Monday, May 20, 2024

ලංකා-ඊ-නිව්ස් තහනම ගැන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුදර්ශන ගුණවර්ධනගෙන් විමසයි.

ජායාරූපය: සුදර්ශන ගුණවර්ධන ©s.deshapriya.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් (වැඩ බලන ), නීතීඥ සුදර්ශන ගුණවර්ධන වෙත ලිපියක් යවන ලංකා ඊ නිව්ස් නීතිඥ උපුල් කුමාරප්පෙරුම එම අඩවිය තහනම් කරන ලද්දේ කුමන නීතියක් යටතේ දැයි විමසා සිටී. ඔහු මෙම ලිපිය යවා ඇත්තේ ලංකා ඊ නිව්ස් කර්තෘ සදරුවන් සේනාධීරගේ උපදෙස් පරිදිය‍

ලිපය පහත පළවේ.

09.11.2017.
නීතීඥ සුදර්ශන ගුණවර්ධන ,
ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් (වැඩ බලන ),
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව,
කිරුලපන පාර,
පොල්හේන්ගොඩ,
කොළඹ 05 .

මහත්මයාණෙනි ,

www.lankaenews.com වෙබ් අඩවියේ විකාශනය අවහිර කිරීම සම්බන්ධයෙනි

මාගේ සේවාදායකයා වන www.lankaenews.com වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ සදරුවන් සේනාධීර මහතාගේ උපදෙස් පරිදි ඔබ වෙත ලියමි.

මාගේ සේවාදායකයා විසින් මා හට ලබා දී ඇති උපදෙස් පරිදි ඔහු විසින් ඉහත නම් සදහන් වෙබ් අඩවිය ප්‍රවෘත්ති, දේශපාලන, කලා, ක්‍රීඩා සහ විදේශ ප්‍රවෘත්ති විෂය ක්ෂේත්‍රයන් ආවරණය කරමින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියක් බවත් එය ශ්‍රී ලංකාවේ පළමුවන ප්‍රවෘත්ති වෙබ් අඩවිය වන අතර ශ්‍රී ලංකාවේ මෙන්ම අන්තර්ජාතික ව කීර්තියක් දිනා ඇති සිංහල, ද්‍රවිඩ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියක් බවත් සඳහන් කර සිටින අතර එය වර්ෂ 2015 දී මෙරට ඇති වූ දේශපාලන පෙරළිය වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකළ වෙබ් අඩවියක් බවත් එසේ ම මීට පෙර වර්ෂ 2011 දී මහින්ද රාජපක්ෂ පාලන සමයේදී මෙම වෙබ් අඩවිය විකාශය මේ ආකාරයෙන්ම අවහිර කරනු ලැබූ බවත් එසේ සිදු කරනු ලැබ ඇත්තේ එවකට ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ B.V ගනේගල යන අයගේ ඉල්ලීමක් මත විදුලි සංදේශන නියාමන කොමිෂන්සභාවේ අධ්‍යක්ෂ ජෙනරලවරයා විසින් බවත් අනාවරණය වූ අතර පසුව එම වෙබ් අඩවියෙහි ප්‍රධාන කාර්යාලයට ගිනි තබා විනාශ කළ බවත් එම සාහසික ක්‍රියාවෙන් එහි පුස්තකාලය සම්පූර්ණයෙන් ම ගිනි ගෙන විනාශ වූ බවත් මෙම වෙබ් අඩවියට අනුයුක්තව සේවය කළ ප්‍රගීත් එක්නැලිගොඩ මහතා 2011 වර්ෂයේදී ම පැහැර ගෙන අතුරුදහන් කළ බවත් එකල ඇති වූ දේශපාලන තත්වය මත මාගේ සේවාදායකයාට ජීවිත ආරක්ෂාව පතා විදේශ ගත වීමට සිදුවූ බවත් ප්‍රකාශ කර සිටියි .

සදරුවන් සේනාධීර

මා වෙත වැඩිදුරටත් උපදෙස් ලැබෙන්නේ මාගේ සේවදයකයාගේ වෙබ් අඩවිය මගින් පවතින රජයේ යම් යම් තීරණ තීන්දු ද විවේචනය කිරීමට ලක් කර ඇති බවත් විශේෂයෙන්ම රුසියානු රජයෙන් ලබා ගැනීමට යන යුද නෞකාව සම්බන්ධ ව මාගේ සේවාදායකයා විවේචන සහිත ව පසු ගිය දින කිහිපය තුල ප්‍රවෘත්ති පල කර ඇති බවත් අනතුරුව 2017 නොවැම්බර් මස 8 වන දින දී ඔහුගේ වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුල විකාශනය සිදු කිරීම අවහිරතාවකට ලක්ව තිබු බවත්ය . එමෙන්ම මේ ආකාරයට වෙබ් අඩවියක විකාශනය අවහිර කිරීම පෞද්ගලික පාර්ශවයකට කළ නොහැකි කාර්යක් බවත් එය රජයේ වග කිව යුතු අංශ මගින් පමණක් සිදු කළ හැකි ක්‍රියාවක් බවත් වැඩිදුරටත් ඔහු කියා සිටියි .ඔහු තව දුරටත් මා හට උපදෙස් ලබා දෙමින් කියා සිටියේ මේ ආකාරයට වෙබ් අඩවියේ විකාශනය අවහිර කර ඇත්තේ ලංකාව තුල පමණක් වන බවත් වෙනත් විදේශ රටවල එහි විකාශනය සාමාන්‍ය පරිදි සිදු වූ බවත් එමෙන්ම ලංකාවේ නොවැම්බර් 9 වන දිනයේදී අන්තර්ජාල දෝෂයක් ද නොපැවතී බවය

මා හට ඔහු ගෙන් උපදෙස් ලැබූ පරිදි 2017 නොවැම්බර් මස 9 වන දින හා 10 වන දින උදෑසන දක්වා මේ ආකාරයට මාගේ සේවාදායකයාගේ වෙබ් අඩවිය අවහිර කිරීම සම්බන්ධ ව ඔහු වෙත කිසිදු පුර්ව දැනුම් දීමක් හෝ හේතු විමසීමක් හෝ හේතු දැන්වීමක් හෝ වෙනත් ආකාරයට දැනුම් දීමක් සිදු කර නොමැති අතර එය හුදු ඒකපාර්ශවික තීරණයක් ලෙස සිදු කර ඇති බවය

උක්ත කරුණු ප්‍රකාරව මා හට උපදෙස් ලැබෙන්නේ මෙසේ www.lankaenews.com වෙබ් අඩවි විකාශනය අවහිර කිරීම යම්කිසි අධිකරණ නියෝගයක් මත සිදු කළේ ද නැත්නම් වෙනත් ආයතනයක හෝ පුද්ගල උපදෙස් මත සිදු කළේ ද , එසේ සිදු කළේ නම් ඒ කුමන නීතියක් යටතේ ද සහ කුමන හේතුවක් මත සිදු කළේ ද යන්න පිළිබද විමසා බලන ලෙසයි. ඒ අනුව ඒ සම්බන්ධ තොරතුරු මා වෙත ලබා දෙන්නේ නම් කෘතක්ඥ වෙමි.

ස්තුතියි.
මෙයට

නීතිඥ උපුල් කුමාරප්පෙරුම

Archive

Latest news

Related news