේට නඩු දාල තියෙන්නේ බත් පැකට් එකක පණුවෙක් ඉදලා. ඒත් මේ නඩු දාපු ගමන් අපේ සිංහල එවුන් ඒ කඩවලට හොඳ ගේමක් දීලා බිස්නස් නැති කරා. ඒ නිසා පී.එච්.අයි. ලා ඇත්ත තත්ත්වය ප්‍රචාරය වෙන්න දුන්නෙත් නෑ. ඒ නොදුන්නේ තම්බින්ට ගේමක් දෙන්න ඕන නිසා. දැන් පේනවනේ උන් ගාණට වැඩියි. මුන්ව කපලම දාන්න ඕනෑ.” සෑම පොහොය දිනකම පන්සල් යන සැදැහැවත් බෞද්ධයා එසේ කියද්දී පුදුම වනවා හැර මට කරන්නට දෙයක් තිබුණේ නැත.

පසු දා උදේ හිරුපායන තුරු අපිට හරිහැටි නින්දක් තිබුණේ නැත.

වජිර අබේවර්ධන ඇමතිවරයා ගිංතොට ආරක්ෂාව දැඩි කරන්න යැයි කියා තිබුණ ද සිදුවන්නේ කුමක් දැයි හරිහැටි තේරුම්ගන්නට නොහැකි වී තිබිණි.

උදේ පාන්දර මුහුණු පොත පෙරළූ විට දක්නට ලැබුණේ ගිංතොට දී මරා දමා ඇති සිංහල මිනිසුන් යැයි සඳහන් පෝස්ටුවකි. කවුදෝ මා එයට ටැග් කර තිබිණි. නමුත් එය පිරික්සීමේ දී පෙනී ගියේ එහි දක්නට ඇත්තේ හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය වූ අවස්ථාවේ මළ සිරුරු කිහිපයක ඡායාරූප බවයි. මේ පෝස්ටුව ගලවා ඔහු එළවා දැමුවෙමි.

උදෑසන රැස්වීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. ආගමික නායකයෝ ගිංතොට සාමය හා සමගිය ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කළහ. දේශපාලනයක් සම්බන්ධයැයි කොතෙක් කීව ද ගාල්ලේ දේශපාලනඥයන් අතරින් එහි පැමිණ සිටියේ ඇමති වජිර අබේවර්ධන හා නියෝජ්‍ය ඇමති මනූෂ නානායක්කාරත්. ප්‍රාදේශීය දේශපාලනඥයන් කිහිප දෙනකුත් පමණි. අන් අය ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමට ආවේ නැත.

පෙරදින රාත්‍රී රිෂාඩ් බදුයිදීන් ඇමතිවරයාත්, ෆයිසර් මුස්තාපා ඇමතිවරයාත්, චන්දිම වීරක්කොඩි ඇමතිවරයාත් ගිංතොටට ගියබවත් දැනගන්නට ලැබිණි. එහි දී එම ඇමතිවරුන්ට ද විරෝධතාවක් එල්ල වූ බවත් ඔවුන් සමග පැමිණි වාහනවලට ගල් ප්‍රහාර එල්ල වූ බවත් කියැවිණි. රැස්වීමේ දී අවධාරණය වූයේ පොලිස් විශේෂ කාර්ය බළකාය පෙරදින රාත්‍රියේ ඉවත්කිරීම මේ ගැටුමට හේතුවූ බවයි.

ගිංතොට ගිය ගමන ඉදිරි සටහනකින් බලාපොරොත්තු වන්න.

( මුහුණු පොතෙනි)

Archive

Latest news

Related news