ඒ සද්දෙට මං උඩ ගෙහුං වැටුණා. නිමලෙලගෙ ගේ පැත්තෙං ආවේ. මේ දවස්වල රෑට නින්ද යන්නෑ. නින්දෙං මර අඬ දෙන සද්ද ඇහිලා…
නිමලෙ ඉස්සිස්සරලා ම යි මර අඬ දුන්නේ.
මං ගිහිං බැලුවා.
ඇඟ පුරා දාඩිය දාලා. නිමලෙගෙ මායියා සිද්දාර්ත තෙල් පපුවෙ උරච්චි කොරනවා.
“මොකද මලේ මේ?”
නිමලෙ සද්ද නෑ. ඇඟ ගැහෙනවා.
අන්තිමේදි නිමලෙගෙ මායියා කට ඇරියා.
“වෙඩි තියන්ඩ පන්නනවා හීනෙං පෙනිලා”
“දෙයියෝ සාක්කි! කවුද?”
“හමුදාවෙං”
“හමුදාවෙං?”
“ඔව් වොව්”
ඉස්සර අසූ ගණන්ඔල නිමලෙ දිගටම කැලේ පැන්නා.
කොල්ලො නොමඟ අරිනව කියලා මරන්ඩ හෙව්වා. කවුදෝ කෑම්පෙකට පෙස්සම් ගහලා.
අන්තිමේදී පණ බේරගත්තෙ රෑට රෑට සියඹලා ගස් උඩ බුදියලා.
“මෙදා පාර මොකද වුණේ?”
“හිටපු හමුදා ලොක්කෙක් වියස්තාවට පක්ස උදවිය මරනව කියලා තිබ්බනෙ”
“ඉතින්?”
“නිමලෙත් පහුගිය කාලෙ වියස්තා රැස්වීම්ඔලට ගියා”
“ඉතින්?”
“ඒකෙ පොරතිපල තමයි ඔය”
මං නිමලෙගෙ ඔළුව අතගාලා ගෙදර ආවා. යාන්තං ඇහි පියවේගන එන කොට අර මර අඬේ ඇහුණා.
“බුදු අම්මෝ”
මං උඩ ගෙහුං වැටුණා.
(සිළුමිණ)