Sunday, May 5, 2024

මුගාබේ පවුල් ගහ සහ චීන විජිතවාදය:  වීරයා ද්‍රෝහියා වී සිංහයා, කිඹුළාට බිලිවීම – සුනන්ද දේශප්‍රිය

ජායාරූපය: එමර්සන් මනන්ගාවා නොහොත් කිඹුලා දැන් ජනාධිපති විමට නියමිතය.

වසර 37ක් සිම්බාබ්වේහි පාලකයා වූ රොබට් මුගාබේ අවසානයේදී ජනාධිපතිධුරයෙන් ඉවත්වී යන්නට ගියේය. අපට අපේ කැමැත්ත අනුව වැඩ කළ හැකි නමුත් කැමැත්ත තීරණය වන්නේ බාහිර සාධක මගින් බව යළිත් වරක් සනාථ විය. යුද හමුදාව පසුගිය නොවැම්බර් 15දා මුගාබේ නිවාස අඩස්සියට ගෙන රාජ්‍ය රූපවාහිනී මාධ්‍යස්ථානය සිය පාලනයට ගත් විට ඔහුගේ ඉරණම නළලේ කෙටී තිබුණි.

රොඩේශියාව නමින් සුදු ජාතික යටත් විජිත පාලනයක් පැවැති සිම්බාබ්වේහි කලු ජාතික විමුක්ති අරගලයේ කෑපී පෙනුන නායකයා වූ මුගාබේ පසු කළෙක හදුන්වන ලද්දේ සිම්බාබ්වේහි සිංහයා ලෙසය‍.

විමුක්ති අරලගයේ තවක් කැපී පෙනුනු නායකයකු වූ උප ජනාධිපති එමර්සන් මනන්ගාවා හදුන්වනු ලැබූයේ කිඹුලා ලෙසය. ඔහුට ලැදි කණ්ඩායම කිඹුල් කණ්ඩායම ලෙස හදුන්වනු ලැබේ. ඔහුට කිඹුලා යැයි කියන්නේ ගොදුරු ඩැහැ ගැනීමේ ප්‍රචන්ඩත්වයෙහි සංකේතයක් වශයෙනි.

මුගාබේ රටම කැවේය.

දැන් සිංහයා කිඹුළාට බිලි වී තිබේ. වීරයා මුගාබේ ද්‍රෝහියා වී ද්‍රෝහියා මනන්ගාවා වීරයා වී තිබේ!  විටෙක ඉතිහාසය කොතරම් දරුණුද?.

මනන්ගාවා  මීළඟ මැතිවරණය වනතුරු සිම්බාබ්වේහි ජනාධිපතිවරයා වනු ඇතැය වාර්තා  වේ.

93 හැවිරිදි මුගාබේ 53 හැවිරිදි සිය බිරිඳ වූ ග්‍රේස් මුගාබේ රටෙහි මීළඟ ජනාධිපතිවරිය කරනු පිනිස පසුගිය 06දා එමර්සන් මනන්ගාවා උප ජනාධිපතිධුරයෙන් පහ කරන ලද්දේ ඔහු ජනාධිපතිවරයාට ද්‍රෝහී වී ඇතැයි යනුවෙන් චෝදනා කරමිනි. ඔහු සිය ජිවිතය බේරා ගැනීම පිනිස වහාම දකුණූ අප්‍රිකාවට පලා ගියේය.

මේ අතර සිම්බාබ්වේ යුද හමුදාපති ජෙනරල් කොන්ස්ටන්ටීනෝ චිවෙන්ගා චීනයේ සංචාරයකට ගියේය. ඔහු ආපසු ආ සැනින් මුගාබේ පෙරළා දැමීමේ සැලසුම් ක්‍රියාවට නැගුණි.

චීනය සිම්බාබ්වේහි දැවැන්ත ලෙස මුදල් ආයෝජනය කර තිබේ. මුගාබේ යටතෙහි දිගින් දිගටම සිදූවූ මානව හිමිකම් කෙළෙසීම් හමුවේ බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සිම්බාබ්වේට එරෙහිව ආර්ථික සම්බාධක පැනවූ විට ඩොලර් බිලියන සියයක් ආයෝජනය කරමින් මුගාබේගේ සහායට ආවේ චීනයයි. සිම්බාබ්වේහි ලේ දියමන්ති ජාවාරමට චීන ව්‍යාපාරිකයක් හවුල්වී ඇති බවට වාර්තා පළ වී තිබේ. 2015 වසරෙහි සිම්බාබ්වේහි සංචාරකට පැමිණි චීන ජනාධිපති ෂි ජින් පින් විනාඩි ගණනාවක්ම මුගබේගේ අතට අතදී ගෙන සිටියේ සිය මිත්‍රත්වය ලෝකයට පෙන්වීමටය.

උප ජනාධිපති මනන්ගාවා පහකිරීමත් ඊට පෙර සිටම එරට නැග එමින් තිබූ විපාක්ෂික බලවේගත් විසින් සිම්බාබ්වේ අස්ථාවර දේශපාලන තත්වයකට තල්ලු කරමින් තිබුණි.පසුගිය අප්‍රේල් මාසයෙහිදී විපක්ෂ නායක මෝගන් තස්වන්ගිරායි සහ හිටපු උප ජනාධිපතිවරයකු වූ ජොයිස් මොජූරු මීළඟ මහා මැතිවරණයෙහි තරඟ කිරීම පිනිස සිය පක්ෂ දෙක ඒකාබද්ධ කර ගත්තේය. (2008 වසරෙහි පැවැති මහා මැතිවරණයෙන් මුගාබේ පැරදවීමට තවවන්ගිරායිගේ පක්ෂය සමත් වූ නමුත් මුගාබේ යටිකූට්ටු මගින් සිය බලය තහවුරු කර ගත්තේය). එමෙන්ම මුගාබේ විරෝධී සිවිල් ව්‍යාපාරය ජනප්‍රියවෙමින් තිබුණි.

මේ සියල්ලටම උඩින් මුගාබේගේ බිරිඳ ග්‍රේස් මුගාබේ විරෝධී මතවාද බලවත් වෙමින් තිබුණි.

සිම්බාබ්වේ අරාජිකත්වයට තල්ලු නොවීමට නම් දැන් වයස්ගත සිංහයා බලයෙන් විශ්‍රාම යැවිය යුතුව තිබුණි. එනයින් සිම්බාබේවේ යුද හමුදාව බලයෙන් පහ කරන ලද උප ජනාධිපති මනන්ගාවාට සහාය පළ කරමින් දේශපාලන මැදිහත්වීමක් කළ විට ඊට ලෝකය විරුද්ධ වූයේ නැත.  සිම්බිබ්වෙහි බැංකුකරු වූ චිනය කට ඇරියේවත් නැත.

මුගාබේ නිවාස අඩස්සියට ගත් යුද හමුදාව කියා සිටියේ තමන් කුමන්ත්‍රණයක් මගින් බලය අල්ලා ගැනීමක් කර නැති බවයි. මුල සිටම පෙනී ගියේ ලේ වැගිරීමක් මගින් හෝ ව්‍යවස්ථා විරෝධී ක්‍රම මගින් ජනාධිපති මුගාබේ බලයෙන් පහ කිරීම තවත් අවුලට මුල පිරීමක් බව යුද හමුදාව දැන සිටි බවයි. එවැනි තත්වයක්  ඇති වී නම් අප්‍රිකානු සංගමය මැදිහත් වීමට ඉඩ තිබුණි.  අප්‍රිකානු සංගමය යුද හමුදා කුමණ්ත්‍රන පිළි නොගනී

ගෞරවාන්විත ලෙස ජනාධිපති පදවියෙන් ඉවත්ව යන ලෙස යුද හමුදාව මුගාබේගෙන් ඉල්ලා සිටියේ ය. සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කිරීමට ඔහුට ලබා දුන් සජීවී රෑපවාහිනී වැඩසටහන  සිය බලය යළි පිහිටුවා ගැනීම අවස්ථාවක් බවට පත් කර ගැනීමට උත්සාහ කරමින් මුගාබේ කියා සිටියේ තමා සිම්බාබ්වේහි නීත්‍යනුකූල ජනාධිපතිවරයා වශයෙන් දිගටම කටයුතු කරන බවයි. ඔහු බලය විසින් උම්මත්තකභාවයට පත්ව සිටියේය.

ෂී ජින් පින් එදා මුගාබේගේ ගජ මතුරකු විය

එසේ නමුත් ඔහුගේම සානු සාපු දේශපාලන පක්ෂය විසින් ඒ වන විටත් ඔහු පක්ෂ නායකත්වයෙන් ඉවත් කර තිබුණි. යුද හමුදාව ඔහු නිවාස අඩස්සියෙන් නිදහස් කළේ ද නැත. ග්‍රේස් මුගාබේ අසළ නැමීබියවට පලා ගොස් තිබුණි. සිංහයා සියළු මිතුරන් විසින් අත්හළ සෙයක් පෙනී ගියේය.

ඉල්ලා අස් නොවන බවට මුගාබේගේ කළ රෑපවාහිනී කතාවෙන් පසු පාර්ලිමේන්තුවෙහි මුගාබේ විරෝධී දෝශාභියෝගයක් ගෙන ඒමට  සානු සාපු පක්ෂය තීරණය කළේය. එයට දූෂණ චෝදනා ඇතුළත්විය යුතුව තිබුණි.  දකුණු අප්‍රිකානු සහ ඇන්ගෝලා ජනාධිපතිවරු සිම්බාබ්වේ අගනුවර වන හරාරේ කරා එමින් තිබෙන බවට වාර්තා පළවිය. ඉන් දිනකට පසු නොවැම්බර් 21දා රොබට් මුගාබේ ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස්විය. එමර්සන් මනන්ගාවා දකුණු අප්‍රිකාවේ සිට සිය රට පැමිණියේය‍.

අන්තර් ජාතික බලවේග නොසළකා වත්මන් යුගයෙහි රටක් පාලනය කළ නොහැකි බව යළි සනාථ විය.

ජනාධිපති  දරයෙහි දිව්රුම් දීමට නියමිත එමර්සන් මනන්ගාවා දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ අරුණැල්ල සිම්බාබ්වේ මත පතිත වී ඇතැයි ප්‍රකාශ කර තිබේ.  ඔහුට ජනප්‍රිය වීමට නම් ප්‍රජාතන්තත්‍රවාදයේ භාෂාව අවශ්‍ය බව පෙනේ.   නමුත් ඒ අතරම ජාතියේ පියා මනන්ගාවා යැයි පොස්ටර් හරාරේහි ඇලවෙමින් තිබේ.

කිඹුළා විශ්වාස කර ගඟින් එතෙරවීමට ගිය වඳුරාට සිදුවූ දෙය දැන් සිම්බාබ්වේ ජනයා හමුවෙහි දිග හැරෙනු ඇත්ද? අයකු කියන්නේ ඔහු සිම්බාබ්වේ දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදී මාවතට ගෙන ඒමට උත්සාහ දරනු ඇති බවයි. මනන්ගාවාට වසය 75කි.

රොබට් මුගාබේ පාලනය යටතේ සිදු වූ මානව හිමිකම් කෙළෙසීම් කෙරෙන් අත සොදා ගැනීමට මනන්ගාවට බැරිය. මුගාබේ යටතෙහි මැති ඇමැතිවරු මෙන්ම යුද නිලධාරීහුද අභිරහස් ලෙස මිය ගියහ. 1980 ගණන් පුරා ඔහු බලය තහවුරු කර ගත්තේ සියලු විරුද්ධවාදීන් ඝාතනය කළ ලේ විලක් මැදිනි. ඔහු සහ පවුල විසින් ලොව පුරා මහා ධනස්කන්දයන් ආයෝජනය කර තිබේ. හරාරෙහි ඔහුගේ මාලිගයද එවැනි ධනස්කන්ධයක සංකේතයකි.  දැන් සිම්බාබ්වේහි ප්‍රජාතන්ත්‍රවාදී බලවේග පැරණි අපරාධ සඳහා වගවීම මෙන් මුගාබේ පවුල විසින් සොරා ගන්නා ලද ජාතික ධනය යළි ලබා ගත යුතු බවට හ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඩ නැගීමට පටන් ගෙන තිබේ.

කුමන බලයක තිබුණද අවසානයේදී ඒකාධිපති පාලකයින්ට සත්‍යට මුහුණ දීමට සිදුවෙයි. දේශපාලනයේදී ස්ථිර මිතුරන් නැත. අද මුගාබේ මුහුණ දෙන අබග්ගය ශ්‍රී ලංකාවේ රාජපක්ෂලාට පමණක් නොව සැමට පාඩමකි.

Archive

Latest news

Related news