Monday, May 20, 2024

ජනපති සිරිසේන, ඔබ යන්නේත් මාධ්‍ය මර්දන රාජපක්ෂ අඩිපාරේද? – තරුණ ජනමාධ්‍යවේදියෝ අසති.

ලංකා ඊ නිව්ස් තහනම ගැන ජනාධිපති සිරිසේන වෙත දීර්ඝ ගිලියක් යවමින් රාජපක්ෂ  සමයෙහි සිදුවූ මාධ්‍ය මර්දනය සිහගන්වන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය  අවසානයේ මෙසේ සඳහන ්කරයි

ලංකා ඊ නිවුස් බෙව් අඩවියට පිවිසීම නතර කිරීමෙන් යලිත් පෙන්නුම් කරන්නේ වත්මන් රජයද පැවැති රජය ගිය අඩිපාරේ යෑම ආරම්භ කර ඇති බවයි.    මේ වන විට ඔබේ ධූර කාලයෙන් අඩක්ම අවසන් බව යළිත් සිහිපත් කිරීමට කැමැත්තෙමු.   එනිසා අපි යළිත් වරක් ඔබෙන් ඉල්ලා සිටින්නේ ජනතාව විසින් තෝරා පත් කරගනු ලැබු ජනාධිපතිවරයා ලෙස ජනතාවට ඇහුම් කන් දෙන ලෙසයි. ලංකා ඊ නිවුස් වාරණය වහා නතර කරන ලෙසත්, පසුගිය දශකයේ සිදුවූ මාධ්‍ය මර්දනය ගැන සොයා බැලීමට වහාම ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙසත්, මාධ්‍ය මර්දනය පිළිබඳ විමර්ශන කඩිනම් කිරීමට අදාළ අංශ වලට උපදෙස් ලබා දෙන ලෙසත් ඔබෙන් ඉල්ලා සිටිමු.‘

සම්පූර්ණ ලිපිය පහත දැක්වේ:

2017 නොවැ 09
මෛත්‍රීපාල සිරිසේන මහතා,
ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලයය,
කොළඹ.

ජනාධිපතිතුමනි,

ලංකා ඊ නිවුස් වාරණය සහ ජනමාධ්‍ය මර්දනය සම්බන්ධවයි

1.      ශ්‍රී ලංකා ටෙලිකොම්හි අන්තර්ජාල පහසුකම් භාවිත කරමින් ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට පිවිසීම නොවැම්බර් 08 වැනි දා සිට අත්හිටුවා තිබේ.

2.      ප්‍රවෘත්ති වෙබ් අඩවියක් අවහිර කිරීම පිළිබඳව තීන්දු ගන්නා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යනු ඔබ යටතේ ඇති එනම් ජනාධිපති ලේකම්වරයා සභාපතිත්වය දරණ ආයතනයකි. එමෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා වන්නේ ද ඔබේ සහෝදරයාමය.

3.      මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ නීති විරෝධී නියෝගවලට කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ ජනාධිපතිවරයා වැරදිකරුවකු කරමින් අධිකරණ තීන්දුවක් ලැබී මාස තුනක්වත් ඉක්ම යෑමට මත්තෙන් යළිත් වරක් එම කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කිරීමට සිදුවීම පිළිබඳව අපි කණගාටු වෙමු.

4.      පසුගිය රජය සමයේ ද ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට පිවිසීම වළක්වනු ලැබූ අතර වරෙක ඊ නිවුස් ආයතනය ගිනි තැබීය. එහි මාධ්‍යවේදීන් තිදෙනකුට අවස්ථා කිහිපයකදී නඩු පැවරීය. එපමණක් නොව එහි නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වූයේ ද පසුගිය රජය සමයේය.

5.      2015 ජනවාරි අට වැනි දා ඔබ ද, 2015 අගෝස්තු 17 වැනි දා වත්මන් රජය ද බලයට පත්වීවූයේ රාජපක්ෂ රජය සමයේ    ජනමාධ්‍යවේදීන් ඝාතනය, පැහැරගැනීම සහ හිරිහැර කිරීම මෙන්ම මාධ්‍ය නිදහස සීමා කිරීම් ගැන පරීක්ෂණ කඩිනම් කරන බවට වූ පොරොන්දුව මතිනි.

6.      ඔබ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට පනවා තිබූ වාරණය ඉවත් කරන ලද මුත් මාධ්‍යවේදීන්ට වූ අසාධාරණය වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් සිදුවූයේ නැත.

7.      නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා 2016 නොවැම්බර් 19 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන අනුව 2006 ජනවාරි සිට 2015 ජනවාරි දක්වා කාලයේ ඝාතනය වූ මාධ්‍යවේදීන් ගණන 13 කි. පහරදීම්වලට ලක්වූ මාධ්‍යවේදීන් ගණන 87 කි. අත්අඩංගුවට ගත් මාධ්‍යවේදීන් ගණන 20ක් වන අතර ජනමාධ්‍ය ආයතන පහක් ප්‍රහාරයට ලක්වී තිබේ.

8.      ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය විසින් එළිදක්වනු ලැබූ ‘මරණය සමඟ වසර නවයක්‘ ප්‍රකාශනයට අනුව 2004 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා ඝාතනය කළ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් ගණන 44 කි.  ජනමාධ්‍ය ආයතන ප්‍රහාරයට ලක්වූ අවස්ථා ගණන 9 කි.

9.      මරා දැමුණු මාධ්‍යවේදීන් අතුරෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ වී ඇත්තේ සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා සම්බන්ධයෙන් පමණි. පහරකෑම්වලට ලක්වූ මාධ්‍යවේදීන් අතුරෙන් විමර්ශන පැවැත්වෙන්නේ කීත් නොයාර්, උපාලි තෙන්නකෝන් සහ නාමල් පෙරේරා යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් පමණි. අතුරුදන් කැරුණු (ඝාතනය කළ බවට සැක කරන) ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර තිබේ.

10.  දැනට ආරම්භ කර ඇති විමර්ශන පහ සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇතත් වත්මන් ආණ්ඩුව බලයට පත්වී අවුරුදු දෙක හමාරක් ගත වුවද  එම අපරාධ සිදු කිරීමට අණ දුන් කිසිවකු මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැත. මෙම අපරාධ සියල්ලක්ම වාගේ සිදුවූයේ ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන්ගේ සහ දේශපාලනඥයන්ගේ අණ මත බව අපේ විශ්වාසයයි.

11.  නීතිය හා සාමය ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තොරතුරු අනුව මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට හිරිහැර (පහරදීම්, මරා දැමීම්, පැහැර ගැනීම්) කළ මුළු අවස්ථා ගණන 126 කි. මේ වන විට විමර්ශන ආරම්භ වී ඇත්තේ පහක පමණක් වන අතර තවත් සිදුවීම් 121 කට අදාළ විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගත යුතුව තිබේ.

12.  විශේෂයෙන්ම දෙමළ භාෂාවෙන් වැඩ කළ ධර්මරත්නම් සිවරාම් (තාරකී), ඒ නඩේසන්, කේ ඒ බාලනඩරාජා, රෙලංගි සෙල්වරාජා, සුබ්‍රමනියම් සුගිතරාජන්, බී ජී සගයදාස්, චන්ද්‍රබෝස් සුදාකර්, සෙල්වරාසා රජිවර්මන්, සහදේවන් නිලක්ෂන්, වඩිවේලු නිමලරාජ්, පී දේවකුමාර් ඇතුළු මාධ්‍යවේදීන් රැසකගේ විමර්ශන තවමත් ආරම්භ කර නැත.

13.  බැඳුම්කර වංචාව සෙවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීම ගැන ඔබ නිතර කතා කළද මාධ්‍යවේදීන්ට සිදුවූ හිරිහැර සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස මාධ්‍ය සංවිධාන වසර දෙක හමාරක් තිස්සේ ඉල්ලා සිටියද මේ වන තෙක් එවැනි කොමිසමක් පත් කර නැත.

14.   තත්ත්වය මෙසේ තිබිය දී මීට වසරකට පෙර හමුදා සාමාජිකයන්ට නිවාස හා ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවයක දී 2016.10.12 දින ඔබ  ඉතා ආන්දෝලනාත්මක කතාවක් කළේය. ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා අතුරුදන්වීම සම්බන්ධයෙන්  අපරාධ චෝදනා  මත අත්අඩංගුවට ගත් බුද්ධි අංශ නිලධාරීන් මාස දහයක් තිස්සේ රිමාන්ඩ් බාරයේ පසුවන බව ඔබ එදින කතාවේදී කියා තිබිණි.

15.   එක්නැලිගොඩ නඩුවේ විමර්ශන කටයුතු ප්‍රමාද වීමට ප්‍රධානම හේතුව වී තිබුණේ ඔබ කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ඔබේ යටතේ ඇති ශ්‍රී ලංකා යුද හමුදාවෙන් අවශ්‍ය තොරතුරු විමර්ශන සඳහා ලබා නොදීම නිසා බව අධිකරණයේදීම අවස්ථා කිහිපයක දී කියැවිණි.

16.   ‘උසාවිවල විභාග වන ඇතැම් නඩු සම්බන්ධයෙන් වගේම හමුදාවේ අය අත්අංගුවට ගෙන තිබෙන ඒවා සම්බන්ධයෙනුත් මම ඒ නිලධාරීන්ට වරින් වර කියලා තියෙනවා. කවුරුත් දන්නවා හමුදාවේ බුද්ධි අංශවල නිලධාරීන් මාස 10ක් පමණ රිමාන්ඩ් බාරයේ තියාගෙන ඉන්නවා. මේ අංශ භාර අය මට මුලින්ම කිව්වා සති දෙකයි කියලා. පසුව කිව්වා මාසයයි දෙකයි කියලා.‘ යැයි ඔබේ කතාවේ එක් තැනක සඳහන් විය. ඔබ වරින් වර එම විමර්ශන කරන නිලධාරීන්ට කියා ඇත්තේ මොනවාදැයි දැන ගැනීමට අපි කැමැත්තෙමු.  ඔබේ එදා කතාවත් සමඟ අප මීට පෙර ද මේ ගැන ප්‍රශ්න කළ ද ඊට පිළිතුරක් නොලැබිණි. සැකකරුවන් රිමාන්ඩ් බාරයේ තබා ගන්නා කාලය ගැන ඔබ වරින් වර විමර්ශන නිලධාරීන්ගෙන් අසා ඇති බව ඔබේ ප්‍රකාශයෙන්ම තහවුරු වෙයි. ඔවුන්ගේ රිමාන්ඩ් කාලය ගැන පසුතැවෙන ඔබ විමර්ශනයට අවශ්‍ය තොරතුරු පමා කිරීම ගැන යුද හමුදා නිලධාරීන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග මොනවාදැයි දැන ගැනීමටද අපි කැමැත්තෙමු. යුද යමුදාව තොරතුරු ලබා නොදීම වැරදි බව යුද හමුදාව විසින්ම කළ විමර්ශනයකදී තහවුරු කර ඇති වග ඔබ නොදන්නේදැයි අපි නොදනිමු.

17.  බලයට පත්වී මාස තුනෙන් රතුපස්වල ගැටළුවලට විසඳුම් දෙන බවට 2014 දෙසැම්බර් 25 වැනිදා රතුපස්වලට ගොස් ඔබ දුන් ප්‍රතිඥාව බව ඔබට මතක ඇතැයි සිතමු. ඔබ බලයට පැමිණ ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක ඇමැතිවරයාද වී වසර දෙක එක හමාරකටත් වැඩිය. රතුපස්වල වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවි කිහිපයක් තවමත් යුද හමුදාවෙන් බාර දී නැති බව ඔබ නොදන්නවාදැයි අපි නොදනිමු. යළිත් වරක් සිහිපත් කිරීමට ඇත්තේ යුද හමුදාව භාර ඇමැතිවරයා ද ඔබම බවයි.

18.  මීට වසරකට පෙර නාවික හමුදාපතිවරයාව සිටි රවීන්ද්‍ර විජේගුණරත්න විසින් මාධ්‍යවේදියකුට පහරදෙනු ලැබීමේ සිද්ධිය ද යළි සිහිපත් කිරීමට කැමැත්තෙමු. නාවික හමුදාව භාර ඇමැතිවරයා ද ඔබම වන අතර එම සිදුවීමෙන් පසු නාවික හමුදාපතිවරයාට සේවා දිගුවක් ලබා දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට උසස් කළේ ද ඔබ විසින්මය. එම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පතිවරයාට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතත් මේ වන තෙක් සාධාරණයක් ඉෂ්ඨ වී නැත.

ජනාධිපතිතුමනි,
19.  පසුගිය රජය සමයේ සිදුවූ මාධ්‍ය මර්දනය ගැන ඔබ නිතර කතා කරයි. ජනතාව ජනවාරි අට වැනි දා මහින්ද රාජපක්ෂ මහතා පරාජය කර ඔබ ජනාධිපතිවරයා ලෙස පත් කර ගත්තේ පසුගිය රජයේ සිදුවීම් නැවත සිදු නොවීමටය.

20.  මහින්ද රාජපක්ෂ රජය වෙනස් වී මේ වන විට වසර දෙක හමාරක් පමණ ගත වී ඇත.  එම කාල වකවානුවේ දී ජනමාධ්‍යවේදීන්ට සිදුවූ තාඩන පීඩන සම්බන්ධයෙන් එකම සිදුවීමකවත් අවසානයක් කරා ගොස් සාධාරණයක් ඉෂ්ඨ වී නැත. එමෙන්ම වත්මන් ආණ්ඩුව යටතේ ද සිදුවීම් කිහිපයක් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් ද කිසිවක් සිදුවී නැත.

21.  ලංකා ඊ නිවුස් බෙව් අඩවියට පිවිසීම නතර කිරීමෙන් යලිත් පෙන්නුම් කරන්නේ වත්මන් රජයද පැවැති රජය ගිය අඩිපාරේ යෑම ආරම්භ කර ඇති බවයි.

22.   මේ වන විට ඔබේ ධූර කාලයෙන් අඩක්ම අවසන් බව යළිත් සිහිපත් කිරීමට කැමැත්තෙමු.   එනිසා අපි යළිත් වරක් ඔබෙන් ඉල්ලා සිටින්නේ ජනතාව විසින් තෝරා පත් කරගනු ලැබු ජනාධිපතිවරයා ලෙස ජනතාවට ඇහුම් කන් දෙන ලෙසයි. ලංකා ඊ නිවුස් වාරණය වහා නතර කරන ලෙසත්, පසුගිය දශකයේ සිදුවූ මාධ්‍ය මර්දනය ගැන සොයා බැලීමට වහාම ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙසත්, මාධ්‍ය මර්දනය පිළිබඳ විමර්ශන කඩිනම් කිරීමට අදාළ අංශ වලට උපදෙස් ලබා දෙන ලෙසත් ඔබෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට,

විශ්වාසී,

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

[email protected]

[email protected]

Archive

Latest news

Related news