Monday, May 20, 2024

අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද?

ජායාරූපය: අගමැති වික්‍රමසිංහ බැදුම්කර කොමිසම හමුවට පැමිණි අවස්ථාව ( ඩේලි මිරර් ජායාරූපයකි)
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් එම තනතුරට පත්කිරීමේදී ඔහුගේ බෑණනුවන් වන අර්ජුන ඇලෝසියස් පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගමෙන් ඉවත්විය යුතු බව තමන් අර්ජුන මහේන්ද්‍රන්ට මෙන්ම අර්ජුන අලෝසියස්ට දන්වා තිබුණු බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ සඳුදා (නොවැ 20) ප්‍රකාශයක් ලබා දෙමිනි.

අර්ජුන් ඇලෝසියස් පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගමෙන් ඉවත්වුවත් එයට සම්බන්ධ සමාගමක් වූ පර්පෙචුවල් හෝල්ඩින්ග්ස් ආයතනයේ කටයුතු කළ බව දන්නේද යන්න විමසු විට අගමැතිවරයා කියා සිටියේ තමන් ඒ ගැන නොදැන සිටි බවය.

කෙසේ වෙතත් තමන් සතු කොටස් හුවමාරු කිරීම සඳහා යම් කාලයක් ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටි බව අගමැතිවරයා සඳහන් කළේය.

නොවැම්බර් 20 වෙනි දින කොමිසම හමුවේ පෙනීසිටින ලෙස අගමැති රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබූ අතර ඒ අනුව අගමැතිවරයා අද උදෑසන 9.50 ට පමණ කොමිසම හමුවට පැමිණියේය.

කොමිසමේ කටයුතු පෙරවරු 10.00 ට ආරම්භවිය. කොමිසමේ මුලික කටයුතුවලින් අනතුරුව අගමැතිවරයාගෙන් ප්‍රශ්න විමසීම ආරම්භවුයේ පෙරවරු 10.15ට පමණය.

කොමිසමේ විනිසුරුවරුන් ප්‍රශ්න විමසීමට පෙර සභාව අමතමින් පැවසුවේ අගමැති රනිල් වික්‍රමසිංහට කොමිසම හමුවේ පෙනීසිටින ලෙස කොමිසම මගින් කිසිදු ලෙසකින් බලකිරීමක් සිදු නොකළ බවය.

Sri Lanka Central Bank

කොමිසමට සහාය දක්වන ලෙස කළ ඉල්ලීම අනුව පැමිණීම ගැන අගමැතිවරයාට විශේෂ ස්තුතිය ද කොමිසමේ විනිසුරුවරුන් විසින් පිරිනම ලදී.

මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් තමන් ගැන කියැවුණු සඳහන් වලට අදාළව ඕනෑම පැහැදිලි කිරීමකට තමන් සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති කොමිසමට මින් පෙර දැනුම්දී තිබුණි.

අගමැතිවරයාගෙන් සාක්ෂි විමසීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කටයුතු කළේ නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරියයි.

සාමාන්‍යයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ප්‍රශ්න ඇසීම සිදුකළේ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා විසිනි.

ඔහුගේ “උද්වේගකාරී හැසිරීම” පිළිබඳ කොමිසමේ විනිසුරුවරුන් අවස්ථා ගණනාවකමදී ඔහුට අවවාද කර තිබුණි.

කෙසේ වෙතත් ප්‍රශ්න මෙහෙයවීම සඳහා නීතිපතිවරයා කැඳවුයේ අගමැතිවරයාට හිමි නිල තත්ත්වය සැලකිල්ලට ගෙන කොමිෂන් සභාව ගත් තීරණයක් නිසා බව කොමිසමේ විනිසුරුවරු ප්‍රකාශ කළහ.

අගමැතිවරයාට ඔක්තෝබර් මස 10 වෙනි දින කොමිසම විසින් යවන ලද ප්‍රශ්න 28 ට හා නීතිපති දෙපාර්තමේන්තුව විසින් යවන ලද ප්‍රශ්න 20 ට අදාළව අගමැතිවරයා ලබාදුන් පිළිතුරැ කිහිපයක් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීම මෙහිදී සිදුවිය.

මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්
Image copyrightGETTY IMAGES හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්

නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රශ්න 33 ක් අගමැතිවරයාට යොමු කරන ලෙස ඉල්ලා තිබුණ ද එයින් අවශ්‍ය ප්‍රශ්න 20 ක් පමණක් අගමැතිවරයාට යැවු බව කොමිසමේ විනිසුරුවරු පැවසූහ.

අර්ජුන් ඇලෝසියස් සහ හිටපු මහබැංකු අධිපති අතර තිබු ලැදියාවන් අතර ගැටලුව ගැන නීතිපතිවරයා ද මෙහිදී වැඩිදුරටත් ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු දෙමින් අගමැතිවරයා කියා සිටියේ ලැදියාවන් අතර ගැටලුව ගැන මුලින්ම අවධානය යොමුකළේ තමන් බවය.

හිටපු මහබැංකු අධිපතිවරයෙකුගේ නැගණිය ද මින් පෙර පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කර තිබුණු බව අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගමෙන් ඉවත්ව තමන්ට හිමි මෙන්ඩිස් අරක්කු ව්‍යාපාරයේ කටයුතු කරන බව අර්ජුන් අලෝසියස් ද තමන් හමුවූ වරක ප්‍රකාශ කළ බව ඔහු පැවසුවේය.

අර්ජුන් ඇලෝසියස් සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් තමන් නොමග යැවු බවට තොරතුරු තමන්ට නොමැති බව නීතිපතිවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා කියා සිටියේය.

කොමිසම විසින් අගමැතිවරයා ගෙන් විමසන ලද තවත් ප්‍රශ්නයක් වූයේ සෘජු ස්ථානගත කිරීම්වල සිට ප්‍රසිද්ධ වෙන්දේසි සඳහා යාමට ගත් තීරණය සම්බන්ධයෙනි.

ඒ ගැන තමන් අර්ජුන් මහේන්ද්‍රන් දැනුවත් කර තිබු බවට අගමැතිවරයා ලිඛිතව ඉදිරිපත්කර තිබු පිළිතුර ගැන විමසමින් ප්‍රශ්න කළේ එය මුල්‍ය මණ්ඩලය විසින් ගත යුතු තීරණයක් නොවේද යන්නයි.

එයට පිළිතුරු දෙමින් අගමැතිවරයා පැවසුවේ ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලයේ හා රජයේ ප්‍රතිපත්ති ගැන විධාන දීමට හැකි බවය.

මුල්‍ය බලය පාර්ලිමේන්තුව සතු බව අගමැතිවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍ය රවී කරුණානායක
Image copyrightGETTY IMAGES බැඳුම්කර කොමිසම ඉදිරියේ හෙළිදරව් වූ කරුණු මුල් කර ගනිමින් රවී කරුණානායක සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සිදුවූ දිනයේ අර්ජුන් මහේද්‍රන් අගමැතිවරයාට ලබාදී තිබු දුරකථන ඇමතුම් ගැන මෙහිදී විමසු අතර අගමැතිවරයා පැවසුවේ මුලින්ම ඔහු අදාල නිකුතුව සිදුවූ බවටත් පසුව එහි වැඩිවිස්තරත් ලබා දුන් බවය.

අර්ජුන මහේන්ද්‍රන් අගමැතිවරයා ඇමතු දුරකථන අංකය ගැන විමසීමේදී අගමැතිවරයා පැවසුවේ එදින තමන් සම්බන්ධ කර ගත හැකිව තිබුණේ එම අංකයෙන් බවය.

තමන් දුරකථනයට කෙලින්ම පිළිතුරැ නොදෙන බවත් තම සහායකයන් තමන්ට එය ගෙනවිත් දෙන බවත් ඔහු මෙහිදී කියා සිටියේය.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක රාජ්‍ය බැංකුවලට අඩුවෙන් ලංසූ තබන ලෙස කළ ඉල්ලීමක් ගැන ඉදිර්පත්වූ සාක්ෂි ගැන විමසීමේදී අගමැතිවරයා පැවසුවේ තමන් එවැනි ඉල්ලීමක් සිදු කර නොමැති බවය.

නීතිපතිවරයා ප්‍රශ්නයක් යොමුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් ගැන සදහනක් කළ අතර එයට පිළිතුරු දෙමින් අගමැතිවරයා මහින්දානන්ද අලුගමගේ මන්ත්‍රීවරයාට ඇති චෝදනා සම්බන්ධයෙන් ගොනුවක් නඩු පැවරීම සඳහා මේවනවිට නීතිපතිවරයා සතුව ඇති බව සිනහවෙමින් සඳහන් කළේය.

අගමැතිවරයාගේ සාක්ෂි විමසීම නැරඹීමට එක්සත් ජාතික පක්ෂය නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු අමාත්‍යවරුන් රැසක් කොමිසම හමුවට පැමිණ සිටි අතර කොමිසම නීතිවේදීන්ගෙන්, මාධ්‍යවේදීන්ගෙන් හා මන්ත්‍රීවරුන්ගෙන් පිරී ඉතිරි තිබුණි.

වත්මන් ආණ්ඩුවේ මුල් මාස කිහිපය ඇතුළත සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව විමර්ශන සහ පරීක්ෂණ පැවැත්වීම පිණිස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම පත්කළේ පසුගිය ජනවාරි මාසයේදීය.

කොමිසමේ විනිසුරුවරුන්වන්ගේ ඉල්ලීම මත එහි නිල කාලය තුන්වරක් දික්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ අතර එහි අවසන් වාර්තාව දෙසැම්බර් 08 වෙනිදාට පෙර ජනාධිපතිවරයාට බාරදීමට කටයුතු කරන බව කොමිසමේ විනිසුරුවරු අද ප්‍රකාශ කළහ.

-BBC Sinhala

Archive

Latest news

Related news