හිටපු එල්ටීටීඊ සටන්කාමීන් මුහුණ දෙන දුෂ්කරතා, කම්පන සහ අපහාස – එම්.ආර්. නාරායන් ස්වාමි

එස්.ආර් පෙනුමින් ඔහුගේ වයසට වඩා වයසින් වැඩිය. ඔහුගේ මුහුණෙන්ම පීඩා සහ දුෂ්කරතා දැක්ක හැකිය. ඔහු  ඔහු උතුරු ශ්‍රී ලංකාවේ පරන්තන් අසල ‘කූලී’ යකු යැයි ඔහු තමන් හදුන්වා දෙයි.(‘කූලි’ යනු අඩු වැටුපට  එදිනෙදා වැඩ කරන පුද්ලයින්ට යෙදෙන අපහාසාත්මක වචනයකි) මේ  ස්වාධීන දෙමළ නිජබිමක්  සඳහා  ඔහු ‘දෙමළ කොටියකු’ ලෙස දිග්ගැස්සුනු සහ අධිෂ්ඨානශීලී යුද්ධයක යෙදුණූ  සටන්කාමී ජීවිතයෙන් බොහෝ දුරස් වූ වෙහෙසකර පැවැත්මකි.

2009 දී ඔහු දහස් ගණනක් දෙමළ ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) ගරිල්ලන් සමඟ හමුදාවට යටත් වූ දා සිට, එස්.ආර්. දුෂ්කර ජීවිතයක් ගත කර ඇත. පශ්චාත් යුධ දෙමළ සමාජයකට අනුවර්තනය වීමට ඔහු තවමත් අරගල කරමින් සිටී. ඔහු සමඟ කලක්  සටන්කාමීත්වය වැළඳගත් අනෙක් අය දැන් ඔහු අතහැර දමා ඇති සෙයකි.

“දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයෙක් වසර 10 කට පමණ පෙර මගේ නිවසේ වැසිකිළියක් ඉදිකිරීමට උදව් කරන බවට පොරොන්දු වුණා,” ඔහු තේ කෝප්පයක් බොමින් මට පැවසීය. “ඒ පොරොන්දුව ඉටු වන තුරු මම තවමත් බලා ඉන්නවා. ඩයස්පෝරාව සහ තමිල්නාඩු දේශපාලනඥයන් දෙමළ අභිලාෂයන් ගැන කතා කරන ආකාරය ඇසෙන විට, මට කේන්ති යනවා..ඒ හැමෝම ගැන  අපි ඉන්නේ කලකිරීමෙන්.”

එස්.ආර්ගේ. ගේ කෝපය සාධාරණය. ඔහු එල්ටීටීඊය සමඟ එක් වූයේ 1985 දීය.ඔහු බඳවා ගත්තේ එල්ටීටීඊ නිර්මාතෘ  වේලුපිල්ලේ ප්‍රභාකරන් විසිනි.  එස්.ආර්. ඉන්දියානු සහ ශ්‍රී ලංකා හමුදාවන් දෙකටම එරෙහිව සටන් කළ අතර, නැවත නැවත  තුවාල ලැබුවේය. නමුත් ඔහුට වඩාත්ම වේදනාවක් ඇති කරන්නේ ඔහුගේ සිහින බිඳ වැටී ඇති ආකාරය ගැනය.

ඡායාරූපය:1997 මැයි 13 වන දින දියත් කරන ලද ශ්‍රී ලංකා හමුදා මෙහෙයුමක් වන ජයසිකුරුයි මෙහෙයුමේදී ප්‍රතිප්‍රහාරවලට සහභාගී වූ එල්ටීටීඊ සටන්කරුවන්,

“මම වෙහෙස මහන්සි වී වැඩ කළහොත්, සර්, මගේ පවුල පෝෂණය කිරීම සඳහා මට රුපියල් දෙතුන් දහසක්   උපයා ගන්න පුලුවන්,” ඔහු තම දෛනික කටයුතු විස්තර කරමින් පවසයි. “ඒ මුදලින්  පවුලක් සමඟ, මට ජීවත් වීමට අමාරුයි. කිසිවෙකු අපට ඇත්තටම උදව් කිරීමට නොඒම ගැන මට දුකක් දැනෙනවා.”

ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල එස්.ආර්.ගේ කතාව යනු අද්විතීය එකක් නොවේ. හිටපු LTTE සටන්කරුවන් සිය ගණනක්,   දැන් බොහෝ දුරට වයස අවුරුදු 40 සහ 50 ගණන්වල පසුවන පිරිම ිසහ ගැහැණූ ජීවත් වීමට විශාල දුෂ්කරතාවන්ට මුහුණ දෙති. තවද මොවුන් වසර විසි පහක් පුරා පුරා ලේ වැකි යුද්ධයක් කළ සටන්කාමී බලකායක් වූ අතර,  ශ්‍රී ලංකාවම පාහේ බිඳ දැමූ ගැටුමක් විය. ඒ  රැල්ල ආපසු හැරී 2009 මැයි මාසයේදී කොටි සංවිධානය මිලිටරිමය වශයෙන් පරාජය කිරීමට පෙරය.

ලෝකයේ පැවැති ප්‍රධාන ලේ වැකි  මෙම ගැටුමෙන් ශ්‍රී ලංකාවේ ජනයා 100,000 ක් පමණ මිය ගිය බවට ඇස්තමේන්තු කර ඇත. බොහෝ මරණ සහ ආබාධිතයන් අහිංසක දෙමළ ජාතිකයන් වූ අතර, සිංහල සහ මුස්ලිම්වරුන් ද විශාල සංඛ්‍යාවක් මිය ගියහ. යුද්ධය අවසන් වූ විට, ගරිල්ලන් 12,000 ක් පමණ හමුදාවට යටත් වූ බවට ඇස්තමේන්තු කර ඇත.

ඔවුන්ගෙන් සමහරක් කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වූ බව වාර්තා වුවද, බහුතරයක් නිල වශයෙන් “පුනරුත්ථාපනය” කිරීමට පෙර විවිධ කාල පරිච්ඡේද සඳහා සිරගත කරන ලදී. ඒ වන විට, උගත් හා වෘත්තීය ප්‍රජාව ඇතුළු දස දහස් ගණනක් දෙමළ ජනතාව ශ්‍රී ලංකාවෙන් පලා ගොස් ප්‍රධාන වශයෙන් බටහිර රටවල පදිංචි වී සිටියේය. පසුව ඔවුන් වඩාත් ප්‍රසිද්ධ හා සාර්ථක ඩයස්පෝරා කණ්ඩායම් වලින් එකක් බවට පත්විය.

නව්‍ය මිලිටරි උපක්‍රම, සම්භාව්‍ය ගරිල්ලා සටන් මෙන්ම ශ්‍රී ලාංකික සහ ඉන්දියානු නායකයින් සහ දෙමළ ජාතිකයන් ‘ද්‍රෝහීන්’ ලෙස හැඳින්වූ  බියකරු ලේ වැගිරීම් සිදු කළ එල්ටීටීඊයේ කුරිරු යුද්ධයට විශාල වශයෙන් අරමුදල් සැපයුවේ මෙම ඩයස්පෝරාවයි. බොහෝ ඩයස්පෝරා සාමාජිකයෝ කැමැත්තෙන් කොටින්ට මුදල් සැපයූහ; අනෙක් අය එසේ කළේ බලහත්කාරය නිසාය. හිටපු එල්ටීටීඊ ගරිල්ලන් පවසන්නේ ඩයස්පෝරාව නිතිපතා යුද මෙහෙයෙුම්  සඳහා දායක වූ දෙයින් කොටසක් වුවත්  දැන් ඔවුන්ට සහාය වීමට ප්‍රමාණවත් වනු ඇති බවයි.

අවාසනාවකට මෙන්, එය උන්නදුව අතුරුදහන් වී ඇත. 2009 සිට කාලය ගෙවී යත්ම, දෙමළ ඩයස්පෝරාවේ විශාල කොටස් හිටපු කැරලිකරුවන්ට පිටුපා ඇත.

මෙය ස්වභාවිකවම කණගාටුව කරුණක් වන අතර, කිලිනොච්චියේ ජායිපූර් පාදයක් (කෘතිම පාදයක්) ඇතිව ඔටෝ රික්ෂෝවක් පදවන 44 හැවිරිදි ඉසායි අමුදන්, එල්ටීටීඊ ගරිල්ලා සටන්කරුවෙකු ලෙස වසර ගණනාවක් සටන් කිරීමේදී ඔහුගේ දකුණු කකුල අහිමි විය. බොහෝ හිටපු  එල්ටීටීඊ සටන්කරුවන් මෙන්, ඔහු ණය ගෙවීමට සහ ඔහුගේ පවුලේ මූලික අවශ්‍යතා සපුරාලීමට දිනපතා දිගු වේලාවක් වැඩ කරයි. කැමැත්තෙන් හෝ වෙනත් ආකාරයකින් දිනක විවේකයක් ගත හොත් එය අමතර දුක්ඛිත බවක් ගෙන එයි.

ඔහු කල්පනා කරන්නේ  ඔහුට මේ ආකාරයෙන් ජීවිතයට කොපමණ කාලයක් මුහුණ දිය හැකිද? ඔහු වයස අවුරුදු 13 දී පාසලෙන් ඉවත් වී  එල්ටීටීඊ සංවිධානයට බැඳී ස්වාධීන දෙමළ ඊලමක් සඳහා සටන් කිරීම නිසා ඇති ූළු තත්වය මෙයද? කියාය.

“අපේ ජීවිතය නිමක් නැති අරගලයක් සර්,” ඔහු 2009 දී යුද්ධය අවසන් වීමට පෙර එල්ටීටීඊ හි පරිපාලන අගනුවර ලෙස පැවති  කුඩා නමුත් කාර්යබහුල නගරයක් වන කිලිනොච්චියේ සිට දුරකථනයෙන් පැවසීය. ඔහුගේ හඬ දුක සහ කම්පනය පෙන්නුම් කරයි.

1990 දශකයේ අගභාගයේදී, ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ උච්චතම අවස්ථාවේ දී LTTE සටන්කරුවන්.

2009 දී ඔහු හමුදාවට යටත් වන විට, අමුදන්ගේ හිසේ සහ ඉණෙහි බොම්බ කැබලි වලින්  වූ තුවාල තිබූ අතර කකුලක් ද අහිමි වී තිබුණි. එනිසා ඔහුට වෙහෙස මහන්සි වී වැඩ කිරීමට නොහැකි විය. ඔහු වසර තුනක් සිරගත කරන ලදී. අද වන විට ඔහු දියවැඩියා රෝගියෙකි.

2014 දී ජායිපූර් පාදයක් සවි කර ඇති බැවින්, ඔහුට රැකියාවක් ලබා ගැනීම දුෂ්කර විය. ඔහු නව යොවුන් වියේ ගරිල්ලා භටයෙකු බවට පත්වන විට පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කර නොතිබුණි. ඔහු ඔටෝ රික්ෂෝවක් බදු දීමට ණයක් ගැනීමට පෙර වඩු වැඩ සහ වෙනත් සුළු රැකියා කිරීමට උත්සාහ කළේය.

වාහනය ඔහුගේ වීමට පෙර තවත් වසර එකහමාරක් සඳහා ඔහු මූල්‍යකරුට මසකට රු. 30,000 කට ආසන්න මුදලක් ගෙවිය යුතුය. එහි ප්‍රතිඵලයක් ලෙස, ඔහුගේ පවුල නඩත්තු කිරීම සඳහා සැලකිය යුතු ලෙස වැඩි මුදලක් උපයා ගැනීමට සිදුවේ. ඒ අතර ඔහුගේ බිරිඳ  හිටපු එල්ටීටීඊ සටන්කාමියෙකි. ඔවුන්ට පාසල් යන තරුණ පුතකු ද සිටී.

2022 සිට ශ්‍රී ලංකාව එක් ආර්ථික අර්බුදයකින් තවත් අර්බුදයකට ලිස්සා යද්දී, ඔහු උපයන සෑම දෙයක්ම ඔහුගේ ණය ආපසු ගෙවීම් සහ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට වැය වෙයි.

“අප මේ දුෂ්කර පශ්චාත් යුධ ජීවිතයට පුරුදු වී සිටිනවා, සර්,” අමුදන් පවසයි. “අපට කවදාවත් පැරදවිය නොහැකි දෙය නම්, දෙමළ සමාජය අපව අමතක කර ඇති බවයි. සමහර විට අප මුහුණ දෙන නින්දා අපහාස ද එසේමය.”

ඇත්ත වශයෙන්ම, හිටපු එල්ටීටීඊ ගරිල්ලන්ගෙන් අතිමහත් බහුතරයක් දැන් සටන්කාමීත්වය වැළඳගත් විට  සිහින මැවූ දෙයින් බොහෝ දුරට ඈත් වූ ජීවිත ගත කරති. නරකම දෙය නම් ඔවුන්ගේ වේදනාකාරී කතාව බොහෝ දුරට ලෝකයෙන් සැඟවී තිබීමයි.

රංගන් යන  නාමයෙන් හඳුන්වන තවත් එවැනි දෙමළ ජාතිකයෙකි, යුද තුවාල අටක් තිබියදීත් වසර ගණනාවක් වේදනාකාරී ශාරීරික ශ්‍රමය කිරීමෙන් පසු, ඔහු මේ වසරේ ජනවාරි මාසයේදී කිලිනොච්චියේ භූමිතෙල් සහ එන්ජින් තෙල් විකිණීම ආරම්භ කළේය. ටික කලක් ඔහු රෙදි කඩයක් පවත්වාගෙන ගිය නමුත් COVID-19 වසංගතය අතරතුර එය වසා දැමීමට සිදු විය.

දැන් 55 හැවිරිදි රංගන්, කොටි සංවිධානය සමඟ ගත කළ දශක දෙක තුළ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව බොහෝ සටන්වලට සහභාගී වී ඇත. 2009 දී යටත් වීමෙන් පසු, ඔහු විවිධ බන්ධනාගාරවල මාස 63 ක් දිගු කාලයක් ගත කළේය.

මුහුදු කොටින්ගේ විශේෂිත දිය යට ඒකකයේ සාමාජිකයෙකු වන “සුලෝජන් නීරදි නීචල් පිරිවු” (සුලෝජන් දිය යට පිහිනුම් ඒකකය) පුහුණුව ලබමින් සිටී.

නිදහස යනු සාමය නොවේ. බුද්ධි අංශ නිලධාරීන් වසර කිහිපයක් ඔහු පසුපස හඹා ආ අතර, ඔහු කරන්නේ කුමක්දැයි නැවත නැවතත් විමසීය. “මතක තබා ගන්න, අපට ඔබව මරා දැමිය හැකිව තිබුණා,”  යැයි එක් නිලධාරියෙක් පැවසීය.. ඒ වචන සදාකාලික වේදනාවකි.

යුද්ධය අතරතුර කාලතුවක්කු ෂෙල් වෙඩි ප්‍රහාරවලින් තම පළමු බිරිඳ අහිමි වූ රංගන්, ඔහුගේ හිසෙහි සහ අතේ සිරවී තිබූ කැබලි කැබලි නිසා වරින් වර දැඩි ශාරීරික පීඩාවන්ට තවමත් ලක් වේ.

ගරිල්ලා යුද්ධයෙන් ඔබ්බට අධ්‍යාපනය සහ කුසලතා නොමැතිකම නිසා හිටපු සටන්කරුවන්ට ලාභදායී රැකියාවක් සොයා ගැනීමට නොහැකි වේ. මෙම තත්වය බොහෝ දෙනෙකුට ජීවත්වීම සඳහා සොයා ගත හැකි ඕනෑම කායික ශ්‍රමයෙන් කරන රැකියා කිරීමට බල කර ඇත. සමහරු එළවළු විකුණනීම  හෝ සුළු රැකියා කරති.

ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අතරතුර එල්ටීටීඊ සටන්කරුවෙක්.

“ආහාර ලෙස අපට බත්, බටර් තෙල් සහ ලුණු ස්වල්පයක් විතරක්  තිබුණු දවස් තිබුණා,” බන්ධනාගාරයෙන් පිටතට පැමිණි පසු තවත් හිටපු ගරිල්ලාවරියක සමඟ විවාහ වූ රංගන් පැවසයි. “මගේ බිරිඳ රජයේ කරන කුඩා රැකියාව නිසා මේ අවුරුද්දේ මම තෙල් බිස්නස් එකකට සුළු පරිමාණයෙන් සම්බන්ධ වුණා.”

එල්ටීටීඊයේ හමුදා පරාජය දශක ගණනාවක් ලේ වැගිරීම්වලින් බේරුණු අයට ලෝකය උඩු යටිකුරු කළේය.

“අද අපට ගෞරවයක් නැහැ,” රංගන් දැඩි ලෙස පැවසයි. “අපි ඔවුන් වෙනුවෙන්  සටන් කළ දෙමළ ජනතාවම දැන් අපව පහත් කොට සලකනවා. රජයේ හෝ පෞද්ගලික අංශයේ කිසිවෙකු අපට හොඳ රැකියා ලබා දෙන්නේ නැහැ.”

විරාමයකින් පසු ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “සර්, මම 2009 දී යටත් වූ විට මම ‘මිය ගියා’. දැන්, මම පරාජිතයන් ලෙස මිනිසුන් අපව ලැජ්ජාවට පත් කරන ආකාරය නිසා මම සෑම දිනකම ‘මිය යනවා’. විශ්වාස කළත් නැතත්, මගේ මුහුණට පවා කියනවා: ‘ඔබ මැරුණේ නැත්තේ ඇයි?’ කියා.

රංගන් මන්නාරමේ වයඹදිග දිස්ත්‍රික්කයේ ඉපදී හැදී වැඩුණු අතර එහිදී ඔහු එල්ටීටීඊයේ ජ්‍යෙෂ්ඨ තනතුරක් දැරීය. යුද්ධයෙන් පසු ඔහු කිලෝමීටර් 80 ක් පමණ දුරින් පිහිටි කිලිනොච්චියට මාරු වූයේ ඔහු හොඳින් දන්නා දෙමළ ජාතිකයන් මන්නාරමේදී ඔහුට විහිළු අපහාස කළ බැවිනි.

“අපි ආයුධ සන්නද්ධව සිටියදී ගෞරවයෙන් ආමන්ත්‍රණය කළ ඒ මිනිස්සුම දැන් මා දෙස බලා කුඩාම ප්‍රශ්නයකදී පවා – එය මගේ වැරැද්දක් හෝ ඔවුන්ගේ වැරැද්දක් වේවා –  ‘ඉතින්, ඔබට ඔබේ (දෙමළ) ඊලම ලැබුණාද?’ යැයි පවසමින් නින්දා කරනවා. ඒ ප්‍රශ්නයම මට නින්දා කිරීමට අදහස් කළ බව ඔවුන් දන්නවා. . මට එය තවදුරටත් දරාගන්න බැරි වුණා. ඒ නිසා, මම සදහටම මන්නාරම හැර ගියා.”

යාපනය, කිලිනොච්චි සහ මඩකලපුවේ දෙමළ මූලාශ්‍ර අවධාරණය කළේ 2009 දී යටත් වූ සියලු දෙනාගෙන් සියයට 60 ක් පමණ වසර 17 කට පමණ පෙර යුද්ධය අවසන් වුවද දරුණු දුෂ්කරතාවන්ට මුහුණ දුන් බවයි.

මුලතිව්හි කාන්තාවක් නිර්නාමිකව සිටීමේ කොන්දේසිය මත පැවසුවේ, වසර ගණනාවක් තිස්සේ එල්ටීටීඊ සටන්කරුවෙකු වූ තම සැමියාට නිවසින් පිටව යාමට තමා ඉඩ නොදෙන බවයි. , මන්ද යමෙකු ඔහුට විහිළු කළහොත් ඔහු සටනකට පැටලෙන බැවිනි.

එක් දෙමළ මූලාශ්‍රයකට අනුව, දරුණු ලෙස තුවාල ලැබූ, බහු සෞඛ්‍ය ගැටලුවලින් පෙළෙන, අත් පා අහිමි වූ හෝ අර්ධ වශයෙන් හෝ සම්පූර්ණ ඇස් පෙනීම අහිමි වූ හෝ සම්පූර්ණයෙන්ම ඇඳේ සිටින අයට ජීවිතය වඩාත් කටුක හා වේදනාකාරී ය.

වාසනාවකට මෙන්, බටහිර රටවල සහ ශ්‍රී ලංකාවේ දකුණු බද පෙදෙස්හි පදිංචිව සිටින සමහර දෙමළ ජනතාව, හිටපු එල්ටීටීඊ සාමාජිකයින් ඇතුළු, ශාරීරික සීමාවන් හෝ සෞඛ්‍ය ආශ්‍රිත ගැටළු හේතුවෙන් තනිවම ජීවත් වීමට පවා නොහැකි අයව නිතිපතා රැකබලා ගනී.

විශේෂයෙන්,  ආබාධිත ගරිල්ලන්ට සහ සමහර හිටපු කැරලිකරුවන්ට ආණ්ඩුව මූල්‍ය ආධාර ලබා දෙයි. ‘සිතන්න, අපි දැන් එතරම් කාලයක් සටන් කළ රජයකින් මුදල් ලබා ගන්නවා,’  යැයිහිටපු දෙමළ කොටි සෙබළියක් පැවසුවාය.

මෙම මූල්‍ය ආධාරය එල්ටීටීඊ බුද්ධී අංශ සාමාජිකයින්ට ද ලැබේ

එල්ටීටීඊ බුද්ධි අංශයේ සමහර  දෙනා, උත්ප්‍රාසාත්මක ලෙස, දැන් රජයේ ඇස් සහ කන් ලෙස සේවය කරති.

කෙසේ වෙතත්, හිටපු සටන්කරුවන්ගෙන් බහුතරයක් ජීවිතය ගැට ගසා ගැනීමට අරගල කරති. තවදුරටත් වැඩ කිරීමට නොහැකි වූ විට මෙම පිරිමින් සහ කාන්තාවන්ගේ තත්වය කුමක් වේද?

නේපාලයේ සහ ඉන්දියාවේ රජයන් සහ සමාජ තමන්ගේම පැරණි කැරලිකරුවන් බාර ගෙන සිටියදී, හිටපු  කොටි සාමාජිකයින් පිටමං කරනු ලැබුවේ මන්දැයි රංගන් කල්පනා කරයි.

“ඉන්දියාවේ යටත් වන නැක්සලයිට්වරුන්ට අලුතින් ජීවිතය ආරම්භ කිරීමට මූල්‍යමය ආධාර දෙනවා. දශක ගණනාවක් තිස්සේ වෙන්වීම සඳහා සටන් කළ නාග සහ මිසෝවරු පවා දැන් ඉන්දියානු හමුදාවේ කොටසක්. නේපාලයේ මාඕවාදීන් සම්බන්ධයෙන් ද මෙය සත්‍යයක්,” ඔහු තම දැනුම ප්‍රදර්ශනය කරමින් පැවසීය. “අපට ගෞරවය සහ ගෞරවය අහිමි වන්නේ ඇයි?”

එල්ටීටීඊයේ චාල්ස් ඇන්ටනි බලකායේ හිටපු සම්මානලාභී සටන්කරුවෙකු උතුරු ශ්‍රී ලංකාවේ නගරයක ජීවත්වීම සඳහා එදිනෙදා කායික වැඩ කරයි. එල්ටීටීඊයේ වොයිස් ඔෆ් ටයිගර්ස් ගුවන් විදුලියේ සේවය කළ තවත් අයෙක් දැන් රූපවාහිනි දැන්වීම් ව්‍යාපාර සඳහා පෞද්ගලික සමාගම්වලට හඬ ලබා දෙයි.

හිටපු සටන්කාමීන් සහ දෙමළ ආරංචි මාර්ග පැවසුවේ දෙමළ ඩයස්පෝරාවේ කොටසක් උදව් කළත්, දෙමළ සමාජයේ සිටින‍ෙ අතරමැදියන් සමහර විට ලබා දෙන මුදල් ආධාරවලින් කොටසක් සොරකම් කරන බවයි.

මුලතිව්හි හිටපු එල්ටීටීඊ සාමාජිකාවක් මෙසේ පැවසීය: “යමෙකු පවුම් 100ක් යැව්වොත් අපට ලැබෙන්නේ 40ක් හෝ 50ක්. අපිව රවටනවා කියලා අපි දන්නවා, නමුත් අපට කිසිවක් කළ නොහැකියි. ඩයස්පෝරා සාමාජිකයන් දන්නා අය අපේ අත්සන් ලබා ගන්නවා හෝ ඔවුන්ට ස්තූති කරමින් වීඩියෝ  පටිගත කිිරීමකට එන ලෙස අපෙන් ඉල්ලා සිටිනවා. මේ සියල්ල ඉතා පිළිකුල් සහගතයි.”

තවත් දෙමළ ජාතිකයෙක් මෙසේ පැවසීය: “ඩයස්පෝරාවේ බොහෝ දෙනෙක් එල්ටීටීඊ යුද්ධයට නොමසුරුව අරමුදල් සැපයූ අතර ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් බටහිර රටවල සාමකාමීව ජීවත් වූහ. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දැන් යුද්ධයට සැබවින්ම සටන් කළ අය ගැන තැකීමක් කරන්නේ නැහැ.”

“අඩුම තරමින් උතුරේ අයට ඩයස්පෝරාවෙන් යම් සහයෝගයක් ලබා දී තිබේ.  එය හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩුය”,  යැයි මඩකලපුවේ කලුවන්චිකුඩි හි හිටපු කොටි සාමාජිකාවක් වන දේවිකා පැවසුවාය. “නමුත් නැගෙනහිර පළාත නොසඵකා හැර තිබේ.  ඩයස්පෝරාවේ බහුතරය උතුරෙන් ගිය අයයි. දෙමළ ඩයස්පෝරාවේ සමහර කොටස් නැගෙනහිරින් පැමිණි සියලුම හිටපු එල්ටීටීඊ සාමාජිකයින් කරුණාගේ කණ්ඩායමේ කොටසක් ලෙස සලකනවා”: (2004 දී එල්ටීටීඊයෙන් වෙන් වූ මඩකලපුව-අම්පාර දිස්ත්‍රික්කයේ එල්ටීටීඊයේ වඩාත්ම ප්‍රමුඛ හමුදා අණ දෙන නිලධාරියෙකු වූ කරුණා ගැන සඳහන් කරීමකි). නමුත් යුද්ධයේ අවසන් අදියරට සහභාගී වූ මා වැනි අය ඇතුළු බොහෝ හිටපු සටන්කාරියන් දැන් අන්ත දරිද්‍රතාවයේ ජීවත් වෙනවා, ”දේවිකා පැවසුවාය.

කලකට පෙර, සමාජ ක්‍රියාකාරිනියක් – චාල්ස් ඇන්ටනි බළකායේ හිටපු එල්ටීටීඊ සාමාජිකාවක් – සමාජ මාධ්‍යවල සඳහන් කළේ දරිද්‍රතාවයෙන් තැළුණු හිටපු කාන්තා ගරිල්ලා සාමාජිකාවක් සිංහල බහුතරයක් සිටින අනුරාධපුර දිස්ත්‍රික්කයට ගොස් ගණිකා වෘත්තියට පිවිසි බවයි. වාසනාවකට මෙන්, හොඳ අදහස් ඇති හිටපු එල්ටීටීඊ ක්‍රියාකාරිනියක් පසුව ඇයට ලිංගික වෙළඳාමෙන් ඉවත් වීමට උදව් කළ අතර යුරෝපයේ ජීවත් වන හිටපු ගරිල්ලා සාමාජිකයකු සමඟ ඇගේ විවාහය සංවිධානය කළාය.

මන්නාරමේ තවත් හිටපු කොටි සෙබළියක් — දරුවන් සිටින තනි මවක් – මෑතකදී ඇගේ වැඩිවන ණය ගෙවීම සඳහා ඇගේ වකුගඩුවක් විකුණා ඇත.

දෙමළ ආරංචි මාර්ග පැවසුවේ වෘත්තීය දෙමළ මුදල් ණය දෙන්නන් හිටපු කොටි සාමාජික සාමාජිකාවන් සූරාකන බවත්, ඔවුන්ගේ මුදල් සඳහා ඇති මංමුලාව සහ දැනුම හා වෘත්තීය කුසලතා නොමැතිකම හේතුවෙන් බැංකු පද්ධතියට ප්‍රවේශ වීමට ඇති නොහැකියාව ඔවුන් ප්‍රයෝජනය ගන්නා බවත්ය.

හිටපු ගරිල්ලන් අතර හොඳම ස්ථානය හිමි වන්නේ කොටි සංවිධානයේ ජ්‍යෙෂ්ඨයන් වූ නමුත් මිය නොගිය අය හෝ එල්ටීටීඊයේ අනුබද්ධ ඒකකවල සිටි අයටයි.

“යාපනයේ සහ කිලිනොච්චියේ නිවාස තුනක් හිමි බව දන්නා එක් හිටපු එල්ටීටීඊ නායකයෙක් ඉන්නවා,” යැයි නැගෙනහිර මඩකලපුවේ මාධ්‍යවේදියෙක් පැවසීය. “හිටපු සටන්කරුවන්ගෙන් සියයට 10 ක් පමණ සුවපහසු ජීවිත ගත කරනවා. බහුතරයක් දරිද්‍රතාවයෙන් පෙළෙනවා.”

“සර්, ඒක භයානක ජීවිතයක්,” අමුදන් තවදුරටත් පැවසීය. “මට දියවැඩියාව තියෙන නිසා, මගේ කකුල්වල ගෙඩි හැදෙන නිසා, සමහර දිනවල ඇවිදීම පවා දුෂ්කර කාර්යයක් බවට පත් වෙනවා. නමුත් මට කුමක් කළ හැකිද? මට කොහෙද යන්න පුළුවන්?”

නොවැම්බර් මාසයේ එල්ටීටීඊයේ වාර්ෂික “විරු දිනය” අතරතුර පමණක් ඔවුන් ගැන සිතන බවට හිටපු කැරලිකරුවෝ කිහිප දෙනෙකු පැමිණිලි කළහ.

නම් සඳහන් කිරීමට අකමැති යාපනයේ හිටපු කොටි සාමාජිකයකු පැවසුවේ, “එවැනි අවස්ථාවන්හිදී අපට ආරාධනා කර අපට සරමක් සහ කමිසයක් තෑගි කරන දේශපාලනඥයන් ඉන්නවා. වෙනත් විකල්පයක් දෙන්නේ නැතිව, අපි ඔවුන් පිළිගන්නවා. උත්සවය අවසන් වූ පසු, ලබන නොවැම්බර් වන තෙක් අපව අමතක වෙනවා.”

මෑතකදී, දෙමළ දේශපාලන නායක එම්.ඒ. සුමන්තිරන් හිටපු එල්ටීටීඊ සටන්කරුවන්ට ශ්‍රී ලංකාවේ ප්‍රධාන දෙමළ දේශපාලන බලවේගය වන ඔහුගේ ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) සමඟ එක්වන ලෙස ඉල්ලා සිටියේය. ඔහුගේ ආරාධනයෙන් කී දෙනෙක් උද්යෝගිමත් වේදැයි පැහැදිලි නැත.

හිටපු කොටි සාමාජිකයෙක් දේශපාලනඥයන්ට අපහාස කළේය.

“ඔවුන් හැඟීම්බර ජාතිකවාදී ගැටළු සඳහා අපව භාවිතා කරනවා. ඔවුන් මැතිවරණ ජයග්‍රහණය කළහොත්, ඔවුන් අපව අමතක කරනවා. ඔවුන් මැතිවරණ පරාජය වුවහොත්, ඔවුන් සරලව පවසන්නේ: ‘මම ජයග්‍රහණය කළා නම් මට උදව් කළ හැකිව තිබුණා. දැන් මට කුමක් කළ හැකිද? ” ඔහු පැවසීය. “අපි සූරාකෑමට ලක්වන බව අපි දනිමු.”

යාපනයේ සහ කිලිනොච්චියේ හොඳින් දැනුවත් දෙමළ ජාතිකයන් දෙදෙනෙකු පැවසුවේ යුද සමයේදී බටහිර රටවල එල්ටීටීඊයේ නාමයෙන් එකතු කරන ලද ඩොලර් සහ පවුම් දස දහස් ගණනක් අතුරුදහන් වී ඇති බව පෙනෙන්නට තිබීම – බොහෝ විට අරමුදල් රැස් කරන්නන් විසින් සාක්කුවේ දමාගෙන ඇති බව පෙනේ – එය දැවැන්ත ඛේදවාචකයක් බවයි.

‘දෙමළ ඩයස්පෝරාව ද අසාර්ථක වී ඇත,’ ඔවුන්ගෙන් එක් අයෙක් පැවසීය.

“ඔවුන්ට තැනින් තැන කුඩා පරිමාණ කර්මාන්ත පිහිටුවා මෙම ජනතාවට තාක්ෂණික පුහුණුව ලබා දිය හැකිව තිබුණා,” ඔහු තවදුරටත් පැවසීය. “වසර ගණනාවක් ගත වී අවසන්. ඩයස්පෝරාව අවශ්‍ය විට ක්‍රියා කරයි. ඔවුන් පන්සල් සහ පල්ලි ඉදිකර බොහෝ  පරිත්‍යාග කරයි. නමුත් හිටපු කොටි සාමාජික සාමිජිකාවන් සැබවින්ම පුනරුත්ථාපනය කිරීම සම්බන්ධයෙන්, සාමූහික අසාර්ථකත්වයක් සිදුවී තිබෙනවා.”

මැදිවියේ සිටින හිටපු කොටි සාමාජිකයෙක් පැවසුවේ, “ඩයස්පෝරාව අපව සම්පූර්ණයෙන්ම නොසලකා හරිනවා නොවේ. සමහර කොටි සාමාජිකයින්ට නොමසුරුව අරමුදල් සපයනවා – සමහර විට ඔවුන් ඉහළ පෙළේ නිසා විය හැකියි. නමුත් කිසිවෙකු අප වැනි අය ගැන අවංකව සැලකිලිමත් වන්නේ නැහැ. අපි වරප්‍රසාද ලත් අය අතර නැහැ.”

(මෙම ලිපියේ භාවිතා කර ඇති සියලුම ඡායාරූප යොමු අරමුණු සඳහා වන අතර ඒවා යාපනය මොනිටර් ඡායාරූප පුස්තකාලයෙන් ලබාගෙන ඇත.)

එම්.ආර්. නාරායන් ස්වාමි යනු දේශපාලනයේ සිට කැරලි දක්වා බහු-මාන වාර්තාකරණය සඳහා ප්‍රසිද්ධ ඉන්දියානු මාධ්‍යවේදියෙකු සහ කතුවරයෙකි. එල්ටීටීඊය පිළිබඳ ඔහුගේ නිශ්චිත කෘති සඳහා වඩාත් ප්‍රසිද්ධය.

ජැෆ්නා මොනිටර් වෙබ්අඩවියේ පළ වූ ලිපියනසංහල අනුවාදය ශ්‍රී ලංකා බ්‍රීෆ්වෙතිනි

Archive

Latest news

Related news